Wednesday, July 6, 2011

පිඟන් කටු..

(මුතුහර පොතේ වූ කතාවක් ඇසුරෙනි)

                                 ඇනා මා දුටු පුදුමාකාරම ගැහැනියකි.ඇය තරම් සරලව ජිවිතය දෙස බලන්නට මට හැකි වූවානම් දිනයක් තුල මගේ දරුවන් මත ඇඳ හැලෙන ගිගුරුම් සහිත වැසි බොහෝසෙයින් අඩු වන්නට තිබුනා. මා ඇනා මෙන් විසීමට උත්සාහ කලද එය සිතන තරම් පහසු දෙයක් නොවේ.

                                 මගේ චූටි පුතා රොබට් අතින් අත්වැරදීමකින් මල් බඳුනක් බිඳුන ක්ෂණයෙන් මම යක්ෂාරූඩ වෙමි.ඔහුට දෙකක් ඇන්න පසු ... තරහා නිවීගිය පසු මම ඒ පිළිබඳ පසු තැවෙමි.ලොකු දුව මිෂෙල් කොතරම් පිළිවෙලට සාලය අස්පස් කලද එහි මට පමණක් දුටු පමණින් දිස් වන අඬු ලුහුඬුවක් නොපෙනුන අවස්ථාවක් නැත.

                                දරුවන්ගේ අහිංසක උත්සාහයක් අගයන ලෙසත් , ඔවුන්ගේ සුළු අතපසුවීම් ගණන් නොගන්නා ලෙසත් මගේ සැමියා ජෝන් කොතරම් කීවද මට මා වෙනස් කරගැනීමට නොහැකිවී ඇත.

මා හා ඇනා ගත් කල පොළවට අහස මෙනි.මෙසේ කීමට හේතු බොහෝමයකි. මේ ඒ එක් සිද්ධියකි.

                                දිනක් සවස තේ පානය කිරීම සඳහා ඇනාගෙන් මට ආරාධනාවක් ලැබුන අතර වෙනදා මෙන් අසල්වැසි අනෙක් ගෘහණියන් මේ සඳහා සහභාගි නොවුනි.බොහෝවිට ඔවුන්ට පොඩි දරුවන් සිටිනිසා වැඩ රාජකාරි බහුල වන්නට ඇත.

එදිනද සුපුරුදු පරිදිම ඇනා මා උණුසුම් ලෙස පිළිගත්තා ය.

"අනේ මාග්‍රට් , ඒත් මම මඟ බලං හිටියේ ඔයා මොකද පරක්කු කියලා. ඇයි අද වැඩ ගොඩ ගැහුන ද..?"

"අනේ නෑ ඇනා , ඔයා දන්නවනෙ ඉතිං ළමයින්ගේ වැඩ ගැන. එක තප්පරෙන් මුළු ගෙදරම උඩුයටිකුරු කරනවා.. අනේ මං දන්නෙ නෑ , මමම එපැයි ඕවට නැහෙන්න... ජෝන් ළමයි කරන හැම වැඩක්ම පොඩි දරුවොනේ කියලා අහක බලං ඉන්නවා අනේ... ගෙදර අස් කරලා ,රෙදි හෝදලා එළියට බහිනකොට දන්නෙම නැතුව වෙලා ගියා.."

"හි.. ඇයි මාග්‍රට්.. ඔයාට හුරුබුහුටි ලොකු දුවෙක් ඉන්නේ... මම ගොඩක් විට දැකලා තියනවා එයා හරි හරියට ඔයාට උදව් කරනවා.."

"ඔව් ඉතින්.. මිෂෙල් මට උදව් කරන්නමයි හැම වෙලේම උත්සාහ කරන්නෙ.. ඒත් එයා කරන ගොඩාක් උදව් අන්තිමට මට තියෙන වැඩත් වැඩි කරනවා ඇනා... ගෙදර අතු ගෑවත් ආයෙ බලද්දී අතුගාලා තියෙන්නෙ උඩින් පල්ලෙන්, කවිච්චි යට කුණු ඳුවිලි එහෙමම... ඉතින් කොහොමද කරන්නේ.."

ඇනා මඳක් වෙලා නිශ්ශබ්දව සිනාසුනාය.
"ඉන්නකෝ මාග්‍රට්..මම ඔයාට පුංචි කතා ටිකක් කියන්නම්... මම හිතන්නේ ඒකට හොඳම වෙලාව තමයි මේ.. එන්න අපි යමු කෑම කාමරේට,..."

                                ඇය නිවස පිළිවෙලට පිරිසිදුවට තබාගෙන සිටියා ය. නමුත් ඇයටද මා හට මෙන්න පිරිමි දරුවන් දෙදෙනෙකු හා දියණියක් සිටී.  ඔවුන්ටද නිවසක් පිළිවෙලට තබාගැනීම ගැන හොඳ අවබෝධයක් ඇතැයි මට සිතුනි.

                                 මම ඇය පිටුපසින් කෑම මේසය වෙත ඇඳුනෙමි. ගෘහ සේවිකාව අමතා යමක් කියූ ඇනා පැමිණ කෑම මේසය අසල හිඳ ගත්තා ය. එවෙලේම කොහෙදෝ සිට පැමිණි ඇනාගේ චූටි දුව රොසෙල් ඇගේ ඇකයේ හිඳ ගත්තා ය.

"රොසෙල් දුව , ඔයා ගිහින් අයියලත් එක්ක සෙල්ලම් කරන්න... වැඩිහිටියන්ගේ කතා වලට පුංචි ඈයො ඇහුම්කන් දෙන්න හොඳ නෑ."
මම පුංචි රොසෙල් දෙස බලා කීවෙමි.

"අනේ ඔහේ හිටියාවයි මාග්‍රට්... ඔක්කොම වැඩ ඉවරකරලා මං දැං මගෙ පැටව් ආශ්‍රය කරන්න වෙලාවක් හදා ගත්තා විතරයි.."

"හරි..හරි.. ඔයා කැමති නම් ප්‍රශ්නයක් නෑ..."
මම සිනාමුසු මුහුණින් කීවෙමි.

"කෝ දැන් ඔයාගෙ කතා ..?"
මම නොඉවසිලිමත් වෙමී.ඇය සතු කතා බොහෝ ඒවා ඇත්ත කතාය.

"අහ්... ඔව්මයි.මට තව ටිකෙන් අමතක වෙනවා.ජෝජ්...... ලොකු පුතා..., ඔය පොත් රාක්කෙ උඩ තියන වීදුරු පෙට්ටිය අරං එන්න.."

ජෝජ් ක්ෂණයෙන් තරමක් විශාල වටිනා යැයි හැඟෙන වීදුරු බඳුනක් රැඟෙන ආවේ ය.එය විනිවිද පෙනෙන නිසා ඒ තුල වූ දෑ මට මොහොතෙන් දිස් විය.

"අහ්..!!!!"
                                 ඒ තුල වූ දෑ දුටු මා පුදුමයෙන් පුදුමයට පත් වුනෙමි. ඒ තුල වූයෙ එවන් වටිනා බඳුනකට කෙසේවත් නොගැලපෙන කැඩුනු පිඟන් කටු සමූහයකි. වඩාත් ලංව බැලූ කල ඒ තුල වූ පිඟන් කටු එකිනෙකට වෙනස් බඳුන් වලට අයත්ව තිබූ ඒවා බවත් ... එතැන පිඟන් කටු 5 , 6 කට වඩා නැති බවත් දිස් විය..

"පුදුම වෙන්න එපා මාග්‍රට්, මේ තමා මගේ ජිවිතේ වටිනාම වස්තු කීපය.. ඔයා හිතයි මේ පිඟන් කටු වටිනාම දෑ කියන්න තරම් මට ඔල්මාදේ හැදිලද කියල..( ඇත්තටම මට ඒ වෙලේ එවැන්නක් සිතුනි..) නෑ මාග්‍රට්... 

ඔය මේරි ගෙනාව ඉඟුරු විස්කෝතු එක්ක කිරි කෝපි තොලගාන ගමන් මේ කතා දෙක අහන්නකෝ.."
                                  එසේ කියමින් ඇය ප්‍රවේශමෙන් බඳුන විවෘතකර එහි උඩින්ම වූ සුදු පාට ,රත්‍රන් පාටින් වැඩදැමූ පිඟානක කොටසක් යැයි සිතියහැකි කොටසක් ඉවතට ගත්තාය.ඒ දෙස ඈ බලා හිටියේ හදපිරි ස්නේහ බැල්මකිනි.

මේ අතර මේරි ගෙනා විස්කෝතුවක රසබැලූ මා හෙමිහිට කෝපි කෝප්පය අතට ගත්තෙමි.

"මට මගේ ලොකු පුතා ජෝජ් හම්බුනේ ගොඩාක්ම තරුණ කාලේ.. ඉතින් ඒ පැංචා ඉපදිලා අවුරුදු හතරක් ගතවෙනකොට තවත් සාමාජිකයෙක් අපේ පවුලට එකතු වෙන්න ලෑස්තිවුනා..

දෙවනි පුතා ඇන්ඩෲ ඉපදෙන කාලේ ලං වෙනකොට නොදැනීම ජෝජ් පුතාට අපෙන් තිබුන අවධානය ගිලිහිලා යන්න පටන් ගත්තා.. ඒත් පුංචි ජෝජ් ඒ කිසි දේකින් තරහ ගත්තේ හෝ දඟ කරේ නෑ... 

හ්ම්ම්... අපි දෙන්නා පුංචි ඇන්ඩෲ ගෙදරට එක්කන් එන දවසේ ජෝජ් අපිට හොරෙන් ලොකු වැඩක් කරලා...

අපි ගෙදරට ගොඩ වෙනකොටම ස්ලාම්....!!!!... ගාලා ලොකු සද්දයක් ඇහුනා. මටත් කලින් කලබලෙන් රිචඩ් ( ඇනාගේ සැමියා) ගේ ඇතුලට දිවුවා...

මම පොඩි අත දරුවත් වඩාගෙන ඇතුලට යන්න තප්පර කීපයක් පරක්කු වුනා. මම ගෙදරට ගොඩ වෙනකොට රිචඩ් ජෝජ්ව තුරුලු කරන් .... මුළු සාලෙ පුරාම පිඟානක් බිදිලා විසිරිලා ගිය නටඹුන්... 

මම ක්ෂණයෙන් බැලුවේ ජෝජ්ගේ මූණ දිහා... එයා හොඳටම බයවෙලා මූණ බෙරි කරන් හිටියේ.."

"අනේ ඇනා.. ඔය වගේ වෙලාවක මම නං..... දෙවියනේ හොඳ පිඟන් කට්ටලයක් මේ කාලේ හැටියට කොච්චර වටිනවද..?"
මම කතාවට මදක් බාධා කලෙමි.

ඇය නිසංසලව මා දෙස බලා සිනාසුනා ය.

"නෑ මාග්‍රට්.. එතනදි ඔයා වැරදී. එදා පුංචි පෝප් එයාගෙ මල්ලිව පිළිගන්න කෑම මේසෙ ලෑස්ති කරන්න ගිහින්.. අපි ආව නිසා කලබල වෙලා එයා අතින් පිඟානක් බිම වැටිලා.. ඒ මම ආසම කරපු පිඟන් කට්ටයයෙන් එකක් තමයි... ඒත් මම ඒ වෙලාවෙ මගෙ ලොකු පුතාට බැන්නා නම්.. සැර කරානම්... 
(ඇය මඳක් නිහඬව සිටියා ය)
ම්හ්..නැහැ... මාග්‍රට්.. එහෙම වුනානම් පුතා මල්ලිට වයිර කරන්න තිබුනා.. ආයෙත් කිසිම හොඳ වැඩකට උනන්දු නොවෙන්න තිබුනා... 

ඒ වෙනුවට එදා රෑ රිචඩ් අපිට අවන්හලකින් විශේෂ කෑම වේලක් සූදානම් කරා... එහි මේසෙ මෙහෙම ලියලා තිබුනා..

   "එක සැනින් ලොකු අයියා කෙනෙකු වූ පුංචි ජෝජ්ට අම්මාගේ,තාත්තාගේ සහ මල්ලීගේ සුභ පැතුම්!"... 
ඒ දැක්ක පෝප්ගේ මූනෙ ඇඳුන ලස්සන හිනාව... මට අද වගේ මතකයි..
අන්න.. එදා කුඩු වුන පිඟානේ කෑල්ලක් තමයි මේ... "

"ඇත්තමයි ඇනා.. මට නම් ඔයා වගේ වෙන්න හිතන්නවත් බැරි වෙයිද මංදා...."
මට මා ගැනම ඇතිවූයේ පසුතැවිල්ලකි.

"නෑ..නෑ  මාග්‍රට්.. මේ කතාවත් අහලම ඉන්නකෝ..."

එසේ කි‍යූ ඇනාගේ වතට නැගුනේ ප්‍රේමාන්විත මදහසකි. ඇය විදුරු බඳුනෙන් ඊලඟට ඉවතට ගත්තේ තේ කෝප්පයක කොටසක් යැයි සිතිය හැක්කකි. එය නම් එතරම් වටිනාකමක් ඇති එකක් යැයි නොපෙනුනි...

මේ කතාව කුමක් විය හැකිද..?  
මම කල්පනා කලෙමි.

"හ්ම්... එදා තමයි මගේ ජිවිතේ සතුටුම දවස..

හරිම වැස්ස.. ඒත් ඔන්න මං බලන්න මනමාලයෙක් එනවා කියලා අම්මා කිවුවා.. එයා මගේ සොහොයුරාගේ  මිතුරෙක්.. "

"ඇනා...????"

"ඇයි මාග්‍රට්..?"

"පුංචි දරුවෙක් ඉස්සරහ කියන කතා.."

"අහ්.. ඇයි මම නරක දෙයක් කිවුවද..? ඒක හරියට සුරංගනා කතාවක් වගෙයි නේද රොසෙල්..?.."
ඇය කුඩා දියණියගෙන් ඇසුවාය. රොසෙල්ද සීයට සීයක් හිස වනයි.. අනේ රටකට ගිය කල.... මම සිතුවෙමි.

ඇනා යලිත් කතාවට පිවිසුනා ය.
"ඔන්න ඉතින්... එයා ආවා...  අම්මා මගේ අතට බන්දේසියක් දුන්නා තේ කෝප්ප පීරිසි ගොඩක් තිබුන.

මම ඇවිත් යැතැන හිටිය එකින් එක්කෙනාට තේ පිළිගැන්නුවා.. ඒ අතරේ හොරැහෙන් බැලුවා මනමාලයා කොහොමද කියලා... හි.."

"ඇනා.. මේකේ සීමාවක් තියෙන්න ඕනෙ.. "
ඔයා මෙතන උකුළු මුකුළු කතා කියනවා දූ ඉස්සරහ..  "

"ටිකක් ඉන්න මාග්‍රට්.. ලස්සනම කොටස තාම මඟ..."

"හොඳයි හොඳයි.. කියන්න කියන්න.."
මට තිබුනේ කතාව අසා ගැනීමට නොඉවසිල්ලකි.

"ඉතින් ඔන්න මම දැක්කා රිචඩ් මම දිහා බලං ඉන්නවා.. ඔන්න මම තේ බන්දෙසිය අරං එයා ලඟට යනවා... හම්මේ... ඔයාට කියන්න මාග්‍රට්,මගෙ කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තා... :):)..^_^..

ඉතින් ඔහොම ගිහින් තේ කෝප්පෙ පිළිගන්වනකොටම මගේ ඇස් දෙක දිහා බලන් රිචඩ් එක පාරටම ඇහුවා..

"මම ඔයාට කැමතී.... ඔයා මාව බඳින්න කැමතිද කියලා.."

මම වෙවුලලා ගියා..මගෙ අතින් තේ බන්දේසිය අත ඇරුනා... තේ සාලෙ පුරාම එලලා තිබුන බුමුතුරුණු වල විසිරුණා.. තේ කෝප්පෙයි පීරිසියයි.. කෑලි කෑලි වලට කැඩුනා.."

"අම්මේ.. හරිනං එතනින්ම මඟුල් කටුගෑවෙනවා.."
මට කියවුනි.

"කටුගෑවෙන්න තාම මෙතන මඟුල් කතාවක් වුනේ නෑනෙ මාග්‍රට්... 
ඉතින් මම ගොඩාක් බය වුනා. හදිස්සියට හදිස්සියට බිම වැටිලා තිබුන පිඟන් කෑලි එකතු කරන් පුළුවන් තරම් ඉක්මනට කෑම කාමරේට ගිහින් හැංඟුනා.. හැංඟිලා ඇති තරම් ඇඬුවා.. මම හිතුවේ එතරම් නොසැලකිළිමත් ගෑනු ළමයෙකුට රිචඩ් කැමති වෙන්නෙ නැති වෙයි කියලා...

ඒත් මම වැරදී..

සතියකට පස්සේ දවසක මගේ සොයුරා එයාගේ මිතුරන්ට සාදයක් පැවැත්වුවා. රිචඩ් එදා කළුවර මැදින් ආවේ අශ්වයා පිටින්.. එදා නම් මට එයාව පෙනුනේ තව තවත් කඩවසම් විදිහට..මම හිතින් දුක් වුනා.. එළියටවත් නෑවිත් හිටියා...  "

"අනේ..ඉතින්... ඊට පස්සේ...?"
මගේ බාධා කිරීම් වල නිමක් නැත.

"ඒත් අම්මා මට ,චීස් තවරලා හැම් මැදි කරපු පාන් පෙති පුරවපු ලොකු පිඟානක් ඔවුන්(මිතුරන්) සඳහා සූදානම් කරලා තිබුන කෑම මේසෙ ගිහින් තියන්න කිවුවා... 

අහ්... කියන්න අමතක වුනා.. එදා අර බිම වැටුන පිඟන් කෑල්ලක් මම තියාගත්තා රිචඩ් මතක් වෙන්න... 

ඉතින් ඒ වෙනකොටත් ඒක මම මගේ ඒප්‍රන් එකේ සාක්කුවක දාගෙන හිටියා.

අපේ කෑම කාමරේට කුස්සියේ ඉඳන් යන්න තියෙන්නෙ දිග කොරිඩෝවක් දිගේ.. ඉතින් මම ඒ දිගේ කෑම කාමරේට ගිහින් පිඟාන තියලා හැඳි ගෑරුප්පු සකස් කරලා ආයෙත් එන්න හැරුනා..

"ඇනා... ටිකක් නවතින්න.."

දෙවියනේ ඒ රිචඩ්... මම හිටපු තැනම නැවතුනා..නිකම් ගල්ගැහුනා වගේ... 

"ඇනා... ඔයා මගේ ප්‍රශ්නෙට දෙන උත්තරේ ගැන හිතුවද..?"

ඔහු ඇහුවා.

ඔයා මං දිහා බලං ඉන්න තරම්ම පුදුමෙන් මම එදා රිචඩ් දිහා බැලුවා..විශ්වාස කරන්න මාග්‍රට් එයාගේ අතේ තිබුනේ මොකක්ද කියලා..."

"ම්ම්.. අනිවාර්යෙන්ම ලස්සන රතු රොස මලක්... නැත්තම්... නැත්තම් ආමන්ඩ් රසකවපු ක්‍රීම් වට කරපු රසම රස චොක්ලට් කප් කේක් එකක්.."

"අනේ නෑ මාග්‍රට්... එයා අතේ තිබුනේ කැඩිච්ච පිඟන් කෑල්ලක්.. ඇත්තටම කිවුවොත් තේ කෝප්ප කෑල්ලක්.. "

අනේ ඔයා පව් ඇනා.. ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති..."
මට එහෙම වුනා නම් කියලා මම හිතුවා...

"මොන බොරුද මාග්‍රට්... මගේ සතුටට ඇස් වලට කඳුළු ඉනුවා... ඒ කඳුළු හද එළියට ලස්සනට දිලිසුනාලු.. ඒ ගැන රිචඩ් ලස්සන කවියකුත් මට ලියලා දුන්නා... විවාහය දවසේ...^_^.."

කතාව මදකට නැවැත් වූ ඇනා රොසෙල්ට ඇගේ ආභරණ පෙට්ටිය රැගෙන එන්නැයි කීවා..

                                   ඇනා එවර රිචඩ් තිළිණකල අළුත්ම මුතුමාලයක්වත් මට පෙන්නන්නට යනවා යන්නෙයි කිසිදු සැකයක් මට නොවීය.සතියකට දෙකකට වරක් අසල්වැසි අනෙක් මිතුරියන්ගේ නිවෙස් වලට එකතුවූ විටද ඔවුන්ගේ එකම වැඩේ අළුතින්ම ගත් ආභරණ ගැන විස්තර විචාරීමය.

                                   මේ අතර රොසෙල් හුරුබුහුටි ඕවලාකාර පියනකින් යුතු ආභරණ පෙට්ටියක් රැඟෙන ආවාය. එය විවෘත කල ඇනා ඉන් ඉවතට ගත්තේ මා කෙසේවත් විශ්වාස කල දෙයක් නොවේ.. එය තවත් පිඟන් කෑල්ලකි.. හොඳින් බැලූවිට මෙවර මට වැටහී ගියේ මෙය කලින් විදුරු පෙට්ටියෙන් ගත් තේ කෝප්ප කෑල්ල වර්ගයේම එකක් බවයි.

ඒ කැබලි දෙක අතට ගත් ඇනා..

"දන්නවද මාග්‍රට් අපේ දෙවන හමුවේ සිදුවුන ලස්සනම දේ,,,? මේ විදිහට අපි දෙන්නා අපි ලඟ තිබුන පිඟන් කෑලි දෙක එකිනෙකට ලං කලාම ඒවා එක මායිමකදී හොඳින් පෑහුනා.. හොඳට ගැලපුනා.. ඒ දැක්ක මට හොඳටම හිනා.. මම ඇති වෙනකම් හිනාවුනා.. රිචඩ් පුදුමෙන් බලන් හිටියා.. ඔහු හිතුවේ මම උමතුවෙලා කියලා... ඔහු පසුව කිවුවා.. අපේ මුල්ම හමුවෙදි බිමට වැටුන තේ කෝප්ප කැබැල්ලක්.. ඔහු කාටවත් නොපෙනෙන්න කබා සාක්කුවට දමා ගත් වග.."

"හ්ම්... ඇනා.. ඔයා අදත් මාව පුදුමයට පත් කරා,.. ස්තූතියි.. ඒ වගේම ඔයාගේ ඉඟුරු විස්කෝතුයි... කිරි කෝපි එකයි.. ඉස්තරම්.."

"සුළු දෙයක් මාග්‍රට්.... ජීවිතේ අපිට සතුටු වෙන්න..., වටිනා කමක් දෙන්න... අවශ්‍ය වෙන්නෙ සිතුවිලි විතරයි...  පිඟන් කැබැල්ලකටත් අර්ථයක්  ගෙනහැර පෙන්නන්න පුළුවන් වුනා නම්... තව කවර කතා ද..?"


ඇය ජිවිතේ කොතරම් සුළු දේවල් වලින් තෘප්තිමත් වන කාන්තාවක්දැයි මට සිතුනි..



ඇනාගේ තවත් ඇත්ත කතාවක් සමඟ යලිත් හමු වෙමු.

8 comments:

  1. මේ කතාවේ මම පොඩි විශේෂයක් දැක්කා. හැමෝම තමන්ව වැඩියෙන් හොඳ කෙනාගේ චරිතෙට ආරූඩ කරගන්න හදනකොට ඔයා ඔයාව අරගෙන තියන්නේ වැරදි මත දරන කෙනාගේ චරිතෙට.

    හැබැයි මේ කතාවේ චරිත වල නම් ටික සිංහල උන්නානම් මීට වැඩිය හිතට වදියි කියලයි මට හිතෙන්නේ....(මගේ මෝඩ අදහසක්)

    හරිම අපූරු කතාවක්!

    ReplyDelete
  2. අපූරුයි අපූරුයි! ලස්සනට ලියලා තියෙනවා ප්‍රාර්ථනා

    ReplyDelete
  3. ෆට්ටාz... වහාම බිඳුනු පිගන් කෑලි ටිකක් හොයාගන්න ඕනා... [ඊයෙත් ටුටුවා(අෆේ ෆූසා) පිගානක් බින්දනේ]

    ReplyDelete
  4. අති විශිෂ්ටයි !!!!! කතාව නම් මාරම ලස්සනයි. ඉස්සර අපේ අප්පච්චිත් අපි කෝප්ප එහෙම බින්දම බනින්නේ නෑ. බිදුන බදුන ආයෙම හැදෙන්නේ නෑනේ.

    ReplyDelete
  5. හරිම ලස්සන කතාවක්... වෙනස්ම විදිහකට හිතපු සිතුවිල්ලක් ප්‍රාර්ථනා...

    ReplyDelete
  6. නියම කතාවක් නංගී....අතිවිශිෂ්ඨයි!....

    ReplyDelete
  7. ගොඩක්ම ලස්සන පෝස්ට් එකක් නංගියෝ. කතාවත් ලස්සනයි, ආදර්ශය ඊට වඩා ලස්සනයි. ඇත්තමයි.

    අම්මල තාත්තල අතින් නොහිතා වෙන වැරද්දක් තමයි, දරවන්ගෙ අතින් අත්වැරදීමක් වුනාම බනින එක. උදව්වක් කරන්න ගියත් පොඩි හරි වැරද්දක් වුන ගමන් පොඩි එකාව කන්න හදනව. එහෙම වුනාම පොඩි අය ගොඩක් මානසිකව වැටෙනව. ඒ ආදරේ නැතුව නෙමෙයි, අම්මල තාත්තලගෙ නොතේරුම්කම.

    අනිත් දේ තමයි සමහර අම්මල තාත්තල දරවන්ගෙ සතුටට වඩා බලන්නෙ භෞතික සම්පත් ගැන. පොඩි එකා සෙල්ලම් කරල ගෙදර බඩුවක් කැඩුනොත් එදාට ඌ ඉවරයි. මෙහෙම හිතන්නකො, හොඳට චිත්‍ර අඳින්න පුලුවන් පොඩි දරුවෙක් ගෙදර බිත්තියේ පැස්ටල් එකකින් චිත්‍රයක් අඳිනවා. අම්ම හරි තාත්ත හරි ඕක දැකල පොඩි එකාට බැන්නොත් හරි ගැහුවොත් හරි මොකක් වෙයිද? ඒ පොඩි එකා කොච්චර මානසිකව වැටෙයිද? සමහර විට ආයෙත් කවදාවත් චිත්‍රයක් අඳින එකක් නෑ. එහෙම නැතුව, ඒ චිත්‍රය අගය කරල, ඊලඟ දවසෙ පොඩි එකාට චිත්‍ර පොතක් ගෙනත් දීල, පුතේ බිත්තියේ අඳින්නෙ නැතුව අනිත් දවසෙ මේ පොතේ අඳින්න කියල ආදරෙන් කිව්වොත් ඒක ඊට වඩා කොච්චර හොඳද.

    හැමතිස්සෙම දඬුවම් කරල දරුවො හදන්න ඕන කියන මතේ ඉන්න එක ගොඩක් වැරදියි. දඬුවම් කරල කියල දෙන්න බැරි ගොඩක් දේවල් ආදරෙන් කියල දෙන්න පුලුවන්.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...