Monday, June 25, 2012

වින්දනීය යම..


                                                           දුම්රියේ අපි යාලු මාලුවෝ ටික ගෙදර එවෙන්නෙ බොහෝවිට එක නඩේට.නුවර මාතලේ කුරුණෑගල  යාළුවෝ තමා එහෙම එකතු වෙන්නේ.ඉතින් ඔහොම එනකොට ,

එක යාළුවෙක් කියනවා මෙන්න මෙහෙම
"අනේ මම අවුරුදු ගාණකින් අනුරාධපුරේ ගිහින් නෑ..."

මට පුදුම හිතුනා..දෙවියනේ මට නං අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක්වත් එහෙ යන්නම ඕනෙ.අන්තිමට අම්මලා කිවුවේ ,
"එහෙනම් අනුරාධපුරෙන් බෑණෙක් හොයලා දුන්නනම් හරි" කියලා. 

                                                                                          පෙලක් අය නුවරඑළියට පුදුම ආසයි.මමත් නුවරැළියට කැමති.ඒත් ආසා නෑ.නුවරඑළිය හරිම නැවුම් දේශගුණයක් තියන ලස්සනම ලස්සන ප්‍රදේශයක් තමයි.photos ගන්න නම් කියාපු පැත්ත. 

                                                                                          අනුරාධපුරේ යන්න ඕනෙ අටමස්ථාන දනිපනි ගාලා වන්දනා කරගෙන ,කොහේ හරි වැවකින් ගත ගිමන් නිවාගෙන(කට්ට දවාලේ) හවස් වෙනකොට හෙම්බත් වෙලා ගෙදර එන්න නෙවේ. 

                                                                                           හවස් වෙලා ගෙදරින් පිටත් වෙලා රෑ සිහිල් සුවදායක හුලඟත් එක්ක දැවටි දැවටී උඩමළුව වැදගෙන , රුවන්වැලි සෑය ලඟ වාඩිවෙලා ගොඩාක් රෑ වෙනකම් ඔහේ දැහැනට සමවැදිලා වගේ පේන අත පොවන මානේ තියන රුවන්වැලි සෑය දිහා බලන් ඉන්න. ඒ විදීම හිතට හරිම සුවදායකයි.

                                                                                           විභාගයක් අත පොවන මානෙ එනකොට අම්මලා අපිව එක්ක යන්නෙ දළදා මාලිගාවට.භාරයක් වෙන්න ... තියෙන භාර ඔප්පු කරන්න.දළදා මාලිගාවේ හරිම තේජසක් , භක්තියක්  ඇති කරන ගතියක් තිබුනට හැමවෙලේම හරිම ගොෂාකාරී නිසාම මම වැඩිපුරම ආසා මාලිගාවට යන්න නෙවේ , අනුරාධපුරේ යන්න.කවදාහරි පත්වීමක් ලැබිලා අනුරාධපුරේටම යන්න වුනොත්..මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.

එක හැන්දෑවක  අපි අනුරාධපුරේ යමින් ගමන්.. රේඩියෝ එකේ ලස්සන සිංදුවක් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.මම වාහනේ කවුළුවෙන් පේන ඈත ඉම දිහා බලන් හිටියා.

අහස දම් පාටට බරයි..වලාකුළු රන් තැටියක් දවටා ගන්නට වලි කන්නා වගෙයි..
එක යායට ඈතට ඈතට දිවෙන වෙල්යාය.. තැන තැන ගස් කොටන්..
ඒ නැවුම් සුවඳ අරං නහ පුඩු කිති කවන සුලං රැලි..

සඳැස් විදා මොණරු නටති 
මේඝ වලා පාවේ..
වලා වැලෙන් ගෙලේ වැටේ
මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැඳී
නඟත මධුර නාදෙ
මල් ගොමු තුල නිල් පලුදළ
යහන් නිබඳ සෑදේ

එදා අපි අනුරාධපුරේ ගියේ අප්පච්චිගේ "සුහද හමුව"කට.අවුරුද්දකට සැරයක් පැවැත්වෙන ඒ gettogether එකට අනිවාර්යෙන් අපි යනවාමයි.. මොකද කිවුවොත් ඒ උත්සව හැමදාම වගේ තියෙන්නේ එළිමහන් වල.වැව් ඉස්මත්තක... අනිවාර්යෙන් වැවක් අසල..

අපි තුන් දෙනා (අයියයි , නංඟයි , මමයි) ඔහේ ඇවිදන් ගියා.

ඈත තැනක කට්ටිය ස්ටෙලා.. ම්ම්.. ඒ කියන්නෙ කට්ටිය set වෙලා.
මෑත කොනක අම්මලා වෙනම කතාවක..


පාවහන් ඉවතලා තෙත නිල් තණ පියසේ අයාලේ සක්මනේ යෙදෙනකොට ..
වලා සිඹ සිඹ අපිත් එක්ක තනියට එහෙ මෙහෙ එන්නා සේ පෙනෙන සඳ මඬල දැක දැක
වැවේ සිහිල් පිනි සුලඟට ලොබ බැඳ බැඳ..
ඒ පැත්තටම අපි ඇඳුනා..

ලවන් ඔඩම තුඩ තබමින්
බොත රස මධුපානේ
සුරත් සහන් එළි දැල්වේ
දෙනුවන් මිණි පානේ
ලඹ තුන් සපු දුනුකේ මැද
පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිලැල් හඳ පානේ..


දිනෙක කෙනෙක් මේ වගේම නිස්කලංකෙ ඇවිදන් යන්න ඇති 
කියලා මට හිතුනා..
එහෙම යනකොට හිතට මට වගේම ලොකු සුවයක් වගේම අමුතු මිහිරි හැඟුම් නැඟෙන්න ඇති..
ඒ සිතුවිලි පතක කැටයමක් කපන්න ඇති...
ඒ කැටයම නන්දා මාලනියගේ හඬින් වගේම මියුරු තනුවකින් ඔප වැටෙන්න ඇති..
ඒ නිසාම..ඒ හැඟුමම දැනෙන නිසා... මේ නිසසල පරිසරයේ දී මට ඒ ගීතයට මෙතරම් සමීප බවක් දැනෙනවා ඇති...
මේ දැං දැං ඇහෙනවා වගේ දැනෙන්නෙ ඒ නිසාම වෙන්න ඇති..

ඒ සුවයෙන් හිත මුදන්න කවියා අකැමැති වෙන්නට වඩා බිය වෙන්න ඇති.. හරියට අද මං වගේ..
මේ මිහිරියාව සිහියක් දෝ සැකයක් දැනෙන්න ඇති 
මේ මට වගේ..

දැහැනට සම වැදිලා ඔහේ මගේ සිත පාවි පාවි තියනකොට..

"අක්කී , අපි දැං යමු ද..? "....

මගෙ සිහිනය මට දකින්න 
ඉඩ හරින්න..

මගෙ සිහිනෙන් මා මුදන්න 
ලං නොවන්න..



 සිහිනයට තරම් තටු නෑ මට නං..