Monday, December 27, 2010

මාර අවුරුදු කුමරු වැඩි දා - 2010 - 12 - 06..

අහස ශෝකයෙන් හඬන්නට වන්..
එහෙත් මා සිත අද තොසින්.. 
ආයෙත් කලකට පසු පමාවී..
මා ළඟට ඇවිත්..

                                උදේ පාන්දර කොහොමටත් මම කාලෙක ඉදන් නැඟිටින්නේ නෑ.. ඒත් කොම්පියුටර් මිත්‍රයා ලඟ වරු ගනන් කල් මරන නිසා.. කොහොමටත් උදේ පාන්දර ඇහැරීමක් ගැන හිතන්නත් මොකක්දෝ වගේ..
                                මගේ ජීවිතේ සතුටුම දවස කවදද කියල අහන්නත් කලින්.. මම දෙන්නම් උත්තරේ... ඒ එදා තමයි..

                               අම්මත් ඉස්කෝලෙ ගිහින්.. ඉතින් තවත් ගුලිවෙලා නිදාගන්නයි හිත තිබුනෙ.ඒත් මගේ ෆෝන් කට්ට ඒකට මට ඉඩ දුන්නැති කරුමේ..

  "අද ප්‍රතිඵල නිකුත් කරනවාලු.. ප.ව 3.00ට"
කෙටි පණිවිඩ 2යි.. 

                                මේ දවස්වල.. දැන් මාසෙක විතර ඉදන්.. ඔහොම පණිවිඩ කීයක් ආවද..? ඒත් ඒ "මාර අවුරුදු කුමාරයා" (සමහරුන්ට මාරයෙක් වෙන.. සුළු පිරිසකට අවුරුදු කුමාරයෙක් වෙන අමුතු කෙනෙක්) තාමත් ආවේ නෑ. ඒත් හිත කියනවා අද නම් ප්‍රතිඵල එයිම කියලා.මම කොහොමටවත් කැමති වුනේ නෑ ඒ ප්‍රතිඵලේ එනවට.
                                මේ විදිහටම අම්මලගෙන් කකා බිබී මුළු ජීවිත කාලෙම කොම්පුටර් රාජයා ලඟට වෙලා ඉන්න තියනවා නම්... මුහුණු පොතේ හැමදාම ඉන්න තියනවා නම්.. ඊටත් වඩා ප්‍රතිඵල හොඳ වුනොත් (ටිකක් හරි) මාස හයකින් හැමෝම බයකරලා කියන විශ්වවිද්‍යාලෙ වැඩ වලට කොටු වෙන්න මම කොහොමවත් කැමති වුනේ නෑ. 

                                හිතේ බයට, හදිස්සියට කොම්පුටරේ නැඟිට්ටවගන්නත් හුඟක් වෙලා ගියා.ඒ වෙලේම එබිලා බැලුවේ මුහුණු පොතට.යාළුමිත්‍ර හත්මුතු පරම්පරාවම හිටියෙ එතන.. මම හිතාගත්තා ප්‍රතිඵල බලලා එන ගමන්ම සදහටම මුහුණු පොත වහන්න වෙයි මේ යන විදිහට කියලා.
                                ඒ අතරෙම ප්‍රතිඵල නිකුත් කරන වෙබ් අඩවියත් බොහෝම අමාරුවෙන් open කරගෙන මම නිවී හැනහිල්ලේ හිටියා.

පෙ.ව.10.00  : -

                                පෙ.ව.10.00 විතර වෙනකොට "results pending" ඒ මදිවට කහ පාටින් තරුවක් දිලිසෙනවා "new"..
                                තරුව නිවුන පත්තු වුන ගානට මගේ හදවතත් හයියෙන් ගැහුනා.. හිත හදන්න.. ලඟ පාත කවුරුවත්ම හිටියෙත් නෑ.. අම්මා ඉස්කෝලෙ , අප්පච්චී කැකිරාවෙ , නංගි ඉස්කෝලෙ ,අයියා චීනෙ..

                                එක යාලුවෙක් මේ අස්සේ වෙන පිස්සුවක් කියවනවා මුහුණු පොතේ.. මට හිතුන විදිහට එයාටත් මට තරම්ම වැඩි වෙලා නොතිබුනත් පිස්සු හැදිගෙන එන බවක් තමා පෙනුනෙ.. 

පෙ.ව 11.45 : -

                               පෙ.ව 11.45 වෙනකොට මම බය විමෙන් හොඳටම හෙම්බත් වෙලා හිටියෙ.. මට හිතුනා ප්‍රතිඵල බැලුවට පස්සේ බත් කන්නවත් හිතෙන්නෙ නැතිවෙයි කියලා.. ඒ බයට මම ඉක්මනට කුස්සියට ගිහින් බත් එකක් බෙදා ගත්තා.. ඔය අතරෙ අපෙ අත්තම්මා කියනවා ලොකු අත්තට බත් කවන්නලු.. මට එච්චර වත් ඇහුනෙ නෑ.. ඒ පාර පොල්  ටිකක් ගාලා දෙන්නලු.. ඒත් මට ගාණක් නෑ.. හිතෙන් හිටියෙ ගොඩාක් ඈත.. 

මධ්‍යහ්න 12.00 : -

                               හරියටම මධ්‍යහ්න 12.00 වෙනකොට මම වතුර වීදුරුවකුත් බිලා ආයෙත් තිරේ ඉදිරියෙ හරි බරි ගැහිලා ඉඳ ගත්තා.යතුරු පුවරුවෙන් ඇස් දෙක තිරයට යොමු කරා ............................................ ............!!!!
ඇත්තම කියන්නම්...,  
                               මොහොතකට හදවත නැවතුනා.. මට තනියම ඇඬුනා.. හයියෙන් ඇඬුනා.. බය වෙන්න එපා.. තාමත් ප්‍රතිඵල නිකුත් කරලා තිබුනෙ නෑ.. ඒත් ...
        

                                   Enter your Index Number
                                   ___________________
                      new*                 Submit


                               මම හිතාගත්තා අම්මා ආවට පස්සෙ ප්‍රතිඵල බලන්න.ඊට ඉස්සෙල්ලා දවසෙ අම්ම කිවුවෙත් එහෙමයි.ඒත් අප්පච්චි කිවුවෙ තමන්ගෙ ප්‍රතිඵලේ බලන්න තරම් පණක් තමන්ට තියෙන්න ඕනෙ කියලා.
මම ඉක්මනට මගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ට කතා කලා..


මම : හෙලෝ චතූ , results out කරලා ඒ... 

චතූ : නෑ Pry ! ... තමා නෑ... 
( කවුදෝ දුරකථනයේ එහා කොනේ සිට කෑ ගසයි.. ලොක්කා.. out කරලා.. AAB.. Dis Rank 69 ..)

චතු : රු..ව..න්.... මේ මල්ලී කියනවා.. මම 69 ලු..( මහනුවරින් 85ක් විතර Medicine වලට තේරේ..)

මම : චතූ... ඔයා එළ නේ.. නියමයි.. මම තාම බැලුවෙ නෑ.. ඉන්න මම බලන්නම්.. හරි ෂෝක්.. ඔයා නම්     හරිම ෂෝක්...!!!!


                                 යාලුවාගෙ ප්‍රතිඵල ඇහුවට පස්සේ මට හිතට දිරියක් ආවා ප්‍රතිඵල බලන්න.. වෙවුලන ඇඟිලි තුඩු වලින් මම විභාග අංකය එබුවා.
  
-> Submit --->

දෙවියනේ..!!! 

තත්පරයක්වත් ගියේ නෑ.. 

කාගෙදෝ විභාග ප්‍රතිඵලයක් තිරේ වැටුනා.

ඇස් අදහගන්න බෑ.. 

ආයෙත් බැලුවා.. 
                      
 විභාග අංකය වැරදිද දන්නෙ නෑ..

                                විභාග අංකේ දෙසැරයක් ඇතුලත් කරන්න හදනකොටම පිටුව නොපෙනී ගියා..(ම්ම්.. ඒකට සිංහලෙන් කියන්නෙ කොහොමද.. එහෙම තමා.. වෙන කොහොමද..)

                               මම හද පතුලින්ම හදවතෙ පිරුන හැම ලේ බිංදුවකටම දැනෙන තරම්  සතුටු වුනා.. ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්.. ආයෙ ආයෙත් මතක් කර කර රස විදින්න පුළුවන් තරම්.

මම ඉක්මනට දුරකථනය අතට ගත්තා..

මම : අම්මා...

අම්මා : ඇයි ලොකු දෝනි.. results out කරල ද..?
 (මම අඬන බව අම්මට තේරෙන්න ඇති.. ඒ නිසාම අම්මා බය වෙන්න ඇති.).

මම : ඔව් අම්..මා...  මම 11.. .

අම්මා : අහ්,...!!!.. ඉතින් ඇයි එහෙනං අඬන්නේ..?..( මගෙ මොළෙ අමාරුවක් කියලා අම්මා හිතන්නට ඇති..)

මම : සතුටටනෙ අම්මා..! (ෂික්..!! දීලා තියෙන මෝඩ උත්තරේ.. වෙන උත්තර මගෙ කටට ආවෙම නැද්ද දන්නෙ නෑ ඒ වෙලාවෙ..)

දැන්... අප්පච්චිට..

මම : අප්පච්චි.. results out කරලා... මම 11...
(එක හුස්මට කිවුවෙ.. නැත්තම් අපරාදේ කියලා හිතුන නිසා..)

අප්පච්චි : අනේ....!!! හරිම සතුටුයි පුතේ..!( වචන ටිකයි.. කිවුව විදිහ මෙතන ලියන්න තේරෙන්නෙ නෑ.. ඒ වචන වල ලොකූ සතුටක් ගැබ්වෙලා තිබුන බව විතරක් මට තේරුනා..)

                               එතන සිද්ධ වුන සිද්ධිය අපි දැන ගත්තෙ පස්සෙ. අප්පච්චි ඒ වෙලේ ඉදලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන ගමන්.. එක දුරකථන ඇමතුමකින් පසුව අප්පච්චි අඬන්න පටන්ගෙන.. වටේම උදවිය හොඳටම බය වෙලා..

"ඇයි දොස්තර මහත්තයා.. කරදරයක් වත් ද..?" එයාලා හිතලා තියෙන්නෙ එහෙම..

                               කිසිම දෙයක් කියා ගන්නවත් අප්පච්චිට බැරි වුනාලු.. ගොඩාක් වෙලා ගියාට පස්සෙලු කට්ටිය හේතුව දන්නේ... ඒ අතරෙ අප්පච්චි අම්මට කතා කරලා.. ඒත් ඇඬෙනවලු තාම අප්පච්චිට.. (අම්ම නම් කිවුවෙ අම්මට ඇඬුනෙ නෑ කියලා.. වටේ කවුරු කවුරු හරි හිටිය නිසා අපි ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තා.. නැත්තම් තාමත් ආම්මාගෙ බොරුවට රැවටිලා..)

තාමත් ගෙදර හිටිය අත්තම්මට ආරංචිය කිවුවෙ නෑ.. 

"අත්තම්මා.. මම 11.. "..

මාතලෙන් පේරාදෙණියට ගන්නේ 10යි.. ඇත්තටම අපි කාගෙත් හීනෙ හන්තානෙටම යන්න.. ඒත් සමහර විට මට හන්තානෙ ලස්සන බලන්න බැරි වෙයි.. ඒ වෙලේ අත්තම්මට මතක් වුනේ ඒක..

"අනේ මයෙ කෙල්ලට 10 වෙන්ට බැරි වුනානේ..".. 

මූනත් රතු වෙන්න කඳුලු පෙරාගෙන අත්තම්මා එහෙම කිවුවට ඊට පස්සේ දවසෙම කැවුම් ගෙඩි තුන හතරක් හදලා මගේ අත්, මූණ තැවුවා.. (හේ..හේ.. කොහොමටත් මහෙ මූණේ ගානට තෙල්... කැවුම් වල තෙලුත් එක්ක එකතු වුනාම හොඳ ගණන්..)

                                    කතා කරන්න ඕනෙ හැමෝටම කතා කරා.. ආයෙත් මූනු පොතට එන්නත් මට අවස්ථාව ලැබුනා.. බ්ලොග් සොයුරු සොයුරියනුත් මට ඒ වෙලේ සුභ පැතුවා.. බොහොම ස්තුතියි.!

                                   එහෙම මගේ පරම පැතුම ඉටු වෙනකොට මගේ හොදම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙකුට හොඳ ප්‍රතිඵලයක් ලැබිලත් Medicine තේරෙන්න ලකුණුමදි වුනා.. ඇය මෙවරත් නැවත ලියන්න සූදානම් වෙනවා.. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෙම උදව්වක් කරන්න අපි සූදානම්.
කීප දෙනෙක්ට එහෙම වුනා.. එයාලා අයෙත් උත්සාහ කරනවා.. සමහරු තමන් කැමති ක්ෂේත්‍ර කරා යන්න ලෑස්ති වෙනවා.

                                  මම පළමු වතාවෙන් විශ්වවිද්‍යාල තේරෙන ශිෂ්‍යාවක් නෙවේ. ඒ වගේම ශිෂ්‍යත්වෙන් සමත් වුනත් ලොකු සතුටක් හිතට නොදැනුන.. සාමාන්‍ය ආකාරයෙන් සමත් වුන, සාමාන්‍යපෙළ සම්මාන 1ක් සමඟ විශිෂ්ඨ සම්මාන 9ක් ගත්ත.. ඒ නිසා ඒ අවස්ථා දෙකේම හිතට ලොකු දුකක් දැනුන කෙනෙක්.. උසස්පෙළ පළමුවර BCC ගත්ත..දිස්ත්‍රික්කෙන් 85 වුන කෙනෙක්.. 
ඒ නිසා මට මේ ප්‍රතිඵලය ගොඩාක් වටිනවා.. මට හන්තානට එන්න බැරි වුනත්..

                                  මේකෙන් කියන්නෙ නෑ.. මම මුළු අනාගතයම දිනුවා කියලා.. A/L කියන්නේ මුළු ජීවිතේම නෙවේ කියලා මට තේරුනේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ හසි අයියා ,කතා හසි අයියා ආදී අය දිගින් දිගටම කිවුව නිසා.. "හද සාක්කි" ලිපිය ලිවුව දවසේ රත්ගම සහෝදරයා කිවුවේ " මේ ලියපු ලිපිය ගැන කවදාහරි පසුතැවෙයි.. මම කොච්චර බොළඳ විදිහටද හිතලා තියෙන්නෙ" කියලා හිතෙයි කියලා.. ඇත්තටම අද මට එහෙම හිතෙනවා..

                                    බ්ලොග් අඩවිය කියන්නේ මට ලොකු සහනයක්.. මම මෙ ලිපිය ලිවුවේ මගේම සුභසිද්ධිය වෙනුවෙන්මයි.. කවදාහරි මට පසුබහින්න හිතුනොත් මේ ලිපිය කියවලා.. හිතට ගැම්මක් ගන්න.. ඒ තමා පරම අරමුන මේ ලිපියේ..

සමහර විට ගතකරපු කටුක අතීතෙ( මෑත අවුරුදු 2ක්3ක අතිතය) කොච්චර සොඳුරුද කියලා හිතෙයි ඉදිරි අනාගතය ගත කරනකොට.. 
A/L මොකක්ද කියලා හිතෙයි පාඩම්කරන්න තියෙන දේවල් දකිනකොට.. 
විදපු හිත් තැවුල් මොනවද කියලා හිතෙයි යාළුවො හිතන්න බැරි තරම් හිත් පාරවනකොට.. 
දැනුන තනිකම මොකක්ද කියලා හිතෙයි තනිකමේ ගිලිලා පණ අඳිනකොට... 
ඒත්.. 
මේ තරම් සතුටක්.. ආයෙත් මට දැනෙයිද කියන සැකයි.. ඒ ගැනම අයේ ආයෙත් හිතනකොට..






25 comments:

  1. ජීවිතයේ අළුත් ඇරඹුමට මගෙන් හද පිරි සුභපැතුම්... සහසක් දන රෝ බිය දුක් නිවන මහෞෂධියක් වන්න...!

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම්. හැබැයි කවද හරි හිතෙයි, ජීවිතේ සුන්දරම කාලෙ තමා මෙ ඉවර උනේ කියල. මොකද කිසිම වගකීමක් නෑ. ගෙදරින් කන්න අඳින්න දෙනව. ඒත් ඉස්සරහට ජීවිතෙ ඊට වඩා සංකීර්න වෙනව

    ReplyDelete
  3. මගේ සුභපැතුම්....වෛද්‍ය සේවය කියන්නේ වෘත්තියක් නෙමේ සේවයක්...ඒ හින්දා කරන්න පුළුවන් උපරිමයෙන් ඒ සේවාවට දායක වෙන්න පුළුවන් වෙන විදිහට හොඳට ඉගන ගන්න.....හැබැයි කිසිම වෙලාවක තමුන් පටන් ගත්තේ කොතනින්ද කියන එක අමතක කරන්න එපා....සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්....

    **මම ඔයාගේ "෴ මොකකින් මොකක් වුනත් ෴ " සටහනේ අවසානයට කමෙන්ටුවක් එකතු කරා...කැමති නම් කියවලා බලන්න....මගේ ප්‍රතිඵල වල අත්දැකීම්**

    ReplyDelete
  4. හද පිරි සුභ පැතුම් නංගියා... ඔයි ගොඩක් වාසනාවන්තයි... ඒ වාසනාව උදා උනේ ඔයගේ උත්සහය නිසා.. ඉදිරියටත් මේ වගේම ඉගෙන ගන්න...

    ReplyDelete
  5. සුභ පැතුම් නංගියා........ මට කලින් දැන ගන්න ලැබුනා හසියා අයියගෙන්. ඒත් සුභ පතන්නවත් උනේ නැහැ......... පෝස්ට් එකක් දානකම් බලන් උන්නා........

    අනාගතය හැම අතින්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා නංගියට........!!!!!!

    ReplyDelete
  6. හන්තානට එන්න කොහොම හරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම උසස් අධ්‍යපන කටයුතු & අනාගතය ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනාට ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  7. සන්තෝසයි අප්‍රමාණයි..... මමත් අපේ පාර 11 වෙනියා.. O/L ප්‍රතිඵලත් මගේ එකමයි.. දැන් තමයි නියම කඩ ඉම ඇරඹෙන්නේ.. අනාගතයට හදපත්ලෙන්ම සුබ පැතුම්..
    -කාංචන

    ReplyDelete
  8. මගෙන් උණුසුම් සුභ පැතුම් .... ඉළග කඩඉමත් සාර්තකව ජය ගන්න හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
  9. @දුමී සොයුර : බොහොම ස්තුතියි අයියා.. ජීවිතේ මෑත අතීතයේ හිතට දැනෙන විදිහට ඉටුවුන හොඳම පැතුම මේ..

    ReplyDelete
  10. @රංඟ සොයුර : ඔව්..ඔව්.. සමහර විට එහෙම හිතෙයි.. ඒත් ඒ සංකීර්ණත්වය අපිට විදින්නම වෙනවා නම් වෙන කරන්න දෙයක් නෑ.. නැත්තම් මාත් කැමති මෙහෙමම දිගටම ඉන්න.. :)

    ReplyDelete
  11. @මකුළුස් සොයුර : ගොඩාක් අය මට කියනවා මුල නම් අමතක කරන්න එපා කියලා.. මුහුණු පොතේ යාළුවෝ සහ මේ වෙනකොට විශ්වවිශ්‍යාල ගිහින් ඉන්න අපේ අනික් යාළුවො.. අද උදෙත් යාළුවෙක් කිවුවා.. විශ්වවිද්‍යාල ගියාට ආඩම්බර වෙන්න එපා කියලා.. මම මට ලඟදි වුන සිද්ධියක් කියන්නම්.. ඒක වුනේ මුහුණු පොතේ දි..
    මෙච්චර කල් මාත් එක්ක හොදට කතා කර කර හිටිය යාළුවෙක් හිටියා.. හැබැයි එයා මගෙ ඉස්කෝලෙට හරියට අපහාස කරනවා.. ඒ නිසාම ලොකු මත ගැටුමකුත් සිද්ද වෙලා තිබුනෙ.. ඒ නිසා මේ මිත්‍රයා කියන්නෙ මට හරියට තරහ එනවා කියලා..
    මුහුණු පොතේ කතා පෙට්ටියේ (chat box) මේ යාළුවා ඉදලා.. ඉතින් මම දැක්කෙ නෑ..
    එයා එක පාරටම කියනවා "දැන් ඉතින් uni select වෙලානෙ.. අපිව පේන්නෙ නෑනෙ කියලා.. "..
    මම හිතුවෙ විහිලුවට කියනවා කියලා.. ඉතින් මම කිවුවා.. "ඒක තමා.. ඔයාට විතරයි තේරුනේ " කියලා.. බලනකොට කියලා තියෙන්නෙ ඇත්තටම..

    මම කොහොමටත් කියන්න තරම් විශේෂ කාරණාවක් නැත්තම් බලෙන් කතා කරන්නෙ නෑ.. අනික අපේ ඉස්කෝලෙට බැන්න නිසා මට ටිකක් එයාව එපා වෙලා හිටියේ..

    ඔන්න සිද්ධිය..

    අපේ විශ්වවිද්‍යාල තේරුන සමහර අය නම් එක පරටම අහසට නැඟලා වගේ තමා දැන් ඉන්නේ.. ඒත් බහුතරය එහෙම නෑ.. මගේ යාලුවෝ නම් කවුරුත් එහෙම නෑ.. (කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කියන්න ගිය දේ නෙවේ වගේ මම කිවුවෙ.. :):))

    ස්තූතියි සුභ පැතුමට .. මම ඒ කොමෙන්ටුව කියෙව්වා.. ආදර්ශෙට ගන්න පුළුවන් චරිතයක්.. ඇත්තමයි.. එහෙම අය තමා අයියා ඉස්කෝල වල ඉන්න ඕනෙ.. නැත්තම්.. තමන් ඒ ඉස්කෝලෙ හිටියද කියලවත් පසු කාලෙක කවුරුවත් දන්නෙ නැතිවෙන විදිහට පාසල් කාලෙ ගත කරලා වැඩක් නෑ..

    ReplyDelete
  12. @සුදු හංසි අක්කා : ම්ම්.. වාසනාවන්තද දන්නෙ නෑ අක්කේ.. ඒත් ගොඩාක් මහන්සි නම් වුනා.. ඒ ගැන මතක් කරන්නවත් මම කැමති න අක්කෙ.. ඒ අතීතය එතරම් ම කටුකයි..

    ReplyDelete
  13. හා පැටික්කි අක්කේ, හසි අයියම තමයි මට ඔයා ගැනත් කිවුවේ .. මගෙ ප්‍රතිඵලේමයි නේද..?.. බොහොම ස්තූතියි වගේම මම ඔයාටත් ලස්සන අනාගතයකට සුභ පතනවා!!

    ReplyDelete
  14. @චතුරංග : බොහොම ස්තූතියි චතුරංග..:)... මගෙත් ආසාව ඒක තමයි. බලමුකෝ..

    ReplyDelete
  15. @කාංචන දිනූක : හේ..හේ.. මම මාතලෙන්.. ඔයා කොහෙන්ද දන්නෙ නෑ.. කොහොම වුනත් බොහොම ස්තුතියි යාළුවා.

    ReplyDelete
  16. @Denesh : ස්තූතියි දිනේෂ් මල්ලී.!!..

    ReplyDelete
  17. @ප්‍රාර්ථනා
    මම මාතර පැත්තේ

    ReplyDelete
  18. ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා නංගී...හරිම සතුටුයි ඔයා ගැන..අනේ ඔයා ආසවෙන විදිහටම පේරාදෙනි තේරෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...එහෙම නොවුනත් ඔයා දුක් වෙන්න එපා..

    ReplyDelete
  19. @කාංචන : මාතලෙයි මාතරයි අතරෙ ලොකු z වෙනසක් තියනව මම හිතන්නෙ .4ක විතර වෙනසක්.. මාතරින් 11 වෙන එක ලොකූ දෙයක් මාතලෙන් 11 වෙන එකත් එක්ක බලනකොට මම හිතන්නෙ..

    ReplyDelete
  20. @මම : ගොඩාක් ස්තුතියි අක්කේ.. :).. අපි බලමුකෝ.. හොඳ විදිහක් වෙයි නේ..

    ReplyDelete
  21. මම පරක්කුද මන්දා.. ඔන්න මාත් රුවන් නංගිට හදවතින්ම සුබ පතනවා.. A/l වල අමාරුව මාත් දන්න නිසා ඔයාගෙ සතුටෙ තරම හිතාගන්න පුලුවන්..
    අපිටත් අසනීපයක් උනොත් බේත් ගන්න එන්නකෝ :D

    ReplyDelete
  22. @Kani අයියා : හික්‍ස්... ස්තුතියි අයියා... :)

    ReplyDelete
  23. -ශ්‍රී ලංකාවේ ගොලු බෙලි තැපෑලෙන් ආ ප්‍රමාද වුණු සුබ පැතුමක්-

    සුබ පැතුම් නගා.

    ඔයාට ඒ දවස්වලම මූණු පොතෙන් විශ් කරා වගේ කියලා තමා මතක :))

    ReplyDelete
  24. හරි හරි මම ඒ දවස්වලම විශ් කරලා නොවැ :))

    http://piyagatapela.blogspot.com/2010/12/10.html

    ReplyDelete
  25. @කතා හසී අයියා : ස්තූතියි අයියා.. :):).. ඒකනේ.. කලිනුත් විශ් කරලා.. දැනුත් විශ් කරා..ස්තූතියි..:)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...