Sunday, January 8, 2017

ඇබිත්තං ගම්මිරිස් ඇටේ

මටත් ඉන්නවා
පොඩ්ඩැත්තං ඇවිලෙන
සුටුස් ගා නිවෙන
මල් මදහසින් පිපෙන
ඇබිත්තං ගම්මිරිස් ඇටයක්..

එයා
පොතට යෙදවෙන හිතට
වෙහෙසක් දැනෙන හැමවිට
කුමක් හෝ කියා ගැලවෙන
කටකාරියකි නොනවතින

ඉතිං ඒ ආදරණීය නංගී ගැන පුංචි වචනයක් දෙකක් ලියන්න හිතුනේ මං වගේම ආදරණීය සහෝදර සහෝදරියන් ලබන්න තරම් වාසනාවන්ත හැමෝටමයි..

නංගි ඉපදුනේ මටයි අයියාටයි ගොඩක් බාල බඩපිස්සෙක් විදිහට.. අයියට වඩා 8යි.. මට වඩා 6යි.. ඉපදෙන්න කලින් ඉදන්ම.. අයියයි මමයි හරීම ආසාවෙන් හිටියෙ මේ මැටි බෝලෙ එනකම්...
මට මතක හැටියට අයියට ඕනෙ වුණේ දඟ මල්ලියෙක්... මට ඕනෙ වුණේ නංඟියෙක්.. ඉපදුනේ දඟම දඟ නංගියෙක් ...හෙ හේ...

අයියයි නංගී කොහොමත් එක වගේ.. පෙනුම.. ගති පැවතුම්... ඒ වගේම destinations මේ හැමදේම එකවගේ...
පොඩි කාලෙ උදේට ඇඳුම් මදින එකේ ඉඳන් කොණ්ඩෙ බඳින එක , ඉස්කෝලෙට එක්ක යනඑක මේ හැමදේම මම කරේ හරිම ආසාවෙන්... ගෙදර ආපු වෙලේ ඉඳන් අනේක විද අඩත්තේට්ටං උහුලන එක අයියා කරේ හරීම ආසාවෙන් 😁 😁

ඇත්තටම කිවුවොත් මේ පොඩි කෙල්ල අපෙන් නොසෑහෙන්ට ගුටි කාලා තියනවා වගේම අපිත් එයාගෙන් නොසෑහෙන්ට ගුටි කාලා තියනවා..
මේවා ලියලා තිබුණෙ නැත්තම් අපේ පොඩි එවුන් රණ්ඩු වෙනකොට " අපි නං ඔහොම හිටියෙ නෑ " කියලා බොරු කියයිනේ.. නේද???

අද මං මොකද හදිස්සියේ මේ නඟා ගැන කියන්නෙ කියලා බලයි...
එයාගෙ උසස්පෙළ ප්‍රතිඵල ආවා නෙව..
මේ කෙල්ල ඉස්කෝලෙ ඉන්න කං concert , drilldisplay organize කර කර හිටියා.. ගුරුවරු ගොඩක් අය කිවුවෙ නට නට ඉන්නවා මිසක් ඉගෙන ගන්න පාටක් පේන්නෙ නෑ කියලා... කිසිම දියුණුවකුත් නැතිවෙයි කිවුවා..
ඒත් සමහර ගුරුවරු ලඟ ඈ ගැන නොබිඳෙන විශ්වාසයක් තිබුණා..

මේ හැමදේනාම අතරේ චූටි නංඟා ගැන හිත ඇතුලෙන්ම උදේ හවා සුභ සිහිනම දැක්ක කෙනෙක් හිටියා...
උදේට අත අල්ලන් විනාඩි පහලවක් විතර ආශිර්වාද කරලා අත ඉඹලා .. හවස නව ගුණ ශාන්තිය කියලා අයියාටයි නංඟිටයි මටයි සෙත් පැතුව ආදරණීය හදවතක් තිබුණා..

අද...
චූටි නංඟි ඒ හිතේ පැතුම් ඉෂ්ට කරලා....

" ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
ඈ සිප ගන්නට ඔබ ඈ ලඟ නැත "

ආදරණීය අත්තම්මී....
නුඹට සතුටු වෙන්න කරුණු ගොඩයි.....

1 comment:

  1. සුබ පැතුම් පුංචි නංගියේ.. සරසවි වරම් ලබා තමන්ගේ ජීවිතයත් ගොඩ නගා ගෙන මේ සමාජයත් වෙනස් කරන්න පුළුවන් විදියේ ශක්තිමත් කෙල්ලක් වෙයන්..!!

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...