Sunday, August 6, 2017

බැඳෙතී බියෙන් ( පළමු දිගහැරුම )

( මේ පෙම් පුවත මුහුණු පොතේ ebride.lk පිටුවේ දිනපතා පළ වේ )

“දෝණි මට නෝතේරෙනවා නෙවේ ඔය දුක.ඒත් දෙයියනේ කියලා නිවීහැනහිල්ලෙ අපිට ඇහැ පියාගන්න නං මේ කටයුතු වල පිළිවෙලක් තියෙන්න එපැයි” 
තමාට පිටුපා ඉවත බලාසිටින දියණිය ඇමතූ පද්මිණී සෙමින් කීවාය. 

නෙතින් බට කඳුළත් , පෙඟුනු නැහැපුඩුත් අත් ලේන්සුවට මුවාකල ප්‍රාර්ථනා විවර කවුළුවෙන් ඉවතට යොමා වුන් නෙත් බිමට බර කළාය. 
“අනේ නුඹ සිටියා නම්” 

“කැම්පස් එකෙන් එළියට එනකොටම 26යි.. පුතේ තව කල් යන්න යන්න අප්පච්චිට ඔයාලගේ මඟුල් තුලා වලට විය හියදං කරන්න අමාරුයි.අනික පත්තරෙන් හොයන නන්නාඳුනන කෙනෙක්ට වඩා ටිකක් දන්න කියන කෙනෙක් මුණගැහුණ එක කොයිතරම් දෙයක් ද? 
අනික අපිට කියලා පුත්තු ඉන්නවද? මේ තියෙන බිස්නස් ටික වුණත් පිළිවෙලට කරගෙන යයි” 

“අම්මේ” 
ප්‍රාර්ථනා පළමුවරට හඬ අවදි කළාය. 

“නොදන්න කෙනෙක් බඳින එක සැපයි ඔය නපුරා එක්ක එකට වසනවට වඩා.. දැක්ක කාලෙක ඉඳන් පුප්පන එක විතරයි කරන්නෙ.. මමත් කසාදෙට කැමති නැතිකොට ...” 

“අනේ පුතේ පුංචි කාලේ තරහ මරහා හිතේ තියන් ඉන්නෙ කවුද? අනික අපේ පුංචි දොස්තර නෝනට අකමැති වෙන්නෙ කවුද?” 

පුංචි සංදියේ දිනක් තමන් සෝමසිරි බෝනික්කෙකු කරපින්නාගෙන ගන්නෝරුවේ නෑදෑ ගෙදරක ගිය අයුරුත්..අලවතුගොඩ කන්දේ වංගු කරකවා කටුගස්තොටින් ගුහාගොඩ පාරේ මඳ දුරක් යනවිටම බඩ කරකවා වමනය උගුරට ආ සැටිත්.. 
අතරමඟදීම අම්මාගේ බ්ලවුසය නෑවෙන්න වමනය කලසැටිත් .. එදා පලමුවරට වික්‍රමනායක අංකල්ගේ ගෙදර ගිය සැටිත් ඈට සිහිවිය. 

වමනය පෙඟීගිය ගවුමත්,දුර්ගන්ධයත් මඳකුදු නොතකා වික්‍රමනායක අංකල්ගේ බිරිඳ සෞම්‍යා ,පුංචි දැරිවිය රැගෙනගොස් සෝදා පිරිසිඳු කීරීමට අම්මාට උදව් වූ සැටිත් ඈට සිහිවිය. 
ඒ අතර නහය හකුලුවමින් ඒ මේ අත දිවූ සුදු කැසුටු පුංචි කොලුවෙකු තමාට “වමනේ කෙල්ල “ යැයි කියමින් තමන්ට උසුළු විසුළු කල සැටි ඈට සිහිවිය. 
ඉන් පසු අවස්ථා දෙක තුනකදී ඔහු මුණගැසුනත් නොරිස්සුම් මුහුණින් බුම්මාගෙන ඔවුන් මගහැර ගිය ඒ ජේන්තුකාරයා දෛවය නැමැති අමුතු ලියැවිල්ල විසින් යලිත් තමා ඉදිරියේ තබාගොස් ඇති අරුම.. 
පාරම්පරික ව්‍යාපාර රැසක් හිමි සුලෝචන වික්‍රමනායක ගැන පැතිර ඇති කයි කතන්දර ඒ තරම් හොඳ ඒවා නොවේ. 

නමුත් ජීවිතයේ කිසිදු ප්‍රාර්ථනාවක් නැති ඈ... ප්‍රාර්ථනා !! 
ඈ මාස ගණනක් සුසුම් ලූ දෙමවුපියන් ගැන සිතන්නට වූවාය.තමා වෙනුවෙන් මේ තාක් කල් බොහෝ දෑ කැප කල ඔවුන්ට සිත් තැවුල් දිය නොහැක. 
මේ යන්නට වන්නේ අපායකටැයි ඈ දනී.ඈ නොපතන සැමියකු ලැබීමට ඈ පව් කර ඇත. 

“කැමැත්තක් කරන්න අම්මා ..” 

.............................................. 

“මොන කෙහෙල්මලක් ද? 52% ගෑනු ඉන්න රටේ එක බඩ්ඩක් එක්ක ඉන්නෙ කොහොමද?මේ මට බෑ අම්මා ඔය හණමිටි වැඩ කරන්ඩ.. just try to understand..ඒවා අයියයි නංගී එක්ක තියාගන්ඩ” 

ලෑන්ඩ්ෆෝනය ගිගුරුම් හඬින් මේසය මත හෙලූ ඔහු , ඒ හඬින් ගැස්සී සියලු වැඩ නවතා තමා දෙස බලාසිටින සේවකයන් දෙස දවා හලුකරන බැල්මක් හෙලුවේය.ඔවුන් කඩිමුඩියේ නැවත කඩදාසිවල නෙත් අලවාගත් හ. 
නැවත දුරකථනය නාද වේ. 
“හෙලෝ.. නෑ අප්පච්චී.. නෑ .. ඒ advertising company වැඩක් නෑ..ඔව් ඔව්.. මම script එක ලියන්න හොඳ කෙනෙක් හොයාගන්නම්... නෑ නෑ.....!!! යන්නෙ නෑ අද මොකෙක්ගේ ගෙදරවත්.. හෙ.. හේ.. no night clubs either... මම තියනවා අප්පච්චී.. ! “ 

මේසය මත ගොඩගැසී තිබූ ෆයිල් කවර මිටියක් අතට ගත් ඔහු හිස මැණික් කටුවට බරකරගත්තේය. 
“ෂික්.. රටේ මෙච්චර කිරි කෑලී ඉන්නවා.. අම්මටත් අර දෙරියන්ව ම පෙනුන නේ.. මෙලෝ රහක් නැ.. ෂුවර් එකටම පොත් ගුල්ලෙක්.. මට සදාසරණයි..! අම්මට නම් හතලිස් ඩබල් ඇඳිරියද කොහෙද “ 

......................... 

“පුතා මේ අහන්නකෝ” 

“මම ගෙදර ආවා විතරයි..” 

“ඔව්.. ඒත් වෙලාව 10යි.. මම කොච්චර වෙලා වලං හිටියද ? මට බෑ හැමදාම මෙහෙම නිදිමරන්න” 

“ඔන්න පටන්ගත්තා ..” 
සුලෝචන මිමිණුවේය. 

“ඔයාලා පොඩි කාලේ උණ හැඳුනම ඇහැරලා ඉන්නකොට හිතුවා ටිකක් ලොකුවුණාම සැනසිල්ලේ නිදාගන්නම් කියලා.. ටික ටික ලොකු වෙනකොට big match දවසට... අර දවසට..මේ දවසට බයේ හිටියා ඔළු පලාගෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන එයි කියලා..” 

“චී අම්මා.. අම්මා කෙනෙක් තුන් හිතකින්වත් ඔහොම හිතන්න හොඳ ද?” 
“අනේ මංදා කොල්ලෝ උඹ නං..” 
සෞම්‍යා ඇගේ මේ දඩබ්බර මද්දුමයාගේ කනෙන් ඇල්ලීමට පැන්නාය. 

“හා හා පුතා.. අම්මට තරහ ගස්සන්න එපා.. pressure වැඩි වෙයි” 
මෙතෙක් කිසිත් නොවුණාක් මෙන් පත්තරයට හිත යොමුකරගෙන සිටි වික්‍රමනායක ඇස් පුවත්පතෙන් නොගෙන කෑ ගසන්නට විය. 

“බැරි වෙලාවත් අම්මට heart attack එකක් එන්න බැරි නෑ.. එහෙම වුණොත් අපේ ප්‍රාර්ථනා අක්කට තමයි බලාගන්න වෙන්නෙ” යැයි කියා  සුලෝචනගේ නැඟණිය දම්සාරී සුලෝචනට සමච්චලයට ඇහැක් ගැසුවාය.ඈ මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනීසිටීමට සුදානම් වෙයි. 

“ඔව්.. ඔක්කොටම දැං අළුත් වචනයක් bite එකට හම්බෙලා නේ.. ? ඒ දරමිටිය හැර වෙනත් ප්‍රාණයක් මේ ලොව නැතිද නැගණිය? “ 
සුලෝචන සිතට නැඟුණු කෝපය මැඬ අම්මාගේ අතට හසු වූ කන ඉන් මුදාගැනීමට උත්සාහ දරන අතර කීවේය. 

“ඔව්.. ඔක්කොම බලං ඉන්නෙ මං මැරෙනකං.. එතකොට කැමති කැමති විදිහට නටන්න බැරියැයි.. මේ දඩබ්බර මද්දු ආම්බාං කරගන්න පුළුවන් එකෙක් යෑ.. ඔහේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙල්ලක් හොයලා දෙන්නයි මම මේ බැලුවේ.නැතුව මේ වගේ සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද? දැං ගෑනු ළමයි කී දෙනෙක් එක්ක පයුරු පාසානම් තිබ්බද?දැං බඳී දැං බඳී කිය කිය උන්නේ..අනේ පුතේ වද නොදී මේ ගෑනු ළමයට කැමති වෙන්න..” 
“පුතා... අම්මා කියනවටම නෙවේ... ඔය ජිවිතේ පිළිවෙලක් තියෙන්නත් එපැයි... ඒ ළමයගේ නුවරඑළිය පැත්තේ tea estate එකක් ගැනත් කියලා තියෙනවා... ඕවා මේවා හැමදේම ගැන හිතලා බලන්න.. ඒ ළමයගෙ job එක එක්ක ඕවා බලන්න වෙලාවක් නැතුව ඇති මගෙ හිතේ “ 

“හ්ම්.. ඒකයි එහෙනං මේ.. ඇටි කෙහෙල් කාපු උගුඩු කෑල්ල වගේ හිටියට යටින් මාර plans තියෙන්නෙ..business run කරන්න private secretory කෙනෙක් බෝනස් ගන්න කල්පනාව.. හොඳයි බලමුකෝ..” 
මුදාගත් රත් වූ කන අතගාමින් සියල්ල සිතෙන් සිතා තර්ක කොට සනාථ කරගත් සුලෝචන.. 
“මගේ අකමැත්තක් නෑ... “ 

“එහෙනම් එච්චරයි” 
වික්‍රමනායක යුවල සුසුම් ලූහ. 

............... 

“පුතේ..” 

“ම්ම්...?” 

“23 වැඩක් දාගන්න එපා “ 

“අප්පච්චී..” 

“ඇයි පුතේ “ 

“අම්මා කියනවා 23 වැඩක් දාගන්න එපාලු” 

“ඈ කොල්ලො..මම ඔයාටයි කිවුවේ..කමක් නෑ තව ඉඳිආප්පයක් කන්න  ආ...” 

“මොනවද අම්මා.. waffle toaster එකක් ගෙනත් දුන්නා නේද? එකෙ රොටී පුච්චනවද? ඇයි මේ එකම කෑම හැමදාම ..?” 

“කෙල්ලෙක් අරං හදාගන්න එකයි තියෙන්නෙ ආසකරන කෑම.. මට වද නොදී “ 

“අනේ ද කියන්නෙ අම්මලා හොයලා දෙන දොස්තර නෝනලාට වෙලාව මේං කියලා තියෙයි මට කෑම හදලා දෙන්න..ඒකත් කුස්සි අම්මට තමයි කරන්න වෙන්නෙ.. අනික ඉතිං බණ්ඩරමැණිකෙලා ලුණුදෙහි දාන්නයි කළුපොල් මාළුහදන්නයි ඇර.. ඕවා දන්න කියන එකක් යෑ.. මට හාල්මැස්සො හොඳි එක්ක තුං වේලම පාං තමයි කන්න වෙන්නෙ “ 

No comments:

Post a Comment

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...