Monday, May 2, 2011

වටී වටී ඔබ මටම වටී..



                               ලංකාවෙන් පිට එකම එක වතාවක් විතරක් කරක් ගහපු මට ලංකාව ලෝකෙ හොඳම රට කියන්න තරම් හරි අයිතියක්,සාධාරණ හේතුවක් තියනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්.. ඒත් ඇත්ත නම් මට දැනෙන විදිහට,මම අහපු දැකපු විදිහට ..මගේ රට ලංකාව තමයි හොඳම රට ..මට..

                                 අපේ මිනිස්සුන්ට ගොඩාක් මිල මුදල් නැතිවෙන්න පුළුවන්.. අමු ගොඩේ එවුන් වගේ පේන්න පුළුවන්... ඒත් ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියන ලෙන්ගතුකම අපිට පිට කිසිම දේස දීපංකරයකින් බලාපොරොත්තු වෙන්ඩ බෑ.. ඒ.. අපි ශ්‍රී ලාංකිකයෝ නිසා..

                                 ලංකාවේ අපි,ලෝකෙ ප්‍රසිද්ධ.. රණකාමියෝ හැටියටයි.. අතීතය චුට්ටක් හාරා ඇවිස්සුවොත් අපිට ඒ බව හොඳට පේනවා.. යම් ජාතියක් අපිව පාගන්නට හැදුවොත් ඒ හැම මොහොතකම කැරැල්ලක් විදිහට නැගී ඉඳලා කොහොමහරි ඔවුන් පරාද කරන්න අපිට පුළුවන් වෙලා තියනවා.. ඒ අපේ ඇගේ දුවන්නේ ලාංකික ලේ නිසා..

                                 හෝඩියේ ඉඳන්.. 13 වසර දක්වා,නිලඇඳුම්,පොත්පත්.."නොමිලේ.."

                                 විශ්වවිද්‍යාල ඉගෙනුමට එක් ශිෂයෙකුට ලක්ෂ ගණනින් "අපේ රට" අපිට වැය කරනවා.. ඒත් ලෝකෙ වෙන කිසිම රටක එහෙම නෑ.. ඒ අපි ශ්‍රී ලාංකිකයෝ නිසා.. "අපි සාපේක්ෂව වෙනස්.."

                                 පිටරට වල පදිංචිවෙලා ඉන්න... ඒත්  දතක් ගලවගන්න ලංකාවටම එන ශ්‍රී ලාංකිකයෝ එමටයි.. ඇමරිකාව,එංගලන්තේ වගේ රටවල අනිවාර්යෙන් රෝහලකින් බෙහෙත් ගන්න රක්ෂණයක් අවශ්‍යයි.. ඒ රක්ෂනය මිල අධිකයි.. දරන්න බැරි තරම්..  දතක් ගලවන්න පවා රු.13,000 පමණ වැයවෙනවා"ලු".. එහෙ ඉද්දී පිලිකාවකින් පෙලුනත්.. රෝහලකට නොයා පැනඩෝල් වැනි වේදනානාශක පාවිච්චි කරමින් හිටිය අන්කල් කෙනෙක් ගැන මට අහන්න ලැබුනා.. අපේ රටේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය පහසුකම් වල වටිනාකම දැනෙන්නේ එතකොටයි.. 

                                ලංකාව ලස්සනයි.. එක දිනයක් ඇතුලත "මුහුදු වෙරලක්.." , " වියලි කාෂ්ඨක ප්‍රදේශයක්" , "සීතල දේශගුණයක්".. ,"කඳු මුදුනක්".. දැකබලා විදගන්න පුළුවන් අපේ රට... වටින්න ඕනෙ පිට අයට නෙවේ අපිටමයි..

                                සංස්කෘති කීයක උත්සව සිරිත්විරිත් අපි අත්දකිනවාද..? ඒක කොච්චර සුන්දර අද්දැකීමක්ද..? ලංකාවේ අපි ඔක්කොම ඉන්ඩ ඕනෙ.. එතකොට තමයි මේ රට තවත් ලස්සන..

                                අපි රණ්ඩුකර ගන්නවා... ඒත් සතුටින් සාමයෙන් ඉන්නවා.. 

                                 අපේ භාණ්ඩාගාරේ සල්ලි ගොඩාරියක් නෑ.. රත්තරං ගොඩාරියක් නෑ.. එන්න එන්නම රුපියල පා වෙනවා තමයි... අපි ඉල්ලීම් වෙනුවෙන් කෑ ගහනවා තමයි....ඒත්.. අපි ලංකාවේ මිනිස්සූ..

                                එක දෙයක්... හැමෝම,මේ "මගේ රට" කියලා හිතනවා නම්.... කෝලා බීලා ප්ලාස්ටික් කෝප්පෙ අයිනකට විසිනොකර... අයිස් පැකට් එකක් කාලා පොලිතින් කොලේ අයිනකර විසි නොකර..  වැඩක් කරගන්න මනුස්සයෙන් කාර්යාලයට ආවම එයාව රස්තියාදු නොකර... අනික් ය විවේචනය කර කර නොඉඳ තමන් ගැනම වැඩිපුර හොයාබලල... 

දෑසඟින් රිංඟා 
ගැලූ කඳුලු ගංඟා
සිසිල් සුවය ගන්වා 
මගේ උවන දෙව් දා
නමා දෙදණ නංවා 
දෑත් හිස ගන්වා
වලාකුළු ගොන්නේ 
දුර ඈත ඇඳුනේ


රටා නෙක හැඩදැමූ නිල්වනින් සාර කෙත්
ඇඟිලි තුඩටත් වඩා කුඩා ගම්මාන රැස්
සාර සරුසාර ගොමු කිරිමුහුද හාදු දුන්
වත ගුවන් තලයෙ ලා උඳුරගති මගේ මන්


ගොඩබටිමි සුරපුරක නෙත් මුලා කල ලෙසකි
විසුව මුත් සත් දිනක් සිනහවක් නොම ලදිමි
සුදු සමින් යුත් දනන් අතර මංමුලා විමි
හොඳ සිනහවක රසත් රඟත් හොඳ හැටි දැනුනි

 කොන්ක්‍රීට් පිළිම මුල 
සෙල් පිලිම මැවුනු හැටි
පාට ලෝකයක් තුල 
කෙතේ සිරි නොදුටු හැටි
වැටුනු වැහි පොදකවත් 
නැවුම් සුවඳක් නොරැඳි
සරුව පිත්තල ලොවක 
"අපේ කම" නොපැතු හැටි


නොදන් දන හුඟක් මැද බිඳක් දන්නා දනන්
හොඳින් අඳුනන ලෙසින් පා සුහද සිනා රන්
අපේ බැව් පෑ හෙයින් නිසා උන් අපේ එවුන්
නොදන්නා රටේ අප නොවුනි මංමුලාවන්


ඇඟිලි මම ගැන්නේ දමා යන්න පෙර දිනක
දැනුදු මම ගණුමි දමා එන්න මුලා රට
පැමිණ සිප ගන්නේ ලක් මවුනි නුඹ සොඳුරු වත
යන්න නොම යන්නේ නොවැයි මෙය මගේ රට


ලෝකෙ හැම රටක්ම හොඳයි,ලස්සනයි... ඒත් මගේ රට,ලංකාව නම්.... වටී..වටී ඔබ මටම වටී... !!!
 
                      

ලාංකික අපි "වෙනස්".. ඒකට හේතුව තමයි... අඳුරු සමට යටින්... අපේ එවුන්ට ලස්සන හදවත් ටිකක් ලැබිලා තියන නිසා...

26 comments:

  1. නියම ලිපියක් නංගි. මටත් අපේ රට තරම් වටින රටක් වෙන නෑ. අපේ කැම්පස් එකේ ඉගෙන ගන්න සමහරු පිටරට පදිංචියට යනවා. මට එවුන් දැක්කම මාරම කේන්තියක් යන්නේ. ඇයි හත් ඉලව්වේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේම ඉගෙන ගෙන පිටරටවල් වලට කබුරන්න යන්නේ !!!!!!

    අපේ රටේ ගිනිකදු නෑ, භූමි කම්පා නෑ, දරුණු සුලි සුලං, කාන්තාර, හිම කුණාටු නෑ. හැම අතින්ම සුන්දර දිවයිනක් මේක. ඊටත් වඩා අපේ දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න උතුම් ම දිවයිනක් මේක !!!!!

    බුදු හාමුදුරුවොත් තුන්පාරක්ම වැඩිය පුණ්‍ය භූමියක් මේක !!!!

    ReplyDelete
  2. ඔයා කියන කතාව 100% ක් ඇත්ත නංගී...... පිට රටකට ගියහම තමා තමන්ගෙ රටේ අගේ තේරෙන්නෙ..........

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම නංගී...අපේ රට තරම් හොඳ රටක් මේ ලෝකේ කොහේවත් නෑ....හැබැයි අවාසනාවට වගේ අද රටේ ඉන්න සමහරුන්ට ඒක තේරෙන්නේ නෑ.නමට ශ්‍රී ලාංකිකයෙක් වෙනවා වෙනුවට හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච කෙනෙක්ට විතරයි ඒක තේරෙන්නේ.

    ReplyDelete
  4. ලොවෙත් මේක නං එල​...........

    ReplyDelete
  5. වටිනාම වටිනාම වටිනාම වටිනාම වටිනාම ලිපියක් නංගි. ඔයාගෙ කතාව සම්පූර්ණයෙන්ම නිවැරදයි. අනිත් ර‍ටවල් අත‍රේ ලංකාව බොහෝ පැති වලින් ජීවත් වෙන්න පහසු රටක්. පොඩි පොඩි අවුල් නැතුවාම නෙවෙයි. ඒ හැම දෙයක්ම ඉතින් මිනිස්සුන්ගෙ වැරදි තමා නැතුව රටේ නෙවෙයි.

    ReplyDelete
  6. 100% lක් එකඟයි.

    මොන 13000ක් ද මෙහෙ දතක් ගලවන්න 40 000 + යනවා...
    ගාන ඇහුවහට නිකන්ම දත් ගැලවෙනවා

    ReplyDelete
  7. ඔයා ලියපු දේ සම්පූර්ණ ඇත්ත නංගී.. අපිට ඒ වෙනස ගොඩාක් දැනෙනවා අපි ලංකාවෙන් පිට ඉන්න නිසා..

    ReplyDelete
  8. ඔබ දුටු මේ ලස්සන පාට හීනයෙන් අවදි වූ මොහොතක මේ ගැනත් සිතන්න. සෞඛ්‍යය අධ්‍යාපනය නොමිලේ දීම සඳහා මුදල් කොහෙන්ද එන්නේ? මුදල් මැවිය නොහැක මේ දේවල් නොමිලේ දීම සඳහා වැයවන හැම සතයක්ම කවුරුන් හෝ දහඩිය මහන්සියෙන් හම්බ කල යුතුයි නේද?ලස්සන හදවත් ඇති මිනිසුන් වීම යනු අනුන්ගෙන් යැපීමද? නිකම් කෑම ආඩම්බරයක් වුනු ලස්සන හදවත් ඇති මිනිසුන් සිටින රටවල් නම් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ නංගියේ...

    ReplyDelete
  9. ඕක ඉතින් මේ රටේ ඉන්න සමහර ගොබ්බයන්ට තේරෙන්නෙ නැති එකයි වරද ....

    ReplyDelete
  10. @මාලන් මල්ලී : බොහොම ස්තූතියි මල්ලී..^_^

    ReplyDelete
  11. @මධුරංග අයියා : රට පදිංචියට යන එක එයාලගෙ කැමැත්තනේ අයියා. එක එක්කෙනා ලංකාව දිහා බලන විදිහ වෙනස් ඇති.. සමහරුන්ට ලංකාව හොඳ නැතුව ඇති.. මිනිස්සු විවිධාකරයි නේ..

    හ්ම්... ස්තූතියි ඔයාගෙ කොමෙන්ටුවට..!!!

    ReplyDelete
  12. @කල්හාර අයියා : ඒක නම් ඇත්ත වෙන්න ඕනෙ.. (ඇත්ත තමයි..) ස්තූතියි අය්යා කොමෙන්ටුවට..!!

    ReplyDelete
  13. @අනුරාධ අයියා : ඔව්.. අපේ රටටත් + හා - පැත්තට කරුණු තියනවා.. අපි ඒ හැමදේම + කරගත යුතුයි මිසක්.. පිටරටවලට ආවඩලා වැඩක් නෑ.නේද..?

    ReplyDelete
  14. @තාරක මල්ලී : ඔහ්..!!! ඇත්තද..? අපේ සාක්කුවටත් සැප "ලකාවේ ගාස්තු" තමා.. සාපේක්ෂව නේද..?

    ReplyDelete
  15. @දිනේෂ් අයියා : හ්ම්.. ඔයාලට ඒ දේ හොඳට දැනෙනවාඅ ඇති.. අපිටත් නොකිවුවට මොකෝ.. ලංකාව සමානා අපේ ප්‍රාණේ..:)

    ReplyDelete
  16. @Kevin අයියා : ම්ම්.. සමහර විට මම දකින්නේ ලස්සන හීනයක් වෙන්න ඇති.. හීන කියන්නේ යථාර්තයේ ළං වෙන්න අමාරු දේවල්.. පිටරටක දුප්පත් ළමයෙකුට "ඉගෙනීම" හීනයක් වෙන්න පුළුවන්.. ඒ නිසා ඔවුන්ට ලඟා වෙන්න බැරි ඒ යථාර්තය.. ඔවුන්ට සාපේක්ෂව මා දකින හීනයක් තමා..
    රටක භාණ්ඩාගාරයට එකතුවෙන සල්ලි කියන්නෙ ඒ රටේ හැම මනුස්සයටම අයිති සල්ලී.. අපේ රටේ නම් සංචාරක ව්‍යාපාරයේ ඉදන් ගෘහසේවිකාවක් දක්වාත්.. ඊට අමතරව රැකියා නියුතු සෑම සියළු දෙනා උපයාගන්නා මුදල තමයි ඒ රටේ "සල්ලී' කියන්නේ..
    අපේ රටේ අපේ දෙමාපියන් ඇතුළු සියළුදෙනා උපයන මුදලින්..බදු මුදල් වලින් තමයි අපි ඉගෙනගන්නේ.. ඒ "පිට මිනිස්සුන්ගේ" සල්ලි නෙවේ.. අපේ මිනිස්සුන්ගේ සල්ලී.. කරන ආයෝජනයක්.. අනාගතය වෙනුවෙන්..
    අනුන්ගෙන් යැපීම කියන්නේ ඕකට නෙවේ අයියා.. සැබවින්ම මේ ආයෝජනයක්..
    කෙනෙක්ට කරන ඒ ආයෝජනයේ ප්‍රතිලාභ ලංකාවටම ලැබෙයි කියලා තමයි ඒකේ බලාපොරොත්තුව.. ඒක එහෙම වෙනවා නම් හොදයි.. එහෙම නැතිවුනත් කරන්න දෙයක් නෑ..
    ලංකාවේ දුප්පත් අසරණ පවුලකට ගොඩ එන්න තියපු එකම ඉණිමඟ තමයි මේ නිදහස් අධ්‍යාපනය.. එයින් තොරව ආසියාවේ අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ සාක්ෂරතාව ඉහල අගයක් ගන්න හේතුවක් නෑනේ..
    අනික් දේ තමා සෞඛ්‍ය.. ලංකාවේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය වෙනුවෙන් නොදැනුවත්වම හැමෝම විශාල මුදලක් ගෙවනවා තමයි.. ස්මහරවිට බදු වශයෙන්..
    ඒත් ඒ සේවය.. "අනුන්ගෙන් යැපීමක්" විදිහට බාල්දු නොකරනවා නම් හොඳයි මං හිතන්නේ.. මොකද කිවුවොත් ඒක සේවයක්.. මිනිසුන් ජීවත් කරන.. ඒකෙනුත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක්.. නිරෝගී මිනිසුන් මඟින් රටේ කාර්යක්ෂමතාව වැඩි කරලා.. ඒ මඟින් භාණ්ඩාගාරයට එකතුවෙන සල්ලි ප්‍රමාණය වැඩි කිරීම හෝ පවත්වාගෙන යාම..
    ඉහත කරුණු දෙකම අනුන්ගෙන් යැපීමක් විදිහට පෙන්නලා දීම නම් මම ඉවසන්නේ නෑ අයියා..
    රටක් එකතුවෙලා කරන යම් සේවයක් බිංදුවට දාලා කතා කරන්න කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හේතුවක්.. නෑ කියලයි මම හිතන්නේ.
    ඒත් මේ ලිපිය දිහා වෙනස් විදිහකට බැලුවට ස්තූතියි අයියා..^_^

    ReplyDelete
  17. @Kumaraya : හ්ම්... ඒක ඇත්ත.. :)

    ReplyDelete
  18. @මකුළු අයියා : සමාවෙන්න මට ඔයාගේ කොමෙන්ටුව මඟඇරිලා.. හ්ම්.. අන්න කතාව,හදවතිනම ශ්‍රී ලාංකිකයෙක් වීම.. දේශප්‍රේමීත්වයෙන් නම් අපි ඉන්දියාවට පරාදයි අයියා.. ඒ නැත්ත් අපිට පුළුවන් නම් තව ටිකක් ලංකාව ගැන හිතන්න..

    ReplyDelete
  19. ආයිත් කියන්න දෙයක් නෑ පෝස්්ට් එක එළ හදවතටම දැනෙනවා

    ReplyDelete
  20. @පිටස්තරකාරී : එලටම හිතට වැදුනේ.. ඔයා ලංකාවට කොහොමටව්ත් "පිටස්තරකාඅරියක්" නොවන නිසා..^_^
    ස්තූතියි සහෝදරී..

    ReplyDelete
  21. නංගියේ...ඔබ ලෝකය වටහා ගෙන ඇත්තේ ඉතා සරල ලෙසයි අත්දැකීම් මුහුකුරා යනවිට නැවත විමසා බලන්න. ශුභසාධක ආර්ථික ක්‍රමයක් ඇති අපේ රටේ භාණ්ඩාගාරයේ දැන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යටතේ මා වසර දහයක් පමණ සේවය කර අත්තෙමි එසේම අපේ මෙන් ශුභසාධක ආර්ථික ක්‍රමයක් නොමැති බටහිර රටක වසර දහයක් පමණ දිවි ගෙවා ඇත්තෙමි. භාණ්ඩාගාරයට එකතුවෙන සල්ලි කියන්නෙ අපේ රටේ සියළුදෙනා උපයන මුදලින්..බදු මුදල් වලින් රාජ්‍ය ශුභසාධක ආවරණය වේ යන්න සහ මේවා ආයෝජනයක්ය යන්න එතරම් නිවැරිදි අදහසක් නොවේ. අපේ රටේ අති විෂාල අය වැය හිගයක් පවතී වසරක් පාසා මේ හිගය පියවා ගන්නේ විදේශ ආධාර වලින් හා විදේශ වලින් අසීමාන්තික ලෙස ණය ගැනීමෙනි යථාර්තය හා සිහිනය අතර වෙනස මෙයයි. ලංකාව යනු ඔඩු දුවා ඇති තුවාලයකි තුවාල වලට බෙහෙත් දාන වි​ට රිදෙයි මා කියූ දෙයින් ඔබට රිදී ඇත්තේ එබැවිනි.

    ReplyDelete
  22. @Kevin අයියා : ඔහ්.. මම හරි කෙනෙක් එක්කනේ වාදෙකට ගිහින් තියෙන්නේ.. සම්මවෙන්නනාඑත්ත ..මම මේ ගැන කතා කරන්න දැනුම මදී..
    ඔබ කියන සියලු දේ හරි ඇති.. සමහර වචන ඇත්තෙන්ම මට බරපතල වැඩි..
    ඒ කෙසේ වුවත් මේ ගැන දුන් වැඩිදුර දැනුමට ස්තූතියි අයියා..!

    ReplyDelete
  23. මමත් ලංකාවෙන් පිට ගිහින් තියෙන්නේ එකම පාරයි ඒත් දවස් 10 කට විතර. මුල් දවස් ටිකේ ෂේප් එකේ හිටියත් අන්තිම දවස් 3, 4 මට ලංකාවට එනකම් හරිම නොඉවසිල්ලක් තිබුණේ.

    මොන දේ වුණත් මම ඉපදුණු රට මට වටිනවා වගේම ලංකාවේ ඉන්න මම හරි කැමතියි.

    එක එක අය තමන්ගේ පුද්ගලික වාසිවලට මේ රටට කරන විනාසේ ගැන තමා ඇත්තටම දුක :(

    ReplyDelete
  24. @කතා හසී අයියා : කතාව සම්පූර්ණ ඇත්ත... 100%ක්.

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...