Thursday, August 4, 2011

ලේබල්..


කලකට ඉහත ලක්දිව එක් පලාතක
ගම්බද රෝහලක නොව යම් රෝහලක
ගැබ්බර මවක් වෙලෙමින් විලිරුදාවක
සිටියා මඟබලන් බිළිඳකු වදන්නට

සුවැති මද පවන ඈ ගත වෙලාලා
වියැලුනු තුරු පතින් "සර" හඬ නඟාලා
ඈ ගත වේදනා මද මද නිවාලා
පින්බර උපතකට වටපිට සදාලා

ඈ පිය සැමියා ඒ මේ අත ඇවිදින්නේ
කැල්ඹුනු සිතක තතු දහබිඳු කියන්නේ
කුළුදුල් බිළිඳු මෙලොවට එන ඇසිල්ලේ
ඔහු නොඉවසිල්ලෙනි පෙරමඟ බලන්නේ

බොදු පවුලකට තව කැටියෙකි වඩින්නේ
උණුසුම් සුවැති කැදැල්ල ගැන සිතමින්නේ
පිය නෙත සිසිල් කඳුලකි තවන්නේ
ඔහු වත ඈත දසුනක් දැක පිපෙන්නේ

දෙළුම් අත්තකට බරදී සැදුවාවූ
පුළුන් රොදින් නිති උණුහුම් කරාවූ
කැදැල්ලකි කුරුළු මව්පිය රැඳුනාවූ
පුංචි හොට තුනකි ඉන් ඉවතට පෙනුනාවූ

ඔහු සිත එළෙස තුටුයෙන් පිම්ඹෙන අතර
ඔහු ලේ කැටි දියණි ඇත ලොකු අනතුරක
ඈලඟ සිටි තවත් බිළිඳියකගෙ අතක
නම් දෙක පැටලිලා දැවටුනි නූල් පොට

ඇය අත ෆාතිමා යැයි නමකී රැඳුන
ඇය ලඟ සිටි දැරිවි මදුෂානිය ලෙසින
මව්වරු දෙදෙනෙකුගෙ තුරුලේ සැඟවගෙන
මේ බිළිඳුන් ගියා දෙපොලක කැඳවගෙන



ජාති ආගම් කුල මල ලේබල් මේ වගේ මොහොතකට කොහොම වලංගු වේවිද....????

9 comments:

  1. ලස්සන කවි කතාවක්. නංගිට කවියෙන් කතා කියන්නත් පුලුවන් නේ.
    මට නම් කියන්න තියෙන්නේ ජාති ආගම් කියන ලේබල් මිනිස්සුන්ගේ හිත් වලින් ගලවලා දාන්න ඕනේ. මොකද ඕවා අපි එනකොට අරගෙන ආවෙත් නෑ. යනකොට අරගෙන යන්නෙත් නෑ.

    ReplyDelete
  2. කලුපාට පසුබිමකට සුදුපාට අකුරු තමයි ගොඩක් ගලපෙන්නේ. ඒ නිසා සුදු පාට අකුරු තියන්න පුලුවන් නම් ගොඩක් ස්තුතිවන්ත වෙමි !!!

    ReplyDelete
  3. ඇත්තටම සිතන්න ඕන දෙයක්.....කොහොම වෙයිද?....ළමයිනුත් දෙමව්පියනුත් නොදන්න තාක් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.....

    ReplyDelete
  4. හරිම අපූරු සිතුවුල්ලක් කවියට නගලා තියෙන්නේ.
    ඉස්සර ගැබිනි/මාතෘ වාට්ටු වල සේවය කරද්දී ලේබර් රූම් එකේ එක දිගට දරුවෝ ලැබෙද්දී අපි කෑ ගහනවා ඉක්මනින් බබාලව ටැග් කරන්න කියලා... හදිස්සියෙවත් හදිසි අවස්ථාවක් ඇවිත් සේරම ඒකට කැප වුනොත් .... අම්මලා නම් තමන්ගේ දරුවා ඔතලා තීයෙන තුවායේ පාටින් දරුවෝ මතක තියා ගන්නේ ඒක නම් වරදින්නේ නෑ මොකද මේ රෝහල් වල වෙන තුවා නෑනේ තමන් ගේන තුවාය රෙදි පිළි පමණයි.

    ReplyDelete
  5. ප්‍රාර්ථනා ගේ කවි මෙන් රස නොමැති වුවත්
    මමත් කවිකලා පෙරකල ඇසු පුවතක්

    වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬන
    ඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමක
    සොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපන
    යුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන

    අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණ
    බිය සැක ඇතිව ගෙවුනා දින සති මාස
    මව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමින
    පැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ

    මව බොදු කතකි කතෝළිකය පියා
    සිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදා
    වෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදා
    පන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා

    කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළු
    තල් අරණට ඉහළින් සඳරැස් මුකුළු
    සුවදෙන සෙනෙහෙ මිහිරෙන් හදවත් පිබිදූ
    කාලය ගෙවී දිනයක් ඇවිදින් නොසිතූ

    ත්‍රස්ත මරුන් ගම් වැදිලා හොර රහසේ
    දැන් ඇහෙනවා ළඟ ළඟ එන වෙඩි සද්දේ
    මව හඬ හඬා පොඩි පුතු ඇකයට ගත්තේ
    පියතුම කිව් පරිදි ලන්දට ගොස් සැඟවූයේ

    ඈ ගත රුහිරු පෙරදා කිරි කර සෙනෙහෙන්
    පොවමින් දැඩි කළා පුතු ආදර සයුර තරම්
    එයටම නොදෙවනිය පියතුමගේ වරුණ නිතින්
    සඟවාලූවේ මරුගෙන් පුතු ගලවාගනු අටියෙන්

    අළුයම පහන් වී පසුදින හිරු නැගෙන පැයේ
    ලේ විල් රක්ත පැහැයෙන් ඇත ගම් පියසේ
    මව හා පියා වෙඩි වැද ඇත මැදසාලේ
    පුතු තනිවෙලා කෙළෙසෙද දුක පවසන්නේ

    රණවිරු කැළම ඇවිදින් එඩියෙන් පියඹා
    ත්‍රස්ත මරුන් වනසයි දිවියද නොතකා
    සෙබළුන් ලන්ද අවටින් යනවිට කළඹා
    ඉකිගසා හඬන පුතුගේ කඳුළැලි දුටුවා

    දෝතට රැගෙන මල් වැනි මේ පුන්චි පුතා
    සෙබළ කතක් දිවගියා රතුකුරුසෙ කරා
    එහිදී රජයේ නීතිය හොඳහැටි විමසා
    දරුනැති දෙමළ මවකට පුතු භාරකලා

    මේ පුතාටත් ලේබලයක් දෙන්න පුළුවන් කාටද?

    ReplyDelete
  6. @මධුරංග අයියා : ස්තූතියි අයියා.. මම ආසයි සුදෝ සුදු පොතට ගොඩාක්... මටත් ආසයි කවියෙන් කතාවක් ලියන්න.. ඒකට ගත්ත අඹමල් රේණුවක උත්සාහයක තමා මේ.පසුබිමයි අකුරුයි දැන් හරි නේද අයියා..?

    ReplyDelete
  7. @මකුළු අයියා : කවදාහරි අම්මලා,දරුවෝ ඒ ගැන දැන ගත්තොත්..????

    ReplyDelete
  8. @අනිත්කොණ අයියා : ම්ම්... එහෙනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ.. අනික දැන් නම් මාරුවෙන්න ඉඩ කඩක් ඇත්තේම නෑලු... මේ කවි කතාව සිතුවිල්ලක් විතරයි..

    ReplyDelete
  9. @රොෂාන් : ඇස් කොනට නම් නැඟුනා පුංචි කඳූළක් මගේ...
    අපූරුයි.. හරිම අපූරුයි...
    ලේබලයක්... දෙන්නෙ තියා හිතන්නෙවත් කොහොමද..ඒ නොදරුවාට... :/

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...