Showing posts with label දිග කතාව. Show all posts
Showing posts with label දිග කතාව. Show all posts

Sunday, August 6, 2017

බැඳෙතී බියෙන් ( පළමු දිගහැරුම )

( මේ පෙම් පුවත මුහුණු පොතේ ebride.lk පිටුවේ දිනපතා පළ වේ )

“දෝණි මට නෝතේරෙනවා නෙවේ ඔය දුක.ඒත් දෙයියනේ කියලා නිවීහැනහිල්ලෙ අපිට ඇහැ පියාගන්න නං මේ කටයුතු වල පිළිවෙලක් තියෙන්න එපැයි” 
තමාට පිටුපා ඉවත බලාසිටින දියණිය ඇමතූ පද්මිණී සෙමින් කීවාය. 

නෙතින් බට කඳුළත් , පෙඟුනු නැහැපුඩුත් අත් ලේන්සුවට මුවාකල ප්‍රාර්ථනා විවර කවුළුවෙන් ඉවතට යොමා වුන් නෙත් බිමට බර කළාය. 
“අනේ නුඹ සිටියා නම්” 

“කැම්පස් එකෙන් එළියට එනකොටම 26යි.. පුතේ තව කල් යන්න යන්න අප්පච්චිට ඔයාලගේ මඟුල් තුලා වලට විය හියදං කරන්න අමාරුයි.අනික පත්තරෙන් හොයන නන්නාඳුනන කෙනෙක්ට වඩා ටිකක් දන්න කියන කෙනෙක් මුණගැහුණ එක කොයිතරම් දෙයක් ද? 
අනික අපිට කියලා පුත්තු ඉන්නවද? මේ තියෙන බිස්නස් ටික වුණත් පිළිවෙලට කරගෙන යයි” 

“අම්මේ” 
ප්‍රාර්ථනා පළමුවරට හඬ අවදි කළාය. 

“නොදන්න කෙනෙක් බඳින එක සැපයි ඔය නපුරා එක්ක එකට වසනවට වඩා.. දැක්ක කාලෙක ඉඳන් පුප්පන එක විතරයි කරන්නෙ.. මමත් කසාදෙට කැමති නැතිකොට ...” 

“අනේ පුතේ පුංචි කාලේ තරහ මරහා හිතේ තියන් ඉන්නෙ කවුද? අනික අපේ පුංචි දොස්තර නෝනට අකමැති වෙන්නෙ කවුද?” 

පුංචි සංදියේ දිනක් තමන් සෝමසිරි බෝනික්කෙකු කරපින්නාගෙන ගන්නෝරුවේ නෑදෑ ගෙදරක ගිය අයුරුත්..අලවතුගොඩ කන්දේ වංගු කරකවා කටුගස්තොටින් ගුහාගොඩ පාරේ මඳ දුරක් යනවිටම බඩ කරකවා වමනය උගුරට ආ සැටිත්.. 
අතරමඟදීම අම්මාගේ බ්ලවුසය නෑවෙන්න වමනය කලසැටිත් .. එදා පලමුවරට වික්‍රමනායක අංකල්ගේ ගෙදර ගිය සැටිත් ඈට සිහිවිය. 

වමනය පෙඟීගිය ගවුමත්,දුර්ගන්ධයත් මඳකුදු නොතකා වික්‍රමනායක අංකල්ගේ බිරිඳ සෞම්‍යා ,පුංචි දැරිවිය රැගෙනගොස් සෝදා පිරිසිඳු කීරීමට අම්මාට උදව් වූ සැටිත් ඈට සිහිවිය. 
ඒ අතර නහය හකුලුවමින් ඒ මේ අත දිවූ සුදු කැසුටු පුංචි කොලුවෙකු තමාට “වමනේ කෙල්ල “ යැයි කියමින් තමන්ට උසුළු විසුළු කල සැටි ඈට සිහිවිය. 
ඉන් පසු අවස්ථා දෙක තුනකදී ඔහු මුණගැසුනත් නොරිස්සුම් මුහුණින් බුම්මාගෙන ඔවුන් මගහැර ගිය ඒ ජේන්තුකාරයා දෛවය නැමැති අමුතු ලියැවිල්ල විසින් යලිත් තමා ඉදිරියේ තබාගොස් ඇති අරුම.. 
පාරම්පරික ව්‍යාපාර රැසක් හිමි සුලෝචන වික්‍රමනායක ගැන පැතිර ඇති කයි කතන්දර ඒ තරම් හොඳ ඒවා නොවේ. 

නමුත් ජීවිතයේ කිසිදු ප්‍රාර්ථනාවක් නැති ඈ... ප්‍රාර්ථනා !! 
ඈ මාස ගණනක් සුසුම් ලූ දෙමවුපියන් ගැන සිතන්නට වූවාය.තමා වෙනුවෙන් මේ තාක් කල් බොහෝ දෑ කැප කල ඔවුන්ට සිත් තැවුල් දිය නොහැක. 
මේ යන්නට වන්නේ අපායකටැයි ඈ දනී.ඈ නොපතන සැමියකු ලැබීමට ඈ පව් කර ඇත. 

“කැමැත්තක් කරන්න අම්මා ..” 

.............................................. 

“මොන කෙහෙල්මලක් ද? 52% ගෑනු ඉන්න රටේ එක බඩ්ඩක් එක්ක ඉන්නෙ කොහොමද?මේ මට බෑ අම්මා ඔය හණමිටි වැඩ කරන්ඩ.. just try to understand..ඒවා අයියයි නංගී එක්ක තියාගන්ඩ” 

ලෑන්ඩ්ෆෝනය ගිගුරුම් හඬින් මේසය මත හෙලූ ඔහු , ඒ හඬින් ගැස්සී සියලු වැඩ නවතා තමා දෙස බලාසිටින සේවකයන් දෙස දවා හලුකරන බැල්මක් හෙලුවේය.ඔවුන් කඩිමුඩියේ නැවත කඩදාසිවල නෙත් අලවාගත් හ. 
නැවත දුරකථනය නාද වේ. 
“හෙලෝ.. නෑ අප්පච්චී.. නෑ .. ඒ advertising company වැඩක් නෑ..ඔව් ඔව්.. මම script එක ලියන්න හොඳ කෙනෙක් හොයාගන්නම්... නෑ නෑ.....!!! යන්නෙ නෑ අද මොකෙක්ගේ ගෙදරවත්.. හෙ.. හේ.. no night clubs either... මම තියනවා අප්පච්චී.. ! “ 

මේසය මත ගොඩගැසී තිබූ ෆයිල් කවර මිටියක් අතට ගත් ඔහු හිස මැණික් කටුවට බරකරගත්තේය. 
“ෂික්.. රටේ මෙච්චර කිරි කෑලී ඉන්නවා.. අම්මටත් අර දෙරියන්ව ම පෙනුන නේ.. මෙලෝ රහක් නැ.. ෂුවර් එකටම පොත් ගුල්ලෙක්.. මට සදාසරණයි..! අම්මට නම් හතලිස් ඩබල් ඇඳිරියද කොහෙද “ 

......................... 

“පුතා මේ අහන්නකෝ” 

“මම ගෙදර ආවා විතරයි..” 

“ඔව්.. ඒත් වෙලාව 10යි.. මම කොච්චර වෙලා වලං හිටියද ? මට බෑ හැමදාම මෙහෙම නිදිමරන්න” 

“ඔන්න පටන්ගත්තා ..” 
සුලෝචන මිමිණුවේය. 

“ඔයාලා පොඩි කාලේ උණ හැඳුනම ඇහැරලා ඉන්නකොට හිතුවා ටිකක් ලොකුවුණාම සැනසිල්ලේ නිදාගන්නම් කියලා.. ටික ටික ලොකු වෙනකොට big match දවසට... අර දවසට..මේ දවසට බයේ හිටියා ඔළු පලාගෙන නහයෙන් කටෙන් ලේ පෙරාගෙන එයි කියලා..” 

“චී අම්මා.. අම්මා කෙනෙක් තුන් හිතකින්වත් ඔහොම හිතන්න හොඳ ද?” 
“අනේ මංදා කොල්ලෝ උඹ නං..” 
සෞම්‍යා ඇගේ මේ දඩබ්බර මද්දුමයාගේ කනෙන් ඇල්ලීමට පැන්නාය. 

“හා හා පුතා.. අම්මට තරහ ගස්සන්න එපා.. pressure වැඩි වෙයි” 
මෙතෙක් කිසිත් නොවුණාක් මෙන් පත්තරයට හිත යොමුකරගෙන සිටි වික්‍රමනායක ඇස් පුවත්පතෙන් නොගෙන කෑ ගසන්නට විය. 

“බැරි වෙලාවත් අම්මට heart attack එකක් එන්න බැරි නෑ.. එහෙම වුණොත් අපේ ප්‍රාර්ථනා අක්කට තමයි බලාගන්න වෙන්නෙ” යැයි කියා  සුලෝචනගේ නැඟණිය දම්සාරී සුලෝචනට සමච්චලයට ඇහැක් ගැසුවාය.ඈ මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනීසිටීමට සුදානම් වෙයි. 

“ඔව්.. ඔක්කොටම දැං අළුත් වචනයක් bite එකට හම්බෙලා නේ.. ? ඒ දරමිටිය හැර වෙනත් ප්‍රාණයක් මේ ලොව නැතිද නැගණිය? “ 
සුලෝචන සිතට නැඟුණු කෝපය මැඬ අම්මාගේ අතට හසු වූ කන ඉන් මුදාගැනීමට උත්සාහ දරන අතර කීවේය. 

“ඔව්.. ඔක්කොම බලං ඉන්නෙ මං මැරෙනකං.. එතකොට කැමති කැමති විදිහට නටන්න බැරියැයි.. මේ දඩබ්බර මද්දු ආම්බාං කරගන්න පුළුවන් එකෙක් යෑ.. ඔහේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙල්ලක් හොයලා දෙන්නයි මම මේ බැලුවේ.නැතුව මේ වගේ සෙල්ලක්කාර කොල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද? දැං ගෑනු ළමයි කී දෙනෙක් එක්ක පයුරු පාසානම් තිබ්බද?දැං බඳී දැං බඳී කිය කිය උන්නේ..අනේ පුතේ වද නොදී මේ ගෑනු ළමයට කැමති වෙන්න..” 
“පුතා... අම්මා කියනවටම නෙවේ... ඔය ජිවිතේ පිළිවෙලක් තියෙන්නත් එපැයි... ඒ ළමයගේ නුවරඑළිය පැත්තේ tea estate එකක් ගැනත් කියලා තියෙනවා... ඕවා මේවා හැමදේම ගැන හිතලා බලන්න.. ඒ ළමයගෙ job එක එක්ක ඕවා බලන්න වෙලාවක් නැතුව ඇති මගෙ හිතේ “ 

“හ්ම්.. ඒකයි එහෙනං මේ.. ඇටි කෙහෙල් කාපු උගුඩු කෑල්ල වගේ හිටියට යටින් මාර plans තියෙන්නෙ..business run කරන්න private secretory කෙනෙක් බෝනස් ගන්න කල්පනාව.. හොඳයි බලමුකෝ..” 
මුදාගත් රත් වූ කන අතගාමින් සියල්ල සිතෙන් සිතා තර්ක කොට සනාථ කරගත් සුලෝචන.. 
“මගේ අකමැත්තක් නෑ... “ 

“එහෙනම් එච්චරයි” 
වික්‍රමනායක යුවල සුසුම් ලූහ. 

............... 

“පුතේ..” 

“ම්ම්...?” 

“23 වැඩක් දාගන්න එපා “ 

“අප්පච්චී..” 

“ඇයි පුතේ “ 

“අම්මා කියනවා 23 වැඩක් දාගන්න එපාලු” 

“ඈ කොල්ලො..මම ඔයාටයි කිවුවේ..කමක් නෑ තව ඉඳිආප්පයක් කන්න  ආ...” 

“මොනවද අම්මා.. waffle toaster එකක් ගෙනත් දුන්නා නේද? එකෙ රොටී පුච්චනවද? ඇයි මේ එකම කෑම හැමදාම ..?” 

“කෙල්ලෙක් අරං හදාගන්න එකයි තියෙන්නෙ ආසකරන කෑම.. මට වද නොදී “ 

“අනේ ද කියන්නෙ අම්මලා හොයලා දෙන දොස්තර නෝනලාට වෙලාව මේං කියලා තියෙයි මට කෑම හදලා දෙන්න..ඒකත් කුස්සි අම්මට තමයි කරන්න වෙන්නෙ.. අනික ඉතිං බණ්ඩරමැණිකෙලා ලුණුදෙහි දාන්නයි කළුපොල් මාළුහදන්නයි ඇර.. ඕවා දන්න කියන එකක් යෑ.. මට හාල්මැස්සො හොඳි එක්ක තුං වේලම පාං තමයි කන්න වෙන්නෙ “ 

Saturday, May 19, 2012

අක් වක් විචලනය



"මිටින් හල කුරුල්ලෙක්..
ගත් නිදහසින් උමතුව..
ගඟනත සරා
අයාලේ අතරමංව...
වැටී සිටියා දුටිමි ..
නිදහසේ නාමයෙන් මරු වැළඳ..
ඉතින් සබඳ..."
                                - කුසීතයි -

"ඉතිං සබඳ.." ම්ම්.... ඉතිං සබඳ නුඹ ගැන කිම් ?... කියලා ඉවර කරා නම්... ඒත්. ඒත් මේ කවුද..? කාත් කවුරුවත් වත් ද..? මම නොදන්න කෙනෙක් වද..? දන්නා හඳුනන අයෙක් ද..? කොහේවත් නැති කම්මැලියෙක් නොවනු ඇද්ද..?

                                                                   මගේ හිත හැම ඉරිදාම කැළඹිල්ලට පත් කරන මේ කිවිඳා හෝ කිවිඳිය කවුරුන්ද..? මේ කතා කරන්නේ මටම යැයි හිතෙන්නේ කිමද..? ඔව් ඇත්ත... මම ගම දාලා කොළඹට ආවා තමයි. ගමේ වගේ දැන් මාව පොල් කට්ටෙන් වහන් ඉන්න බෑ තමයි. ගම වගේද කොළඹ..? Pizza hut , KFC ගමේ කොහෙද..? ඒත් දෙනෝදාහක් මැද මට දැනෙන මේ පාළුව මොකක්ද..?

මනස්ගාත.... මම පත්තරය අහකට විසි කළෙමි.

"සොඳුර නුඹ අඳුරුයි
දිනිඳු වෙනු රිසි වෙයි..
සඳු ද නුඹ අතැර ගිය කල
කවුරු නුඹ හට ඉතිරි වෙයි..? "
                             - කුසීතයි -

                                                                 මේ වැඩේ හරියන්නේම නැත.. පිළිතුරු කවක් ගෙතීමේ දඟකාර සිතිවිල්ලත් සමඟ මම පෑන අතට ගත්තෙමි.

"ඇසේ ඇත මගෙ පොල් කෙඳක්..
බලනු නුඹ නෙත ඇත කුමක්..
අනුන් දෑ නොසොයා ඉඳින් තව
බලන් වෙන්නට දියුණුවක්..."
                               - වයිරය -

                                                                  මම ඊලඟ සතිය වෙන තුරු ඇඟිලි ගැන්නෙමි.. නමුත් කිසිත් ප්‍රතිචාරයක් කුසීතයාගෙන් නොවීය.කාර්‍යාලයේ වැඩ බහුල කමත් සමඟ මට මගේ "කවිකම්" අමතකම විය.නමුත් ඉරිදා පුවත්පත මට නොවරදී.

"ලියූ කවි 21 පුරා
සිත සෙවූ නුඹ දුටු නියා
රළු වදන් වුව එයින් මා සිත
දැනුනි පිපුනා මල් සිනා

සිත කියයි "නුඹ ගැන සොයන්"
අයාලේ යන්නට නොදෙන්..
ඉතින් කුමරුනි මැඳුරු හැරලා
නැවුම් නල සිප ගනු සොඳයි.."
                            - කුසීතයි -

                                                                  හෝ..හෝ... එහෙනම් ඒ කුසිතයෙක් නොවේ.. කුසීතියක්... කවුද මේ... තිරය පිටුපස සිට වැදි බණ කියන්නිය...

"හැංඟි හැංඟී වෙස් බදීන්
හෙට වෙන්නෙ කුමකැයි බලන්
නමක් නැති බියගුලු කමින්
නන් දෙඩුම් දැන් නවත්වන්
                              - වයිරය -

ගත වූයේ සතියකි...

"සනසවනු සිත නොරිසි නම්
නුඹේ සිත ගෙන පලා යන්
නුඹේ රළු පද පෙලූ සිත ගෙන
මෙයින් කවිකම් නවත්වම්.........
                               - කුසීතයි -

                                                                     සතියක් ගෙවී ගියේ කල්පයක් ගෙවෙන තරම් සෙමිනි... මේ කවට ලිවිය යුතු පිළිතුරු කවක් මගේ සිත් නොවීය. නමුත් කුසීතිගෙන් කවියක් ලඟ ලඟම එනු ඇතැයි සිත බලාපොරොත්තු වුනා වත් ද..?

                                                                    සතිය දෙක ගෙවී ගිය නමුදු ප්‍රතිචාරයක් නොවුනි.ඉරිදා පුවත්පතේ කවි තීරුව පුරා මගේ නෙත් සැරූවද ඇගෙන් එකදු කවියක් යලි දක්නට නොවුනි.නමුත් අප දෙදෙනාගේ කවි සංවාදය අනෙකුන්ගේද සංවාදයට බඳුන්වන බව මට අහම්වෙන් දැනගන්නට ලැබුනි.

"මල්ලී ඉරිදා _____ පත්තරේ දෙන්ඩ.."
දිනක් මමත් මගේ මිතුරා කමලුත් ටවුමට ගිය වෙලේ කමල් පත්තරයක් ගත්තේ ය. ගත් සැනින් ඔහු පෙරලුවේ කවි තීරුවයි..

"ෂික්... අම්මපා මට ඕකා අහු වුනා නං.."
කමල්ට කියවුනි...

"මොකා ද..? තව murder case එකක් ද..? ඕවා පත්තරේ නැත්තේ කවද්ද මචං..? "

"බම්බුව... එහෙම එකක් නෙවේ මචං.. උඹ ඉතිං කවි අනං මනං වලට interest නෑනෙ.. මේ පත්තරේ කවි පිටුවේ කෙල්ලක් ලස්සන කවි ලිවුවා... නිකම් අර backstreet boysලගේ baby please try to forgive me ඒඛේ වගේ පිස්සු නටන කොල්ලෙක් ගැන කෙල්ලෙක් ලියන කවි වගේ... ඒත් ඒවා ටිකක් වෙනස් , නමම දාලා තිබුනේ කුසීතයි කියලා.. ... "

මම උඩ ගොස් බිම වැටුනි... ඒත් කිසිවක් නොදන්න ගානට මම
"ඉතිං..?"

"ඉතිං දවසක් වයිරය  ද මොකෙක්ද කියලා ගොනෙක්  ගොන් පාර්ට් එකක් දාලා තිබුනා.. අනේ ඇත්තමයි බං ඌට ගැලපෙන්නෙ වයිරය නෙවේ "වයිරා",... මට හිතෙන්නෙ ඌට වචන පැටලිලා.."

"එතනින් පස්සේ ෆුල්ස් ටොප්..."කමල් තව දුරටත් දොඩන්නට විය.

"මට හිතුනා අපේ යාලුවෝ ටිකකුත් එකතුවෙලා ඒ වගේ කවි මඩුවක් දැම්ම නම් එළට නැඟලා යයි කියල"
මොහු නන් දොඩවයි.. මගේ ඔළුව ගිනි ජාලාවකි.

                                                                ඔයින් මෙයින් කාලය ගතවුනි. දිය යටින් ගෙන ගිය ගිනි දැල් වලින් , බෙල්ල කැපීම් , කකුලෙන් ඇඳිම් නිසා මට කොළඹ ජිවිතය අප්‍රියම විය. ප්‍රධානම හේතුව මෙහි මගේමැයි හැඟෙන කිසිවකු නොසිටීමයි.අනෙක් අතට ගමට යෑමද අප්‍රසන්නයි.කල වයස හරි යැයි මට මඟුලක් කිරීමට අම්මාත් අප්පච්චීත් සැදී පැහැදී සිටී.ඔය මඟුල වචනයේ පරිසමාප්ත අරථයෙන්ම වසම වස මඟුලකි. මට එය ඉලව්වක් මෙන් හැඟෙන්නේ එබැවිනි.නමුත් මාරුවක් ගෙන ගමට යන තැනටම කටයුතු යෙදුනේ මන්දැයි නොවැටහුනි.

                                                                  බෝඩිමෙන් සමුගෙන බසයට නැඟුනු මට එහි හැරදමා යාමට නොහැකි කිසිවක් නොවුනු නිසා දුකක් නොවිනි.නමුත් ගමට යෑම ගැන සතුටක් ද නොවුනි.හැඟුමක් නැති තැනද සිතට නිවනක් නැත.

                                                                   හොඳින් ඇල වී නිදාසිටි මා නැඟිට්ටුනේ බසයේ ඉදිරි රෝදයක් වලකට වැඩීම නිසා ඇති වූ ගැස්සීමෙන් ඔළුව ජනෙල් ගැට්ටේ වැදීමෙනි.ඒ මම ගමට ලඟ බව කියන පලමු වෙඩි මුරයයි.. මට දැනුනේ මානවයාගේ සිට මා වානර යුගයටත් එහා අදි කල්පිත යුග වලට යන්නාක් මෙන් ය.

                                                                   පාරේ කළු පාට දුඹුරු පාටට පෙරළුනා මෙන්ම , මිනිසුන්ගේ සිනා රහිත ආඩම්බර මුහුණ බුලත් කහට වැකුණු කෙඩේරි වී ගිය මුහුණු බවට පත් වන්නට ගත වූයේ පැය 6කටත් වඩා අඩු කාලයකි. නමුත් ඒ වෙනසට යටවූ ගමේ සිරියට ඇති වූ ලොල් බව සිතින් මකාලන්න මට උත්සුක නොවුනෙමි.

                                                                   දාඩිය වගුරාගෙන දූලි වැකුනු වතින් මම ඇඳුම් බෑගය ගෙන බිමට බැස්සෙමි. එසැනින් ඈත වෙල් සිප හමා ආ සුළඟ නිවසට පය තබන්නටත් පෙර ගතේ කෙඩෙත්තු ගතිය මකා ලන්නට විය.

                                                                   කඩුල්ල අද්දරටම පිය මැන්න මා මදක් පය බාල කලෙමි.මේ කඩුල්ල අදත් එදා වගේමයි.මේ බොරළු පාර තාර තැවරී මට සිළුටු වන්නට හිත් කොනකින්වත් සිතා නැතුවා මෙනි. මේ ගහ කොළ , වෙල් ඉපනැල්ල  අදත් එදා වගේමයි. වෙනස් වෙලා ඇත්නම් ... ඒ මා පමණයි.

"අනේ පුතේ... මොකද තාම ගෙදට්ට ගොඩ වෙන්නවත් කල්පනාවක් නැද්ද..? මහන්සිත් ඇති නේ මගෙ කොලුවට.."

                                                                   ගෙදරට ගොඩ වෙන්නටත් කලියෙන් ඔවුන් සියල්ලෝම ගෙයි මිදුලේ.මා මේ ගෙවුනු සිව් මසට ඔවුන් අමතක කලාවත් ද..? ඒ ගැන අමනාපයක් නම් ඇති බවක් නොපෙනේ... ඔව්.. මේ "මගේ උන්.." ඒකයි මේ...

එදින හවස මම මගේ scrap පොතත් රැඟෙන වෙල අයිනේ ගල් තලාව මතට ගියෙමි. සැබවින්ම එය ගල් තලාවක් නොව තරමක් විශාල ගල් කීපයකි.

මේ පොත පුරා අලවා ඇති කිවිඳීය මා හොඳින් හඳුනන කෙනෙක් විය යුතුයි... අනෙක් මුරණ්ඩුකාර ආඩම්බරකාරකම් වලින් වසා වෙලාගෙන සිටි පාළුව නම් සිතුවිල්ල නිසා ඇය ගැන විමසා යලිත් කවක් ගොතන්නට සිත් විය..

"මෙතුවක් මා මම නොදුටුවෙමි
නමුත් මට පෙර නූඹට මම මුණ ගැසුනි 
නුඹ පෙළූ මට සමාව දෙන්න...
නුඹ දකිනු වස් කල් ගෙවමි මම.."
                            - වයිරය -

                                                             මම තවදුරටත් වයිර නොකරන මුත් මම එසේ ලිවුවෙමි.කවිය තැපැල් කලද සතියක පමාවක් එහි විය.මේ ගම ය. ඒ නිසා වන්නට ඇත.

                                                            මා කලින් සඳහන් කල "උරචක්කර මාලය" බැලීමට යන්නට සිදු විය.ය තනිකරම අම්මලාගේ වුවමනාවට වූ දෙයකි.ඇත්තෙනම මා බැලීමට ගිය යුවතිය  , සංතුෂී මා හොඳින් හඳුනන කෙනෙකි.ඇයට මා අකමැති වීමට හේතු සමුදායකි.ඇයට නිදහස් අදහස් නොමැත.සැමවිට අනෙකෙකු කියූ දෙයක් අදහයි.. "අප්පච්චී මෙහෙම කිවුවා... අම්මා තමයි මෙහෙම කිවුවේ.."... ඇගේ කටේ ඇත්තේ එපමණයි.ඇයට මා අකැමැති බව ගෙදර එනතුරුත් නොකියා සිටීමට මම පමා නොවුනෙමි.

                                                            නමුත් ඈ නෙත් වල රැඳි තිබුනේ මා හොඳින් හඳූනන සේයාවයි... එයින් කම් නැත.මට ඇගෙන් වැඩක් නැත..

මගේ කවියට තවම ප්‍රතිචාරයක් නොමැත.

                                                            මේ අතර මට කුසීති හමුවූවා යැයි සිතෙන සිදුවීමක් සිදුවිය. ගමේ තරුණ සංගමය වෙසක් පෝයට පවත්වන දන්සැලට මමද දායක වුනෙමි.නමුත් මේ වැඩට සහභාගී නොවූ අපේ කණ්ඩායම් සාමාජිකාවක් විය.

"මොකෝ අංජුලා දන්සැලට උදව් කරන්න එන්නෙ නැත්තේ..?"
බීම බීමට පමණක් දන්සැලට ගොඩ වූ ඇගෙන් මා විමසුවෙමි.

"අපෝ ඕවා කම්මැලි වැඩ.."

                                                             කම්මැලි... ඒ කියන්නේ කුසීතයි,, එයින් මතු  මා ඇය ගැන විපරමෙන් සිටියෙමි.නමුත් ඈ මට වැඩි ඇඟෑලුම් කමක් තබා නුරුස්සුම් කමක් වත් නොපෙන්නුවාය. ඈ කවි ලියන්නට නම් රුසියෙක් බව අපේ නඩේ එකෙකු මට කීවේ ය. ඒ නම් මැයම විය යුතුයි. මම කුසීතයා සොයා ගැනීමය උප්පරවැට්ටියක් යෙදුවෙමි.

                                                             අපේ තරුණ සංගමයෙන් සාහිත්‍ය උළෙලක් සංවිධානය කෙරිනි.ඉතින් එහි පද්‍ය අංශය මම භාර ගත්තෙමි.
මාතෘකාව " සහ ගැසීම ".. සරලව කිවුවොත් "හෙණ ගහපන්"...

තරඟයට සඳැස් නිසඳැස් විශාල ප්‍රමාණයක් ලැබුනි.ඒ අතර මා සොයන කවියක් ද විය.

"ඔවුන් ඇමතුවේ නූඹට නොවේ ඔවුන්ටයි
ආදරය කලේ නුඹ නොවේ මමයි
රළු කටුක වදන් නුඹ කිවුවේ ඔවුන්ට නොවේ මටයි
සිත තලා පොඩි කර තුටු වුනේ මම නොවේ නුඹයි

මුදු මගේ සිත ගල් කලේ මම නොවේ නුඹයි
තුටු හමුවීම වෙන් වීම කලේ නුඹයි
හඬා වැලපිය යුත්තේ මම නොවේ මගෙ සිතයි
නමුදු තැවුනේ රිදුනේ මගෙ සිතට නොවේ මටයි

හඳුන ගැන්මට ඉඩක් නොතිබුව
නෙතු පියන් මා වෙතට නොහෙලුව
නුඹෙ සිතෙන් දුර ඈත විසිකල
සහ ගැසිය යුත්තේ නුඹට නොවේ මටයි..."
                                 - කුසීතයි -

                                                                      විනිශ්චය මණ්ඩලයේ තේරීම අනූව කුසීතයාට හිමි වූයේ තෙවැනි තැනයි.නමක් නැති කවි වල මුල් හිමිකරුවන් සොයා ගැනීම ගමේ ඈයන්ට පහසු නොවූයේ ඔවුන් දන්නා හඳුනන අයම කවි ලියා තිබූ නිසාවෙනි.ඈ දකිනු රිසි මම ත්‍යාග ප්‍රධානොත්සවය එනම් සාහිත්‍ය උළෙල දින ගමේ ඉස්කෝලෙට ආවෙමි.

චිත්තාකර්ෂණීය අංග කීපයකින් පසු තෑගි බෙදා දීමේ අවස්ථාව එලැඹිණි.

"පද්‍ය නිසඳැස් අංශයේ තෙවැනි ස්ථානය - සංතුෂී වීරක්කොඩි "

දෙවියනේ......... ..!!!   කුසීතයා.... මම හීනෙන්වත් නොසිතපු කුසීතයා මැය ද..? මම තුෂ්ණිම්භූත වුනෙමි.නමුත් දැන් යැයි කියා කල හැක්කක් නොමැත.ඉන් පසු ඉදිරිපත් වුනු අංගයන් කිසිවක් මගේ නෙතට හසු නොවුනි.. මා මඟබලා සිටියේ මෙය ඉවර වන තුරුයි.

"සංතූෂී..."
                                                                       උළෙලෙන් පසු ශාලාවෙන් ඉවතට යන ඇය නැවතීමට , ඇයට කතා කිරීමට මට ඕනෑ විය,... නමුත් කතා කරන්නෙ කුමක් ගැන ද..? ඇයව ප්‍රතික්ෂේප කිරීමට නිදහසට කරුණුද..? ඇගේ සිත මා හද තුල අරක් ගෙන ඇති බව ද..?

                                                                        ඇය ආපසු හැරුනා ය.මම කුමක් හෝ කියනු ඇතැයි මදක් බලා සිටියා ය. මම ගොළුවෙකු මෙන් සිටගෙන සිටියෙ මි. කුඩා කොළ කැබැල්ලක් මා වෙතට දිගු කල ඈ නෙත කඳුලු පිරෙද්දී ඒ නෙතු සඟවාගන්නට මෙන් ආපසු හැරී ඉවතට ඇඳුනා ය.

එහි මෙසේ ලියා තිබුනි...

"කලකට පෙර නුඹව දුටුව
නමුදු සිනාවක් නොදුටුව
නුඹ ගැන මම නොසිතු අරුම
දැනුනෙ දැන් අහෝ..!!!

මව් පිය වදනට කන් දුන්
උමතු නුඹම වෙත සිත දුන්
පසුතැවිල්ල පමණක් මා
හදේ ඇත අනේ..!!!

ගම හැර නුඹ ගියපු දිනේ
ගල් තලාව වෙත එමිනේ
මගේ නෙතින් හැළුනු කඳුළු
නිමක් නොදුටු වේ..!!!

නුඹ ආයේ එතියී කියා
කවුරුත් මට නොකී නියා
පැතුමට පර වෙන්න නොදී
සැලකුවද මෙමා !!!

නුඹ වෙත පදවැල් ගොතමින්
නුඹම වෙතම සිත හොවමින්
ලිවු කවියට ලැබුනු කවක්
සිත කැඩුවා අහෝ..!!!

නුඹ නැති ලොව දැනුන සිතුම්
කුසීත යැයි සිතුනෙ නිතින්
නුඹ දකින්න පිපාසාව
නැති කලා මෙමා..!!!

මා බැලුමට ආවද නූඹ
එක් බැලුමක් හෝ නොහෙලුව
කවුරු ද මේ කලේ වරද
සිත කියයි මගේ..!!!

සඳ සිපගෙන එහිම රැඳී
බිමට නොවැටි සිටිනු රිසී
ආයේ මගෙ හද මඬලට
එබෙන්නට එපා................................!!!
                              - කුසීතයි -

කොළ කැබැල්ලට සිරුවට නවා සාක්කුවට දමාගත් මා ඈත නොපෙනී යන ඒ සඳ මඬල දුටිමි.

" මම පමා නෑ..."
          - ඔව්... මම වයිරා -

  

Thursday, July 7, 2011

ඇල්බට්..

විවාහ වී වසරක් පමණ ගෙවුනු පසු ඇනාගේ ජිවිතය කෙබඳු වන්නට ඇද්ද..? අද එතැන් සිට..

 
                              ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතුය.මා මෙතෙක් කල් සිතා සිටියේ එය වසන් කරන්නටය. නමුත් මට තවදුරටත් එය කල නොහැක. මම ඇත්ත පිළිගත යුතුයි.. එනම් මම බිඳෙන් බිඳ රිචඩ්ට ආදරය කිරීමට පටන්ගෙන ඇත.

                               මේ සෑම සියළු දෙයක්ම සිදුවූයේ කොතරම් ඉක්මනින්ද.. මටම නොදැනී. මම අවුරුදු හතරක් පහක් පිටුපසට ඇඳුනෙමි.

                               එක යායට විහිදුන තිරිඟු යායකට මායිම් වන්නට එතරම් විශාල නොමැති මුත් අවශ්‍ය සියලු පහසුකම් සහිත ලස්සන ගෙදරක් ඉදිරියේ ඈත බලාගෙන සිටින්නේ වෙන කිසිවකු නොවේ මමයි.දඬු වැටට දෑත් වැලමිටෙන් බරකර අත්ල මතට මූණේ බරදී.. දෑස් කකියන තුරු කලක් මම ඈත ක්ෂිතිජය දෙස බලා සිටියෙමි. ඒ මිටියාවතේ ඈත කොනින් මතුවන මිනිස් රුවක් දකින අටියෙනි.

ඔහු කටකාරයෙකි. ඇල්බට්..!!!..අපගේ පළමු හමුවම පුදුමාකාරය.

                                දිනක් අපේ නිවසට අමුත්තෙක් හරිම හුරුපුරුදු කාරයෙකු ලෙස ගොඩ වැදුනි.ඔහු කඩුල්ල ඉවතලා තම දුඹුරු පැහැ අසු ඒ මතින් දක්කා.. අපේ ඉස්තාලය අසල අසු ගැටගසා  ඌට කෑමට විළද බදුනත් බීමට ජල බඳුනත් ලංකර එයින් සෑහීමකට පත්විය. එයින් පසු වටපිට බැලූ ඔහු..

"අහ්.. වෝල්ටා මහත්මිය,කරුණාකර මට පාවිච්චියෙන් ඉවත්කල රෙදි කෑල්ලක් දෙන්න පුළුවන්ද..?"

"මහත්මිය..???"
මම මටම මුමුණාගත්තෙමි.
ඉහවහා ගිය කේන්තියෙන් මුත් එය ඔහුට නොඅඟවා කිසිත් නොදොඩා මම ගෙට ගියෙමි.

"මහත්මිය??? "ඒකෙන් ඔහු අනිවාර්‍යෙන්ම අදහස්කරේ මම මගේ අම්මා( කැත්‍රින් වෝල්ටා) බවට වරදවා වටහා ගත් බව ඇඟවීමද..? ඔව්... ඒක තමයි... අන්තිම නරකයි.. අන්තිම කැත විහිළුවක්... සමහරවිට අත්වැරදීමෙන් කියවුනාද දන්නෙ නෑ..මම සිතා ගතිමි.

ඒ සමඟම මම පහල මාලයේ කතාබහට ඇහුම්කන් දුනෙමි.

"ඇයි මොකද ඇල්බට් මහත්මයා අමුත්තෙක් වගේ මිදුලට වෙලා..?
ඒ මගේ අම්මාගේ කටහඬයි.

"අහ්... මේ කැත්‍රින් වෝල්ටා මහත්මිය වෙන්න ඇති.. මම මේ ගෙදර ඉස්සරහ හිටගෙන හිටිය ගෑනු ලමයගෙන් පරණ රෙදි කෑල්ලක් ඉල්ලුවා.. මම මේ ඒක ගේනකම් ඉන්නෙ මගෙ පැට්ව පිහදාන්ඩ"

එහෙනම් මේ තමා ඇල්බට්... පුහ්... දැං ගෑනු ලමයලු... ඉස්සෙල්ලා මහත්මිය... හිතලම කරපු අවමානයක්... මම ලේසියෙන් අත අරින්නෙ නෑ... "
මම කවුළුවෙන් ඇල්බට් දෙස බලාගෙන එසේ කිවුවේ අතද මිට මොළවාගෙනය.

"මේ මොකද මේ..?"
(ඔහ්..  කවුද දන්නෙ ඔය වගේ වෙලාවල්වල අම්මා කාමරේට කඩාපනී කියලා..)

"ම්..මුමු..කුත් නෑ අම්මේ... මම මේ බැලුවේ අර ආව පෝරිසාද උන්නැහේ කවුද කියලා.."
මම දෑත් දෙපසට විහිදුවා හොඳ හුස්මක් ගන්නා අතරේ ඇඟට පතට නොදැනී කීවේ අම්මා දෙසත් මිදුල දෙසත් මාරුවෙන් මාරුවට බැලුම් හෙලමිනි.

"ඇනා... ඔයාගෙ ඔළුව හොඳ නැද්ද..? "

"ආව්..ආව්.... "
(අම්මා මගේ කනකින් අල්ලාගෙන සැරෙන් නමුත් හඬ බාල කර ඇසුවා ය.)

"ඔය ඇවිත් ඉන්නේ ලොකු සල්ලිකාරයෙක්.. එයාට කියන්නෙ දත් ඇල්බට් කියලා.. ඒ මොකද කිවුවොත් එයා කරන්නෙ අශ්ව වෙලදාම.. සල්ලි ගොඩ ගහන්න තරම් තියෙනවලු.. ඔය අස්සේ මගෝඩි වැඩ වලටත් සම්බන්ධයක් තියනවලු. එහෙම මිනිහෙක්ට ඔයාගෙ ඔය එක වචනෙ ඇති ඔයාව මරන්ඩ.. "

"අම්මා..???"
මම බියට වඩා පුදුමයට පත් වීමි.

"කෑ ගහන්ඩ එපා මෝඩ කෙල්ල.."
අම්මාගේ ඉවසීමේ සීමාව මට පෙනෙන නොපෙනෙන ගාණයි.

..........                      එලෙස කලාතුරකින් අපේ නිවසට ගොඩ වැදුනු ඇල්බට් කලක් ගතවනවිට අපේ නිවසට සමීපතයෙකු බවට පත්විය. මුලින් මිතුරන් ලෙස ඇසුරුකල අපි දෙදෙනා නොදැනීම පෙම්වතුන් බවට පත්වුනෙමු. ඒ මොහොත වනවිටත් මට එදා අම්මා කියූ දෑ වතුරට දැමූ සෝඩියක් කැබැල්ලක් තරම් ඉක්මනට මතකයෙන් වාශ්ප වෙමින් තිබූ අතර ඇල්බට් මට වඩා 15 වසරක් වැඩිමල් වීමද මට ප්‍රශ්නයක් නොවුනි... හේතුව මම බොහෝ දේ පිළිබඳව උවමනාවට වඩා සරලව හිතීම යැයිමට හැඟේ.

                                ඔහු බෙහෙවින් කටකාර ය. බොහෝවිට අපි සති අන්තවල අසු පිටින් නගරයට යන්නට පුරුදු වී සිටියෙමු.එහිදී ඉතා වටිනා අත් පළදනාවක් හෝ වටිනා කුමක් හෝ තිළිණ කිරීමට ඔහු පුරුදු වී සිටියේ ය.
                                ඇත්තෙන්ම මට එතරම් වටිනා බඩු පිළිබඳ විශේෂ ආශාවක් නොතිබූ නමුත් මම ඔහු සමඟ ගත කරන හැම නිමේශයක්ම මට සතුට ගෙන දුනි.ඔහුහා දොඩමළු වීමම මට ලොකු සතුටක් ගෙන දුනි.

                                මේ සම්බන්ධයට මපියා හෝ මව කිසිදු කැමැත්තක් නොදැක්වුවද ඇල්බට්ට විරුද්ධව වදන් පෙලගැස්වීමට තරම් එඩිතර නොවූහ.ඇල්බට්ගේ චරිතයේ කිසිදු වරදක් නොතිබූ මුත් ඔහුගේ ව්‍යාපාර ගැන මිනිසුන් අතර පැතිරී ගිය කටකතා ඉතා දරුණු ඒවා විය.

                                 දිනක් හවස කාලයකට පසු තේ මේසයට අම්මා ,මම සහ තාත්තා ඉතුරු විය. සේවිකාවද නිවාඩු ගිහින් හිටි ඒ සැන්දෑව පෞද්ගලික දෑ කතාබහ කරගැනීමට හොඳ පරිසරයක් ඇතිකර තිබුනි.

"දුව ඇනා.."
තාත්තා යමක් කීමට හදයි.

"ඔව් තාත්තේ කියන්න... මොකක්ද කියන්න හදන්නෙ..?"
මට යමක් වැටහීගෙන එයි.

"ඔයා දන්නවනේ... ඔයාගෙ සම්බන්ධෙට අම්මයි මමයි දෙන්නම අකමැති.. ඒ වෙන දෙයක් නිසා නෙවේ ඇල්බට් හොඳ මිනිහෙක් නොවන නිසා...."

මම හිතුවා හරි...
"කොහොමද තාත්තා එහෙම කියන්නෙ..? ඇල්බට් කරන රැකියාව පැහැදිලී... එයා අශ්වයෝ ඇති කරලා විකුණනවා... ඊරිසියාකාර මිනිස්සු කියන දේවල් වලින් තාත්තලා අන්ධවෙලා ඉන්නේ.."
මට ඇතිවූයේ කලකිරීමකි.

"පුතේ,අපි ඔයාට හොඳ මනමාලයෙක් හොයලා තියෙන්නෙ.."
අම්මා මගේ දෑත් මුදුව පිරිමදින අතර් කීවා ය.

"මොකක්ද..?... ආයෙත් කියන්න අම්මේ..."
මගේ මොළය තුලට ඉඳිකට්ටක් අරං දස දහස් වාරයක් සිදුරු කලානම් මීට සැප යැයි මට සිතුනි.

"මට පෙම්වතෙක් ඉද්දී...? මට මනමාලයෙක් හෙව්වා..?"

"ඇනා,මගෙ දුවේ... ඔයා ජීවිතේ දිහා බැලුවේ ගොඩක් සරලව.. තාමත් එහෙමයි... ඒත් අපිට ඔයාට වඩා ජිවිතෙ ගැන තේරෙනවා.මෙච්චර කල් අපි ඔයාට තීරණ ගන්න බලපෑම් කරේ නෑ.. ඉදිරියටත් නෑ... ඒත් දුවේ අපි කැමති ඔයාට හොදක් වෙනව දකින්න.. ඒක වෙන්න පුළුවන් එකම විදිහයි තියෙන්නෙ.. ඒ ගැන අපි ඔයාට කිවුවා.. ඉතිරිය ඔයාගෙ.... ඔයා කැමති තීරණයක් ගන්න.... "
තාත්තා හරිම සංවේඟයෙන් හැඟීම්බරව එහෙම කියලා නැඟිටලා යන්න ගියා.

මගේ පලමූ ආදරයේ අවසානය එයයි...

                                ඒ වෙන්වීම කෙතරම් තදින් මගේ මනසට කා වැදුනේද යත්... එතරම් කලක් උද්යෝගයෙන් සියළු ගේ දොර වැඩ වලට සහභාගී වූ මම පැහැදිලි වෙනසකට බඳුන් විය. ප්‍රබෝධමත් හිරු කිරණින් තුටු වීමට වඩා කාමරය තුලට වී පාළුවේ කිමිඳී සිටීමට වැඩි ඇල්මක් දැක්වීමි.

                                දෙමාපියන් කෙසේ ඇල්බට් අර්ථ දැක්වූවද.. මගේ තත්වය පැහැදිලි කර කියූ අවස්ථාවේ නියම මහත්මයෙක් ලෙස ඔහු කටයුතු කලේය. එනම් අපගේ අවසාන හමුවීමෙන් පසු අපි සතුරන් නුවුනෙමු. ඔහු මගේ දිවියට සුභ පැතුවේය. අපිදෙදෙනාට මුණ ගැසිය හැකි හොඳම සහරුවා/සහකාරිය අපි දෙදෙනාම නොවන බව අප වටහා ගෙන සිටියෙමු.ඒ හෙයින් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට තරම් බුද්ධියක් අප දෙදෙනා තුල විය.
මේ විවාහයට අකැමැති වීමට තාත්තා දැක්කූ කරුණු මම නොවලහා ඔහුට කීවෙමි.ඒ ඔහු මා හොඳින් තේරුම් ගන්නා බව දැන් සිටි හෙයිනි.මම සිතූ ආකාරය නිවැරදිය.ඔහු මා තේරුම් ගත්තේ ය. එමෙන්ම මෙතරම් කලක් ඔහු අවිශ්වාස කල මගේ දෙමව්පියන් යලිදු කවදා හෝ ඔහු විශ්වාස කරනු ඇතැයි තමන් නොසිතන බව කීවේය. එවන් සැකයක් ඇති පුද්ගලයන් සමඟ තමන්ට ලඟින් ඇසුරු කිරීම ඉතා අසීරු වනු ඇතැයි යන්න ඔහුගේ අදහස විය.එය සත්‍යකි.

                                  එදා ඇල්බට් හැසිරුනු ආකාරයෙන් මා තුල ඔහු කෙරේ තිබූ ගෞරවය තවත් වැඩි විය.නමුත් එදින් පසු කිසිදිනෙක අපි හමු නොවුනෙමු...

                                 කාලය කෙමෙන් ගතවී යද්දී මට සුදුසු සහකාරයෙක් යැයි දෙමව්පියන් සිතූ තරුණයා හා මා අතර හමුවීමක් සංවිධානය කරන්නට තාත්තාත් අම්මාත් යුහුසුළු විය. මෙතෙක් කල් ඒ සඳහා ඉක්මන් නොවුනේ මගේ මානසිකත්වය ඔවුන් හොඳින් තේරුම් අරන් සිටි හෙයිනි... ඇත්තෙන්ම මගේ කැමැත්තට ඉඩ නොදීම ගැන මුලින් මා තුල වයිරයක් හටගෙන තිබුනද.. පසුව ඒ තත්වය කෙමෙන් තුරන් වෙමින් විය.

                                  රිචඩ් දුටු මුල්ම වතාවේ මා තුල යම් සතුටක් ඇතිවූයේ ඔහුගේද ඇල්බට්ගේද පෙනුමේ යම් යම් මා ප්‍රියකල සමානකම් තිබුනු හෙයිනි.සතුටට හේතුව නම් බාහිරවත් ඇල්බට්ට සමාන රිචඩ් ගති පැවතුම් වලිනුත් ඇල්බට් තරම්ම ක්‍රියාශීලි , උද්යෝගිමත් , කටකාර තරුණයෙක් වෙනු ඇතැයි මම සිතා ගත්තෙමි..

අපේ මුල්ම හමුව ගැන මම මාග්‍රට්ට කිවු කතාව ඇය ඔබත් සමඟත් කියන්නට ඇති...

එදා මම සතුටින් පසුවීමට හේතුව දැන් ඔබට පැහැදිලි ඇති... නමුත් ... නමුත් මට වැරදුනේ ද එතැනය.....

ඇනාගේ ඇත්ත කතාවේ ඉතිරිය සමඟ නැවත හමුවෙමු.

Wednesday, July 6, 2011

පිඟන් කටු..

(මුතුහර පොතේ වූ කතාවක් ඇසුරෙනි)

                                 ඇනා මා දුටු පුදුමාකාරම ගැහැනියකි.ඇය තරම් සරලව ජිවිතය දෙස බලන්නට මට හැකි වූවානම් දිනයක් තුල මගේ දරුවන් මත ඇඳ හැලෙන ගිගුරුම් සහිත වැසි බොහෝසෙයින් අඩු වන්නට තිබුනා. මා ඇනා මෙන් විසීමට උත්සාහ කලද එය සිතන තරම් පහසු දෙයක් නොවේ.

                                 මගේ චූටි පුතා රොබට් අතින් අත්වැරදීමකින් මල් බඳුනක් බිඳුන ක්ෂණයෙන් මම යක්ෂාරූඩ වෙමි.ඔහුට දෙකක් ඇන්න පසු ... තරහා නිවීගිය පසු මම ඒ පිළිබඳ පසු තැවෙමි.ලොකු දුව මිෂෙල් කොතරම් පිළිවෙලට සාලය අස්පස් කලද එහි මට පමණක් දුටු පමණින් දිස් වන අඬු ලුහුඬුවක් නොපෙනුන අවස්ථාවක් නැත.

                                දරුවන්ගේ අහිංසක උත්සාහයක් අගයන ලෙසත් , ඔවුන්ගේ සුළු අතපසුවීම් ගණන් නොගන්නා ලෙසත් මගේ සැමියා ජෝන් කොතරම් කීවද මට මා වෙනස් කරගැනීමට නොහැකිවී ඇත.

මා හා ඇනා ගත් කල පොළවට අහස මෙනි.මෙසේ කීමට හේතු බොහෝමයකි. මේ ඒ එක් සිද්ධියකි.

                                දිනක් සවස තේ පානය කිරීම සඳහා ඇනාගෙන් මට ආරාධනාවක් ලැබුන අතර වෙනදා මෙන් අසල්වැසි අනෙක් ගෘහණියන් මේ සඳහා සහභාගි නොවුනි.බොහෝවිට ඔවුන්ට පොඩි දරුවන් සිටිනිසා වැඩ රාජකාරි බහුල වන්නට ඇත.

එදිනද සුපුරුදු පරිදිම ඇනා මා උණුසුම් ලෙස පිළිගත්තා ය.

"අනේ මාග්‍රට් , ඒත් මම මඟ බලං හිටියේ ඔයා මොකද පරක්කු කියලා. ඇයි අද වැඩ ගොඩ ගැහුන ද..?"

"අනේ නෑ ඇනා , ඔයා දන්නවනෙ ඉතිං ළමයින්ගේ වැඩ ගැන. එක තප්පරෙන් මුළු ගෙදරම උඩුයටිකුරු කරනවා.. අනේ මං දන්නෙ නෑ , මමම එපැයි ඕවට නැහෙන්න... ජෝන් ළමයි කරන හැම වැඩක්ම පොඩි දරුවොනේ කියලා අහක බලං ඉන්නවා අනේ... ගෙදර අස් කරලා ,රෙදි හෝදලා එළියට බහිනකොට දන්නෙම නැතුව වෙලා ගියා.."

"හි.. ඇයි මාග්‍රට්.. ඔයාට හුරුබුහුටි ලොකු දුවෙක් ඉන්නේ... මම ගොඩක් විට දැකලා තියනවා එයා හරි හරියට ඔයාට උදව් කරනවා.."

"ඔව් ඉතින්.. මිෂෙල් මට උදව් කරන්නමයි හැම වෙලේම උත්සාහ කරන්නෙ.. ඒත් එයා කරන ගොඩාක් උදව් අන්තිමට මට තියෙන වැඩත් වැඩි කරනවා ඇනා... ගෙදර අතු ගෑවත් ආයෙ බලද්දී අතුගාලා තියෙන්නෙ උඩින් පල්ලෙන්, කවිච්චි යට කුණු ඳුවිලි එහෙමම... ඉතින් කොහොමද කරන්නේ.."

ඇනා මඳක් වෙලා නිශ්ශබ්දව සිනාසුනාය.
"ඉන්නකෝ මාග්‍රට්..මම ඔයාට පුංචි කතා ටිකක් කියන්නම්... මම හිතන්නේ ඒකට හොඳම වෙලාව තමයි මේ.. එන්න අපි යමු කෑම කාමරේට,..."

                                ඇය නිවස පිළිවෙලට පිරිසිදුවට තබාගෙන සිටියා ය. නමුත් ඇයටද මා හට මෙන්න පිරිමි දරුවන් දෙදෙනෙකු හා දියණියක් සිටී.  ඔවුන්ටද නිවසක් පිළිවෙලට තබාගැනීම ගැන හොඳ අවබෝධයක් ඇතැයි මට සිතුනි.

                                 මම ඇය පිටුපසින් කෑම මේසය වෙත ඇඳුනෙමි. ගෘහ සේවිකාව අමතා යමක් කියූ ඇනා පැමිණ කෑම මේසය අසල හිඳ ගත්තා ය. එවෙලේම කොහෙදෝ සිට පැමිණි ඇනාගේ චූටි දුව රොසෙල් ඇගේ ඇකයේ හිඳ ගත්තා ය.

"රොසෙල් දුව , ඔයා ගිහින් අයියලත් එක්ක සෙල්ලම් කරන්න... වැඩිහිටියන්ගේ කතා වලට පුංචි ඈයො ඇහුම්කන් දෙන්න හොඳ නෑ."
මම පුංචි රොසෙල් දෙස බලා කීවෙමි.

"අනේ ඔහේ හිටියාවයි මාග්‍රට්... ඔක්කොම වැඩ ඉවරකරලා මං දැං මගෙ පැටව් ආශ්‍රය කරන්න වෙලාවක් හදා ගත්තා විතරයි.."

"හරි..හරි.. ඔයා කැමති නම් ප්‍රශ්නයක් නෑ..."
මම සිනාමුසු මුහුණින් කීවෙමි.

"කෝ දැන් ඔයාගෙ කතා ..?"
මම නොඉවසිලිමත් වෙමී.ඇය සතු කතා බොහෝ ඒවා ඇත්ත කතාය.

"අහ්... ඔව්මයි.මට තව ටිකෙන් අමතක වෙනවා.ජෝජ්...... ලොකු පුතා..., ඔය පොත් රාක්කෙ උඩ තියන වීදුරු පෙට්ටිය අරං එන්න.."

ජෝජ් ක්ෂණයෙන් තරමක් විශාල වටිනා යැයි හැඟෙන වීදුරු බඳුනක් රැඟෙන ආවේ ය.එය විනිවිද පෙනෙන නිසා ඒ තුල වූ දෑ මට මොහොතෙන් දිස් විය.

"අහ්..!!!!"
                                 ඒ තුල වූ දෑ දුටු මා පුදුමයෙන් පුදුමයට පත් වුනෙමි. ඒ තුල වූයෙ එවන් වටිනා බඳුනකට කෙසේවත් නොගැලපෙන කැඩුනු පිඟන් කටු සමූහයකි. වඩාත් ලංව බැලූ කල ඒ තුල වූ පිඟන් කටු එකිනෙකට වෙනස් බඳුන් වලට අයත්ව තිබූ ඒවා බවත් ... එතැන පිඟන් කටු 5 , 6 කට වඩා නැති බවත් දිස් විය..

"පුදුම වෙන්න එපා මාග්‍රට්, මේ තමා මගේ ජිවිතේ වටිනාම වස්තු කීපය.. ඔයා හිතයි මේ පිඟන් කටු වටිනාම දෑ කියන්න තරම් මට ඔල්මාදේ හැදිලද කියල..( ඇත්තටම මට ඒ වෙලේ එවැන්නක් සිතුනි..) නෑ මාග්‍රට්... 

ඔය මේරි ගෙනාව ඉඟුරු විස්කෝතු එක්ක කිරි කෝපි තොලගාන ගමන් මේ කතා දෙක අහන්නකෝ.."
                                  එසේ කියමින් ඇය ප්‍රවේශමෙන් බඳුන විවෘතකර එහි උඩින්ම වූ සුදු පාට ,රත්‍රන් පාටින් වැඩදැමූ පිඟානක කොටසක් යැයි සිතියහැකි කොටසක් ඉවතට ගත්තාය.ඒ දෙස ඈ බලා හිටියේ හදපිරි ස්නේහ බැල්මකිනි.

මේ අතර මේරි ගෙනා විස්කෝතුවක රසබැලූ මා හෙමිහිට කෝපි කෝප්පය අතට ගත්තෙමි.

"මට මගේ ලොකු පුතා ජෝජ් හම්බුනේ ගොඩාක්ම තරුණ කාලේ.. ඉතින් ඒ පැංචා ඉපදිලා අවුරුදු හතරක් ගතවෙනකොට තවත් සාමාජිකයෙක් අපේ පවුලට එකතු වෙන්න ලෑස්තිවුනා..

දෙවනි පුතා ඇන්ඩෲ ඉපදෙන කාලේ ලං වෙනකොට නොදැනීම ජෝජ් පුතාට අපෙන් තිබුන අවධානය ගිලිහිලා යන්න පටන් ගත්තා.. ඒත් පුංචි ජෝජ් ඒ කිසි දේකින් තරහ ගත්තේ හෝ දඟ කරේ නෑ... 

හ්ම්ම්... අපි දෙන්නා පුංචි ඇන්ඩෲ ගෙදරට එක්කන් එන දවසේ ජෝජ් අපිට හොරෙන් ලොකු වැඩක් කරලා...

අපි ගෙදරට ගොඩ වෙනකොටම ස්ලාම්....!!!!... ගාලා ලොකු සද්දයක් ඇහුනා. මටත් කලින් කලබලෙන් රිචඩ් ( ඇනාගේ සැමියා) ගේ ඇතුලට දිවුවා...

මම පොඩි අත දරුවත් වඩාගෙන ඇතුලට යන්න තප්පර කීපයක් පරක්කු වුනා. මම ගෙදරට ගොඩ වෙනකොට රිචඩ් ජෝජ්ව තුරුලු කරන් .... මුළු සාලෙ පුරාම පිඟානක් බිදිලා විසිරිලා ගිය නටඹුන්... 

මම ක්ෂණයෙන් බැලුවේ ජෝජ්ගේ මූණ දිහා... එයා හොඳටම බයවෙලා මූණ බෙරි කරන් හිටියේ.."

"අනේ ඇනා.. ඔය වගේ වෙලාවක මම නං..... දෙවියනේ හොඳ පිඟන් කට්ටලයක් මේ කාලේ හැටියට කොච්චර වටිනවද..?"
මම කතාවට මදක් බාධා කලෙමි.

ඇය නිසංසලව මා දෙස බලා සිනාසුනා ය.

"නෑ මාග්‍රට්.. එතනදි ඔයා වැරදී. එදා පුංචි පෝප් එයාගෙ මල්ලිව පිළිගන්න කෑම මේසෙ ලෑස්ති කරන්න ගිහින්.. අපි ආව නිසා කලබල වෙලා එයා අතින් පිඟානක් බිම වැටිලා.. ඒ මම ආසම කරපු පිඟන් කට්ටයයෙන් එකක් තමයි... ඒත් මම ඒ වෙලාවෙ මගෙ ලොකු පුතාට බැන්නා නම්.. සැර කරානම්... 
(ඇය මඳක් නිහඬව සිටියා ය)
ම්හ්..නැහැ... මාග්‍රට්.. එහෙම වුනානම් පුතා මල්ලිට වයිර කරන්න තිබුනා.. ආයෙත් කිසිම හොඳ වැඩකට උනන්දු නොවෙන්න තිබුනා... 

ඒ වෙනුවට එදා රෑ රිචඩ් අපිට අවන්හලකින් විශේෂ කෑම වේලක් සූදානම් කරා... එහි මේසෙ මෙහෙම ලියලා තිබුනා..

   "එක සැනින් ලොකු අයියා කෙනෙකු වූ පුංචි ජෝජ්ට අම්මාගේ,තාත්තාගේ සහ මල්ලීගේ සුභ පැතුම්!"... 
ඒ දැක්ක පෝප්ගේ මූනෙ ඇඳුන ලස්සන හිනාව... මට අද වගේ මතකයි..
අන්න.. එදා කුඩු වුන පිඟානේ කෑල්ලක් තමයි මේ... "

"ඇත්තමයි ඇනා.. මට නම් ඔයා වගේ වෙන්න හිතන්නවත් බැරි වෙයිද මංදා...."
මට මා ගැනම ඇතිවූයේ පසුතැවිල්ලකි.

"නෑ..නෑ  මාග්‍රට්.. මේ කතාවත් අහලම ඉන්නකෝ..."

එසේ කි‍යූ ඇනාගේ වතට නැගුනේ ප්‍රේමාන්විත මදහසකි. ඇය විදුරු බඳුනෙන් ඊලඟට ඉවතට ගත්තේ තේ කෝප්පයක කොටසක් යැයි සිතිය හැක්කකි. එය නම් එතරම් වටිනාකමක් ඇති එකක් යැයි නොපෙනුනි...

මේ කතාව කුමක් විය හැකිද..?  
මම කල්පනා කලෙමි.

"හ්ම්... එදා තමයි මගේ ජිවිතේ සතුටුම දවස..

හරිම වැස්ස.. ඒත් ඔන්න මං බලන්න මනමාලයෙක් එනවා කියලා අම්මා කිවුවා.. එයා මගේ සොහොයුරාගේ  මිතුරෙක්.. "

"ඇනා...????"

"ඇයි මාග්‍රට්..?"

"පුංචි දරුවෙක් ඉස්සරහ කියන කතා.."

"අහ්.. ඇයි මම නරක දෙයක් කිවුවද..? ඒක හරියට සුරංගනා කතාවක් වගෙයි නේද රොසෙල්..?.."
ඇය කුඩා දියණියගෙන් ඇසුවාය. රොසෙල්ද සීයට සීයක් හිස වනයි.. අනේ රටකට ගිය කල.... මම සිතුවෙමි.

ඇනා යලිත් කතාවට පිවිසුනා ය.
"ඔන්න ඉතින්... එයා ආවා...  අම්මා මගේ අතට බන්දේසියක් දුන්නා තේ කෝප්ප පීරිසි ගොඩක් තිබුන.

මම ඇවිත් යැතැන හිටිය එකින් එක්කෙනාට තේ පිළිගැන්නුවා.. ඒ අතරේ හොරැහෙන් බැලුවා මනමාලයා කොහොමද කියලා... හි.."

"ඇනා.. මේකේ සීමාවක් තියෙන්න ඕනෙ.. "
ඔයා මෙතන උකුළු මුකුළු කතා කියනවා දූ ඉස්සරහ..  "

"ටිකක් ඉන්න මාග්‍රට්.. ලස්සනම කොටස තාම මඟ..."

"හොඳයි හොඳයි.. කියන්න කියන්න.."
මට තිබුනේ කතාව අසා ගැනීමට නොඉවසිල්ලකි.

"ඉතින් ඔන්න මම දැක්කා රිචඩ් මම දිහා බලං ඉන්නවා.. ඔන්න මම තේ බන්දෙසිය අරං එයා ලඟට යනවා... හම්මේ... ඔයාට කියන්න මාග්‍රට්,මගෙ කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තා... :):)..^_^..

ඉතින් ඔහොම ගිහින් තේ කෝප්පෙ පිළිගන්වනකොටම මගේ ඇස් දෙක දිහා බලන් රිචඩ් එක පාරටම ඇහුවා..

"මම ඔයාට කැමතී.... ඔයා මාව බඳින්න කැමතිද කියලා.."

මම වෙවුලලා ගියා..මගෙ අතින් තේ බන්දේසිය අත ඇරුනා... තේ සාලෙ පුරාම එලලා තිබුන බුමුතුරුණු වල විසිරුණා.. තේ කෝප්පෙයි පීරිසියයි.. කෑලි කෑලි වලට කැඩුනා.."

"අම්මේ.. හරිනං එතනින්ම මඟුල් කටුගෑවෙනවා.."
මට කියවුනි.

"කටුගෑවෙන්න තාම මෙතන මඟුල් කතාවක් වුනේ නෑනෙ මාග්‍රට්... 
ඉතින් මම ගොඩාක් බය වුනා. හදිස්සියට හදිස්සියට බිම වැටිලා තිබුන පිඟන් කෑලි එකතු කරන් පුළුවන් තරම් ඉක්මනට කෑම කාමරේට ගිහින් හැංඟුනා.. හැංඟිලා ඇති තරම් ඇඬුවා.. මම හිතුවේ එතරම් නොසැලකිළිමත් ගෑනු ළමයෙකුට රිචඩ් කැමති වෙන්නෙ නැති වෙයි කියලා...

ඒත් මම වැරදී..

සතියකට පස්සේ දවසක මගේ සොයුරා එයාගේ මිතුරන්ට සාදයක් පැවැත්වුවා. රිචඩ් එදා කළුවර මැදින් ආවේ අශ්වයා පිටින්.. එදා නම් මට එයාව පෙනුනේ තව තවත් කඩවසම් විදිහට..මම හිතින් දුක් වුනා.. එළියටවත් නෑවිත් හිටියා...  "

"අනේ..ඉතින්... ඊට පස්සේ...?"
මගේ බාධා කිරීම් වල නිමක් නැත.

"ඒත් අම්මා මට ,චීස් තවරලා හැම් මැදි කරපු පාන් පෙති පුරවපු ලොකු පිඟානක් ඔවුන්(මිතුරන්) සඳහා සූදානම් කරලා තිබුන කෑම මේසෙ ගිහින් තියන්න කිවුවා... 

අහ්... කියන්න අමතක වුනා.. එදා අර බිම වැටුන පිඟන් කෑල්ලක් මම තියාගත්තා රිචඩ් මතක් වෙන්න... 

ඉතින් ඒ වෙනකොටත් ඒක මම මගේ ඒප්‍රන් එකේ සාක්කුවක දාගෙන හිටියා.

අපේ කෑම කාමරේට කුස්සියේ ඉඳන් යන්න තියෙන්නෙ දිග කොරිඩෝවක් දිගේ.. ඉතින් මම ඒ දිගේ කෑම කාමරේට ගිහින් පිඟාන තියලා හැඳි ගෑරුප්පු සකස් කරලා ආයෙත් එන්න හැරුනා..

"ඇනා... ටිකක් නවතින්න.."

දෙවියනේ ඒ රිචඩ්... මම හිටපු තැනම නැවතුනා..නිකම් ගල්ගැහුනා වගේ... 

"ඇනා... ඔයා මගේ ප්‍රශ්නෙට දෙන උත්තරේ ගැන හිතුවද..?"

ඔහු ඇහුවා.

ඔයා මං දිහා බලං ඉන්න තරම්ම පුදුමෙන් මම එදා රිචඩ් දිහා බැලුවා..විශ්වාස කරන්න මාග්‍රට් එයාගේ අතේ තිබුනේ මොකක්ද කියලා..."

"ම්ම්.. අනිවාර්යෙන්ම ලස්සන රතු රොස මලක්... නැත්තම්... නැත්තම් ආමන්ඩ් රසකවපු ක්‍රීම් වට කරපු රසම රස චොක්ලට් කප් කේක් එකක්.."

"අනේ නෑ මාග්‍රට්... එයා අතේ තිබුනේ කැඩිච්ච පිඟන් කෑල්ලක්.. ඇත්තටම කිවුවොත් තේ කෝප්ප කෑල්ලක්.. "

අනේ ඔයා පව් ඇනා.. ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති..."
මට එහෙම වුනා නම් කියලා මම හිතුවා...

"මොන බොරුද මාග්‍රට්... මගේ සතුටට ඇස් වලට කඳුළු ඉනුවා... ඒ කඳුළු හද එළියට ලස්සනට දිලිසුනාලු.. ඒ ගැන රිචඩ් ලස්සන කවියකුත් මට ලියලා දුන්නා... විවාහය දවසේ...^_^.."

කතාව මදකට නැවැත් වූ ඇනා රොසෙල්ට ඇගේ ආභරණ පෙට්ටිය රැගෙන එන්නැයි කීවා..

                                   ඇනා එවර රිචඩ් තිළිණකල අළුත්ම මුතුමාලයක්වත් මට පෙන්නන්නට යනවා යන්නෙයි කිසිදු සැකයක් මට නොවීය.සතියකට දෙකකට වරක් අසල්වැසි අනෙක් මිතුරියන්ගේ නිවෙස් වලට එකතුවූ විටද ඔවුන්ගේ එකම වැඩේ අළුතින්ම ගත් ආභරණ ගැන විස්තර විචාරීමය.

                                   මේ අතර රොසෙල් හුරුබුහුටි ඕවලාකාර පියනකින් යුතු ආභරණ පෙට්ටියක් රැඟෙන ආවාය. එය විවෘත කල ඇනා ඉන් ඉවතට ගත්තේ මා කෙසේවත් විශ්වාස කල දෙයක් නොවේ.. එය තවත් පිඟන් කෑල්ලකි.. හොඳින් බැලූවිට මෙවර මට වැටහී ගියේ මෙය කලින් විදුරු පෙට්ටියෙන් ගත් තේ කෝප්ප කෑල්ල වර්ගයේම එකක් බවයි.

ඒ කැබලි දෙක අතට ගත් ඇනා..

"දන්නවද මාග්‍රට් අපේ දෙවන හමුවේ සිදුවුන ලස්සනම දේ,,,? මේ විදිහට අපි දෙන්නා අපි ලඟ තිබුන පිඟන් කෑලි දෙක එකිනෙකට ලං කලාම ඒවා එක මායිමකදී හොඳින් පෑහුනා.. හොඳට ගැලපුනා.. ඒ දැක්ක මට හොඳටම හිනා.. මම ඇති වෙනකම් හිනාවුනා.. රිචඩ් පුදුමෙන් බලන් හිටියා.. ඔහු හිතුවේ මම උමතුවෙලා කියලා... ඔහු පසුව කිවුවා.. අපේ මුල්ම හමුවෙදි බිමට වැටුන තේ කෝප්ප කැබැල්ලක්.. ඔහු කාටවත් නොපෙනෙන්න කබා සාක්කුවට දමා ගත් වග.."

"හ්ම්... ඇනා.. ඔයා අදත් මාව පුදුමයට පත් කරා,.. ස්තූතියි.. ඒ වගේම ඔයාගේ ඉඟුරු විස්කෝතුයි... කිරි කෝපි එකයි.. ඉස්තරම්.."

"සුළු දෙයක් මාග්‍රට්.... ජීවිතේ අපිට සතුටු වෙන්න..., වටිනා කමක් දෙන්න... අවශ්‍ය වෙන්නෙ සිතුවිලි විතරයි...  පිඟන් කැබැල්ලකටත් අර්ථයක්  ගෙනහැර පෙන්නන්න පුළුවන් වුනා නම්... තව කවර කතා ද..?"


ඇය ජිවිතේ කොතරම් සුළු දේවල් වලින් තෘප්තිමත් වන කාන්තාවක්දැයි මට සිතුනි..



ඇනාගේ තවත් ඇත්ත කතාවක් සමඟ යලිත් හමු වෙමු.