Tuesday, November 20, 2018

එදා වේල

Hotel hilton එකෙන් කාලා ගෝල්ෆේස් එකේ රැල්ල පාඟන ලස්සන ජීවිතම විතරක් රූප පෙට්ටියේ පියාඹන.. මයිලෝ දාපු කිරි බිබී සූරපප්පා බලන සූටික්කෝ ඉන්න පොත් කියවන ගමන් මං පොඩ්ඩක් වාට්ටුව දිහා බැලුවා..
බැලුවා නෙවේ බැලුනා..
නිය අඟ කළු ගැහුන .. ඒ නියපොතු වලින් කොණ්ඩෙ කස කසා එන පොඩ්ඩියක්.. වයස අවුරුදු දහයක් විතර..
කෙලීගෙ අම්මා අතේ පැටවු දෙන්නයි..
එකෙක් කෙල්ලක්.. ඒකිට පණු අමාරුව... පාණ්ඩුව.. ඔහේ වැටිච්ච තැන වැටිලා...
අනික් පොඩි එකාට ඇදුම.. හතිය.. සති දෙහෙකට කලින් එළොව ගිහිං මෙලොව ආවේ..
අවුරුදු දහයේ පොඩ්ඩි එක පැටියෙක් කිහිල්ලෙ ගහගත්තෙ මහ පුරුදු කාරී වගේ නෙව..
ආයේ අම්මා කියනකං හිටියෙ නැ...
කකුල් දෙක උඩ පැටියා තියාගෙන මෙන්න යස අගේට නලවනවා..

ඊට එහා පැත්තෙ ඇඳේ ශෝක් සෝස බබෙක්.. අවුරුදු දහයයි.. හැබැයි කවන්න නාවන්න නිදිකරන්න.. අම්මයි අප්පයි විතරක් මදි.. අත්තම්මත් ඕනේ..

අපි ඉන්නෙ එහෙව් රටක..
නැති බැරිකමක විතරක් ඇස් ගෙඩි දෙකෙන් පෙරෙන මිනිස්සු ඉන්න රටක..
තනේ කිරි ටික ඇර.. පැටවුන්ට දෙන්න බත් ඇටයක් ගෙදර නැති මිනිස්සු ඉන්න රටක..

ඇහැටුල්ලෝ වගේ පාර්ලිමන්ට් ජෝක් බැලුවට කාරි නෑ.. සුජීවගේ පොත් කියෙව්වට කමක් නැ.. ඒත් අපේ රටේ වැඩිහරිය ඉන්නෙ අන්ත අසරණ මිනිස්සු කියන එක අමතක කරන්න එපා...
තව තප්පරයකින් අපි මැරෙන්න පුළුවන්..
හුස්මට කටට දුවන ජීවිතේ එළොවට දෙයක් කරගන්න වෙනම වෙලාවක් නැති වෙන්න පුළුවන්...
මොකද අපි පැය විසිහතරෙම ඉන්නෙ ඔරලෝසු කට්ට පස්සෙ පැත්තෙ එල්ලගෙන..
එහෙව් වෙලාවට තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ වාට්ටුවකට ඇවිත් ඇඳුම් කැඩුම් ටිකක්.. බෙහෙත් ටිකක්... කොට්ටයක් පැඳුරක්... සෙල්ලම් බඩුවක් දීලා ගියාම දැනෙන සතුට.... විඳලා බලන්න..

1 comment:

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...