Thursday, September 29, 2011

කැමතී අකමැතී..



                            Facebook එකට මම ආසා කරන හේතු බොහොමයකි.එකක් දෙකක් නම් පාසලෙන් ඉවත් වූ පසු මිතුරන් මුණ ගැසීමට ඇති හොඳම ක්‍රමයක් වන බැවිනි.අනෙක නම් ඇබිත්තක් හෝ කඩ්ඩ polish වන බැවිනි.අනෙක්වා නම් ආසාවට තමන් කල නිර්මාණ අනික් ඈයන් සමඟ බෙදා හදාගෙන ගුණ දොස් අසා තෘප්තිමත් විය හැකි හෙයිනි.. :):)

                             ඔහොම තෘප්තිමත් වෙන්න ගිය මොහොතක මට හොඳ වැඩක් වුනා. මම ඉතින් මීට කලින් වතාවකත් windows movie maker එකෙන්  ඉස්කෝලෙ කාලෙ photo edit කරලා vedio එකක් හැදුවා.ඒක upload කරේ පරණ account එකෙන්.(මට දැන් තියෙන්නෙ අලුත් account එකක්..:D) ඉතින් ඔය විදිහටම මාදුරුඔය ගිහින් ඇවිත් මම තව vedio එකක් හැදුවා.මේකට යොදා ගත්ත audio track එක තමා ප්‍රශ්නෙ වුනේ.

                             මම ගත්තේ හින්දි සිංදුවක මියුසික් එකක්. ඉතින් vedio එක upload කරන්න හැදුවට මෙන්න FB එක කියනවා "මම කොපියක් හොරෙන් අරන් upload කරනවා ලු.ආයෙ එහෙම කරොත් මට කවදාවත් vedio upload කරන්න දෙන්නෙ නැතිලු.. "

                             අනේ ඉතිං මම බය වුනේ නෑ... උත්සාහවන්තයා ජය ගනී කියලා හිතන් ආයෙ ආයෙ වැරදි වැඩේ කරා.. :P:P

                             දැන් තමා මට්ටු වුනේ.. ඒ vedio එක තියා.. අද වෙනකම් වෙන කිසිම vedio එකක් upload කරන්න FB එක දෙන්නෙ නෑ මට..

                             මම පරණ accout එකෙන් upload කරලා අලුත් account එකට share කරන එක තමා දැන් කරන්නෙ.. මේ වැඩේ මට හරි කරදරයක්.. ඇත්තටම කිවුවොත් account දෙකක් තියෙන එකත් හරිම වාතයක්.. තේරෙනවා නේද..?

මම දැන් මේකට මොකද කරන්නෙ..?

ඔයාලට අදහසක් හෙම පහල වෙනවා නම් මට පිහිට වෙනවද..? :D



මේ නිසා මට දැං වෙලාවකට FB එපා වෙනවා.. ඒත් මම FB එකට කැමති.. :D:D

Wednesday, September 21, 2011

මන්ද රිදුන කාරණාව..?

මගෙ හිත රිදුනා
මට ගොඩක් හිත රිදුනා
අහන්න එපා ඇයි කියලා
මට කියන්න බෑ ඒ ඇයි කියලා
ඒත් මට හිත රිදුනා

අහන්න එපා ඒ අම්මා බැන්න නිසාද කියලා
නෑ ඒ නිසා වෙන්න නැතුව ඇති
හිතන්න එපා ඒ හිතේ තිබුනු පැතුමක් බිඳුනු නිසා කියලා
සමහර විට ඒ නිසාද කොහෙද
අනේ හිත රිදුනා
මගේ හිත බිඳුනා

අහන්න එපා මගෙ හිත විදුරුද කියලා
අනේ නෑ හිත ඒ තරම් හයිය නෑ මගෙ
හිතෙයිද දන්නෑ මම කිසි පරිස්සමක් නෑ කියලා
අපෝ මම මගෙ හිතට ආසයි
ගොඩක් මහ ගොඩක් හරි ආදරෙයි

මගේ හිත රිදුනා
මගේ හිත බිඳුනා
මෙහෙම ලියු හින්දා
ආයෙ හිත හැදුනා..



සදාදර සොඳුරු සිතුවිලි..හැර නොයන් මා..තනි නොකරන් මා...


Thursday, September 15, 2011

මැටි වැඩ..



                                     ඔයාලට කියන්ඩ යාළුවනේ , මගේ නඟාට ඊයේ යස වැඩක්නේ වුනේ.සාමාන්‍යෙන් අපේ නංඟිගේ කෙස්ගස් වලින් බේරෙන්නෙ අති පණ්ඩිතකම.. එහෙම වෙච්ච කෙල්ලගේ කෙස්ගස්වලින් අසාමාන්‍ය විදිහට ඊයෙ බේරුනේ බූරු කම.. :P:P... මතකද දන්නෙ නෑ අපේ නඟා පොඩිකාලෙ ඉඳන්ම සෑහෙන පණ්ඩිතයි කියලා ඔප්පු කරපු කතාව.. හෙ..හේ දැං එයා ඇබිත්තං නෑ... ඒ වගේම ගම් මිරිස් ඇටේකුත් නෙවේ.. කොච්චි කරලක්.. :P:P.. (හැබැයි ටිකක් පැණි රසයි.. ^_^...)

                                         ඉතින් දැං එයා සෑහෙන ලොකුයිනේ.හරි හරියට රූපෙ ගැන කල්පනාව.. කණ්නාඩියට විරිත්තනවා.. රවනවා.. ආයෙත් හිනා වෙනවා.. කෙලවරක් නැති විකාර වැඩ... :D...

                                          එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා කොණ්ඩෙ.කොණ්ඩෙ ටිකක් කපනවා.. ආයේ තෙල් ගානවා.. ටිකක් විකාර.. ;) වැඩ ගොඩායි..   මේ ලඟදී conditioner එකක් ගෙනත් . රිලවට කණ්නාඩිය අහු වුනාට දෙවනි නෑ ...

"අක්කා , කොහොමද මේක use කරන්නේ..? " දැන් ඉතින් කියලා දෙන්ඩ එපැයි A to Z..

"conditioner හිස් කබලේ ගෑවෙන්ඩ දෙන්ඩ එපා චුම්.. මොකද කිවුවොත් එතකොට හිස්සොරි එනවා.. එහෙම වුනාම මූන හඳ වගේ වෙනවා..(ආවාට , කඳු හෙල්.. :P)... ඒ වගේම විනාඩි 10ක් කොණ්ඩෙට තියන්න ඕනෙ .. ඊට පස්සේ කොණ්ඩෙ හෝදලා දාන්ඩ.. හරිද..? "

"හරි හරි... "

                                        ඔන්න ඉතිං එක්කෙනෙක් Bath room එකට යනකොට අරං යනවලු stop watch එකක්.. එක දවසක් අම්මා දැකලා වැඩේ මාට්ටු වුනා..

"මොකද චූටි දෝණි stop watch එකක් bath room එකට අරං යන්නේ..?"

කෙල්ල සද්ද නෑ.. මී පැටික්කී වගේ..:P ඉතිං උත්තර බදින්ඩ වුනේ අහල පහල හිටිය මට..

'අහ්... මේ..මේ... එයා conditioner එක use කරනවා ඇති... අකුරටමනේ වැඩ.. "

මේකයි කියන්ඩ ගියේ.. එයා ඒ තැනදී නම් හරි... ඒත් සමහර වෙලාවට මේ වගේ වැඩ වෙන්ඩ පුළුවන්..

ඒ තමා ඊයේ.. මොරසූරන වැස්සේ සපත්තු කුට්ටමක් ගන්ඩ නංඟී අම්මා එක්ක ටවුන් ගිහින්.මොකද මේ සෙනසුරාදා එයාට පද්‍යගායනා කලාප තරග.. :D... (සපත්තු ගෙවිලලු.. අනේ මගෙ කට.. >:( ...)

එහෙම ගිය නංඟී හෙමීට අම්මගෙ කනට කන්කරච්චලයක් වෙලා..

"අම්මා අනේ hair brush එකක් ගමූ.. කොණ්ඩෙ අග බාල්දි කොක්ක වගේ, කැතේ බෑ... "

නංඟගෙ කුනු කුනුව අහං ඉන්ඩ බැරි තැන අම්මා 200/=කට hair brush එකක් අරංදීලා තියෙන්නෙ "බඩපිස්සිගෙ ආසවනේ" කියලා හිතං... :P:P

                                        ඔන්න මම රෑ කොණ්ඩෙ පීරන්න කණ්නාඩි මේසෙ ලඟට යනකොට තියනවා හරිම හුරුබුහුටි hair brush එකක්.. අම්මේ මට දැනුන සන්තෝසේ... සන්තෝසේ වැඩි කමට පණ දාගෙන කවදාවත් පනාවක් දැකලා නෑ වගේ මම කොණ්ඩෙ පීරන්න පටන් ගත්තා...

"ෂා.. ටිප් ටොප් නේ... "... මට කියවුනා.. (අනේ ඉතිං මගේ බලු නැට්ටක් වගේ කේශ කලාපයට මොකට hair brush සැපද කිවුවලු.. )

ඔන්න එතන්ට සැපත් වුනා මගේ දයාබරිත නංඟා පොඩ්ඩ..

"අක්කා.. මේකෙන් කොහොමද පීරන්නේ..?"

ආයෙත් lecture එකක් ඕනෙ වගේ (මම හිතුවා... )

"කොණ්ඩේ අගට තියලා ඇතුලට කරකවන්ඩ... "short & sweet.. :P:P

                                        ඔන්න ඉතින් මම එහෙම කියලා ඇඳ උඩ තිබුන මගෙ මේ දවස්වල ප්‍රියතම කතා පොත අතට ගත්තා.. මේ මම ඒක කියවන 5 හෝ 6 වෙනි වතාව නේද කියලා හිත හිතා "රණවිරුවෙකුගේ ආදරය" පොත කියවන්න පටන් ගත්තා.

"අක්..කී...... " ඕහ්... ඔන්න පටන් ගත්තා කුණු කුණුව..

"ඇ..යි....... " මට සෑහෙන්ට නැති වුනත් ටිකක් තරහා..

"මේ පනාව කොණ්ඩෙ පැටලුනා.. " 

"මොකක්...?"මම පොතෙන් ඇස්දෙක ගන්නෙ නැතුවම ඇහුවා.. මොකද පනාවක් කොණ්ඩෙ පැටලෙන එක ලොකු දෙයක් යැයි.. අනික අපෙ නංඟිට හිට ගත්තම බිම ගෑවෙන තරම් දිග කොණ්ඩෙකුත් නෑනෙ.. පනාවක පැටලෙන්න.. :D

"අනේ.... මේ බලන්ඩකෝ..... " 

"අනේ ඔයාගේ අදෝනාව නවත්තං මෙහාට එන්ඩ... "මම පොත පැත්තකින් තිබ්බා.. අපොයි දෙවියනේ,කතාව ඇත්ත.. පනාව කොණ්ඩෙ එල්ලෙනවා..  නංඟි නිකම් කාඩ් පැක් එකක ජෝකර් වගේ... හික්ස්.. මට හිනා...

"ඔයාට නං හිනා.. මැට්ටී... " 

"කෝ එන්ඩ... ඕක ලිහලා දන්න.. " මට ඉතිං දුකත් එක්ක..

                                        කොච්චර එහාට මෙහාට කරලා උත්සාහ කරත් කොණ්ඩෙ ලිහෙන පාටක් නෑ.. නංඟි කොණ්ඩෙ ගොඩක් ලස්සන කර ගන්ඩ hair brush එක හිස් කබලට යනකම්ම කරකවලා.. "වැඩි පණ්ඩිතකම් හොඳ නෑනෙ"..

                                         ඒ අතරෙ අම්මත් කාමරේට ආවා.. සිද්ධිය සැල කරාට පස්සේ අම්මා සුපුරුදු දේශනේ පටන් ගත්තා... මම කොණ්ඩෙ බේරගන්න හදනවා... නංඟිට ඇඬෙනවා.. අම්මා දේශනේ කරගෙන යනවා..

"අර චූටි අක්කා.. කොණ්ඩෙට පුදුම සාත්තුවක්ලු කරන්නෙ,පෙනෙන්නෙ නැද්ද ඉතින් දැං එයාගෙ කොණ්ඩෙ පංකාදු පහයි. ඒකට අපේ ලමයි... කල වැද්දෝ වගේ.. තෙල් ටිකක් ඔළුවට දාන්නෙ නෑ... විටමින් ඒ ගාන්න දෙන්නෙ නෑ... හෙයා මසාජ් එකක් කරන්න දෙන්නෙ නෑ.. ෆෑන් එකට අල්ලලා කොණ්ඩෙ වේලන්නේ.. ඉතින් කරුන්කා ගෙඩියක් විතර කොණ්ඩයක් තමා ඉතුරු... අනේ කරුමේ කරුමේ... "

"මේකනේ අම්මා,අම්මා තෙල් ගාන්නේ රෑට.. ඉතින් ඒ තෙල් උදේ වෙනකොට නලලට ආවම හිස්සොරිත් එක්ක එකතුවෙලා කොස් කට්ටක් හදනවා... අම්මට විටමින් ගාලා හෙයා මසාජ් කරන්න දුන්නොත් මගේ ඉතිරි කොණ්ඩ ගස් ටිකත් ගැලවෙන සයිස් මසාජ් එකක් තමා කරන්නෙ.. ෆෑන් එකට අල්ලලා කොණ්ඩෙ වේලුවේ නැත්තම් කොණ්ඩෙ පිළුනු වෙනවා.. දැන් හරිද..?" මම සාධාරණ කරුණු දැක්වීමක් කරා.

"අම්මේ කටේ සැර.. Medical faculty තේරුනා කියලා හිතන් ඉන්නේ දැන් ඔක්කොම දන්නවා කියලා.. ඒ මොකෝ ශිල්ප දැනුම බිංදුවයි... " අම්මට ටිකක් තරහ ආවා.

"ඔතන ගෝරි කර ගන්නෙ නැතුව මගෙ කෝන්ඩෙ බේරගන්න විදිහක් හිතන්ඩකෝ...... !!!!" 

"දැන් නං තියෙන්නෙ කපන්න තමයි කොණ්ඩෙ." මට හිතුනේ එහෙමයි.

"ඉඉඉඉඉඉඉඉඉඉඉ....හිඉඉඉඉඉඉඉඉඉ.... අ...පෝ... බෑ..... "

"එහෙනම් මැලිබන් චොක්ලට් බිස්කට් දුන්නොත්??" 

"අක්කා මේ.. විහිළු වලත් සීමාවක් තියෙන්ඩ ඕනෙ හරිද..? .... ම්ම්...... එක්කෝ ලස්සනට කපමු.."
ඒකත් එක අතකට ඉබ්බා දියේ දැම්මා වගේ තමා... කොණ්ඩෙ ටිකක් කපා ගන්න පුළුවන් නේ..

ඉතිං ඔහොම ඔහොම අන්තිමට මම නංඟිගෙ කොණ්ඩෙට වැඩේ දුන්නා.. ඔච්චර කරපු මට නංඟි අන්තිමට මොකද දන්නවද කිවුවේ..

"අනේ අක්කෙ.. ඉදිරි අනාගතේ රස්සාවක් නැතුව විරැකියාවෙන් මැරෙන්න ගියත්.. සැලූන් එකක් නං දාන්න එපා" 
\.



ඕනෑම දෙයක්... ඕනැවට වඩා.. ඕනෙ නෑ..

Saturday, September 10, 2011

බ්ලොග් හීන..

                                       ගිය අවුරුද්දේ A/L කරපු මට ඒ ආසන්න කාලෙදී බ්ලොග් ගැන හීන තිබුනේ නෑ.මොකද හීන දකින්න තියා බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියලාවත් මට හරි අවබෝධයක නොතිබුන නිසා.

                                       ගොඩාක් පෙරේත කෑදර කමින් රත්‍රන් සමාන කාලය කා දාන මම දැක්කම අයියට දුක හිතුන නිසා තමයි මට මුලින්ම බ්ලොග් එකක් හදලා දුන්නේ.

                                       රෝස පාට ලස්සන බ්ලොග් එකක් හදලා ඒකට හරියට තේමාවක් , මට අන්වර්ථ නමක් හිතන්න කියලා අයියා කිවුවත් මට එච්චර දෙයක්වත් හිතෙන්න තරම් නිර්මාණශීලි හැකියාවක් නොතිබුන නිසා අයියා මුවින් නොබැන "පියගැටපෙළ අද්දර" කියලා ලස්සන තේමාවකුත් එක්ක "ප්‍රාර්ථනා" බ්ලොග් ලෝකෙට හදුන්වා දුන්නා.

                                       බොහොම අමාරුවෙන් කොළ කෑලි , ප්‍රශ්න පත්තර පුරා කුරුටු ගෑවුන කවි කෑලි ටිකක් අමුණලා මම මගේ පළවෙනි පෝස්ට් එක ලියන්න පැයක් විතර ගියා.. (කවි පේලි 16ක් විතර)
මේ බ්ලොග් එකේ මුල්ම ඇරඹුම් ලිපියත් අයියාගේ අනුදැනුම ඇතුවයි ලිවුවේ.

                                        ටික ටික අනික් බ්ලොග් වලට ගොඩ වදිනකොට මම මුලින්ම දැක්ක ලොකුම හීනෙ තමා පෝස්ට් 25ක් ලියන එක..  මම දැනගත්තම Facebook එකේ වගේ මේකෙ යාළුවෝ add කර ගන්න බෑ කියලා.. සෑහෙන උත්සාහ කරලා followers වැඩි කර ගන්න ඕනෙ කියන හිතිවිල්ලත් ආවා හිත මුදුනට මුදුනට..

ඒත් මම කියවපු බ්ලොග් වල හැටියට මගේ ලිපි මොනවද..? මම දැනගත්තා.

                                        මුල් ලිපි ලියවෙනකොට වගේම තාමත් අළුත් ලිපියක් ලිවුවම දවසට දෙතුන් සැරයක් ඇවිත් බලනවා කොමෙන්ටු කීයක් ඇවිත් තියනවද  ... ඒ වගේමොනවද කියලා තියෙන්නේ කියලා.. :):)

                                        නිසඳැස් වලට අමතරව කොහොමද මගේ ලිපි සිත්ගන්නා සුළු විදිහට ලියන්නෙ කියලා මම හෙවුවා.. ගොඩාක් බ්ලොග් වල ඇවිද්දා.... අන්තිමට මම හිතුවා හැමෝටම තියනවා තමන්ගේම අනන්‍යතාවයක් කියලා.. මටත් එහෙම දෙයක් තියනවද කියලා හිතුනා..

                                       එහෙම හිතලා මම ආසම ක්ෂේත්‍රයක් මේකට යොදා ගන්න හිතුවා.ඒකෙන් මටත්තෘප්තියක් ලැබෙන නිසා. ඒ තමා ගීත ගැන ලිවීම. ගීත වලට විචාර ගොඩක් අය දෙනවා.. එහෙව් එකේ ඇයි බැරි ගීතයෙන් කියවෙන දේ රසවත් කතන්දරයකින් කියන්න කියලා මට හිතුනා... ටික දවසක් යනකොට ඒ ක්‍රමේ සාර්ථකයි කියලත් තේරුනා.

                                       ටික ටික ඉදිරියට මම ඇවිත්... දියුණුවෙමින් ඉන්න කෙනා ආපසු හැරී බලන්න හිතුව දවසට එයාගෙ දියුණුව පෑල දොරෙන් පලා යනවා කියලා කතාවක් තියනවා. 

                                       කීප සැරයක් බ්ලොග් ලිවිල්ල නවත්තන්න... අතරමඟ කමාවක් තියන්න මට හිතුන වාර ගණන බොහෝමයි.. අන්තිමට මම හිතුවා මගේ බ්ලොග් එක විනිවිද පේන කඳුළු බිංදුවක් කර නොගෙන පොඩ්ඩක් ඩයි දැම්ම වතුර බිංදුවක් කර ගන්න... එතකොට කවුරුහරි කියවලා අතරමඟදී මුන ගැහිලා සමච්චල් කරයි කියලා බයකුත් නෑනෙ.

                                        බ්ලොග් එකක් කියන්නෙ කෙනෙක්ගේ අනන්‍යතාවය.. ඒක එයාගෙ හදවත නොවුනත් එයාගෙ ස්වරූපය පෙන්නුම් කරනවා.. පරිභාහිර සමාජය නොදකින සත්‍ය පුද්ගල ගති ස්වභාවය ඔහුගේ හෝ ඇයගේ බ්ලොගය කියවූවොත් අපට දැන ගන්න පුලුවන්. 

                                       ගඟක් වන් ජීවිතයේ කෙනෙකුගේ ජීවිතයේ ජීවිතයක් තුල වුනු නොයෙක් හැල හැප්පීම් විතරක් නෙවේ සිද්ධින් සමුදායක්.. රසවත් විදිහට ගබඩා කර ගන්නත් පුළුවන්..

                                       සමහර විට තව මාසෙකින් විතර මම අයෙත් අධ්‍යන කටයුතු පටන් ගත්තම මට මේ පැත්තේ එන්න වෙන්නේ සති දෙකකට තුනකට සැරයක් වෙන්න පුළුවන්.. 

                                       එහෙම වුනාම සමහරවිට එකින් එක්කෙනා... මගේ බ්ලොගය අතඇරලා යන්න පුළුවන්... එතකොට මට ගොඩාක් දුක හිතෙන්නත් පුළුවන්...

මොකද මම මේ බ්ලොග් එක ගොඩාක් අමාරුවෙන් ගොඩ නඟා ගත්ත එකක්...

එහෙම වුනා කියලා මම දකින බ්ලොග් හීන බොඳවෙලා යන්නෙ නැති වෙයි,,,,,...

ඒත්....
මම දකින පෝස්ට් 100 , 150 , 200ට යන්න...
followers 200 හීනෙ...
ලඟට යන්න ඇතිවෙලා තියෙන මගේ ආසාව හා උත්සාහය

අතහරීද.... මංදා....

බ්ලොග් හීන උඩින් මං ආව හා ඉදිරියට යන ගමන...හරියට,

පැතුම් පියගැටපෙළක ඉහලට ඉහලට යනවා වගේ..



දැං මම... පියගැටපෙල අද්දර නොවේ...........

Tuesday, September 6, 2011

ෂැම්පු චක්‍රය..




                                       අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න ඒත් අපි නොදන්නවා වගේ ඉන්න දෙයක් ගැන.මම ඔළුව හෝදන හැම වෙලාවකම මේ ගැන ලියන්න හිතනවා..ඒත් PC එක ලඟට ආවාම ලියන්න තියා හිතෙන්නවත් කිසිම කිසි දෙයක් නෑනෙ.

1 අදියර : 

රුවී T.V බලයි. 
ලස්සන දිලිසෙන යස වරලසක රහස SUNSILK SUNSHINE යැයි එහි කියයි.

මෙච්චර කල් SUNLIGHT තැවරූ රුවී කඩයට ගොස් ..

"අන්කල් ,මට ෂැම්පු පැකට් එකක් දෙන්න.." කියයි.
"ඇයි එකක්.. ඉල්ලන්ඩකො දෙකක්.." කඩේ මාමා ෂැම්පු පැකට් දෙකක්ම රුවීට දෙයි.


2 අදියර :

රුවී දිනපතා වරලස දිදුලනු වස් SUNSILK SUNSHINE හිසේ ගල්වයි.

1 ආනිසංසය : 

පෙර නොවූ විරූ ලෙස කොණ්ඩයේ හිස්සොරි හටගනී.
හිස්සොරි මුහුණට වැටී මුහුණේ Blackheads & White heads දක්නට ලැබේ.
කුරුලෑ ලප කැලැල් ගහන "හඳක්" වන් වතක් ලැබේ.

3 අදියර :

රුවී නැවත T.V බලයි.
ලප කැලැල් වලින් තොර සුසුදු සුසිනිඳු සමක සාඩම්බර හිමිකාරියක් වීමට නම් සති 3ක් Fair & Lovely පාවිච්චි කල යුතු යැයි එහි කියයි.

රුවී නැවත කඩයට යයි.
සති තුනක් ආලේපනය යොදයි.
ඵලක් නැත.. මුහුන තාමත් "සඳක්" මෙනි.

"ඔය black heads & white heads වලට solution එක hair treatments.. ප්‍රධාන හේතුව හිස්සොරි" යැයි සැලූන් එකේ අක්කා ඉංග්‍රීසි හුරුවට කියයි.
රුවීට කිසිත් නොතේරේ.හිස්සොරි අයින් කරගත යුතු යැයි පමණක් තේරේ..

ඇය නිතිපතා T.V බලයි.
එවිට හිස්සොරි වලට විසඳුම Zero Dandruff යැයි බීපාෂා බාසු කියනු දකී.

ඇය කඩේ මාමාගෙන් ඒ ෂැම්පු මිලට ගනී.


2 ආනිසංස :

හිස්සොරි මදක් අඩු වේ. 
කොණ්ඩට සට සට ගා ගැලෙන්නට පටන් ගනී.
පෙර කිතුල් රෑනක් වන් තිබූ වරලස බලු නැට්ටක් බවට පත් වේ.

4 අදියර : 

ඇය දිගටම ඉවසීමෙන් T.V බලයි.
මේ සඳහා Hair fall Controll පාවිච්චි කල යුතු යැයි එහි කියයි.
පැලුණු හිස කෙස් වලටද මෙයින් ප්‍රතිකර්ම ලැබෙන බව පරීක්ෂන මඟින් සොයාගෙන එම සොයාගැනීම් මෙහි යොදා ඇතැයි එයි කියයි.

අන්තිම වතාවට පෙර වතාව ලෙස රුවී කඩේට යයි.
ෂැම්පු පාවිච්චි කරයි දින කීපයක්.

3 ආනිසංස :

කොණ්ඩය යෑම මඳක් නවතී.
කොණ්ඩය වියලී.. තඹ පැහැ වේ.
අම්මා ඇයට "තම්ඹ පිස්සී" යැයි ගෞරව නාමයක් ප්‍රධානය කරයි.

5 අදියර :

මෙයට එකම විසඳුම Conditioner භාවිතා කිරීම බව සැලෝන් එකේ අක්කා නැවත කියයි.

දැන් රුවී ගේ ඉවසීමේ සීමාවේ පැනීමට ඔන්න මෙන්න ය. 
ඇය අවසාන වතාවට කඩේට යයි.ස්

සතිපතා conditioner භාවිතා කරයි.

4 ආනිසංස :

කොණ්ඩය දිදුලන කළු පැහැ වේ.

නමුත්...

කොණ්ඩය පීරන විට හිම වැටෙන්නාක් මෙන් හිස්සොරි ඇඳ හැලේ..

රුවීගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි...



අවසානයේ ඇය... අනිත්‍යය මෙනෙහි කරමින් බවුන් වැඩීමට අවසන් තීරණයට එළැඹේ.







Thursday, September 1, 2011

ප්‍රාර්ථනා අලිපේර බීම හැදුවා වගේ..



                                මේ ලිපිය ලියන්නේ අපේ අම්මගේ බලවත් ඉල්ලීම මත.. කැකිල්ලේ නඩුවක්.. නිසා අම්මට පුංචි මඩක් වැදුනා කියලයි අම්මා හිතන්නේ,ඒකට return එක විදිහට තමයි මේ සිද්ධිය ඔයාලට කියන්ඩ කිවුවේ.. අම්මගෙත් ආසාවනේ ඉතිං.
                                ඇත්තටම කිවුවොත් කාලෙකට කතාවෙවී හිනාවෙන්ඩ පුලුවන් විදිහේ සිදුවීමක් සිදුකිරීම ගැන විතරක් අම්මා මට ස්තූතිවන්ත වුනා.මෙන්න එහෙනම් සිද්දිය....

                                ඔන්න ඉතින් මේ පලතුරු කාලෙ නේ.අඹුටං , පේර , අනං මනං ගොඩාක් තියනවා අපි හැමෝටම කන්න. ඔහොම ඉන්නකොට ඊයේ පෙරේදා ලොකුඅම්මා දුන්නා අලිපේර ගෙඩි කීපයක් .. මාතලේ නම් පලතුරු යුෂ වීදුරුවක් රු:80 ත් 100ත් අතර වෙනවා.. සමහරවිට ඊටත් වැඩී.
                               ඒ විතරක්ද අලිපේර කියන්නේ ලස්සන වීමෙ රහස :P:P... ඔය හැමදේම නිසා අලිපේර කියන්නේ සෑහෙන නොසෑහෙන වටිනාකමක් තියෙන දිව්‍ය ඖෂධයක් වගේ දෙයක් (අතිශයෝක්තිය වැඩිද මංදා..:D)

                               ඔන්න ඒ තරං වටින අලිපේර ගෙඩියක් අරං , මදේ බ්ලෙන්ඩරේට දාලා වතුරත් එක්ක , සීනි ලුනුත් ඒකටම දාලා බ්ලෙන්ඩ කරා.(මෙන්න මෙහෙමයි juice හදන්නේ ,හරිද ළමයි..? :))

                               හරි, දැන් බ්ලෙන්ඩ කරලා ලොකු වීදුරු ජෝගුවට මිශ්‍රනේ දැම්මා කියමුකෝ.. සෑහෙන ලොකු ජෝගුවක් නිසා ඒකට සෑහෙන දිග මිටක් තියන හැන්දක් ඕනෙ මිශ්‍ර කරන්න.ඉතින් ඕකට යොදාගත්ත උපකරනේ තමා දෝෂ සහගත වුනේ.. 
                               මම මේ සඳහා යොදා ගත්තේ ප්ලාස්ටික් ස්පැරියුලා එකක් . ඒක  ටිකක් හයියයි..:):)..ඕනෙම පරීක්ෂනයක් දෝෂ සහිතයි කියන දේ හැමෝටම තේරුම් ගන්න බැරි එකනේ මෙතන තියන ප්‍රශ්නේ..:):)

                               ඇත්තටම සෑහෙන රසටත් බීම එක තිබුනා. මම ඒ සතුටටත් එක්ක රිශ්මයානුකූලව බීට් එක ටිකක් වේගවත් කරලා මිශ්‍ර කරා..

ගතවුනේ නිමේශයයි..!!!!

                               වීදුරු ජෝගුවේ අඩිය ලගින් කෑලි කීපයක් විසිවුනා.. ද්‍රවස්ථිතික පීඩනය මුලින් වැඩිනිසා සෑහෙන වේගෙන් අලිපේර යුෂ  එළියට ඇදුනා.. 

මම හිතාගන්නවත් බැරුව බලන් හිටියා.

                              මේ දැන් පිපාසය නිවාගන්න තිබුන බීම ඔක්කොම ස්ලැබ් එක උඩයි , බිමයි හැලිලා කුස්සිය එකම අපායක් වුනා.. :(.... 

අලිපේර ජලාශයක් මැද ඉන්නවා වගේ හැඟීමක් තමා මට ඒ වෙලේ දැනුනේ..:P:P

                               ඔන්න ඔය වගේ තත්වෙක මම ගල්ගැහිලා ඉන්නකොට අපේ ගෙදර "නිසිබලධාරි උතුමිය" එතන්ට සැපත් වුනා. 

අනේ... වාසනාවන්... 

"හෙට අනිද්දා විශ්වවිද්‍යාලෙට යන්ඩ හිටියට මොකද මොලේ කලඳක් නෑ.. බ්ලා...බ්ලා..බ්ලා..."

සාමාන්‍ය ජනතාව(අයියා සහ නංගී) සිද්ධිය සිදුවූ තැනට පිරෙන්න පටන් ගත්තා.

තවත් සමහර විද්වතුන් (අත්තම්මා) ජනමාධ්‍යට කරුණු ඉදිරිපත් කරන්ඩ පටන් ගත්තේ මෙහෙම..

"ඇත්තටම නොතේරෙන කමක මහත.. ඔය වගේ හයිය හැන්දකින් කූරු ගානකොට වීදුරු භාජනයකට ඔරොත්තු නොදෙනවා කියන එක තේරෙන්නෙ නෑනෙ.. කිසිම පට්ටලයක් නෑ..." ( මේ දේවල් කියන්නෙ සිද්ධියට මුහුණදුන් ගැත්තීට නෑසෙන්නට බවත් නිසිබලධාරියාගේ දැනගැනීම සඳහා පමණක්ම බවත් කරුණාවෙන් සළකන්න)

මේ අතර සාමාන්‍ය ජනතාවගෙන් සමහරක්(නංගී) සිද්ධියට මුහුණ දුන් ගැත්තීට උපකාර කිරීමට ඉදිරිපත් වුනා.

මේ සිද්ධියේ අතුරු පල විපාක තාම පටිසන් දෙන්න පටන් ගත්තා විතරයි.. ( හැමෝම ඉදිරියේ bite වීම..)

                                අන්තිමට කියන්න තියෙන්නෙ මේ දවස්වල මාව අවුස්සන්න පුලුවන් ලේසිම ක්‍රමය විදිහට ප්‍රථම ස්ථානයට පත්වෙලා තියෙන්නෙ..

"මට අලිපේර juice එකක් හදලා දෙන්ඩ පුළුවන් ද..? " කියලා අහන එක විතරයි.. (simple plan එකක්..:P)


ඔන්න ඕකයි කතාව..