Friday, December 10, 2010

අමුතු කතාවක්..

                                ගොඩාක් රෑ වෙලා, 10.00pm වලට විතර ඇති දැන් වෙලාව.. මේ මම physics class ඉවරවෙලා ගෙදර යන ගමන්..හරිම ජොලි විෂයක්.. ඒ නිසා මහන්සි නම් නෑ.. අද මම ගෙදර යන්නේ සමී එක්ක එයාලගෙ වාහනේ.. මේ යන ගමන් තමයි හිත හිත ඉන්නේ.. සමී සින්දු ගබඩාවක්.. එයාලගෙ කාරෙකේ යන්න මම හරි ආසයි.. මොකද හරිම ලස්සන ගීත එයා ලඟ තියනවා.. ගමන ඉවර වෙනකම්ම.. ලස්සන සිංදු අහන්න පුලුවන්..

"සමී.. සිංදුවක්..."

මගෙ ඉල්ලීම ඉක්මනටම ඉදිරිපත් කලා.මොකද ,අපේ ගෙදරට යන්න වැඩි වෙලා යන්නෙ නෑ.. ඒ ටිකේ ලස්සන සිංදුවක් අහන්නමයි හිත..
හරි .. ඔන්න දැන් CD එක වැඩ... මම ඇස්පියාගෙන ගීතයට කන් යොමු කලා..

"එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට"

"ම්ම්.. එක් පෙති මලක්..මේ මොන විකාර සිංදුවක්ද... කෙහෙල් මල් ගැන විතරයි දැන් සිංදු නැත්තේ.. ඇන්තුරියම් මල ගැනත් සිංදු ලියලා.. අනේ කාලේ වනේ වාසේ..."

                              ඒ වෙලාවේ Physics වලින් තෙම්පරාදු වෙලා තිබුන මගේ මෝඩ මොළේට වැටහුනේ එහෙමයි.. ඒත් එහෙමයි කියලා අත අරින්න හොඳ සිංදුවකුත් නෙවේ... එහෙමම මට ඒ ගීතය අමතක වෙලා ගියා...

                               කාලෙකට පස්සේ 2010-11-30... ගොඩාක් රෑ වෙලා මට ලොකූ සිංදු පිපාසයක් හැදුනා.. ලඟපාත හොඳ වෙලාවට U-tube තිබුනේ.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇන්තුරියම් සිංදුව මට හම්බුනා..(සොයන්නාට සම්බවේ..)
                              මම අද හවස් වෙනකම් කී සැරයක් මේ ගීතය ඇහුවද.. ඒ ගීතය ඇතුලේ හැංඟුන අමුතු කතාවක් තියනවා කියලා මට හිතුනා... ඇත්තටම එහෙම කතාවක් තිබුනා.. අන්තිමට මට ඒ කතාව වැටහුනා..

"එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට"

                              බුදු හාමුදුරුවන්ට පූජාකරන්න ගන්නකොට පෙති නොහැලුනු ,පර නොවුනු මල් ගන්න කියනවා.. ඒ වගේම අපි පෙති අඩු මල් විසි කරනවා.. ගණන් ගන්නේ නෑ.. එහෙව් එකේ එක් පෙති මලක් ගැන.. කවර කතාද..?

අපේ ලඟ පෙති ඔක්කොම තියන සම්පූර්ණ මලක් තියනකොට එක් පෙති මලකින් අපිට වැඩක් ද..?
                             ඒ වගේම තමා, තමන්ට ආදරය කරන පෙම්වතියක් ඉන්න පෙම්වතෙක්ට තවත් යුවතියකගේ ආදරය ඵලක්ද..?... ඒත් මේ ගීතයේ  පෙම්වතා තමන්ට පෙම්වතියක් ඉද්දීත්.. තව කෙනෙක්ට ආදරය කරනවා.
එයාගේ ඇහින් බලද්දී.. පළමු පෙම්වතිය පූර්ණ මලක් නම් දෙවන යුවතිය එක් පෙති මලක් විතරයි...

"නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට"

ඒත් එහෙම කියලා දෙවනි යුවතිය රවට්ටන්න තරම් ම පහත් කෙනෙක් නෙවේ ඔහු..

"හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට"

                              ඔහුට ඕනෙ දෙවනි යුවතිය මඟ හරින්න.. ඇයව තඹ සතේකට ගනන් නොගන්න බව පෙන්වන්න.. ඒත් ඔහු හිතෙන් ගොඩාක් දුක් වෙනවා ඇයගේ සමුගැනීම ගැන.... ඒක හරියට තමන්.. ඇය යනකොට නවත්තන්න නොහිතුවත්.. ඒ සමුගැනීම හිතේ ලොකු විරහ වේදනාවක් ඇති කලා වගේ,... ඒ විරහව මේ යුවතිය නිසාම ඇති වූවක් වගේ..

"විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම"

                             ම්ම්.. මෙතනදි නම් මට හිතෙන්නේ.. පිට සමාජයේ මිනිස්සූ මේ සිද්ධිය දකින්නේ වපර ඇහෙන් කියලා.. ඒ කියන්නෙ පෙම්වතිය වැරදී.. පෙම්වතා නිවැරදී කියලා..  ඒත් පෙම්වතා දන්නවා ඇත්ත සිද්ධිය.. ස්මහර විට දෙවනි පෙම්වතියවත් දන්නෙ නැති..

"සතුකර ගන්න මුල් පෙම නොපිදූ හෙයින"
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින.."

                             මේ මුලු ගීතයේම වඩාත්ම ශක්තිමත්ම පදවැල මේ කියලයි මම නම් හිතන්නේ.. මෙතනින් තමා මම මේ ගීතය ගැන නිගමනයට එළඹුනේ..
දෙවනි යුවතිය අයිති කරගන්න... ඔහු.. පළමු පෙම්වතිය අත අරින්නේ නෑ... ඒක කොච්චර වැරදි ද කියලා ඔහු දන්නවා.. නමුත්..
හිතට ලොකු දුකක්.. එකම විසඳුමක් පමණයි තියෙන්නෙත්.. එතනදී... පෙම්වතා අසරණයි.. ඒත් ඒ කටුක (කටුකම නෑ.. එහෙම නොකලා නම් පළමු පෙම්වතිය අසරණ වෙනවා..).. වුනත් ඒ විසඳුමම විතරයි ඔහුට ඉතිරි වෙන්නෙ..

"සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්..
මවෙතින් ලැබෙන ආදරයත් ලැබේ නම්.."

මේ පද වල තමා ඒ හිතේ ගැබ්වෙලා තියන ආදරෙ හොඳටම ඉස්මතු වෙන්නේ.. ඒක ඒ පද වලින්මොනවට ඔප්පු වෙනවා..

"මතකය ඔබට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් වී කල්පනාවන්.."

                                මුල් පේලි හතරෙදී.. පෙම්වතා තමන්ගේ හිත සනසගන්න අතරම අවසාන පේලි හතරෙන් පෙම්වතියගේ හිත හදනවා.. එච්චරයි ඔහුට කරන්න පුලුවන්.. හැම දේම අඩුවක් නැතුව ලැබෙන හෙයින්.. දුක් වීමෙන් කිසිම පලක් නෑ..ඔහු ඇයට කියන්න උත්සාහ කරන දේ හරියට හරි..

                                මේ ගීතයේ කියවෙන කතාව පුදුම අමුතුයි.. ඒ කතාව හරියට Twilight වගේ.. Twilight බෙලා කියන යුවතිය එක වර තරුණයින් දෙන්නෙක්ට ආදරේ කරනවා.. ඒත් ඇය තෝරා ගන්නෙ ඒ අතරින් එක්කෙනෙක්.. ඒක වෙනම කතාවක්..
නමුත් සාරාංශය ගත්තොත්.. එක වගේ කතා දෙකක්..

                               මම මේ වගේ සිද්ධියකට ආසා නෑ.. අවට සාමාජයේ දැකලත් නෑ.. ඒත් මේ ගීතය මෙච්චර ලස්සන.. අනිවාර්යෙන් මේ කාගේ හෝ අද්දැකීමක් නිසා විය යුතුමයි.. එහෙම නැත්තම් මෙච්චර ලස්සන පද වැලක් ගෙතෙන්න බෑ.. ඒ නිසා මේ වගේ සිද්ධිත් සමාජයේ තිබෙන්න ඕනෙ..ඒ ඇත්ත අපි පිලිගන්න ඕනෙ..

ගීතය ගයන හඬ ගැන නම් කියන්න වචන නෑ.. මේ පහතින් දක්වා තියන පද පේලි දෙක අනික් පද වලින් පුදුම විදියට වෙනස් කරලා.. හිත ඇතුලට කිදා බහින විදියට ගායනා කරන්නේ කොහොමද කෙනෙක්..???? ... මට නම් තාම හිතා ගන්න බෑ..

"දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින.."

"තව කුමකටද දුක් වී කල්පනාවන්.."



අමුතු කතාවක්.. ලස්සනම ලස්සන ගීතයක්...

(ආයෙත් මගේ බ්ලොග් නිවහනට එන්න ටිකක් කල් ගියාට සමා වෙන්න ඕනෙ.. හිතේ කිසිම සහනයක් පසුගිය දවස් වල තිබුනෙ නෑ.. ඒ ඔක්කොම දැන් හරි.. ඒ නිසා... අවශ්‍ය කලමනා කාරිය එකතු කරගෙන අයේ නොයන්නම මම ආයෙත් මේ පැත්තේ ආවා.. අනික් බ්ලොග් පිටු කියවන්නත් බැරි වුනා.. අද ඉදන් ඒ හැමදේම ආයෙත් ඉස්සර වගේම කියවනවා.. කියවන්න ඕනෙ.. )

26 comments:

  1. මේ සිංදුවට මම ගොඩක් ආසයි.. මගේ හිතේ මේ සිංදුව ගැන තියෙන අදහසට තරමක් දුරට සමානයි ඔයා කියන දේ. හැබැයි වැඩියෙන්ම තියෙන්නේ වෙනස්කම්..

    ලස්සනට ලියලා තියෙනවා.. :)

    ReplyDelete
  2. උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වීම ගැන මගේ සුභ පැතුම් නඟා...............

    ReplyDelete
  3. සමාවෙන්න අද මම ඇනෝ කෙනෙක් වුනාට ඔයාගේ බ්ලොග් එකේ...(දන්න කියන කෙනෙක්....)
    උසස් පෙල ඉහලින්ම සමත් වුණාට මගේන් උණුසුම් සුභ පැතුම්‍‍ නංගියෝ...

    මේ වෙනකොට අද ගීතයේ ඔයා පැවසූ දෙය මා ඇත්තටම ඇත්දැකලා තියෙන්නේ...
    ඇයට පෙම්වතෙක් ඉන්නවා...දෙන්නට දෙන්නා ආදරෙයි...
    මම ඇයට ආදරෙයි.ඇයත් මට යම් කැමැත්තක් දක්වනවා...
    ඒත් මගේ ආදරේ අසරණ වෙලා ඇය ඉදරියේ ඇයට වෙනස් වෙන්න බැරි නිසා.....
    කවුද වැරදි....? අනේ මංද නංගියෝ....
    (කෙනා අදුනාගත්තානම් මගේ අනන්‍යතාවය සුරකින්න...)

    ReplyDelete
  4. මමත් නම් එ සිද්ධියට් එච්චර ආසා නැ.. එහෙම ආදරයකින් පලක් නැ....

    ReplyDelete
  5. @Ano :ගොඩාක් අය මේ සිංදුව දකින්නේ වෙනස් විදිහකට තමා.. ඒ වගේම මම මේ සිංදුව දකින විදිහ 100% හරි නොවෙන්නත් පුලුවන්..
    ස්තූතියි..!

    ReplyDelete
  6. Hasitha අයියා : බොහෝම ස්තුතියි අයියා... මම results වලට බයේ ඉන්නකොට බය නැති කලේ ඔයාලනේ..

    ReplyDelete
  7. @Thilanka : බොහොම ස්තුතියි අයියා ..!
    ම්ම්.. මට නම් ඔයා කවුද කියලා හිතා ගන්න බෑ.. ඒකට කමක් නෑ.. ඔයාගෙ අදහස් ටික ගොඩක් වටිනවා.. ඔය සිද්ධිය වෙන්න පුලුවන් වගේම ඒක් අස්වාභාවිකත් නෑ.. ඒත් එතනදී දෙන්නෙක් අසරණයි.. යුක්තිසහගතව හිතුවොත් ඒ අසරණ කම ගනන් ගත යුතු නෑ.. මොකද ඒ අසරණ කම ගැන හිතුවොත් තව කෙනෙක් හොදටම රිදවෙන නිසා..

    ReplyDelete
  8. @නිමාශා : ඔව්.. එහෙම ආදරය ඉතිරි විදවීම් විතරයි..

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම් ඔයාගේ පෝස්ට් එක දැක්කේ දැන්....
    අනේ මංදා...මට ඔයාගේ මේ පෝස්ට් එක දැක්කම කතාවක් මතක්වුනා...මේ වගේම...ලියන්නම්කෝ ලඟදීම....

    ReplyDelete
  10. මම ඔය සින්දුව අහලම නෑ අක්කේ...

    ReplyDelete
  11. ප්‍රාර්ථනා මං නම් මේ සිංදුව තවම අහලා නම් නෑ වගේ..ඉන්නකෝ අහලම කියන්නම්...කොහොමද කියලා...

    ReplyDelete
  12. හ්ම්ම් ලස්සනයි වගේ..ඒත් ආයේ දෙතුන් පාරක් ඇහුවොත් තමා ඕක හිතට අල්ලන්නේ....

    ReplyDelete
  13. එවගේ අය නම් මම දැකලම නැ අක්කි......"නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට" අනේ මන්දා කියන්න දෙයක් මට හිතාගන්න බැ අක්කි,,,,,, උසස් පෙළ විභාගය ඉහලින්ම සමත් වීම ගැන මගේනුත් සුභ පැතුම් ..අම්මි කිව්වා ඔයාගේන් පාටි ඉල්ලා ගන්න කියලා

    ReplyDelete
  14. @හසි අයියා : ම්ම්..ලියන්න බලන්න ඔයාගෙ කතාව.. ආසයි කියවන්න..

    ReplyDelete
  15. @තාරක මල්ලී : ටිකක් පරණ සිංදුවක් මල්ලී..
    http://www.youtube.com/watch?v=d4z-gbeEapQ
    මෙන්න සිංදුව අහලා බලන්න මල්ලී.. ටිකක් අහන්න වෙයි ... ඒත් අහලා බලන්නකෝ..

    ReplyDelete
  16. මම : හි.. ඇත්ත සිංදුව ටිකක් අහන්න වෙයි.. හිතට වදින්න නම් තව ටිකක් අහන්න වෙයි තමා.. මටත් එහෙමයි වුනෙ..

    ReplyDelete
  17. @shani නඟා : හ්ම්.. අපි දැකලා නැති වුනාට ඉන්න පුලුවන් නංඟෝ.. ම්ම්.. අම්මා එහෙමත් කිවුවද.. එහෙනම් නොදී බෑනේ..

    ReplyDelete
  18. සුපුරුදු පරිදි ලස්සන නිර්මාණයක්....මම හිතන්නේ මම දැකලා තියෙනවා ඔහොම පුද්ගලයෙක්ව....

    ReplyDelete
  19. @මකුළුස් : අහන්නත් සතුටුයි ඒ වගේ පුද්ගලයෙක් දැකලා තියෙන කෙනෙක් ඉන්නවා කියල එක.. මොකද එයාලා ගොඩාක් දුලභයි සමාජයේ මම දකින විදිහට..
    ඒ වගේම ස්තූතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  20. මමත් ඔය වගේ සිදුවීම් කිහිපයක් දැකලා තියෙනවා.. ඇත්තටම සමාජය බලන්නෙ වපර ඇහෙන් තමයි. ඔය වගේ තුන්කොන් ආදර අන්දර වලින් ඒ 3න්දෙනාම ගොඩක් වෙලාවට විඳවනවා! සංසාරෙ හැටි වෙන්නැති

    ReplyDelete
    Replies
    1. කලාව ඕනෑම දෙයක් සාධාරණීකරනය කරනවා.ඒ නිසා කලා කරුට හැකියාවක් තියෙනවා ඕනෑම අසාධාරණ දෙයක් තුල වූ සාධාරණත්වය දකින්න. විඳවීම ප්‍රේමයේ කොටසක්.... තුන් කොන් ආදරයක තුන් දෙනාම සාධාරණ වෙන්න පුළුවන්... නමුත් සමාජ අනුගතයට යටත් වීම හේතුකොටගෙන සියල්ලන්ට උරුම විදවීම විතරයි... කාලය සියල්ල විසදනවා ඇති... :)

      Delete
  21. මේ වගේ සිද්දියක් සමාජයේ අහල නැති එක හොඳයි. ඒත් මම මේ සිද්දිය අත් දැකල තියෙනවා. අවාසනාවන්තම දේ මේකෙ දෙවැනි පෙම්වතිය වෙන්න උනේ මට. ඒ ආදරය පටන්ගත්තෙ එයාමයි. එයාටම තමා මාව ඕනෙ උනේ. ඒත් ටික දවසකින්ම එයාට මාව ඕනෙ නැති උනා. මම කිසි වරදක් නොකර. වේදනාව විඳින්නෙ මම. අද වෙනකොට එයා මගෙත් එක්ක වචනයක් වත් කතාකරන්නෙ නෑ. කිසිම හේතුවක් නැතුව. අඩුම තරමින් යාලුවෙක් විදිහටවත්. මගේ ජීවිතේ මම අසරණ වෙන්න ඕනෙ උපරිමයෙන්ම මම මේ සිද්දිය නිසා අසරණ උනා. මම එයාට ඇත්තටම ආදරය කලා. තාමත් එහෙමයි. මට අදටත් තියෙන ප්‍රශ්නය ඇයි එයාට මාව ඕනෙ උනේ කියන එක. ඒත් එයා භයානක විදිහට නිහඬයි. සමාවෙන්න මම ඇනෝ කෙනෙක් විදිහට කමෙන්ට් කරන්නෙ. මම කවුරු උනත් කොහොම කෙනෙක් උනත් මට මේ සිද්දිය නිසා ඇති උන වේදනාව මගේ ජීවිතේ තියෙනකන් තියෙනව. මම එයත් එක්ක තරහ නෑ. මගෙ ජීවිතේ ඉස්සරහට කොහොම උනත් මොනව උනත් මම එයාට හැමදාම ආදරෙයි. මගෙ ජීවිත කාලයටම එයාව දකින්නවත් කතා කරන්නවත් හම්බ වෙන්නෙ නැති වෙයි. ඒත් මම එයාට හැමදාම ආදරෙයි. එයා මාව අත හැරිය කියල මම එයාගෙ ජීවිතේට වචනෙකින් වත් මම නිසා බාධාවක් වෙන්න මම ඉඩ තිබ්බෙ නැ. සමාවෙන්න මේක දිග වැඩි නම්. මේ සින්දුවේ තේරුම දාල තියෙන කොට මට මේක ලියන්න හිතුන.

    ReplyDelete
    Replies
    1. ප්‍රබන්ධයට වඩා සත්‍යයට මම කොහොමත් ඇලුම් කරනවා ඇනෝ...
      ස්තූතියි කොමෙන්ටුවට..
      බොහොම විවෘතව බැලුවාම... අපි දකින හැමදේම සිදු වෙන්න කුමක් හෝ හේතුවක් ඇතුව...
      ආදරයෙන් බැඳිමේ සිට විරහව දක්වා සියල්ල සිදු වන්නේ හොඳට බැව් මතක තබා ගන්න..

      Delete
    2. මේ විදියේ අත්දැකීමකට මට මූණ දෙන්න වුනා, වෙන කිසිම තීරණයක් නෙවෙයි මම ගත්තේ, දෙවෙනියාගේ ජීවිතය අවුලෙන් අවුලට දාන්නේ නැතුව හොඳ යාලුවෝ ටිකක් එයාට නොදැනෙන්න හදල දීල මම අයින් වුනා කතාවෙන්. මම හිතන්නේ මම කල දේ හරි. නමුත් ඇය ඉන්පසු ආදරයක් ගැන සිතුවේ නැහැ මේ සිද්ධියෙන් වසර දෙකක් ඉක්මවෙව්වත්.මගේ එකම කණගාටුව එපමනමයි.

      Delete
    3. අල්ත‍යිර් : ඔයා ගත්ත තීරණේ හරියටම හරි... පළවෙනියාට මේ වගේ දේකින් දැනෙන්න පුළුවන් වේදනාව වැඩියි..ඒකයි..

      ඔව් , සමුගැනීමකින් හිත හදාගන්න කාලයක් ගතවෙනවා..මොනවා කරන්නද..? ඇය ඉන්න ඇති කාලයට ඉඩදීලා බලාගෙන..

      Delete
  22. අවුරුදු 5කටත් ලඟයි. සෑහෙන ගේමක් දීලා බ්ලොග් ඒකේ address ඒක හොයා ගත්තේ මේ සිංදුව අහන්නමයි...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...