Tuesday, July 26, 2011

ඕනෙනං කාපන් නැත්තම් නිකං හිටපන්..



                                 ලඟදි දවසක මමයි අම්මයි අප්පච්චී ගියා අප්පච්චිගේ යාළුවෙක් බලන්න.මොකෝ කිවුවොත් මේ අන්කල්ට heart attack එකක් ඇවිත් ඔපරේෂන් එකක් එහෙම කරලා හිටියේ.ඔන්න ඉතින් සල්ලි බාගෙත්තියන උදවිය තමයි ඒ. අපි ගෙදරට ඇතුල්වුනා. ලොකූ TV එකක නම් තිබුනා ගේ සාලේ.අපිව පිලිගත්තේ අන්කල්. දැන් අප්පච්චි අන්කල් එක්ක හරි හරියට කතාව. ඒත් ඇන්ටි පේන්න නෑ. 

"නදීෂා..."
අන්කල් කතා කරා. 

එක සැරයක් නෙවේ කීප සැරයක්... කතාවක් නෑ. 

ඔන්න ඉතින් ඒ අතරේ අන්කල්ගේ පම්පෝරිය.

"මට කිසි ලෙඩක් තිබුනේ නෑ මචං.. අවුරුදු එක හමාරකට සැරයක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවානේ.. ඒකෙදී තමා කිවුවේ ටෙන්ට් එකක් දාමු කියලා..."
(එතකම් කතා කරන ටිකටත් අන්කල්ට සෑහෙන්ට හති... )

ඔන්න පැය භාගෙකට විතර පස්සේ ඇන්ටි උඩතට්ටුවේ ඉඳන් ආවා..  

                                 ඇවිත් කතා කරකර හිටියා. ඒ ගෙදර අතට පයට උදව්වට අය නිසා තේ හදන්නවත් ඇන්ටි කරදර වුනේ නෑ.ඊට පස්සේ සාලෙ තිබුන ට්‍රොලියක තේ , කෙසෙල් තිබ්බා.. ඒ වගේම අතට අරං ආව බිස්කට් ටික ටොලියේ තිබුන පොඩි බන්දේසියට දැම්මා... දාලා අපි හිටපු පැත්තට තල්ලු කරා... හරියට "ඕනෙනං කා.. නැත්තං නිකම් හිටු" වගේ... :):) 

                                 සල්ලි බාගේ තියන ඉහල පැලැන්තියේ උදවිය එහෙම වෙන්න ඇති.. නමුත් ඒ ආගන්තුක සත්කාරය තුල ලෙන්ගතු කමක් තිබුනද කියලා දෙසරයක් හිතන්න මට සිද්ධ වුනා... 

ඒ එක කතාවක්..

                                අපි මීට අවුරුදු ගාණකට කලින් අනුරාධපුරේ ගියා. ඒ අප්පච්චි එහෙ ඉන්න කාලේ අඳුරන අයගේ ගෙවල් වලට ගිහින් ටිකක් කතා බහ කරලා එන්න.ඒ ගෙවල් මහ ලොකු ඒවා නම් නෙවේ... එයාලා ගොඩක් සල්ලි තිබුන අය නම් නෙවේ...
එයාලා අපිට ලොකු ලොකු දේවල් වලින් සංග්‍රහ කරෙත් නෑ..

ඒත් හිතට දැනෙන උණුසුම් පිලිගැනීමක් එහෙදී අපිට ලැබුනා.. ආයෙත් එහෙ යන්න හිතවන තරම්... 



හිතට දැනෙන්න දෙයක් කරන්න ලොකු ලොකු දේවල් අවශ්‍ය නෑ... හැබැයි පොඩි දේ ගැනත් එතනදි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ.

Sunday, July 24, 2011

කැකිල්ලේ නඩුවක්..



                              ඔන්න ඒ දවසත් අනිත් දවස් වගේම කැකිල්ලේ රැජිණ(මා මෑණියන්..:D) අපේ රාජ්‍ය රජකම් කරන දවසක්..එදවස මමවහන්සේ PC නැමැති සූදුවට ඇබ්බැහිවෙලා ඒ වෙතම හිත දෑස යොමා සිටිය සැන්දෑවක්.ඔන්න ඔහොම ඉන්නකොට... මමවහන්සේට මෙවැනි හඬක් සවතක වැකුනා රාජ භෝජන ශාලාවෙන්...

"සල බලාන්.... " 

                                 එකෙනෙහිම මට වැටහී ගියේ තවත් වටිනාකියන වීදුරු බඳුනක් පරලෝ සැපත් වූ බැව් ය. එයින් හිත කඩාහැලී හඬාවැටී සියලු දේ අනිත්‍ය යැයි මෙනෙහි කරමින් ඒ දෙසට ඇඳුනේ කවුරු අතින් ඒ බඳුන බිඳුනද ඒ පුද්ගලයාගේ හිත සුව පිණිසයි. එහෙම යනකොට නෙත ගැටුනේ කැකිල්ලේ රැජිණ අතින් බිම වැටුන වීදුරුබදූනක සුන්බුන් අපේ රාජ්‍යයේ අග්‍රපුරෝහිතතැන(නැගණියන් :P) විසින් අහුලමින් ඉන්න ආකාරයයි.

"බලන්ඩ.. හොඳම වීදුරු 6න් 2වනි වීදුරුව..... " රැජිණ කියන්නට විය

"අනේ අම්මා ඕවා බිඳෙන බඩු නේ.... " මමවහන්සේගේ හිත උණු විය.

"කිසි දේක අගයක් නෑ.." ඒ රැජිණ යි. 

මම අන්දුන් කුන්දුන් විය. කොහේ යන දේවාලයක් හිසේ කඩාපාත් වෙන්ඩ යන්නේදැයි මට නොහැඟිනි.

"කාටද අගේ නැත්තේ..?"

"ඊයෙ අර නැන්දම්මලා ආව වෙලේ ඔයා ඔක්කොම වතුර වීදුරු එළියට ඇද්දේ නැත්තම් අද මෙහෙම මේ වීදුරුව කැඩෙන්නෙ නෑනෙ...."

( ආදරණිය අපෙ අම්මා.... )



Saturday, July 16, 2011

හිතුවක්කාරයි දිවිය ඔයා..



පරඩැලක් පවනේ එතීගෙන
ඈත මෑතට පාවි යයි
මා නොසිතු මා කිසිත් නොපැතූ
සියල් දේ අද එළිබසී
සිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්..

සුදන දුදනන් සිටී නම් ලොව
මම අඩකි එකෙකින්
මුළු එකෙකි එ දෙකෙන්..

ඇලී වුන් උන් ඇදී ඈතට
ඈත සිටි උන් ලඟයි මා හට
හොඳ උනුත් අද නරක් වී
නරක උන් ගැන හොඳ පෙනී....

අතීතය අමතකද අද මට
ගෙවූ අමිහිරි තැන් ඔහේ...
සුන්දරලු මා ගෙවු පුරන් කල්
නොදුටු හෙට දිනටත් වඩා...
හිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්...



මගේ යයි සිතූ මුත්... එසේ නොවූ ... සිතා ගෙවන්නේ යැයි සිතූමුත්... මගෙන් මිදී තමන් රිසි සේ ගෙවෙන "මගේ ජීවිතය" ...මදක් වටහුණි.

Thursday, July 7, 2011

ඇල්බට්..

විවාහ වී වසරක් පමණ ගෙවුනු පසු ඇනාගේ ජිවිතය කෙබඳු වන්නට ඇද්ද..? අද එතැන් සිට..

 
                              ඇත්ත ඇති සැටියෙන් පැවසිය යුතුය.මා මෙතෙක් කල් සිතා සිටියේ එය වසන් කරන්නටය. නමුත් මට තවදුරටත් එය කල නොහැක. මම ඇත්ත පිළිගත යුතුයි.. එනම් මම බිඳෙන් බිඳ රිචඩ්ට ආදරය කිරීමට පටන්ගෙන ඇත.

                               මේ සෑම සියළු දෙයක්ම සිදුවූයේ කොතරම් ඉක්මනින්ද.. මටම නොදැනී. මම අවුරුදු හතරක් පහක් පිටුපසට ඇඳුනෙමි.

                               එක යායට විහිදුන තිරිඟු යායකට මායිම් වන්නට එතරම් විශාල නොමැති මුත් අවශ්‍ය සියලු පහසුකම් සහිත ලස්සන ගෙදරක් ඉදිරියේ ඈත බලාගෙන සිටින්නේ වෙන කිසිවකු නොවේ මමයි.දඬු වැටට දෑත් වැලමිටෙන් බරකර අත්ල මතට මූණේ බරදී.. දෑස් කකියන තුරු කලක් මම ඈත ක්ෂිතිජය දෙස බලා සිටියෙමි. ඒ මිටියාවතේ ඈත කොනින් මතුවන මිනිස් රුවක් දකින අටියෙනි.

ඔහු කටකාරයෙකි. ඇල්බට්..!!!..අපගේ පළමු හමුවම පුදුමාකාරය.

                                දිනක් අපේ නිවසට අමුත්තෙක් හරිම හුරුපුරුදු කාරයෙකු ලෙස ගොඩ වැදුනි.ඔහු කඩුල්ල ඉවතලා තම දුඹුරු පැහැ අසු ඒ මතින් දක්කා.. අපේ ඉස්තාලය අසල අසු ගැටගසා  ඌට කෑමට විළද බදුනත් බීමට ජල බඳුනත් ලංකර එයින් සෑහීමකට පත්විය. එයින් පසු වටපිට බැලූ ඔහු..

"අහ්.. වෝල්ටා මහත්මිය,කරුණාකර මට පාවිච්චියෙන් ඉවත්කල රෙදි කෑල්ලක් දෙන්න පුළුවන්ද..?"

"මහත්මිය..???"
මම මටම මුමුණාගත්තෙමි.
ඉහවහා ගිය කේන්තියෙන් මුත් එය ඔහුට නොඅඟවා කිසිත් නොදොඩා මම ගෙට ගියෙමි.

"මහත්මිය??? "ඒකෙන් ඔහු අනිවාර්‍යෙන්ම අදහස්කරේ මම මගේ අම්මා( කැත්‍රින් වෝල්ටා) බවට වරදවා වටහා ගත් බව ඇඟවීමද..? ඔව්... ඒක තමයි... අන්තිම නරකයි.. අන්තිම කැත විහිළුවක්... සමහරවිට අත්වැරදීමෙන් කියවුනාද දන්නෙ නෑ..මම සිතා ගතිමි.

ඒ සමඟම මම පහල මාලයේ කතාබහට ඇහුම්කන් දුනෙමි.

"ඇයි මොකද ඇල්බට් මහත්මයා අමුත්තෙක් වගේ මිදුලට වෙලා..?
ඒ මගේ අම්මාගේ කටහඬයි.

"අහ්... මේ කැත්‍රින් වෝල්ටා මහත්මිය වෙන්න ඇති.. මම මේ ගෙදර ඉස්සරහ හිටගෙන හිටිය ගෑනු ලමයගෙන් පරණ රෙදි කෑල්ලක් ඉල්ලුවා.. මම මේ ඒක ගේනකම් ඉන්නෙ මගෙ පැට්ව පිහදාන්ඩ"

එහෙනම් මේ තමා ඇල්බට්... පුහ්... දැං ගෑනු ලමයලු... ඉස්සෙල්ලා මහත්මිය... හිතලම කරපු අවමානයක්... මම ලේසියෙන් අත අරින්නෙ නෑ... "
මම කවුළුවෙන් ඇල්බට් දෙස බලාගෙන එසේ කිවුවේ අතද මිට මොළවාගෙනය.

"මේ මොකද මේ..?"
(ඔහ්..  කවුද දන්නෙ ඔය වගේ වෙලාවල්වල අම්මා කාමරේට කඩාපනී කියලා..)

"ම්..මුමු..කුත් නෑ අම්මේ... මම මේ බැලුවේ අර ආව පෝරිසාද උන්නැහේ කවුද කියලා.."
මම දෑත් දෙපසට විහිදුවා හොඳ හුස්මක් ගන්නා අතරේ ඇඟට පතට නොදැනී කීවේ අම්මා දෙසත් මිදුල දෙසත් මාරුවෙන් මාරුවට බැලුම් හෙලමිනි.

"ඇනා... ඔයාගෙ ඔළුව හොඳ නැද්ද..? "

"ආව්..ආව්.... "
(අම්මා මගේ කනකින් අල්ලාගෙන සැරෙන් නමුත් හඬ බාල කර ඇසුවා ය.)

"ඔය ඇවිත් ඉන්නේ ලොකු සල්ලිකාරයෙක්.. එයාට කියන්නෙ දත් ඇල්බට් කියලා.. ඒ මොකද කිවුවොත් එයා කරන්නෙ අශ්ව වෙලදාම.. සල්ලි ගොඩ ගහන්න තරම් තියෙනවලු.. ඔය අස්සේ මගෝඩි වැඩ වලටත් සම්බන්ධයක් තියනවලු. එහෙම මිනිහෙක්ට ඔයාගෙ ඔය එක වචනෙ ඇති ඔයාව මරන්ඩ.. "

"අම්මා..???"
මම බියට වඩා පුදුමයට පත් වීමි.

"කෑ ගහන්ඩ එපා මෝඩ කෙල්ල.."
අම්මාගේ ඉවසීමේ සීමාව මට පෙනෙන නොපෙනෙන ගාණයි.

..........                      එලෙස කලාතුරකින් අපේ නිවසට ගොඩ වැදුනු ඇල්බට් කලක් ගතවනවිට අපේ නිවසට සමීපතයෙකු බවට පත්විය. මුලින් මිතුරන් ලෙස ඇසුරුකල අපි දෙදෙනා නොදැනීම පෙම්වතුන් බවට පත්වුනෙමු. ඒ මොහොත වනවිටත් මට එදා අම්මා කියූ දෑ වතුරට දැමූ සෝඩියක් කැබැල්ලක් තරම් ඉක්මනට මතකයෙන් වාශ්ප වෙමින් තිබූ අතර ඇල්බට් මට වඩා 15 වසරක් වැඩිමල් වීමද මට ප්‍රශ්නයක් නොවුනි... හේතුව මම බොහෝ දේ පිළිබඳව උවමනාවට වඩා සරලව හිතීම යැයිමට හැඟේ.

                                ඔහු බෙහෙවින් කටකාර ය. බොහෝවිට අපි සති අන්තවල අසු පිටින් නගරයට යන්නට පුරුදු වී සිටියෙමු.එහිදී ඉතා වටිනා අත් පළදනාවක් හෝ වටිනා කුමක් හෝ තිළිණ කිරීමට ඔහු පුරුදු වී සිටියේ ය.
                                ඇත්තෙන්ම මට එතරම් වටිනා බඩු පිළිබඳ විශේෂ ආශාවක් නොතිබූ නමුත් මම ඔහු සමඟ ගත කරන හැම නිමේශයක්ම මට සතුට ගෙන දුනි.ඔහුහා දොඩමළු වීමම මට ලොකු සතුටක් ගෙන දුනි.

                                මේ සම්බන්ධයට මපියා හෝ මව කිසිදු කැමැත්තක් නොදැක්වුවද ඇල්බට්ට විරුද්ධව වදන් පෙලගැස්වීමට තරම් එඩිතර නොවූහ.ඇල්බට්ගේ චරිතයේ කිසිදු වරදක් නොතිබූ මුත් ඔහුගේ ව්‍යාපාර ගැන මිනිසුන් අතර පැතිරී ගිය කටකතා ඉතා දරුණු ඒවා විය.

                                 දිනක් හවස කාලයකට පසු තේ මේසයට අම්මා ,මම සහ තාත්තා ඉතුරු විය. සේවිකාවද නිවාඩු ගිහින් හිටි ඒ සැන්දෑව පෞද්ගලික දෑ කතාබහ කරගැනීමට හොඳ පරිසරයක් ඇතිකර තිබුනි.

"දුව ඇනා.."
තාත්තා යමක් කීමට හදයි.

"ඔව් තාත්තේ කියන්න... මොකක්ද කියන්න හදන්නෙ..?"
මට යමක් වැටහීගෙන එයි.

"ඔයා දන්නවනේ... ඔයාගෙ සම්බන්ධෙට අම්මයි මමයි දෙන්නම අකමැති.. ඒ වෙන දෙයක් නිසා නෙවේ ඇල්බට් හොඳ මිනිහෙක් නොවන නිසා...."

මම හිතුවා හරි...
"කොහොමද තාත්තා එහෙම කියන්නෙ..? ඇල්බට් කරන රැකියාව පැහැදිලී... එයා අශ්වයෝ ඇති කරලා විකුණනවා... ඊරිසියාකාර මිනිස්සු කියන දේවල් වලින් තාත්තලා අන්ධවෙලා ඉන්නේ.."
මට ඇතිවූයේ කලකිරීමකි.

"පුතේ,අපි ඔයාට හොඳ මනමාලයෙක් හොයලා තියෙන්නෙ.."
අම්මා මගේ දෑත් මුදුව පිරිමදින අතර් කීවා ය.

"මොකක්ද..?... ආයෙත් කියන්න අම්මේ..."
මගේ මොළය තුලට ඉඳිකට්ටක් අරං දස දහස් වාරයක් සිදුරු කලානම් මීට සැප යැයි මට සිතුනි.

"මට පෙම්වතෙක් ඉද්දී...? මට මනමාලයෙක් හෙව්වා..?"

"ඇනා,මගෙ දුවේ... ඔයා ජීවිතේ දිහා බැලුවේ ගොඩක් සරලව.. තාමත් එහෙමයි... ඒත් අපිට ඔයාට වඩා ජිවිතෙ ගැන තේරෙනවා.මෙච්චර කල් අපි ඔයාට තීරණ ගන්න බලපෑම් කරේ නෑ.. ඉදිරියටත් නෑ... ඒත් දුවේ අපි කැමති ඔයාට හොදක් වෙනව දකින්න.. ඒක වෙන්න පුළුවන් එකම විදිහයි තියෙන්නෙ.. ඒ ගැන අපි ඔයාට කිවුවා.. ඉතිරිය ඔයාගෙ.... ඔයා කැමති තීරණයක් ගන්න.... "
තාත්තා හරිම සංවේඟයෙන් හැඟීම්බරව එහෙම කියලා නැඟිටලා යන්න ගියා.

මගේ පලමූ ආදරයේ අවසානය එයයි...

                                ඒ වෙන්වීම කෙතරම් තදින් මගේ මනසට කා වැදුනේද යත්... එතරම් කලක් උද්යෝගයෙන් සියළු ගේ දොර වැඩ වලට සහභාගී වූ මම පැහැදිලි වෙනසකට බඳුන් විය. ප්‍රබෝධමත් හිරු කිරණින් තුටු වීමට වඩා කාමරය තුලට වී පාළුවේ කිමිඳී සිටීමට වැඩි ඇල්මක් දැක්වීමි.

                                දෙමාපියන් කෙසේ ඇල්බට් අර්ථ දැක්වූවද.. මගේ තත්වය පැහැදිලි කර කියූ අවස්ථාවේ නියම මහත්මයෙක් ලෙස ඔහු කටයුතු කලේය. එනම් අපගේ අවසාන හමුවීමෙන් පසු අපි සතුරන් නුවුනෙමු. ඔහු මගේ දිවියට සුභ පැතුවේය. අපිදෙදෙනාට මුණ ගැසිය හැකි හොඳම සහරුවා/සහකාරිය අපි දෙදෙනාම නොවන බව අප වටහා ගෙන සිටියෙමු.ඒ හෙයින් ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට තරම් බුද්ධියක් අප දෙදෙනා තුල විය.
මේ විවාහයට අකැමැති වීමට තාත්තා දැක්කූ කරුණු මම නොවලහා ඔහුට කීවෙමි.ඒ ඔහු මා හොඳින් තේරුම් ගන්නා බව දැන් සිටි හෙයිනි.මම සිතූ ආකාරය නිවැරදිය.ඔහු මා තේරුම් ගත්තේ ය. එමෙන්ම මෙතරම් කලක් ඔහු අවිශ්වාස කල මගේ දෙමව්පියන් යලිදු කවදා හෝ ඔහු විශ්වාස කරනු ඇතැයි තමන් නොසිතන බව කීවේය. එවන් සැකයක් ඇති පුද්ගලයන් සමඟ තමන්ට ලඟින් ඇසුරු කිරීම ඉතා අසීරු වනු ඇතැයි යන්න ඔහුගේ අදහස විය.එය සත්‍යකි.

                                  එදා ඇල්බට් හැසිරුනු ආකාරයෙන් මා තුල ඔහු කෙරේ තිබූ ගෞරවය තවත් වැඩි විය.නමුත් එදින් පසු කිසිදිනෙක අපි හමු නොවුනෙමු...

                                 කාලය කෙමෙන් ගතවී යද්දී මට සුදුසු සහකාරයෙක් යැයි දෙමව්පියන් සිතූ තරුණයා හා මා අතර හමුවීමක් සංවිධානය කරන්නට තාත්තාත් අම්මාත් යුහුසුළු විය. මෙතෙක් කල් ඒ සඳහා ඉක්මන් නොවුනේ මගේ මානසිකත්වය ඔවුන් හොඳින් තේරුම් අරන් සිටි හෙයිනි... ඇත්තෙන්ම මගේ කැමැත්තට ඉඩ නොදීම ගැන මුලින් මා තුල වයිරයක් හටගෙන තිබුනද.. පසුව ඒ තත්වය කෙමෙන් තුරන් වෙමින් විය.

                                  රිචඩ් දුටු මුල්ම වතාවේ මා තුල යම් සතුටක් ඇතිවූයේ ඔහුගේද ඇල්බට්ගේද පෙනුමේ යම් යම් මා ප්‍රියකල සමානකම් තිබුනු හෙයිනි.සතුටට හේතුව නම් බාහිරවත් ඇල්බට්ට සමාන රිචඩ් ගති පැවතුම් වලිනුත් ඇල්බට් තරම්ම ක්‍රියාශීලි , උද්යෝගිමත් , කටකාර තරුණයෙක් වෙනු ඇතැයි මම සිතා ගත්තෙමි..

අපේ මුල්ම හමුව ගැන මම මාග්‍රට්ට කිවු කතාව ඇය ඔබත් සමඟත් කියන්නට ඇති...

එදා මම සතුටින් පසුවීමට හේතුව දැන් ඔබට පැහැදිලි ඇති... නමුත් ... නමුත් මට වැරදුනේ ද එතැනය.....

ඇනාගේ ඇත්ත කතාවේ ඉතිරිය සමඟ නැවත හමුවෙමු.

Wednesday, July 6, 2011

පිඟන් කටු..

(මුතුහර පොතේ වූ කතාවක් ඇසුරෙනි)

                                 ඇනා මා දුටු පුදුමාකාරම ගැහැනියකි.ඇය තරම් සරලව ජිවිතය දෙස බලන්නට මට හැකි වූවානම් දිනයක් තුල මගේ දරුවන් මත ඇඳ හැලෙන ගිගුරුම් සහිත වැසි බොහෝසෙයින් අඩු වන්නට තිබුනා. මා ඇනා මෙන් විසීමට උත්සාහ කලද එය සිතන තරම් පහසු දෙයක් නොවේ.

                                 මගේ චූටි පුතා රොබට් අතින් අත්වැරදීමකින් මල් බඳුනක් බිඳුන ක්ෂණයෙන් මම යක්ෂාරූඩ වෙමි.ඔහුට දෙකක් ඇන්න පසු ... තරහා නිවීගිය පසු මම ඒ පිළිබඳ පසු තැවෙමි.ලොකු දුව මිෂෙල් කොතරම් පිළිවෙලට සාලය අස්පස් කලද එහි මට පමණක් දුටු පමණින් දිස් වන අඬු ලුහුඬුවක් නොපෙනුන අවස්ථාවක් නැත.

                                දරුවන්ගේ අහිංසක උත්සාහයක් අගයන ලෙසත් , ඔවුන්ගේ සුළු අතපසුවීම් ගණන් නොගන්නා ලෙසත් මගේ සැමියා ජෝන් කොතරම් කීවද මට මා වෙනස් කරගැනීමට නොහැකිවී ඇත.

මා හා ඇනා ගත් කල පොළවට අහස මෙනි.මෙසේ කීමට හේතු බොහෝමයකි. මේ ඒ එක් සිද්ධියකි.

                                දිනක් සවස තේ පානය කිරීම සඳහා ඇනාගෙන් මට ආරාධනාවක් ලැබුන අතර වෙනදා මෙන් අසල්වැසි අනෙක් ගෘහණියන් මේ සඳහා සහභාගි නොවුනි.බොහෝවිට ඔවුන්ට පොඩි දරුවන් සිටිනිසා වැඩ රාජකාරි බහුල වන්නට ඇත.

එදිනද සුපුරුදු පරිදිම ඇනා මා උණුසුම් ලෙස පිළිගත්තා ය.

"අනේ මාග්‍රට් , ඒත් මම මඟ බලං හිටියේ ඔයා මොකද පරක්කු කියලා. ඇයි අද වැඩ ගොඩ ගැහුන ද..?"

"අනේ නෑ ඇනා , ඔයා දන්නවනෙ ඉතිං ළමයින්ගේ වැඩ ගැන. එක තප්පරෙන් මුළු ගෙදරම උඩුයටිකුරු කරනවා.. අනේ මං දන්නෙ නෑ , මමම එපැයි ඕවට නැහෙන්න... ජෝන් ළමයි කරන හැම වැඩක්ම පොඩි දරුවොනේ කියලා අහක බලං ඉන්නවා අනේ... ගෙදර අස් කරලා ,රෙදි හෝදලා එළියට බහිනකොට දන්නෙම නැතුව වෙලා ගියා.."

"හි.. ඇයි මාග්‍රට්.. ඔයාට හුරුබුහුටි ලොකු දුවෙක් ඉන්නේ... මම ගොඩක් විට දැකලා තියනවා එයා හරි හරියට ඔයාට උදව් කරනවා.."

"ඔව් ඉතින්.. මිෂෙල් මට උදව් කරන්නමයි හැම වෙලේම උත්සාහ කරන්නෙ.. ඒත් එයා කරන ගොඩාක් උදව් අන්තිමට මට තියෙන වැඩත් වැඩි කරනවා ඇනා... ගෙදර අතු ගෑවත් ආයෙ බලද්දී අතුගාලා තියෙන්නෙ උඩින් පල්ලෙන්, කවිච්චි යට කුණු ඳුවිලි එහෙමම... ඉතින් කොහොමද කරන්නේ.."

ඇනා මඳක් වෙලා නිශ්ශබ්දව සිනාසුනාය.
"ඉන්නකෝ මාග්‍රට්..මම ඔයාට පුංචි කතා ටිකක් කියන්නම්... මම හිතන්නේ ඒකට හොඳම වෙලාව තමයි මේ.. එන්න අපි යමු කෑම කාමරේට,..."

                                ඇය නිවස පිළිවෙලට පිරිසිදුවට තබාගෙන සිටියා ය. නමුත් ඇයටද මා හට මෙන්න පිරිමි දරුවන් දෙදෙනෙකු හා දියණියක් සිටී.  ඔවුන්ටද නිවසක් පිළිවෙලට තබාගැනීම ගැන හොඳ අවබෝධයක් ඇතැයි මට සිතුනි.

                                 මම ඇය පිටුපසින් කෑම මේසය වෙත ඇඳුනෙමි. ගෘහ සේවිකාව අමතා යමක් කියූ ඇනා පැමිණ කෑම මේසය අසල හිඳ ගත්තා ය. එවෙලේම කොහෙදෝ සිට පැමිණි ඇනාගේ චූටි දුව රොසෙල් ඇගේ ඇකයේ හිඳ ගත්තා ය.

"රොසෙල් දුව , ඔයා ගිහින් අයියලත් එක්ක සෙල්ලම් කරන්න... වැඩිහිටියන්ගේ කතා වලට පුංචි ඈයො ඇහුම්කන් දෙන්න හොඳ නෑ."
මම පුංචි රොසෙල් දෙස බලා කීවෙමි.

"අනේ ඔහේ හිටියාවයි මාග්‍රට්... ඔක්කොම වැඩ ඉවරකරලා මං දැං මගෙ පැටව් ආශ්‍රය කරන්න වෙලාවක් හදා ගත්තා විතරයි.."

"හරි..හරි.. ඔයා කැමති නම් ප්‍රශ්නයක් නෑ..."
මම සිනාමුසු මුහුණින් කීවෙමි.

"කෝ දැන් ඔයාගෙ කතා ..?"
මම නොඉවසිලිමත් වෙමී.ඇය සතු කතා බොහෝ ඒවා ඇත්ත කතාය.

"අහ්... ඔව්මයි.මට තව ටිකෙන් අමතක වෙනවා.ජෝජ්...... ලොකු පුතා..., ඔය පොත් රාක්කෙ උඩ තියන වීදුරු පෙට්ටිය අරං එන්න.."

ජෝජ් ක්ෂණයෙන් තරමක් විශාල වටිනා යැයි හැඟෙන වීදුරු බඳුනක් රැඟෙන ආවේ ය.එය විනිවිද පෙනෙන නිසා ඒ තුල වූ දෑ මට මොහොතෙන් දිස් විය.

"අහ්..!!!!"
                                 ඒ තුල වූ දෑ දුටු මා පුදුමයෙන් පුදුමයට පත් වුනෙමි. ඒ තුල වූයෙ එවන් වටිනා බඳුනකට කෙසේවත් නොගැලපෙන කැඩුනු පිඟන් කටු සමූහයකි. වඩාත් ලංව බැලූ කල ඒ තුල වූ පිඟන් කටු එකිනෙකට වෙනස් බඳුන් වලට අයත්ව තිබූ ඒවා බවත් ... එතැන පිඟන් කටු 5 , 6 කට වඩා නැති බවත් දිස් විය..

"පුදුම වෙන්න එපා මාග්‍රට්, මේ තමා මගේ ජිවිතේ වටිනාම වස්තු කීපය.. ඔයා හිතයි මේ පිඟන් කටු වටිනාම දෑ කියන්න තරම් මට ඔල්මාදේ හැදිලද කියල..( ඇත්තටම මට ඒ වෙලේ එවැන්නක් සිතුනි..) නෑ මාග්‍රට්... 

ඔය මේරි ගෙනාව ඉඟුරු විස්කෝතු එක්ක කිරි කෝපි තොලගාන ගමන් මේ කතා දෙක අහන්නකෝ.."
                                  එසේ කියමින් ඇය ප්‍රවේශමෙන් බඳුන විවෘතකර එහි උඩින්ම වූ සුදු පාට ,රත්‍රන් පාටින් වැඩදැමූ පිඟානක කොටසක් යැයි සිතියහැකි කොටසක් ඉවතට ගත්තාය.ඒ දෙස ඈ බලා හිටියේ හදපිරි ස්නේහ බැල්මකිනි.

මේ අතර මේරි ගෙනා විස්කෝතුවක රසබැලූ මා හෙමිහිට කෝපි කෝප්පය අතට ගත්තෙමි.

"මට මගේ ලොකු පුතා ජෝජ් හම්බුනේ ගොඩාක්ම තරුණ කාලේ.. ඉතින් ඒ පැංචා ඉපදිලා අවුරුදු හතරක් ගතවෙනකොට තවත් සාමාජිකයෙක් අපේ පවුලට එකතු වෙන්න ලෑස්තිවුනා..

දෙවනි පුතා ඇන්ඩෲ ඉපදෙන කාලේ ලං වෙනකොට නොදැනීම ජෝජ් පුතාට අපෙන් තිබුන අවධානය ගිලිහිලා යන්න පටන් ගත්තා.. ඒත් පුංචි ජෝජ් ඒ කිසි දේකින් තරහ ගත්තේ හෝ දඟ කරේ නෑ... 

හ්ම්ම්... අපි දෙන්නා පුංචි ඇන්ඩෲ ගෙදරට එක්කන් එන දවසේ ජෝජ් අපිට හොරෙන් ලොකු වැඩක් කරලා...

අපි ගෙදරට ගොඩ වෙනකොටම ස්ලාම්....!!!!... ගාලා ලොකු සද්දයක් ඇහුනා. මටත් කලින් කලබලෙන් රිචඩ් ( ඇනාගේ සැමියා) ගේ ඇතුලට දිවුවා...

මම පොඩි අත දරුවත් වඩාගෙන ඇතුලට යන්න තප්පර කීපයක් පරක්කු වුනා. මම ගෙදරට ගොඩ වෙනකොට රිචඩ් ජෝජ්ව තුරුලු කරන් .... මුළු සාලෙ පුරාම පිඟානක් බිදිලා විසිරිලා ගිය නටඹුන්... 

මම ක්ෂණයෙන් බැලුවේ ජෝජ්ගේ මූණ දිහා... එයා හොඳටම බයවෙලා මූණ බෙරි කරන් හිටියේ.."

"අනේ ඇනා.. ඔය වගේ වෙලාවක මම නං..... දෙවියනේ හොඳ පිඟන් කට්ටලයක් මේ කාලේ හැටියට කොච්චර වටිනවද..?"
මම කතාවට මදක් බාධා කලෙමි.

ඇය නිසංසලව මා දෙස බලා සිනාසුනා ය.

"නෑ මාග්‍රට්.. එතනදි ඔයා වැරදී. එදා පුංචි පෝප් එයාගෙ මල්ලිව පිළිගන්න කෑම මේසෙ ලෑස්ති කරන්න ගිහින්.. අපි ආව නිසා කලබල වෙලා එයා අතින් පිඟානක් බිම වැටිලා.. ඒ මම ආසම කරපු පිඟන් කට්ටයයෙන් එකක් තමයි... ඒත් මම ඒ වෙලාවෙ මගෙ ලොකු පුතාට බැන්නා නම්.. සැර කරානම්... 
(ඇය මඳක් නිහඬව සිටියා ය)
ම්හ්..නැහැ... මාග්‍රට්.. එහෙම වුනානම් පුතා මල්ලිට වයිර කරන්න තිබුනා.. ආයෙත් කිසිම හොඳ වැඩකට උනන්දු නොවෙන්න තිබුනා... 

ඒ වෙනුවට එදා රෑ රිචඩ් අපිට අවන්හලකින් විශේෂ කෑම වේලක් සූදානම් කරා... එහි මේසෙ මෙහෙම ලියලා තිබුනා..

   "එක සැනින් ලොකු අයියා කෙනෙකු වූ පුංචි ජෝජ්ට අම්මාගේ,තාත්තාගේ සහ මල්ලීගේ සුභ පැතුම්!"... 
ඒ දැක්ක පෝප්ගේ මූනෙ ඇඳුන ලස්සන හිනාව... මට අද වගේ මතකයි..
අන්න.. එදා කුඩු වුන පිඟානේ කෑල්ලක් තමයි මේ... "

"ඇත්තමයි ඇනා.. මට නම් ඔයා වගේ වෙන්න හිතන්නවත් බැරි වෙයිද මංදා...."
මට මා ගැනම ඇතිවූයේ පසුතැවිල්ලකි.

"නෑ..නෑ  මාග්‍රට්.. මේ කතාවත් අහලම ඉන්නකෝ..."

එසේ කි‍යූ ඇනාගේ වතට නැගුනේ ප්‍රේමාන්විත මදහසකි. ඇය විදුරු බඳුනෙන් ඊලඟට ඉවතට ගත්තේ තේ කෝප්පයක කොටසක් යැයි සිතිය හැක්කකි. එය නම් එතරම් වටිනාකමක් ඇති එකක් යැයි නොපෙනුනි...

මේ කතාව කුමක් විය හැකිද..?  
මම කල්පනා කලෙමි.

"හ්ම්... එදා තමයි මගේ ජිවිතේ සතුටුම දවස..

හරිම වැස්ස.. ඒත් ඔන්න මං බලන්න මනමාලයෙක් එනවා කියලා අම්මා කිවුවා.. එයා මගේ සොහොයුරාගේ  මිතුරෙක්.. "

"ඇනා...????"

"ඇයි මාග්‍රට්..?"

"පුංචි දරුවෙක් ඉස්සරහ කියන කතා.."

"අහ්.. ඇයි මම නරක දෙයක් කිවුවද..? ඒක හරියට සුරංගනා කතාවක් වගෙයි නේද රොසෙල්..?.."
ඇය කුඩා දියණියගෙන් ඇසුවාය. රොසෙල්ද සීයට සීයක් හිස වනයි.. අනේ රටකට ගිය කල.... මම සිතුවෙමි.

ඇනා යලිත් කතාවට පිවිසුනා ය.
"ඔන්න ඉතින්... එයා ආවා...  අම්මා මගේ අතට බන්දේසියක් දුන්නා තේ කෝප්ප පීරිසි ගොඩක් තිබුන.

මම ඇවිත් යැතැන හිටිය එකින් එක්කෙනාට තේ පිළිගැන්නුවා.. ඒ අතරේ හොරැහෙන් බැලුවා මනමාලයා කොහොමද කියලා... හි.."

"ඇනා.. මේකේ සීමාවක් තියෙන්න ඕනෙ.. "
ඔයා මෙතන උකුළු මුකුළු කතා කියනවා දූ ඉස්සරහ..  "

"ටිකක් ඉන්න මාග්‍රට්.. ලස්සනම කොටස තාම මඟ..."

"හොඳයි හොඳයි.. කියන්න කියන්න.."
මට තිබුනේ කතාව අසා ගැනීමට නොඉවසිල්ලකි.

"ඉතින් ඔන්න මම දැක්කා රිචඩ් මම දිහා බලං ඉන්නවා.. ඔන්න මම තේ බන්දෙසිය අරං එයා ලඟට යනවා... හම්මේ... ඔයාට කියන්න මාග්‍රට්,මගෙ කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තා... :):)..^_^..

ඉතින් ඔහොම ගිහින් තේ කෝප්පෙ පිළිගන්වනකොටම මගේ ඇස් දෙක දිහා බලන් රිචඩ් එක පාරටම ඇහුවා..

"මම ඔයාට කැමතී.... ඔයා මාව බඳින්න කැමතිද කියලා.."

මම වෙවුලලා ගියා..මගෙ අතින් තේ බන්දේසිය අත ඇරුනා... තේ සාලෙ පුරාම එලලා තිබුන බුමුතුරුණු වල විසිරුණා.. තේ කෝප්පෙයි පීරිසියයි.. කෑලි කෑලි වලට කැඩුනා.."

"අම්මේ.. හරිනං එතනින්ම මඟුල් කටුගෑවෙනවා.."
මට කියවුනි.

"කටුගෑවෙන්න තාම මෙතන මඟුල් කතාවක් වුනේ නෑනෙ මාග්‍රට්... 
ඉතින් මම ගොඩාක් බය වුනා. හදිස්සියට හදිස්සියට බිම වැටිලා තිබුන පිඟන් කෑලි එකතු කරන් පුළුවන් තරම් ඉක්මනට කෑම කාමරේට ගිහින් හැංඟුනා.. හැංඟිලා ඇති තරම් ඇඬුවා.. මම හිතුවේ එතරම් නොසැලකිළිමත් ගෑනු ළමයෙකුට රිචඩ් කැමති වෙන්නෙ නැති වෙයි කියලා...

ඒත් මම වැරදී..

සතියකට පස්සේ දවසක මගේ සොයුරා එයාගේ මිතුරන්ට සාදයක් පැවැත්වුවා. රිචඩ් එදා කළුවර මැදින් ආවේ අශ්වයා පිටින්.. එදා නම් මට එයාව පෙනුනේ තව තවත් කඩවසම් විදිහට..මම හිතින් දුක් වුනා.. එළියටවත් නෑවිත් හිටියා...  "

"අනේ..ඉතින්... ඊට පස්සේ...?"
මගේ බාධා කිරීම් වල නිමක් නැත.

"ඒත් අම්මා මට ,චීස් තවරලා හැම් මැදි කරපු පාන් පෙති පුරවපු ලොකු පිඟානක් ඔවුන්(මිතුරන්) සඳහා සූදානම් කරලා තිබුන කෑම මේසෙ ගිහින් තියන්න කිවුවා... 

අහ්... කියන්න අමතක වුනා.. එදා අර බිම වැටුන පිඟන් කෑල්ලක් මම තියාගත්තා රිචඩ් මතක් වෙන්න... 

ඉතින් ඒ වෙනකොටත් ඒක මම මගේ ඒප්‍රන් එකේ සාක්කුවක දාගෙන හිටියා.

අපේ කෑම කාමරේට කුස්සියේ ඉඳන් යන්න තියෙන්නෙ දිග කොරිඩෝවක් දිගේ.. ඉතින් මම ඒ දිගේ කෑම කාමරේට ගිහින් පිඟාන තියලා හැඳි ගෑරුප්පු සකස් කරලා ආයෙත් එන්න හැරුනා..

"ඇනා... ටිකක් නවතින්න.."

දෙවියනේ ඒ රිචඩ්... මම හිටපු තැනම නැවතුනා..නිකම් ගල්ගැහුනා වගේ... 

"ඇනා... ඔයා මගේ ප්‍රශ්නෙට දෙන උත්තරේ ගැන හිතුවද..?"

ඔහු ඇහුවා.

ඔයා මං දිහා බලං ඉන්න තරම්ම පුදුමෙන් මම එදා රිචඩ් දිහා බැලුවා..විශ්වාස කරන්න මාග්‍රට් එයාගේ අතේ තිබුනේ මොකක්ද කියලා..."

"ම්ම්.. අනිවාර්යෙන්ම ලස්සන රතු රොස මලක්... නැත්තම්... නැත්තම් ආමන්ඩ් රසකවපු ක්‍රීම් වට කරපු රසම රස චොක්ලට් කප් කේක් එකක්.."

"අනේ නෑ මාග්‍රට්... එයා අතේ තිබුනේ කැඩිච්ච පිඟන් කෑල්ලක්.. ඇත්තටම කිවුවොත් තේ කෝප්ප කෑල්ලක්.. "

අනේ ඔයා පව් ඇනා.. ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති..."
මට එහෙම වුනා නම් කියලා මම හිතුවා...

"මොන බොරුද මාග්‍රට්... මගේ සතුටට ඇස් වලට කඳුළු ඉනුවා... ඒ කඳුළු හද එළියට ලස්සනට දිලිසුනාලු.. ඒ ගැන රිචඩ් ලස්සන කවියකුත් මට ලියලා දුන්නා... විවාහය දවසේ...^_^.."

කතාව මදකට නැවැත් වූ ඇනා රොසෙල්ට ඇගේ ආභරණ පෙට්ටිය රැගෙන එන්නැයි කීවා..

                                   ඇනා එවර රිචඩ් තිළිණකල අළුත්ම මුතුමාලයක්වත් මට පෙන්නන්නට යනවා යන්නෙයි කිසිදු සැකයක් මට නොවීය.සතියකට දෙකකට වරක් අසල්වැසි අනෙක් මිතුරියන්ගේ නිවෙස් වලට එකතුවූ විටද ඔවුන්ගේ එකම වැඩේ අළුතින්ම ගත් ආභරණ ගැන විස්තර විචාරීමය.

                                   මේ අතර රොසෙල් හුරුබුහුටි ඕවලාකාර පියනකින් යුතු ආභරණ පෙට්ටියක් රැඟෙන ආවාය. එය විවෘත කල ඇනා ඉන් ඉවතට ගත්තේ මා කෙසේවත් විශ්වාස කල දෙයක් නොවේ.. එය තවත් පිඟන් කෑල්ලකි.. හොඳින් බැලූවිට මෙවර මට වැටහී ගියේ මෙය කලින් විදුරු පෙට්ටියෙන් ගත් තේ කෝප්ප කෑල්ල වර්ගයේම එකක් බවයි.

ඒ කැබලි දෙක අතට ගත් ඇනා..

"දන්නවද මාග්‍රට් අපේ දෙවන හමුවේ සිදුවුන ලස්සනම දේ,,,? මේ විදිහට අපි දෙන්නා අපි ලඟ තිබුන පිඟන් කෑලි දෙක එකිනෙකට ලං කලාම ඒවා එක මායිමකදී හොඳින් පෑහුනා.. හොඳට ගැලපුනා.. ඒ දැක්ක මට හොඳටම හිනා.. මම ඇති වෙනකම් හිනාවුනා.. රිචඩ් පුදුමෙන් බලන් හිටියා.. ඔහු හිතුවේ මම උමතුවෙලා කියලා... ඔහු පසුව කිවුවා.. අපේ මුල්ම හමුවෙදි බිමට වැටුන තේ කෝප්ප කැබැල්ලක්.. ඔහු කාටවත් නොපෙනෙන්න කබා සාක්කුවට දමා ගත් වග.."

"හ්ම්... ඇනා.. ඔයා අදත් මාව පුදුමයට පත් කරා,.. ස්තූතියි.. ඒ වගේම ඔයාගේ ඉඟුරු විස්කෝතුයි... කිරි කෝපි එකයි.. ඉස්තරම්.."

"සුළු දෙයක් මාග්‍රට්.... ජීවිතේ අපිට සතුටු වෙන්න..., වටිනා කමක් දෙන්න... අවශ්‍ය වෙන්නෙ සිතුවිලි විතරයි...  පිඟන් කැබැල්ලකටත් අර්ථයක්  ගෙනහැර පෙන්නන්න පුළුවන් වුනා නම්... තව කවර කතා ද..?"


ඇය ජිවිතේ කොතරම් සුළු දේවල් වලින් තෘප්තිමත් වන කාන්තාවක්දැයි මට සිතුනි..



ඇනාගේ තවත් ඇත්ත කතාවක් සමඟ යලිත් හමු වෙමු.

Tuesday, July 5, 2011

දක්ෂයා කවුද?..



"දුව..ඔයා මෙච්චර ඉහළින් විභාගෙ පාස් වෙලත් ඇයි මේ තරම් අඬන්නෙ..??පුතේ දත් දොස්තර වුණත් දොස්තර නේ... ඇයි මෙච්චර දුක් වෙන්නේ..?"

"අම්මේ,මට කාර් එකේ කතිරයක් ගහගෙන යන්න වෙන්නෙ නෑනෙ අම්මේ..මම ඒ වෙනුවෙන් කොච්චර හීන දැක්කද..? ...."

"අනේ දරුවෝ... ඕනෙම දොස්තර කෙනෙක්ට ඔය කතිරෙ ගහගෙන යන්න පුළුවන්.. "

"ඔය ඇත්තමද අම්මේ..?"
කාන්ති කඳුළු නොවියලුනු විශ්මයට පත් දෑසින් අම්මා දිහා බැලුවා.

"ඔව්..ඔව්.. දැංවත් අඬන්නෙ නැතුව ඉන්න.."

                      පුංචි දරුවෙකුගේ හිතේ හීන ගොඩාක් නෑ.ඒත් ටික ටික ලොකුමහත් වෙනකොට,සමාජය එක්ක ගැටෙනකොට,සමාජය ගැන දැනුම් තේරුම් එනකොට එක් එක්කෙනා තුල ගොඩ ගැහෙන හීන අනන්තයි..ඒ වගේ අපි දකින ප්‍රධානම හීනයක් තමයි "අනාගතේ අපි කවුද වෙන්නේ..?"

                     සාමාන්‍යයෙන් ඔය හීනෙ ලොකුවටම ඔළුවට ගහන කාලයක් තමා A/L කාලෙ.මට නම් එහෙමයි. බෙහෙත් ගන්න ගිහින් ඉන්නකොට ලස්සන වාහන වලින් හරි උජාරුවට ආව දොස්තරලා දැක්කම , අප්පච්චිත් එක්ක කැකිරාව රෝහලේ ගැවසුනාම මට ආස හිතුනා වයිද්‍යවරියක් වෙන්න.

                      අපි ඒ ඒ කාලවල දකින හීනවලින් කීයෙන් කීයද ඉටුවෙන්නේ..? කීයෙන් කීදෙනාගෙද ඉටුවෙන්නේ..? එහෙමයි කියලා ඉටු නොවුන පැතුම් ගැන හිතලා ලතැවුන අය ජීවිතේ දිනුවද..? ඔව් එයාලා තමයි ජිවිතේ දිනුවේ... බොඳවුන හීන වලින් හිත් හොඳටම පෑරුන මිනිස්සු තමයි ජීවිත වැඩිපුරම දිනලා තියෙන්නේ..

                      A/Lතරම් මනුස්ස ජීවිතවල හීන,බලාපොරොත්තු අති ප්‍රබල ලෙස බුරුත පිටින් දාස්ගණනකගේ බිඳවැටෙන සාමූහික අවස්ථාවක් තවත් නැතුව ඇති..ඒත් ඒක තමයි ස්වභාවය..

                      කැම්පස් ජීවිතේ සුන්දරත්වයට අමතරව දැන් දැන් ලබාදෙන විශේෂ වරප්‍රසාද නිසා ඒ හෑම සියළු හිතක්ම සියුම් ලෙස සෑහෙන්ට රිදෙනවා ඇති... "ආයෙත් විභාගෙ කරන සහ කැම්පස් යාමට වරම් නොලැබූ සියල්ල".

කවුද කියන්නේ කැම්පස් යන අය තමයි එලම මීටර් කියල..???

                      මම ශිෂ්‍යත්වේ පාස්වුනේ ඉහලින්ම නෙවේ..සාමාන්‍ය විදිහට.ඒ කාලේ ශිෂ්‍යත්වේ ඉහලින්ම සමත්වුන සමහර මිතුරියන් A/L පන්තියේ ඉන්නෙ ඉහල මට්ටමක නෙවේ...ඒකෙන් කියන්නේ ඔවුන් අදක්ෂයෝ කියලද..?

                      පලවෙනිසැරේ විභාගෙ කරපු කාලේ මගේ මිතුරෙකුගේ පියා නැතිවුනා.අති දක්ෂ ශිෂ්‍යයෙක්ගේ.. එතනින් ඔහුගේ මානසිකත්වය පහල මට්ටමකට වැටුනා. දෙවනි සැරේ ඔහුට සිට්උ තරම් හොඳ ප්‍රතිපලයක් හම්බුනේ නෑ. ශිෂ්‍යත්වේ ඉහලින්ම සමත්වුන, O/L වලට A 10ක් ගත්ත ඒ මගේ මිතුරා අදක්ෂයෙක්ද..?

                      අපේ එහා ගෙදර නංගී ගොඩක් දක්ෂ විදිහට විභාගෙ කරන් ආවා. මේ විභාගෙ කට උඩ තියන මොහොතේ එයාගෙ අම්මට අසනීප තත්වයක් ඇවිත්... එයා නොපෙන්නුවත් ඒ නංගී හදවතින් සෑහෙන්ට වැටිලයි ඉන්නේ... ඒ තත්වේ දන්නෙ ඒ වගේ අවස්ථාවකට මුහූණදුන්න කෙනෙක්... මේ සැරේ ඒ නංඟා විභාගෙට සිට්උ තරම් හොඳට මුහුණ නොදුන්නොත්.. එතනිනම එයාට A/L එපා වුනොත් සමාජය තීරණය කලයුත්තේ එයා අදක්ෂයෙක් කියලද..?

                     අපි ජීවිතේ එක එක කාල වලදී සාර්ථකයි. සමහරු පුංචිම කාලේ. සමහරු ඊට පස්සේ... තවත් සමහරු පාසලෙමුත් අස් වුනාට පස්සේ...
අනික් දේ තමයි "දක්ෂයා " කියන්නේ " උගතා"ටමද..?

                     මාදුරුඔයදී සියලුම ලමුන් අතරින් දක්ෂතම සිසුවිය තේරුවා.. ඒ තේරුවේ theory  test එකෙන් විතරක් නෙවේ... ශාරිරික අභ්‍යාස , හැසීරීම , ඉදිර්පත් වීම  යනාදී හැම දෙයින්මයි.

                   ඉගෙනීමෙන් ඉහලට යන කෙනා එතැනින්... ගායනයෙන් ඉහලට යන කෙනා එතැනින්... යනාදී විදිහට කොහොමහරි තමන්ට සමාජයේ ස්ථාවරව ජීවත්වෙන්න පුළුවන් තත්වෙට පත්වුනොත්,පුංචි සොඳුරු පවුලක් ඔබටත් හිමි වුනොත්... අන්න එදාට ඔබ දිනුම්..!

                     ඒකෙන් කියන්නේ "මට බෑනෙ"..කියන්න නම් නෙවේ... උත්සාහ කරලා බලන්න ඕනෙ තමන්ට පුළුවන්ද කියලා... ගොඩාක් විට... ආසාව තියනවා නම් උත්සාහ කරන දේ තමන්ට පුළුවන් වෙනවාමයි,මම නම් හිතන්නෙ එහෙමයි... 

මේ හැමදේම කිවුවේ ඔයාලට... ඔය හැමදෙනාටම... 

දොස්තර කෙනෙක් සමාජයේ ඉන්න හැම පුරවැසියෙකුටම ගෞරව කරන්න තරම් නිහතමානී නම්..
කුලීරථ රියැදුරෙක් ඕනෑම කෙනෙකුට පැහැඳීමක් ඇතිවෙන්න හැසිරෙන්න තරම් බුද්ධිමත් නම්..

අපි අද සමාජයේ දකින විෂමතාවය මදින් මද හෝ තුරන් වෙයි... 
හරියට ටිකෙන් ටික කොලොම්පුරේ සුන්දර වෙනවා වගේ..:):)



දුක් වෙන්න එපා... ඔයාටත් එයි දවසක් සතුටු වෙන්න..!