"මිටින් හල කුරුල්ලෙක්..
ගත් නිදහසින් උමතුව..
ගඟනත සරා
අයාලේ අතරමංව...
වැටී සිටියා දුටිමි ..
නිදහසේ නාමයෙන් මරු වැළඳ..
ඉතින් සබඳ..."
- කුසීතයි -
"ඉතිං සබඳ.." ම්ම්.... ඉතිං සබඳ නුඹ ගැන කිම් ?... කියලා ඉවර කරා නම්... ඒත්. ඒත් මේ කවුද..? කාත් කවුරුවත් වත් ද..? මම නොදන්න කෙනෙක් වද..? දන්නා හඳුනන අයෙක් ද..? කොහේවත් නැති කම්මැලියෙක් නොවනු ඇද්ද..?
මගේ හිත හැම ඉරිදාම කැළඹිල්ලට පත් කරන මේ කිවිඳා හෝ කිවිඳිය කවුරුන්ද..? මේ කතා කරන්නේ මටම යැයි හිතෙන්නේ කිමද..? ඔව් ඇත්ත... මම ගම දාලා කොළඹට ආවා තමයි. ගමේ වගේ දැන් මාව පොල් කට්ටෙන් වහන් ඉන්න බෑ තමයි. ගම වගේද කොළඹ..? Pizza hut , KFC ගමේ කොහෙද..? ඒත් දෙනෝදාහක් මැද මට දැනෙන මේ පාළුව මොකක්ද..?
මනස්ගාත.... මම පත්තරය අහකට විසි කළෙමි.
"සොඳුර නුඹ අඳුරුයි
දිනිඳු වෙනු රිසි වෙයි..
සඳු ද නුඹ අතැර ගිය කල
කවුරු නුඹ හට ඉතිරි වෙයි..? "
- කුසීතයි -
මේ වැඩේ හරියන්නේම නැත.. පිළිතුරු කවක් ගෙතීමේ දඟකාර සිතිවිල්ලත් සමඟ මම පෑන අතට ගත්තෙමි.
"ඇසේ ඇත මගෙ පොල් කෙඳක්..
බලනු නුඹ නෙත ඇත කුමක්..
අනුන් දෑ නොසොයා ඉඳින් තව
බලන් වෙන්නට දියුණුවක්..."
- වයිරය -
මම ඊලඟ සතිය වෙන තුරු ඇඟිලි ගැන්නෙමි.. නමුත් කිසිත් ප්‍රතිචාරයක් කුසීතයාගෙන් නොවීය.කාර්‍යාලයේ වැඩ බහුල කමත් සමඟ මට මගේ "කවිකම්" අමතකම විය.නමුත් ඉරිදා පුවත්පත මට නොවරදී.
"ලියූ කවි 21 පුරා
සිත සෙවූ නුඹ දුටු නියා
රළු වදන් වුව එයින් මා සිත
දැනුනි පිපුනා මල් සිනා
සිත කියයි "නුඹ ගැන සොයන්"
අයාලේ යන්නට නොදෙන්..
ඉතින් කුමරුනි මැඳුරු හැරලා
නැවුම් නල සිප ගනු සොඳයි.."
- කුසීතයි -
හෝ..හෝ... එහෙනම් ඒ කුසිතයෙක් නොවේ.. කුසීතියක්... කවුද මේ... තිරය පිටුපස සිට වැදි බණ කියන්නිය...
"හැංඟි හැංඟී වෙස් බදීන්
හෙට වෙන්නෙ කුමකැයි බලන්
නමක් නැති බියගුලු කමින්
නන් දෙඩුම් දැන් නවත්වන්
- වයිරය -
ගත වූයේ සතියකි...
"සනසවනු සිත නොරිසි නම්
නුඹේ සිත ගෙන පලා යන්
නුඹේ රළු පද පෙලූ සිත ගෙන
මෙයින් කවිකම් නවත්වම්.........
- කුසීතයි -
සතියක් ගෙවී ගියේ කල්පයක් ගෙවෙන තරම් සෙමිනි... මේ කවට ලිවිය යුතු පිළිතුරු කවක් මගේ සිත් නොවීය. නමුත් කුසීතිගෙන් කවියක් ලඟ ලඟම එනු ඇතැයි සිත බලාපොරොත්තු වුනා වත් ද..?
සතිය දෙක ගෙවී ගිය නමුදු ප්‍රතිචාරයක් නොවුනි.ඉරිදා පුවත්පතේ කවි තීරුව පුරා මගේ නෙත් සැරූවද ඇගෙන් එකදු කවියක් යලි දක්නට නොවුනි.නමුත් අප දෙදෙනාගේ කවි සංවාදය අනෙකුන්ගේද සංවාදයට බඳුන්වන බව මට අහම්වෙන් දැනගන්නට ලැබුනි.
"මල්ලී ඉරිදා _____ පත්තරේ දෙන්ඩ.."
දිනක් මමත් මගේ මිතුරා කමලුත් ටවුමට ගිය වෙලේ කමල් පත්තරයක් ගත්තේ ය. ගත් සැනින් ඔහු පෙරලුවේ කවි තීරුවයි..
"ෂික්... අම්මපා මට ඕකා අහු වුනා නං.."
කමල්ට කියවුනි...
"මොකා ද..? තව murder case එකක් ද..? ඕවා පත්තරේ නැත්තේ කවද්ද මචං..? "
"බම්බුව... එහෙම එකක් නෙවේ මචං.. උඹ ඉතිං කවි අනං මනං වලට interest නෑනෙ.. මේ පත්තරේ කවි පිටුවේ කෙල්ලක් ලස්සන කවි ලිවුවා... නිකම් අර backstreet boysලගේ baby please try to forgive me ඒඛේ වගේ පිස්සු නටන කොල්ලෙක් ගැන කෙල්ලෙක් ලියන කවි වගේ... ඒත් ඒවා ටිකක් වෙනස් , නමම දාලා තිබුනේ කුසීතයි කියලා.. ... "
මම උඩ ගොස් බිම වැටුනි... ඒත් කිසිවක් නොදන්න ගානට මම
"ඉතිං..?"
"ඉතිං දවසක් වයිරය ද මොකෙක්ද කියලා ගොනෙක් ගොන් පාර්ට් එකක් දාලා තිබුනා.. අනේ ඇත්තමයි බං ඌට ගැලපෙන්නෙ වයිරය නෙවේ "වයිරා",... මට හිතෙන්නෙ ඌට වචන පැටලිලා.."
"එතනින් පස්සේ ෆුල්ස් ටොප්..."කමල් තව දුරටත් දොඩන්නට විය.
"මට හිතුනා අපේ යාලුවෝ ටිකකුත් එකතුවෙලා ඒ වගේ කවි මඩුවක් දැම්ම නම් එළට නැඟලා යයි කියල"
මොහු නන් දොඩවයි.. මගේ ඔළුව ගිනි ජාලාවකි.
ඔයින් මෙයින් කාලය ගතවුනි. දිය යටින් ගෙන ගිය ගිනි දැල් වලින් , බෙල්ල කැපීම් , කකුලෙන් ඇඳිම් නිසා මට කොළඹ ජිවිතය අප්‍රියම විය. ප්‍රධානම හේතුව මෙහි මගේමැයි හැඟෙන කිසිවකු නොසිටීමයි.අනෙක් අතට ගමට යෑමද අප්‍රසන්නයි.කල වයස හරි යැයි මට මඟුලක් කිරීමට අම්මාත් අප්පච්චීත් සැදී පැහැදී සිටී.ඔය මඟුල වචනයේ පරිසමාප්ත අරථයෙන්ම වසම වස මඟුලකි. මට එය ඉලව්වක් මෙන් හැඟෙන්නේ එබැවිනි.නමුත් මාරුවක් ගෙන ගමට යන තැනටම කටයුතු යෙදුනේ මන්දැයි නොවැටහුනි.
බෝඩිමෙන් සමුගෙන බසයට නැඟුනු මට එහි හැරදමා යාමට නොහැකි කිසිවක් නොවුනු නිසා දුකක් නොවිනි.නමුත් ගමට යෑම ගැන සතුටක් ද නොවුනි.හැඟුමක් නැති තැනද සිතට නිවනක් නැත.
හොඳින් ඇල වී නිදාසිටි මා නැඟිට්ටුනේ බසයේ ඉදිරි රෝදයක් වලකට වැඩීම නිසා ඇති වූ ගැස්සීමෙන් ඔළුව ජනෙල් ගැට්ටේ වැදීමෙනි.ඒ මම ගමට ලඟ බව කියන පලමු වෙඩි මුරයයි.. මට දැනුනේ මානවයාගේ සිට මා වානර යුගයටත් එහා අදි කල්පිත යුග වලට යන්නාක් මෙන් ය.
පාරේ කළු පාට දුඹුරු පාටට පෙරළුනා මෙන්ම , මිනිසුන්ගේ සිනා රහිත ආඩම්බර මුහුණ බුලත් කහට වැකුණු කෙඩේරි වී ගිය මුහුණු බවට පත් වන්නට ගත වූයේ පැය 6කටත් වඩා අඩු කාලයකි. නමුත් ඒ වෙනසට යටවූ ගමේ සිරියට ඇති වූ ලොල් බව සිතින් මකාලන්න මට උත්සුක නොවුනෙමි.
දාඩිය වගුරාගෙන දූලි වැකුනු වතින් මම ඇඳුම් බෑගය ගෙන බිමට බැස්සෙමි. එසැනින් ඈත වෙල් සිප හමා ආ සුළඟ නිවසට පය තබන්නටත් පෙර ගතේ කෙඩෙත්තු ගතිය මකා ලන්නට විය.
කඩුල්ල අද්දරටම පිය මැන්න මා මදක් පය බාල කලෙමි.මේ කඩුල්ල අදත් එදා වගේමයි.මේ බොරළු පාර තාර තැවරී මට සිළුටු වන්නට හිත් කොනකින්වත් සිතා නැතුවා මෙනි. මේ ගහ කොළ , වෙල් ඉපනැල්ල අදත් එදා වගේමයි. වෙනස් වෙලා ඇත්නම් ... ඒ මා පමණයි.
"අනේ පුතේ... මොකද තාම ගෙදට්ට ගොඩ වෙන්නවත් කල්පනාවක් නැද්ද..? මහන්සිත් ඇති නේ මගෙ කොලුවට.."
ගෙදරට ගොඩ වෙන්නටත් කලියෙන් ඔවුන් සියල්ලෝම ගෙයි මිදුලේ.මා මේ ගෙවුනු සිව් මසට ඔවුන් අමතක කලාවත් ද..? ඒ ගැන අමනාපයක් නම් ඇති බවක් නොපෙනේ... ඔව්.. මේ "මගේ උන්.." ඒකයි මේ...
එදින හවස මම මගේ scrap පොතත් රැඟෙන වෙල අයිනේ ගල් තලාව මතට ගියෙමි. සැබවින්ම එය ගල් තලාවක් නොව තරමක් විශාල ගල් කීපයකි.
මේ පොත පුරා අලවා ඇති කිවිඳීය මා හොඳින් හඳුනන කෙනෙක් විය යුතුයි... අනෙක් මුරණ්ඩුකාර ආඩම්බරකාරකම් වලින් වසා වෙලාගෙන සිටි පාළුව නම් සිතුවිල්ල නිසා ඇය ගැන විමසා යලිත් කවක් ගොතන්නට සිත් විය..
"මෙතුවක් මා මම නොදුටුවෙමි
නමුත් මට පෙර නූඹට මම මුණ ගැසුනි
නුඹ පෙළූ මට සමාව දෙන්න...
නුඹ දකිනු වස් කල් ගෙවමි මම.."
- වයිරය -
මම තවදුරටත් වයිර නොකරන මුත් මම එසේ ලිවුවෙමි.කවිය තැපැල් කලද සතියක පමාවක් එහි විය.මේ ගම ය. ඒ නිසා වන්නට ඇත.
මා කලින් සඳහන් කල "උරචක්කර මාලය" බැලීමට යන්නට සිදු විය.ය තනිකරම අම්මලාගේ වුවමනාවට වූ දෙයකි.ඇත්තෙනම මා බැලීමට ගිය යුවතිය , සංතුෂී මා හොඳින් හඳුනන කෙනෙකි.ඇයට මා අකමැති වීමට හේතු සමුදායකි.ඇයට නිදහස් අදහස් නොමැත.සැමවිට අනෙකෙකු කියූ දෙයක් අදහයි.. "අප්පච්චී මෙහෙම කිවුවා... අම්මා තමයි මෙහෙම කිවුවේ.."... ඇගේ කටේ ඇත්තේ එපමණයි.ඇයට මා අකැමැති බව ගෙදර එනතුරුත් නොකියා සිටීමට මම පමා නොවුනෙමි.
නමුත් ඈ නෙත් වල රැඳි තිබුනේ මා හොඳින් හඳූනන සේයාවයි... එයින් කම් නැත.මට ඇගෙන් වැඩක් නැත..
මගේ කවියට තවම ප්‍රතිචාරයක් නොමැත.
මේ අතර මට කුසීති හමුවූවා යැයි සිතෙන සිදුවීමක් සිදුවිය. ගමේ තරුණ සංගමය වෙසක් පෝයට පවත්වන දන්සැලට මමද දායක වුනෙමි.නමුත් මේ වැඩට සහභාගී නොවූ අපේ කණ්ඩායම් සාමාජිකාවක් විය.
"මොකෝ අංජුලා දන්සැලට උදව් කරන්න එන්නෙ නැත්තේ..?"
බීම බීමට පමණක් දන්සැලට ගොඩ වූ ඇගෙන් මා විමසුවෙමි.
"අපෝ ඕවා කම්මැලි වැඩ.."
කම්මැලි... ඒ කියන්නේ කුසීතයි,, එයින් මතු මා ඇය ගැන විපරමෙන් සිටියෙමි.නමුත් ඈ මට වැඩි ඇඟෑලුම් කමක් තබා නුරුස්සුම් කමක් වත් නොපෙන්නුවාය. ඈ කවි ලියන්නට නම් රුසියෙක් බව අපේ නඩේ එකෙකු මට කීවේ ය. ඒ නම් මැයම විය යුතුයි. මම කුසීතයා සොයා ගැනීමය උප්පරවැට්ටියක් යෙදුවෙමි.
අපේ තරුණ සංගමයෙන් සාහිත්‍ය උළෙලක් සංවිධානය කෙරිනි.ඉතින් එහි පද්‍ය අංශය මම භාර ගත්තෙමි.
මාතෘකාව " සහ ගැසීම ".. සරලව කිවුවොත් "හෙණ ගහපන්"...
තරඟයට සඳැස් නිසඳැස් විශාල ප්‍රමාණයක් ලැබුනි.ඒ අතර මා සොයන කවියක් ද විය.
"ඔවුන් ඇමතුවේ නූඹට නොවේ ඔවුන්ටයි
ආදරය කලේ නුඹ නොවේ මමයි
රළු කටුක වදන් නුඹ කිවුවේ ඔවුන්ට නොවේ මටයි
සිත තලා පොඩි කර තුටු වුනේ මම නොවේ නුඹයි
මුදු මගේ සිත ගල් කලේ මම නොවේ නුඹයි
තුටු හමුවීම වෙන් වීම කලේ නුඹයි
හඬා වැලපිය යුත්තේ මම නොවේ මගෙ සිතයි
නමුදු තැවුනේ රිදුනේ මගෙ සිතට නොවේ මටයි
හඳුන ගැන්මට ඉඩක් නොතිබුව
නෙතු පියන් මා වෙතට නොහෙලුව
නුඹෙ සිතෙන් දුර ඈත විසිකල
සහ ගැසිය යුත්තේ නුඹට නොවේ මටයි..."
- කුසීතයි -
විනිශ්චය මණ්ඩලයේ තේරීම අනූව කුසීතයාට හිමි වූයේ තෙවැනි තැනයි.නමක් නැති කවි වල මුල් හිමිකරුවන් සොයා ගැනීම ගමේ ඈයන්ට පහසු නොවූයේ ඔවුන් දන්නා හඳුනන අයම කවි ලියා තිබූ නිසාවෙනි.ඈ දකිනු රිසි මම ත්‍යාග ප්‍රධානොත්සවය එනම් සාහිත්‍ය උළෙල දින ගමේ ඉස්කෝලෙට ආවෙමි.
චිත්තාකර්ෂණීය අංග කීපයකින් පසු තෑගි බෙදා දීමේ අවස්ථාව එලැඹිණි.
"පද්‍ය නිසඳැස් අංශයේ තෙවැනි ස්ථානය - සංතුෂී වීරක්කොඩි "
දෙවියනේ......... ..!!! කුසීතයා.... මම හීනෙන්වත් නොසිතපු කුසීතයා මැය ද..? මම තුෂ්ණිම්භූත වුනෙමි.නමුත් දැන් යැයි කියා කල හැක්කක් නොමැත.ඉන් පසු ඉදිරිපත් වුනු අංගයන් කිසිවක් මගේ නෙතට හසු නොවුනි.. මා මඟබලා සිටියේ මෙය ඉවර වන තුරුයි.
"සංතූෂී..."
උළෙලෙන් පසු ශාලාවෙන් ඉවතට යන ඇය නැවතීමට , ඇයට කතා කිරීමට මට ඕනෑ විය,... නමුත් කතා කරන්නෙ කුමක් ගැන ද..? ඇයව ප්‍රතික්ෂේප කිරීමට නිදහසට කරුණුද..? ඇගේ සිත මා හද තුල අරක් ගෙන ඇති බව ද..?
ඇය ආපසු හැරුනා ය.මම කුමක් හෝ කියනු ඇතැයි මදක් බලා සිටියා ය. මම ගොළුවෙකු මෙන් සිටගෙන සිටියෙ මි. කුඩා කොළ කැබැල්ලක් මා වෙතට දිගු කල ඈ නෙත කඳුලු පිරෙද්දී ඒ නෙතු සඟවාගන්නට මෙන් ආපසු හැරී ඉවතට ඇඳුනා ය.
එහි මෙසේ ලියා තිබුනි...
"කලකට පෙර නුඹව දුටුව
නමුදු සිනාවක් නොදුටුව
නුඹ ගැන මම නොසිතු අරුම
දැනුනෙ දැන් අහෝ..!!!
මව් පිය වදනට කන් දුන්
උමතු නුඹම වෙත සිත දුන්
පසුතැවිල්ල පමණක් මා
හදේ ඇත අනේ..!!!
ගම හැර නුඹ ගියපු දිනේ
ගල් තලාව වෙත එමිනේ
මගේ නෙතින් හැළුනු කඳුළු
නිමක් නොදුටු වේ..!!!
නුඹ ආයේ එතියී කියා
කවුරුත් මට නොකී නියා
පැතුමට පර වෙන්න නොදී
සැලකුවද මෙමා !!!
නුඹ වෙත පදවැල් ගොතමින්
නුඹම වෙතම සිත හොවමින්
ලිවු කවියට ලැබුනු කවක්
සිත කැඩුවා අහෝ..!!!
නුඹ නැති ලොව දැනුන සිතුම්
කුසීත යැයි සිතුනෙ නිතින්
නුඹ දකින්න පිපාසාව
නැති කලා මෙමා..!!!
මා බැලුමට ආවද නූඹ
එක් බැලුමක් හෝ නොහෙලුව
කවුරු ද මේ කලේ වරද
සිත කියයි මගේ..!!!
සඳ සිපගෙන එහිම රැඳී
බිමට නොවැටි සිටිනු රිසී
ආයේ මගෙ හද මඬලට
එබෙන්නට එපා................................!!!
- කුසීතයි -
කොළ කැබැල්ලට සිරුවට නවා සාක්කුවට දමාගත් මා ඈත නොපෙනී යන ඒ සඳ මඬල දුටිමි.
" මම පමා නෑ..."
- ඔව්... මම වයිරා -
හරිම නිර්මාණ ශිලියි
ReplyDelete^_^ ස්තූතියි..!
Deleteනියමයිනෙ.. බොරුවක් බව දැන දැනත් ඇත්ත වගේ හිතාන කෙළ හල හල කියවන්න පුලුවන්..
ReplyDeleteහි..හී... ස්තූතියි හරි..? :)
Deleteමට කියන්න දෙයක් හිතා ගන්න බැහැ. යතාර්ථයට ටිකක් ඈතයි වගේ. නමුත් කතාව බොහොම සමීප වුනා.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ. දිගට ම එන්න උත්සාහ කරනවා!
ජය වේවා!!
ම්ම්... වෙන්න බැරි දෙයක් වගේද පෙනෙන්නෙ..? අපි නොහිතන දේවල් වෙන්න පුලුවන් :)... ස්තූතියි !
Deleteකලකට පස්සේ මේ පැත්තේ ගොඩ වුනේ.... කෝ බිස්කට් ගේන්න තේ හදන්න :D
ReplyDeleteතේ ද කෝපි ද..? :D... ස්තූතියි ආ හියා ට.. :)
Delete