Tuesday, August 6, 2013

අන්දර කැකුළේ නාඬන්..




 "ලොකු අතු අල්ලන්න යන්න නාකයි නඟෝ උඹටමයි අන්තිමට හිතේ ගින්දර"

 දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දිත් 
කුමට අපි ළතැවිල්ලෙන්


"අයියණ්ඩි මම ගැන මනාපයක් ඇත්තං , ඒක හිතෙං අස් කර ගත්තොත් හොඳා"

"ඒ මක්කෙයි..?"

"මම මනාප ටිකිරි බණ්ඩාර හාමුට නොවැ"

"ඒත් නඟා ..."

"මගේ කාරි මට බලාගන්ට ඇහැකි නොවැ... අයියණ්ඩි තමුන්ට මනාප තැනකින් කටයුත්තක් කරගත්ත නං.."

"නඟා, මම උඹ දන්නෙ අද ඊයෙ නෙවෙයි , එහෙව් උඹට දුකක් තැවුලක් එනවට මම මනාප නෑ... ඔය වලව්වෙ ඇත්තො ගැන උඹ දන්න තරමට වඩා හුඟක් මම දන්නවා.."

"දන්න නොදන්න විත්තිය මම ඇහැව්වැයි... අයියණ්ඩි තමුන්ගේ වැඩක් බලාගත්ත නං.."

"තුං..නොදකිං... කටු අකුලේ හිර වෙලා දහ වේදනා විදිනකොට මං කිවුව එව්වා මතක් කොර කොර අඬන්න නාකයි නඟා... ඒක හිත් පොත්තේ හොඳාකාරව ලියා ගත්තනං යසයි.."
අදිරියන් මා දෑස දෙස හෝ නොබලා පසු බහින්නට විය.
ඈත වංගුවෙන් හැරෙද්දීවත් ආයේ ඔහු හැරී නොබැලුවේය.

ඔහු මෙසේ ආදරය යදිමින් ළමිස්සියන් පසු පස යා යුතු අයෙකු නොවේ.

අදිරියන් හිතේ දහිරි ඇති හොඳ කඩවසම් තරුණයෙකි. ස්වභාවයෙන්ම නිහඬ තරුණයෙකු වූ ඔහු පියාගෙන් උරුම වූ ගොවිතැන ජීවනෝපාය කර ගත්තෙකි.
ගොයම් හිටවීමේ , සී සෑමේ සිට වූ නා නාප්‍රාකාර කර්තව්‍යන්ට ගමෙන් ඇඳෙන හඳුනන නාඳුනන සැමගේ සිත් සැනින් ඔහු කෙරේ පැහැදී ගියේ දියුණුවක් වීමට ඔහු තුළ වූ දහිරියයි.

"පෙළවහක් කරගන්ට අදිරියන් අයියට බැරි අමාරුකමක් ඇතෑ... කුසුමෙත් කී දොහක් මගෙන්ම උන්දෑ ගැන ඇහුවද..?"
එතනා තමන්ගෙන්ම විමසයි.ටිකිරි බණ්ඩේ යැයි කෙනෙක් වලව්වේ නොසිටියා නම් ඇයගේ සිත නිතැතින්ම අදිරියන් කෙරේ ඇදී යනු නොඅනුමානය.

නමුත් එක සිත දෙතැනක නතර නොවේ.ඇය පෙම් බැන්ඳේ ටිකිරි බණ්ඩාරටයි.ටිකිරි බණ්ඩාර යෝජනාවක් නොගෙනෙන්නට ඇය ඇස් කෙලින් කර වලව්ව දෙසවත් නොබලන්නට තිබුනි.


එතනා රූබරියකි.කිතුල් රෑනක් බඳු නීල වරලස දුටුවන් ඇස්ගෙඩි අහසට නඟයි.දිගැටි ඇස් බැමට යටින් හැඩ වූ නිල් මානෙල් වන් දෙනයන දුටුවන් මන බදී.ඇය වන් දීග යන වයසේ දැරියක් නිවසේ සිටීම ඇගේ දෙමාපියන්ට බිය මුසු හැඟීමක් ජනිත කිරීමට සමත් වී ඇත. නමුත් ඇය ගමේ කිසිම කිසිවකුට මනාප නැති බැව් දත් ඔවුන් ඇගේ සිතැඟිය නොදනී.

සුන්දර උයන් පෙතක නුඹ පිපුණා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැළකුම්
මින් පෙරදාක කරපු පව් දී පටිසන්
අන්දර කැකුළේ නාඬන්

"ඔව්... ඒකි මට මනාප වෙයි යැයි.බයිස්කෝප් නිළියක් වගේ දිලිහි දිලිහි ඉන්න එකේ ඒකිට මම ගැලපෙයි යැයි.."
දිය කඩිත්තක් ලඟ ඇණ බා ගත් අදිරියන් ඒ මත දිසෙන ඔහුගේම ඡායාව කෝටු කෑල්ලකින් කලතා ඒ කෝටුවේ අග්ගිස්ස කඩා දත මදින්නට විය.

කාලය කෙමෙන් ගෙවෙයි.අදිරියන්ගේ කුඹුරේ අස්වැන්න ගෙට ගන්නටත් කල් හරියාගෙන එයි.

"අදිරියන් "

"ඇයි මැණිකෙ මට එන්ට කියලා පණිවිඩයක් එව්වෙ..?"
එකත්පස් නොවී උරහිසේ වූ රෙදි කෑල්ල පමනක් අතට ගෙන කොන්ද ඇඳ කුඳ නැතිව අදිරියන් විමස්න්නට විය.

"මේ සැරෙත් පංගුව වලව්වට වෙලාපහින් එව්වොත් හොඳා.."

"හොඳමයි මැණිකේ.."

කාල වේලාවට වලව්වට එවා තිබූ වී තොගය තම්බා , පෙඟෙන්නට දමා කොටා පිටි කලේ එතනා සමඟ ඇගේ මවයි.ඒත් ඇගේ සිත දොම්නස් ය.

"කෝ මැණිකේ පුංචි හාමු..? වලව්වේ පෙනෙන්න නැති නිසයි ඇහැව්වේ.."
ඩිංගිරා නොහොත් එතනාගේ මෑණියැන්දෑ ,එතනාගේ සිතේ පැනය නොදැන වුවද ඇසූ හෙයින් එතනා හලමින් සිටි පිටි එසේ තිබියදී වැඩේ නවත්වා කන් දෙන්නට විය.

"අනේ ඩිංගිරෝ උඹට කියන්ට ලේසි පහසු ගින්දරකින් නෙවේ මම ඉන්නේ.උඹ ඉතිං පොඩි පුතා උකුලේ තියං නැලෙව්වෙ මටත් වඩා ආදරෙන් නොවැ..එහෙව් උඹට කියනවා මිසක් මේවා අපෙ අපෙ එවුන්ටවත් කියන්ට පුළුවන් දේවල් නෙවේ.."

එතනා අතේ තැවරුනු පිටි ඇඳසිටි චීත්තයේ පිස දමමින් තවදුරටත් තැවෙමින් සිටී.

"ඇයි අපෙ මැණිකේ , රත්තරං පුංචි හාමුට මොකක්හරි අලකලංචියක් වුණා වත් ද..?"

"විහිං දා ගන්න එව්වා මිස , වෙන මොනවද ඩිංගිරෝ..? සැප වැඩී... සල්ලි බාගේ පොල් ගෙඩියෙන් රබර් ගහෙන් ලැබෙනවා නොවැ... ඒ සල්ලි වලින් කරන්නෙ විලි ලැජ්ජාවක් ඇති වැඩ යැයි... 
පෙරේදා වලව්වට එනවා උරචක්කර මාලෙකුත් කැන්දං... අම්මේ මම බැන්දා... මේ තමා ඩල්සි...
කිවුවා... මගේ හිතේ පත්තු වෙච්චි ගින්දර දන්නවානං සක්‍ර දෙවියොන්ගේ පඬුපුල් ආසනේ උණුවෙලා යනවා නොවෑ.."
ඇය උල් ඔසරිපොට කම්මුලට තබා කඳුළු පිස සොටු සූරන්නට විය.

එතනාගේ ඇත් දළ  පැහැ කම්මුල් රත් පැහැයට හැරී ඒ මතින් කඳුළුකැට ගලා පෙනහෙරය මත වූ පිටි වල උල් වලවල් කණින්නට වුණි.
අපට විහාරයේ දොර වී අඬවල්
ගියාට ලොව වැරැද්දකින්

ඇය ඇගේ පැල්පතට විත් හිත හැදෙන තුරු හැඬුවාය.මෙය මැණිකේ හිතා මතා ගෙතූ අතේ පැලෙන බොරුවක් දෝයි ඈ සිතයි.

"දුවේ , උඹට අසනීපයක් ද..?"
ඩිංගිරා විපරම් කළාය.

පැඳුරෙන් කොන්ද කෙළින්කර අම්මා වෙතට හැරුනු ඇය,
"නෑ අම්මේ , මගේ ඔළුව කකියනවා ඉවසන්ට බෑ.."

"පොඩ්ඩක් හිටිංකෝ මම තෙල් ටිකක් දන්නං ඔළුවට.."
ඇය කාමරෙන් නික්මී ගියේ පැල් කොටේ ඉස්සරහට වී බුලත් විටක් ඒදන එතනාගේ අප්පොච්චි ලඟටයි.

"ඇහුණද ලමයින්නෙ අප්පොච්චි "
ඇය හොර හඬින් මුමුණයි.එතනාට ඇසේ යැයි ඇය තවද හඬ බාල කළාය.

"හ්ම්...???"

"මේ අපෙ හොඳට හිටිය කෙලිත් දැං දැං ලෙඩ ගන්නවා නොවැ... ඔය වයසට එනකොට ඒ ඒ දේවල් නිසිආකාරව ඉස්ට සිද්ධ නොවුණම ලෙඩ අමාරුකං එනවලු... අර අහලා එවලා තිබුණ කටයුත්ත ගැන බැලුවොත් මොකද..? අපිටත් නිවී හැනහිල්ලේ ඇහැක් පියාගන්ට වෙන්නේ කෙලීට හරි හමං ආදරයක් කැක්කුමක් තියෙන ඉලංදාරියෙකුට දුව දුන්න දවසට තමා"

කරුංකා ගෙඩියං තරං කොණ්ඩ ගැටේ ලිහා නැවත ගැටගසාගත් බංඬි ගුරා පපුව අතගාමිං පිල්කඩේ එහාටත් මෙහාටත් ඇවිදින්නට විය.
"ඒකත් හරි නං තමා... ඒත් ඔය කොලුවගෙ අම්මා මනාප වුණාට දැං දැං ඉස්සර තිබුන ඇඟෑලුං කමක් මට ඒ ඉලංදාරියාගෙං පෙනෙන්ට නෑ..අපේ එකී හිත රිදෙන දෙයක් කිවුවද දන්නෙ කවුද..? අනික ඒ කෙලී මේකට මනාපද කවුද දන්නෙ.."

ඩිංගිරා නැවත දුව නිදා සිටි කාමරයට කර පොවා ඈ අසලින් ඈදි ගත්තාය.
එතනාගේ හිස පිරිමදිමින් වහෙන් හොරෝ ඈ යමක් විමසයි.

පරණ කෙළිලොල් එතනා දැන් නැත.මේ එතනා මළානිකව ගොස් ඇත.ඇගේ මව කියූ විමසූ කිසිවක් ඈට නෑසිනි.

ඩිංගිරාගේ මූණ මලක් සේ පිපුණි..
"ඔන්න මම කිවුවේ , කෙලී කටයුත්තට මනාපයි... නිස්සද්දෙට ඉන්නෙ ලැජ්ජාවට... ඒ කාලේ මමත් ඔහොමයි.."

"ඒව නං මොකද..?"
මද සිනා පෑ බංඩි ගුරා අතීතයට සැනින් පියමං කරලීමට එය සමත් විය.

මේ අතර , 
"අම්මා,මගෙ පාඩුවෙ ඉන්ට දුන්න නං... ඔය එක එක ගෑනු ගෙනාහම ඒ පදේට තමා අම්මටත් නටන්ට වෙන්නෙ.. මේ තියෙන කුඹුරක් කරගෙන ඉමු අම්මේ.."

"අනේ පුතේ , මම දන්නවා මේ කටයුත්තට නං උඹ මනාප වෙනවා මයි. අර ඩිංගිරාගේ කෙල්ල... හරි සීදේවි එකී... අනෙ පුතේ ළපටියෙක්ගේ හිනාවක් අපේ දිහා ඇහුන කාලයක් මතක නෑ.."'"

 අදිරියන් කුඹුරු කෙටිල්ල පසෙක ලා මව දෙස බැලීය.පුදුමයකි... ම්ම්... එහෙනම් මේකයි මේ... වලව්වෙ එකා දහපදුරාවේ යනකොට තමා මේකිට ගමේ ඉන්න මාව මතක් වුණේ.

''වෙන ඕනෙ එකියක්... මට ඒකි එපා..."''

අදිරියන්ගේ මව ඔහු ගැන හොඳින් දනී.ඇය සිතුවේ මේ පණිවිඩයෙන් ඔහු සතුටින් සතුටට පත්වනු ඇතැයි කියා ය.
 "අනේ මයෙ පුතේ තව ටිකක් හිතහං.."

ඇය එතැනින් නික්මී ගියේ හිත හොඳින් නොවේ..


එතැනම ඇණ බා ගත් අදිරියන් හිතන්නට විය.
එතනා යනු එක ගොඩේ වැටී ඔහු හා සෙල්ලං බත් ඉවූ එතනා ය.වැලි බත් තනා ඔහු අතරම දුන් පුංචි කෙල්ලයි.
පිරිපුන් යොවුන් වියට එළැඹෙන ඇය ටිකිරා ගැන සිතීම අරුමයක් නොවේ... ඇය නොඉඳුල් පිපුණු කුසුමකි... 
ජීවිතේ කොතෙකුත් වැරදි කෙනෙකු අතින් විය හැකිය.

"අම්මේ...."
ඉවතට ඇඳෙන තම මවගේ දසුන නොපෙනී යාමට පෙර ඔහු ඒ දෙසට ඇඳෙන්නට විය.

සසර අගාධයෙ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැදිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්


ඔහුට එතනා සැබවින්ම ආදරය කිරීමට පෙළඹේවිද..?





ගායනය - සේනානායක වෙරැල්ලියද්ද






8 comments:

  1. meka patta... අද දවසට මේ තීම් එකෙන් අහපු තුන්වෙනි සින්දුව.. සුනිල් එදිරිසින්හයන්ගේ "කැලෑ මල් පිපී " ගීතයයි නීලා වික්‍රමසිංහයන්ගේ ගීතයකුයි සියල්ල අද ඇහුවා..

    ReplyDelete
    Replies
    1. `බොහොම ස්තූතියි...!!!
      සුනිල් එදිරිසිංහයන්ගේ ඒ ගීතය මම අහලා නෑ..අහලා බලන්න ඕනෙ..

      Delete
  2. ලස්සනයි ..........

    ReplyDelete
  3. දිගවගේම ලස්සන ආදර කතාවක්. ඒ වගේම එක හුස්මට කියෙව්වා. මං හිතන්නේ අනුරාධපුර, රාජාංගනය පැත්තේ නොඉඳුල් ගම්වල තාමත් මේ බස්වහර තියෙනවා. පියසේන කහඳගමගේ මහතාගේ කෘතිවලත් මේ ව්‍යවහාරයෙන් එන කතා බොහොමයි. එතුමගේ පොත පත ගම්බද ජීවිතය මනාව ගෙනහැර පානවා. ඉතින් මේ කතාවටත් එක පාරම හිත ගිය එක අරුමයක් නෙවෙයි.අහම්බෙන් දැක්කේ බ්ලොගය. සින්ඩිකේටර්වලට දැම්මනම් හොඳ නැද්ද.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තරංග.. මමත් පියදාස කහඳගම ශූරීන්ගේ පොත් වලට ආසයි.මේ වහරට නම් මුල් වුණේ ජයසේන ජයකොඩි ශූරීන්ගේ පොත් එකතුව.. එතුමා තමා මගේ ප්‍රියතම ලේඛකයාණෝ...
      මේ වහරට මම හරි ආසයි...

      කොහොමද සින්ඩිකේටර් වලට ඇතුල් කරන්නෙ..? මට ඒ ගැන දැනීමක් නෑ... කිසිම බ්ලොග් reader එකකටවත් මට මගේ බ්ලොග් එක ඇතුල් කර ගන්න දැනුමක් නෑ...
      ඒ ගැන උපදේශයක් දෙනවා නම් ඒක ලොකු උපකාරයක් වෙයි මට...

      Delete
  4. කතාවේ මේ කොටස විතරයි මම කියෙවුවෙ .. මොකද අයි මේ පැත්තේ ගොඩ වැදුනේ .. අනිත් දවසේ නොවරදවාම එන්නම් ... ලස්සනයි මුල පටන් හොයාගෙන කියවන්නම් .. ගැමිකමට .. කවියට ආදරය කරන මම සුළග .. මේ ඉන්නේ මම .. මම නම් බ්ලොග් වලට අලුත් .. තාම අදුනිකයි ... ජය වේවා ...
    ..http://nethukadulu.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුළං රොඳක් වෙලා මේ පැත්තට හමාගෙන ආවට.
      ඒ වගේම ස්තූතියි ගැමි කමට ආදරය කරනවට...

      ආධුනිකයි කියලා හිතන්න එපා... බ්ලොග් කරනයේ යෙදෙන අපි හැමෝම ආධුනිකව හිටියා... තාමත් ප්‍රවීණයන් මුල ආධුණිකයි.. :) මම එන්නම් ඒ පැත්තේ..:)

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...