Saturday, August 10, 2013

මම සස්වාමිකයි ස්වාමි...

 මෙම ලිපියේ මුල් කොටසට මෙතනින් යන්න

මංගල්ලෙට කාරණා කටයුතු යෙදුනේ එතනාගේ අනුදැනුම වග විභාගයකින් තොරවය.දැන් නම් උලත් එකයි පිලත් එකයි සිතා සිටින එතනාට මෙහි වගේ වගක් නැත.

අදිරි,එතනා තම නිවසට කැන්දන් යන සුභ මොහොතේ මව්පියන් දමා යැමේ වියෝ දුකට ඇගේ නෙතින් කඳුළු වැගිරෙනු මිස අනෙක් සෑම විටම ඇය සිටියේ වියළුනු පරඬැලක් මෙන් කිසිදු හැඟීමකින් තොරවයි.

අළුත් ගෙදර වැඩ කටයුතු එක පිළිවෙලකට කරන්නට පටන් ගත් පසු වුවද ඇය ජීවත් වූයේ ඇගේ සුන්දර අතීතයේ මිසක ඈ දීගකන අදිරියන් සමඟ නොවේ.

අයාලේ ඈ දපනේ දමන ඇගේම සිතුවිලි... මිදුල ඇමදීම , වී තැම්බීම , පොල් ගෑමේ සිට ඇඹුල රැගෙන යෑම දක්වා සෑම සියළු වැඩකදීම ඈට හිරිහැරක් වන්නට විය.

අදිරියන්ට මෙය නොදැනුනා නොවේ.නමුත් ඔහු කාලයට ඉඩ දී බලා සිටියේ ය.
ඈත නොඑපෙනෙන ඉසව්වක් දෙස ඔහේ බලාසිටින ඇගේ නෙතින් හෙලෙන කඳුළු කැට කා වෙනුවෙන්දැයි  ඔහු දනී. ඒ උණු කඳුළු හෝ ඇගේ මුවේ මද සිනාවක්වත් ඔහු වෙනුවෙන් කැප නොවෙන බව ඔහු හොඳාකාරව දනී.නමුත් ඔහුගේ ඉවසීමේ සීමාවට තව බිඳක් දුර ඇත.කැන්දන් ආ මංගල්ලේ අසුරු සැනින් කඩා බිද දැමීම මුළු සනුහරේටම නව නිංගිරියාවක් බැව් හේ දනී.

නමුදු ගෙයි ගිනි උන් පිටට නොදෙති.ගමේ උන් ලමිස්සියන්ට ආදර්ශෙට ගන්නට කියන්නෙ අදිරියන් සහ එතනා ය.

නමුත් එතනා තවම ටිකිරි බණ්ඩාර සමඟ ය.තමා තඹයකට මායිම් නොකර තමා හැර ලන්සියක් සමඟ ආල වැඩූ ටිකිරි බණ්ඩාරටයි.

අදිරියන් පැල් රැකීමට කුඹුරට ගිය රෑක , දවාලක ඈ තවම තැවෙයි.

ඔබ හීනයක් වගේ 
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි..

"අනේ වලව්වේ ඇත්තො , ඇයි මට මෙහෙව් ගින්දරක් දුන්නෙ... මට හාන්කවිසියක් එහෙව් රැවටිල්ලක් ගැන තේරුමක් තිවුනා නං මෙහෙම වෙයි යැයි.. දැං මේ ගෙයි , ලේසි පහසු වේදනාවක් මං විඳිනවද..? ඔය ඇත්තන්ට ඒකෙ කිසි වගක් නෑ නේද..?
ඒත් ...හෙට මට කිවුවොත් එන්ටැයි කියලා... මම ලෑස්ති පින්න උඩිං වහං වෙන්ට... "

ඇගේ සිත චපල කමින් කොඳුරයි.


මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මඟ බලා සිටියා
නෙතු ගණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා

"එතනා...."
ඇය ගැස්සී ගියා ය.ඇගේ සැමියා ඈ අසලටම එනතුරු ඇය නොදුටුවා ය.රැයක් පැලේ නිදිවරා ඔහු එන පෙරමඟට යෑම ඈ අතපසු කලා ය. ඒ ගැන ඇති වූ දැඩි කනස්සල්ල නිසා ඇගේ බියපත් දෑස බිමට හැරුනි.

"අනේ අදිරයියේ , මං කල්පනාවක උන්නේ.. උඹැහැ ලඟටම එනකං මං දැක්කෙ නෑ... "

බියපත් දෑස අදිරියන් වෙත සැනින් යොමු කලත් ඔහුගේ දැවෙන දෑස ඈ තවත් බියපත් කළ හෙයින් ඈ නැවත බිම බලාගත්තා ය.

"ඈ යෝදියේ , උඹ තාම අර වලව්වේ වලත්තයා ගාව ද..? මේ ඉවසිල්ලේ සීමාවක් තියෙන්ට ඕනෙ... තොට මම හොඳ මදිනං අද වුණත් උඹේ පැලටම යන්ට පුළුවං... මගේ අමනාපයක් නෑ... 
උඹ ඔච්චර මට අකැමැති නං මොකටැයි මේ කසාදෙට මනාප වුනේ..?දැං ගාපං මගෙ මූණෙත් දැලි... ගාලා කටු ගාපං මේ මඟුල..."
අදිරියන් හිතේ ගින්දර මුවින් පිට කළේ ය.

"අන්..නේ අයියණ්ඩි , ම..ම මොනවයින් අඩුපාඩුවක් කරාටද මට මෙහෙම ගෝරනාඩු කරන්නේ..? "
ඇයට මේ විවාහය කටු ගෑ නොහැක. එය ඇයට ඇගේ සදාදර දෙමාපියන්ට කරන අපහාසයකි.අනෙක යලි කිසිදු දිනෙක තමා ලඟට නොපැමිණෙන මනු සතකු වෙත පෙම් වැඩීම කරුමයකි..

නේක දුක් හද රැඳූනා
සඳ එළිය නිමුණා

 හිතේ ආවේගයට බැණ වැදුනද අදිරියන් මුළු හදින්ම එතනාට පෙම් කරයි.
"නඟා , උඹට මම කොච්චර මනාප ද..? මොනවැයින් අඩුවක් කරනවද..? උඹේ හිත අද හැදෙයි, හෙට හැදෙයි කිය කිය බලං උන්නා. ඒත් ...... 
මේ අහපන් නඟේ , මම උඹේ මනුස්සයා... උඹේ හොඳම යාළුවා කියලා හිතාගනින්... හිතේ ගින්දරක් තියේ නං මට කියපන්... "

නමුත් ඇගේ සිතැගිය ඈ කෙසේ කියන්නද..? මෙතරම් සොඳුරු මිනිසකු ඈ සතු වෙද්දී වෙනෙකෙකු පතන බැවු ඈ කෙසේ කියන්න ද..?

 සිල් බිඳලන්න නොහැකි නිසා
මම මඟ බලා සිටියා

ඔහු ඈට ජීවිතයක් දෙන නියා ඇගේ සොඳුරු ජීවයම පැහැරගෙන ගියේ ය.
මොහු අජිවී ඈ හට ජීවිතය නැවත ලබා දීමට මඟ බලා සිටී.
ඔහු ඈ කුඩා කල සිට දැන නොසිටියහ.
මොහු ඈ කුඩා කල ඈට හොඳම සොයුරෙක් , මිතුරෙක් වූවේ ය.
අද ද... ඈ ගැන සියළු තතු දැන ඈ හට මුළු හදින් පෙම් බදී...

"අනේ අයියණ්ඩී...."
එතනා අදිරියන්ගේ දෙපා මුල වැටුණා ය. නලල ඔහුගේ දෙපය මත හොවා වැලපුණා ය.ඔහුට දුන් සියලු දුක් දෝමනස්සයන් ගැන තැවුණා ය.ඔහු කෙරේ මෙතෙක් දිනක් හිත තුල සැඟවී පෑගී පොඩිවී තිබූ ආලය නම් බීජය රිකිලි උලුප්පා පුප්පා නැඟී සිටින සෙයක් දැනුනි.

තරු ඇසක් පිපුණා
සද ලබන්නී මා
සරා සඳ ලඟ මා

අවසාන කොටස සමඟින් නැවත හමුවෙමු. 


 ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
රචනය - උපුල් ශාන්ත සන්නස්ගල





8 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි සිත්තම සොයුර

      Delete
  2. අරුත් දිගහැර ගීයක් කියුවට පුදමි තුති.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගී මුමුණන දෑ සවනට කොඳුරා
      මොකටද හිතුනා තනියම විඳිනා :) :)

      ඒකයි ගීත වචන වලට හරවන්න හිතුවේ...

      මේ පැත්තේ ආවට බොහොම ස්තූතියි ෂැගී... ^_^

      Delete
  3. අදමද මන්දා අවේ අපරාදේ කලින් 1 කොටස සින්ඩියේ දැක්කට මම හිතුවේ සීනිබෝලයක් කියලා. බලපුවාම ලොකු චොක්ලට් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. හෙ.හේ... මේ භාෂාවට "විශේෂ කෙනෙක්" නම් කියන්නෙ වැදි භාෂාව කියලා.. එයාට නම් මේ කතා අල්ලන්නෙම නෑ..හෙ..හේ.... ඒත් මම දැකපු සුන්දරම ආදර කතා ලියවිලා තිබුනේ මේ ගම්බද මිනිස්සු අතර...
      ඒ නිසා ඒවා කොහොමත් සීනි බෝල නොවන බවට මට සහතික වෙන්න පුළුවනි..

      බොහොම ස්තුතියි මගේ බ්ලොගයට ආවට... :)

      Delete
  4. වෙනස්ම විදියට ඇදි යන කථාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. ම්ම්... යතාර්ථයට සමීප වෙලා එහෙ මෙහෙ බැලුවොත් මේ වගේ කතා තමා දුසිම් ගණන් තියෙන්නෙ... මේ ලියුම්කාරිටත් ඒ වගේ චුට්ටි අද්දැකීමක් නැතුවා නෙවේ... නමුත් ඒ සුන්දර ප්‍රේම කතා පන්හිඳක් අත දරන්නෙකු ග්‍රහනය කර ගන්නවා බොහොම අඩුයි..

      ස්තූතියි කොමෙන්ටුවට :)

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...