ඔයාලට කියන්ඩ යාළුවනේ , මගේ නඟාට ඊයේ යස වැඩක්නේ වුනේ.සාමාන්යෙන් අපේ නංඟිගේ කෙස්ගස් වලින් බේරෙන්නෙ අති පණ්ඩිතකම.. එහෙම වෙච්ච කෙල්ලගේ කෙස්ගස්වලින් අසාමාන්‍ය විදිහට ඊයෙ බේරුනේ බූරු කම.. :P:P... මතකද දන්නෙ නෑ අපේ නඟා පොඩිකාලෙ ඉඳන්ම සෑහෙන පණ්ඩිතයි කියලා ඔප්පු කරපු කතාව.. හෙ..හේ දැං එයා ඇබිත්තං නෑ... ඒ වගේම ගම් මිරිස් ඇටේකුත් නෙවේ.. කොච්චි කරලක්.. :P:P.. (හැබැයි ටිකක් පැණි රසයි.. ^_^...)
ඉතින් දැං එයා සෑහෙන ලොකුයිනේ.හරි හරියට රූපෙ ගැන කල්පනාව.. කණ්නාඩියට විරිත්තනවා.. රවනවා.. ආයෙත් හිනා වෙනවා.. කෙලවරක් නැති විකාර වැඩ... :D...
එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා කොණ්ඩෙ.කොණ්ඩෙ ටිකක් කපනවා.. ආයේ තෙල් ගානවා.. ටිකක් විකාර.. ;) වැඩ ගොඩායි.. මේ ලඟදී conditioner එකක් ගෙනත් . රිලවට කණ්නාඩිය අහු වුනාට දෙවනි නෑ ...
"අක්කා , කොහොමද මේක use කරන්නේ..? " දැන් ඉතින් කියලා දෙන්ඩ එපැයි A to Z..
"conditioner හිස් කබලේ ගෑවෙන්ඩ දෙන්ඩ එපා චුම්.. මොකද කිවුවොත් එතකොට හිස්සොරි එනවා.. එහෙම වුනාම මූන හඳ වගේ වෙනවා..(ආවාට , කඳු හෙල්.. :P)... ඒ වගේම විනාඩි 10ක් කොණ්ඩෙට තියන්න ඕනෙ .. ඊට පස්සේ කොණ්ඩෙ හෝදලා දාන්ඩ.. හරිද..? "
"හරි හරි... "
ඔන්න ඉතිං එක්කෙනෙක් Bath room එකට යනකොට අරං යනවලු stop watch එකක්.. එක දවසක් අම්මා දැකලා වැඩේ මාට්ටු වුනා..
"මොකද චූටි දෝණි stop watch එකක් bath room එකට අරං යන්නේ..?"
කෙල්ල සද්ද නෑ.. මී පැටික්කී වගේ..:P ඉතිං උත්තර බදින්ඩ වුනේ අහල පහල හිටිය මට..
'අහ්... මේ..මේ... එයා conditioner එක use කරනවා ඇති... අකුරටමනේ වැඩ.. "
මේකයි කියන්ඩ ගියේ.. එයා ඒ තැනදී නම් හරි... ඒත් සමහර වෙලාවට මේ වගේ වැඩ වෙන්ඩ පුළුවන්..
ඒ තමා ඊයේ.. මොරසූරන වැස්සේ සපත්තු කුට්ටමක් ගන්ඩ නංඟී අම්මා එක්ක ටවුන් ගිහින්.මොකද මේ සෙනසුරාදා එයාට පද්‍යගායනා කලාප තරග.. :D... (සපත්තු ගෙවිලලු.. අනේ මගෙ කට.. >:( ...)
එහෙම ගිය නංඟී හෙමීට අම්මගෙ කනට කන්කරච්චලයක් වෙලා..
"අම්මා අනේ hair brush එකක් ගමූ.. කොණ්ඩෙ අග බාල්දි කොක්ක වගේ, කැතේ බෑ... "
නංඟගෙ කුනු කුනුව අහං ඉන්ඩ බැරි තැන අම්මා 200/=කට hair brush එකක් අරංදීලා තියෙන්නෙ "බඩපිස්සිගෙ ආසවනේ" කියලා හිතං... :P:P
ඔන්න මම රෑ කොණ්ඩෙ පීරන්න කණ්නාඩි මේසෙ ලඟට යනකොට තියනවා හරිම හුරුබුහුටි hair brush එකක්.. අම්මේ මට දැනුන සන්තෝසේ... සන්තෝසේ වැඩි කමට පණ දාගෙන කවදාවත් පනාවක් දැකලා නෑ වගේ මම කොණ්ඩෙ පීරන්න පටන් ගත්තා...
"ෂා.. ටිප් ටොප් නේ... "... මට කියවුනා.. (අනේ ඉතිං මගේ බලු නැට්ටක් වගේ කේශ කලාපයට මොකට hair brush සැපද කිවුවලු.. )
ඔන්න එතන්ට සැපත් වුනා මගේ දයාබරිත නංඟා පොඩ්ඩ..
"අක්කා.. මේකෙන් කොහොමද පීරන්නේ..?"
ආයෙත් lecture එකක් ඕනෙ වගේ (මම හිතුවා... )
"කොණ්ඩේ අගට තියලා ඇතුලට කරකවන්ඩ... "short & sweet.. :P:P
ඔන්න ඉතින් මම එහෙම කියලා ඇඳ උඩ තිබුන මගෙ මේ දවස්වල ප්‍රියතම කතා පොත අතට ගත්තා.. මේ මම ඒක කියවන 5 හෝ 6 වෙනි වතාව නේද කියලා හිත හිතා "රණවිරුවෙකුගේ ආදරය" පොත කියවන්න පටන් ගත්තා.
"අක්..කී...... " ඕහ්... ඔන්න පටන් ගත්තා කුණු කුණුව..
"ඇ..යි....... " මට සෑහෙන්ට නැති වුනත් ටිකක් තරහා..
"මේ පනාව කොණ්ඩෙ පැටලුනා.. "
"මොකක්...?"මම පොතෙන් ඇස්දෙක ගන්නෙ නැතුවම ඇහුවා.. මොකද පනාවක් කොණ්ඩෙ පැටලෙන එක ලොකු දෙයක් යැයි.. අනික අපෙ නංඟිට හිට ගත්තම බිම ගෑවෙන තරම් දිග කොණ්ඩෙකුත් නෑනෙ.. පනාවක පැටලෙන්න.. :D
"අනේ.... මේ බලන්ඩකෝ..... "
"අනේ ඔයාගේ අදෝනාව නවත්තං මෙහාට එන්ඩ... "මම පොත පැත්තකින් තිබ්බා.. අපොයි දෙවියනේ,කතාව ඇත්ත.. පනාව කොණ්ඩෙ එල්ලෙනවා.. නංඟි නිකම් කාඩ් පැක් එකක ජෝකර් වගේ... හික්ස්.. මට හිනා...
"ඔයාට නං හිනා.. මැට්ටී... "
"කෝ එන්ඩ... ඕක ලිහලා දන්න.. " මට ඉතිං දුකත් එක්ක..
කොච්චර එහාට මෙහාට කරලා උත්සාහ කරත් කොණ්ඩෙ ලිහෙන පාටක් නෑ.. නංඟි කොණ්ඩෙ ගොඩක් ලස්සන කර ගන්ඩ hair brush එක හිස් කබලට යනකම්ම කරකවලා.. "වැඩි පණ්ඩිතකම් හොඳ නෑනෙ"..
ඒ අතරෙ අම්මත් කාමරේට ආවා.. සිද්ධිය සැල කරාට පස්සේ අම්මා සුපුරුදු දේශනේ පටන් ගත්තා... මම කොණ්ඩෙ බේරගන්න හදනවා... නංඟිට ඇඬෙනවා.. අම්මා දේශනේ කරගෙන යනවා..
"අර චූටි අක්කා.. කොණ්ඩෙට පුදුම සාත්තුවක්ලු කරන්නෙ,පෙනෙන්නෙ නැද්ද ඉතින් දැං එයාගෙ කොණ්ඩෙ පංකාදු පහයි. ඒකට අපේ ලමයි... කල වැද්දෝ වගේ.. තෙල් ටිකක් ඔළුවට දාන්නෙ නෑ... විටමින් ඒ ගාන්න දෙන්නෙ නෑ... හෙයා මසාජ් එකක් කරන්න දෙන්නෙ නෑ.. ෆෑන් එකට අල්ලලා කොණ්ඩෙ වේලන්නේ.. ඉතින් කරුන්කා ගෙඩියක් විතර කොණ්ඩයක් තමා ඉතුරු... අනේ කරුමේ කරුමේ... "
"මේකනේ අම්මා,අම්මා තෙල් ගාන්නේ රෑට.. ඉතින් ඒ තෙල් උදේ වෙනකොට නලලට ආවම හිස්සොරිත් එක්ක එකතුවෙලා කොස් කට්ටක් හදනවා... අම්මට විටමින් ගාලා හෙයා මසාජ් කරන්න දුන්නොත් මගේ ඉතිරි කොණ්ඩ ගස් ටිකත් ගැලවෙන සයිස් මසාජ් එකක් තමා කරන්නෙ.. ෆෑන් එකට අල්ලලා කොණ්ඩෙ වේලුවේ නැත්තම් කොණ්ඩෙ පිළුනු වෙනවා.. දැන් හරිද..?" මම සාධාරණ කරුණු දැක්වීමක් කරා.
"අම්මේ කටේ සැර.. Medical faculty තේරුනා කියලා හිතන් ඉන්නේ දැන් ඔක්කොම දන්නවා කියලා.. ඒ මොකෝ ශිල්ප දැනුම බිංදුවයි... " අම්මට ටිකක් තරහ ආවා.
"ඔතන ගෝරි කර ගන්නෙ නැතුව මගෙ කෝන්ඩෙ බේරගන්න විදිහක් හිතන්ඩකෝ...... !!!!"
"දැන් නං තියෙන්නෙ කපන්න තමයි කොණ්ඩෙ." මට හිතුනේ එහෙමයි.
"ඉඉඉඉඉඉඉඉඉඉඉ....හිඉඉඉඉඉඉඉඉඉ.... අ...පෝ... බෑ..... "
"එහෙනම් මැලිබන් චොක්ලට් බිස්කට් දුන්නොත්??"
"අක්කා මේ.. විහිළු වලත් සීමාවක් තියෙන්ඩ ඕනෙ හරිද..? .... ම්ම්...... එක්කෝ ලස්සනට කපමු.."
ඒකත් එක අතකට ඉබ්බා දියේ දැම්මා වගේ තමා... කොණ්ඩෙ ටිකක් කපා ගන්න පුළුවන් නේ..
ඉතිං ඔහොම ඔහොම අන්තිමට මම නංඟිගෙ කොණ්ඩෙට වැඩේ දුන්නා.. ඔච්චර කරපු මට නංඟි අන්තිමට මොකද දන්නවද කිවුවේ..
"අනේ අක්කෙ.. ඉදිරි අනාගතේ රස්සාවක් නැතුව විරැකියාවෙන් මැරෙන්න ගියත්.. සැලූන් එකක් නං දාන්න එපා"
\.
ඕනෑම දෙයක්... ඕනැවට වඩා.. ඕනෙ නෑ..