Thursday, June 30, 2011

Future Leaders..

Tuesday, June 28, 2011

පදක්කම..






ඉපදී ලොවට මිනිසත්කම දෑතින් දරාගෙන
නූපදි සිටියනම් යෙහෙකී කළුහම වතින් ගෙන
යන එන මගේදී නැඟැන උසුළු විසුළු ගැන
ලතැවුන් නොවී ඉනු කෙලෙසින් මනුවෙස් ගත්ත මම?

කිත් පැසසුම් දෙමී මගෙ මව් රට්ට ලෙව් පුරා
යැයි හද තුලින් ඉපිලී මමජය අලබන තුරා
වටවී බලා හිඳ ජයගොස් පිරී යනතුරා
නොදැනුනි එයම මට ඇන්ඳු වෙස් වතකි කියා

ලෝ රන් පදක්කම අත ගත් "අලී" යැයි
වීදි පුරා සැරුවෙමි ජය ලැබූ යැයි
සුපිරි බොජුන් හල මට දොර ඇරේ යැයි
දනෙ මා පිය නැඟිමි මා පිලිගනී යැයි

මනුවෙස් ගතින් හද යක්වෙස් ගත් උන් වූ
ඇඳ මා විසිකලේ පොළවට ලෙස කුණු වූ
ලොව ජය ලබා කිත් මැද ඉදිමී උන්නූ
මා හද පාමුලට සැනෙකින් ඇද වැටුනු

මා ජයලබා ලැබගත් රන් පදක්කම
දැන් මට නොමවටී සිලිමක් පමණ එය
මා හද පරාජය කල ඒ පදක්කම
ගං පතුලට තරම් මං වටිනුයෙ කෙලෙස

Monday, June 27, 2011

වතුර නෑ..

                                ගෙදර ඉන්න මේ කාලේ හොඳට කාලා,බීලා,නාලා ඉන්නලු.ඉතින් මේ නිසාම ගෙදරටම ගෙවුන මාස 9ක විතර කාලේ හොඳ සැපට හිටියා.එහෙම ඉන්න අතරේ තමයි අපිට මාදුරුඔය යන්න වුනේ..^_^ ^_^ (හප්පේ ඒ නම මතක් වෙනකොට මගේ හිත පිරෙන සතුට..ම්ම්.. අද මාදුරුඔය යාළුවෝ දිඹුලාගල යන්ඩ ඇති..අපිත් ගියේ දෙවනි ඉරිදා දවසේ නේ..)


                                 එහෙම හිටිය අපි,මාදුරුඔය ගිය පලවෙනි දවසෙම හරිම අද්දැකීමකට තමයි මුහුණ දුන්නේ,අපි යනකොට ළමයි 300ක් විතර තම තමන්ගේ බිලට් වලට ඇවිත් නාලා,කාලා rest කරනවා.. අපි ඉතින් මහන්සි ඇරලා,ඇඳුම් ටිකත් අරන් ආච්චිඅම්මලා වගේ ගියා නා ගන්න..:D

                                 අපායට යතත් ඉස්සෙල්ලා යන්ඩ කියන්නෙ ඇයි කියලා මට තේරුනේ එතකොට.. ටැංකි දෙකම අඩියටම වතුර හිඳිලා..නෑ,හිඳවලා..

"අපෝ... මාර පරිප්පුවක්නේ කන්න වෙන්නේ මාදුරුඔයදී අපිට.."
අපිට සෑහෙන්ට තරහා..

හරි,ඒක එහෙමයි කියමු...නාගන්න බාල්දියක්වත් තිබුනේ නෑ අහලක පහලක.. :D:D

                                  ඔන්න ඉතිං පලවෙනි දවසේ අපි loosers වුනා..තරඟයකින් තොර පැවැත්මක් නෑ කියලා අපි තේරුම් ගත්තා.. එදා ඉඳන් අපි දවල් කෑමට ආවහම ආයේ යන්න කලින් නාන්න අරං යන බඩු ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා..මොකද ඒ වෙනකොටම අපි හැමෝටම බාල්දි තිබුනා.. staff මිස්ලා අපිට බාල්දි ගෙනත් දුන්නා..හෙ..හේ..

                                 දෙවනි දවසේ අපි එනකොට සෑහෙන්ට පරක්කු වුනා,තේ අරං යන බාජන,කෝප්ප,වතුර බාල්දි,වතුර බෝතල් උස්සන් එන්න වුනානේ,ඒකයි.. ඒ දවස් ටිකේම DS (duty student ) වුනේ අපි තුන් හතර දෙනා..නම් පිළිවෙලට නායකත්වය..^_^

                                 එදත් හොඳටම හෙම්බත් වෙලා නාන්න යනකොට වතුර ඉවරයි... ඒ අස්සේ ළමයි අඩියේ තියන වතුර ටික හදිස්සියට නානකොට අහක ඉන්න අපිත් නෑවුනා..බාගෙට..හෙ..හේ....

                                 ඔන්න ඔහොම රතු කට්ටේ කෑලිත් නැතිවෙලා තිබුන වෙලාවක අපේ staff මිස් කෙනෙක් ඇවිත් කිවුවා මෙන්න මෙහෙම,

"ඉක්මනට පෝලින් වෙන්න..මීටිං එකක් තියනවා,ඔයාලව batalion වලට බෙදන්න"

                                ඉවසීම එහෙදී සෑහෙන්ට ප්‍රගුණ වුනේ මේ වගේ වෙලාවල තමයි... අපි ආයෙත් බිලට් වලට දුවලා ගිහින් හඩුම හඩු ට්‍රැක් කිට් එක දා ගත්තා,සපත්තු මේස් නැතුව දා ගෙන.. පෝලිං හැදෙන අතරේ කොණ්ඩේ ගොතා ගත්තා.."කාල කලමණාකරණය"....:P

                                 ඒත් එදා අපිට රෑ කෑමට පස්සේ නාන්න වෙලාව දෙනවා කියලා අපේ ස්ටාෆ් පොරොන්දු වුනා.අපි එදා නෑවේ රෑ 9.30ට විතර... අනේ මගේ අහිංසක tooth brushඑකත් වැටුනෙ එදා තමයි... එදා ඉඳන් අලූත් බ්‍රශ් එකක් ගන්නකම්ම (මම හිතන්නේ දවස් තුන හතරක්..:/) මම දත් මැද්දේ ඇඟිල්ලෙන්... :D:D.. අනේ මම පව්..!!!

                                  ඒ හැමදෙයක්ම කිවුවම මේ ලිපිය කියවන අය හිතයි.. නායකත්ව පුහුණුවට මාදුරුඔය ගිය ගෑනුළමයින්ට තිබිලා තියෙන්නේ අවම පහසුකම් ය... මේ නායකත්ව පුහුණුවේ අඬුලුහුඬුකම් ය කියලා.එහෙම නැත්තම් හිතයි කරපු හොද දේ වැරදි විතරක් හොයන අමන කෙල්ලක් කියලා..:)

ඒත් මේ කියන්න යන්නෙ ඒ දේ නම් නෙවේ..

අපේ lecturer සර්ලා,මැම්ලා හැමදාම තමන්ගේ දේශනේ පටන්ගන්න කලින් අහනවා මෙන්න මෙහෙම..

"දැන් හැමෝම කාලද ඉන්නේ..?"

"ඔව් සර්"

"කෑම කොහොමද?"

"අති විශිෂ්ටයි සර්"

"ඈ..? මට නං කල්දේරම් බත් කාලා එපා වෙලා.."

"නෑ සර්..කෑම රසයි.."

"මොනවද තියන ප්‍රශ්න?"

"වතුර නෑ සර්.."

"ඒකත් මේ පුහුණුවේම කොටසක්.. දරාගැනීමේ ශක්තිය.."

අපිට කට උත්තර නැත.. ඇත්ත ඒකෙන් අපි දරාගැනීමේ හැකියාව වැඩිකරගත්තා තමයි.:):)

                                  ටික ටික අපි හා අපේ සුවදුක් බැලීමට සිටි මිස්ලා ලං වන්නට වන්නට ඔවුන් ඔවුන්ගේ ද්දැකීම් අප සමඟ කියන්නට වුනා.

"අපිට එක කෝස් එකක තිබුනා දවස් 25ක් එකම එක වතුර බාල්දියක් පිරිමහගෙන ඉන්න..මොකද යුද්ධෙ තියන සමහර පැතිවල වතුර නෑනේ.. අපි ඒවට මූණදෙන්න ලෑස්තිවෙලා යන්න ඕනෙ නේ.."
එහෙම කිවුවේ හැම මොහොතක්ම ගොඩාක් විනෝදෙන් ගතකරපු සඳමාලි මැම්..

"ඔයාලට වගේ නෙවේ මිස් අපිට... "කියලා පටන්ගත්තම... 
දිග හැරුනු එයාලගෙ ගොඩාක් යුධ අද්දැකීම් "අපි අපේ රට වෙනුවෙන් මොනවද කැප කරලා තියෙන්නේ" කියලා හිතන්න සැලැස්සුවා.

                                 එයාලා ගොඩාක් අය අපේ වයසේ..ඒත් අපිට වඩා ගොඩාක් දුර ජීවිතේ ඉදිරියට ගිය.. අපිට අපි ගැන ලැජ්ජා හිතුන තරම්...

අපි "අපෝ මේ ජීවිතේ...:/""" කියලා හිතපු හැමවෙලේම එයාලා එක් එක්කෙනා කියපු කතා මතක් වුනා.මේ මොන පීඩාවක්ද කියලා හිතුනා.

                                  ආයේ වතුර නොතිබුනත් අපිට තරහ ආවේ නෑ... මොකද අපි දැනගත්තා අපි වෙනුවෙන් එයාලා කොච්චර කැපවෙනවද කියලා.. දවසේ පැය 24ම... පැය 24ම එයාලා කැපවුනේ අපි වෙනුවෙන්...

හරියටම වෙලාවට වැඩ..ලොකුම සර්ගේ ඉඳන් පොඩිම staffට... "

"උදේ කවුද නොකෑවේ... "

"ඇයි මොකක්ද අසනීපේ... "ඒ මොහොතෙම එයාව MI room(Medical Inspection room) එක්ක යන්න "

"දවල්ට නොකා ඉන්න එපා,කලන්තේ හැදෙයි"

"දෙන තේ එක නොබී ඉන්න එපා මිස්.. මෙහෙ හරි රස්නෙයි..විජලනය වෙයි"
මුල් දවස් වල නම් උණුම උණු තේ බොනවා තියා හිතුවෙ වත් නෑ..ඔළුවෙන් ගිනි පිටවෙන අවුවේ තමා තේ බිව්වේ..^_^

"ඔයාලා පුළුවන් තරම් වතුර බොන්න.. මාදුරුඔය තමයි දැනට ලංකාවේ රස්නේ වැඩිම.."

ඒ වචන ගෙදර ඇවිත් දවස් දෙක තුනක් යනකම්ම ඇහුනා වගේ..

                                 උදේ PT ground එකේදී... ඊට පස්සේ drill ground එකේදී.. ඊට පස්සේ ලෙක්චස් වෙලාවෙත් අපි ලඟටම වෙලා ඉඳන්... අපි ලොරි තල්ලු කරද්දී අපිට cheer කරලා... කනපිට කූඩාරම් ගහද්දී කරපු ගොංකම්  දැක දැක නොදැක්කා වගේ හිනාවෙවී...

                                  රෑ පිස්සු නාට්‍ය කරද්දී වමනේ නොකර කොහොමහරි ඒවත් බලලා... සිංදු කියද්දී කන් වහගන්නෙ නැතුව දරාගෙන ඉඳලා:P.. එයාලා අපි වෙනුවෙන් කොච්චර කැපවුනාද..?

                                  ගෙදරදී නම් කරන්ට් නැති දවසට බංකොළොත්..පාඩම් කරන්නෙත් නෑ.. ඔහේ වැටිලා නිදනවා.... ඒත් එහෙදී..

එකදවසක් නැඟිටිනකොට කරන්ට් නෑ.. එදා මම හිටියේ උඩ ඇඳක..

                                 ඒත් කළුවරේ කොහොමහරි බිමට බැහැගෙන යාළුවෝ එක්ක මූණ හෝදන්න යනකොට ටැංකිවල වතුරත් නෑ... ආයෙත් බිලට් තිබුන තැනට ඇවිත් එතන ටැප් එකෙන් වතුර අරන් මූණ හොදගත්තත් එදා අපිට තරහා අවේ නෑ.අපිට හිනාගියා විතරයි... අපි ගත කරපු ජීවිතේ හා දැන් ගත කරන අල්පේච්ච ජීවිතේ ගැන.

                                  ඇත්තම කියන්නම්... මම ජීවිත කාලේ ආසාවෙනම ගතකරපු සති තුනක් තමා නායකත්ව පුහුණුවට මාදුරුඔය ගිහින් ගත කරපු සති තුන. ඒ විදපු හැම දුකක්ම ආපහු කතාවෙලා හිනාවෙන්න පුළූවන් තරම් සතුටුදායක වුනා... ඒ විඳපු හැම සතුටක්ම ආයෙත් මතක් කර කර හිත සතුටින් පුරවාගන්න අපිට උදව් වෙනවා.

                                  හැම අඩුපාඩුවකිනම මානසිකත්වය අඩියටම වැටෙමින් හිටිය,පොතෙන් හෙම්බත් වෙලා හිටිය අපි... මාදුරුඔයදී ගත්ත fun එක නම් කියලා වැඩක් නෑ....

                                 මේ වතුර නැති කතාව දැන් මාදුරුඔයට අදාල නෑ.. දෙවනි batch එකට වතුර ප්‍රශ්නෙ නෑලු...අපිට එතනදි හිතුනා දිව්‍යලෝකෙට යනකොට නම් අනිවාර්යෙන් පරක්කුවෙලා යන්ඩ ඕනෙ කියලා..;)

අපි වෙනුවෙන් එයාලා ගොඩාක් කැපවුනා.. අපිට එයාලට ස්තුතියි කරන්න වෙලාවක්  ලැබුනෙත් නෑ..

                                 දැන් මට ටිකක් සතුටුයි... මමත් බොහෝම ටිකා...............................................ක් හමුදා සෙබළ සෙබලියන් වින්ද වේදනාව වින්දා නේද කියලා... ඒ වගේම කඳවුරක(හමුදා පාසලක)  සොඳුරු නිමේෂයන් සමුදායක් ගතකරා නේද කියලා..

                                  මාදුරුඔය ගැන අපි පම්පෝරි ගහන හැමවෙලේකම අපේ අනික් යාළුවෝ.."ඒ වුනාට එහෙ වතුර තිබුනේ නෑ නේද?:P:P" කියලා අහන නිසා මට හිතුනා මේ ගැන ටිකාක් ලියන්න..




මාදුරුඔය තරම් පැහැදිලි ලස්සන අහසක් මම ඊට කලින් දැකලා තිබුනේ ග්‍රහලෝකාගාරෙදී විතරයි...
එහෙ ගත කරපු දවස් 21ත් ඒ අහස තරම්ම සුන්දරයි..



(අනේ ඇත්තට,මාදුරුඔය ගත කරපු හැමදවසක්ම අමතක් නොවෙන සිදුවීම් වලින් පිරිලා තිබුන නිසා මම හිතුවා පෝස්ට් ටිකක් ඒ ගැනම ලියන්න..කෝ ඒ වැඩේ දවසෙන් දවස කල් යනවා හරියට බාලගිරි දෝෂේ වගේ)

ඒ හැමදේටම රජයට පිං...

Saturday, June 18, 2011

ලස්සන මාදුරුඔය..



                                 මමත්,දර්ශනීත් එකම වාහනයක ගමන යන්නට කතිකා කරගත්තේ ඒ වන විටත් අප හා එක්ව මෙම ගමන යෑමට අනෙක් කිසිදු මිතුරියක් සූදානම්ව නොසිටි හෙයිනි.ඔවුන් බොහෝදෙනා මෙම ගමන විනෝදචාරිකාවක්ම කරගෙන සිටියහ. අපේ පවුලෙන් අප්පච්චීත් ,අම්මාත් ,නංඟාත් එකවූ අතර දර්ශනී ඇගේ දෙමවුපියන් සමඟ බුද්ධඟෝෂ විද්‍යාලය අසල අප එනතුරු රැඳි සිටියහ.

                               වෙසක් සඳ තාමත් නැමි පනාවක් වන්නට තුන් හිතකින්වත් හිතා නොතිබුන ඒ සීතල උදෑසනේ මම දනිපනි ගා අවදි වී මූණකට දොවා,උණ හෙම්බිරිස්සාවට බෙහෙත් ටික බී අම්මලා සූදානම් වනතුරු මගේ සූට්කේසයට අඩුම කුඩුම පැටෙව්වෙමි.ගම්මිරිස් ඇටේ තාම සුව නින්දේය.ඇය ඇහැරවීම ලේසි නැත.:)  

                              අම්මා පොළොස් ඇඹුලක් පාන්පෙති වල තවරමින් මඟදී ගැනීමට ආහාර පිළියෙල කරමින් සිටී.මම මිදුලට පියමැන්නෙමි. වෙසක් කූඩු තාලෙට නැටවෙයි.වෙල් යායෙන් හමාඑන සුළඟ මට සීතල වැඩි මෙනි.මේ සියලු සුඛවිහරණ හැරදමා සති තුනක දුෂ්කර ක්‍රියාවකට මා යා යුතුයි.මට හැඟුන එකම දෙය එයයි.මේ තාක් කල සියළු රූපලාවණ්‍ය කටයුතු වතුරේය.හිත හදාගත යුතුය.මක් නිසාද යත් මම මාදුරුඔය යා යුතුමය...:D


                               යා යුතුම නිසා මම අම්මලා හා දර්ශනී එක්ක හයර් කරපු වෑන් රියේ ගමනට පිටත් වුනා.මඟදී මිතුරන්,මිතුරියන්ගේ සුභාශිංසන වලට ප්‍රතිචාර දක්වමින් නොනිදා පැය හයක් මඟ තොටේ සිරි නරඹමින් තමයි ඉදිරියට ඇඳුනේ.

                                අරලගංවිල පහුවුනාම යුනිෆෝම් එකෙන් හිටිය හමුදා සෙබල සෙබළියන් පිරිසක් දැක්කා.. හැමදාම වගේ ඇතිවුනේ චකිතය මුසු ගෞරව සම්ප්‍රයුක්ත බයක්.. එහෙම 22 - 05 - 2011 වෙනිදා මාදුරුඔය හමුදා පාසලට ලඟාවුනා.

                                එතනදී වාහනෙන් බහිනකොට දැනන් හිටියේ දර්ශනී මමයි මේ සති තුන එකට ඉන්න ඕනෙ කියලා විතරයි..දුකට සැපට.

                                 දැක්කේ දිගම දිග පෝලිම් විතරයි.. කර්කෂ පරිසරයට ඇස් හුරුවෙන්න ටිකක් වෙලා ගියා.පෝලිමේදී පවී අක්කා,එතුවක් කල් නුදුටු සුප්පි අක්කා සහ බෙත්මි නංඟා අපේ කාණ්ඩෙට එකවුනා.සමී එ වෙනකොටත් අපේ නඩේට එකතුවෙලා තිබුනා.

                                  පැය තුනකට අධික කාලයක් හිටගෙන ඉඳලා හෙම්බත් වෙලා අන්තිමට අපිව ඇතුල් කරගත්තා.. මගේ අංකේ වුනේ 398.. ඒ වෙනකොට තදබදේට තෙරපිලා දන්නෙම නැතුව හරිම හොඳ යාළුවෝ ටිකක් අපි 33 දෙනා අතරට තේරිලා තිබුනා... එදා ඒ වෙලේ දැනං හිටියේ නෑ..එයාලා මගේ ජීවිතේට මෙතරම් ලංවෙයි කියලා..ඒත් ඒක එහෙම වුනා...

                                    තුංමංසලක් වගේ තැනකදී අපි අප්පච්චිලාගෙන් වෙන් වෙලා අපේ Billets වලට ගියා..travelling bag තල්ලු කරන්.. ඒ බෑග් ඒ බොරලු පාරවල් වලට ඔරොත්තු නොදී පතුරු ගියා.. ටකරං වැටකින් වටවුන අපේ පුංචි ලෝකෙක දවස් 23කට අපි එකතුකරලා තිබුනා..

                                    ජීවිතේ මම ගතකරපු සුන්දරම දින 21ක් ඒ Billet වල ගතවෙයි කියලා මම නං ඒ වෙලේ තුන් හිතකින් වත් හිතුවේ නෑ.

Friday, June 17, 2011

ජීවිතේ හැරවුම් ලකුණක් මුළ හිඳ..



                               ආයෙත් කාලේ ගෙවෙන වේගෙ අඩුවෙලා,මහා පාළුවක් හිතට දැනෙන්න පටන් අරං..දවස් 21ක් තිස්සේ චණ්දමණ්ඩලෙන් මිදුනු සඳ සාවියක් වගේ මාදුරුඔය කැලේ ඇතුලට වෙලා කල්දේරම් බත් කකා,උදේ ඉදන් රෑ වෙනකම්ම සෙල්ලම් කර කර, සිංදු කිය කිය,නාට්‍ය කර කර, ගෙවපු කාලෙත් හිතාගන්නත් බැරි තරම් වේගෙන් ගෙවිලා ගිහින්... ඒ සුන්දර මතක සටහන් ගැනත් ඉදිරියේදී බිඳක් ගෙත්තම් කරන්නම්..මේ ඒ ගැන නෙවෙයි..

                                හන්තානේ හඳේ මිහිර විදින්න පුල පුලා බලාගෙන හිටිය මගේ හිතට රාගම හඳ බලලා සැනසෙන්න වෙලා.. මොන බොරුද...මම කොහොමත් රාගම යන්න සැදී පැහැදී තමයි හිටියේ.. ඒත් එක සිතුවිල්ලක් තියනවා..ඒ සිතුවිල්ල හිතට බර වැඩී... :'(.

                                අම්මා දැන්ම මට ඇඳුම් ගන්න ලෑස්ති..සපත්තු සෙරෙප්පු ගන්න ලෑස්ති.. ඒ හැමදේකින්ම මතක් කරන්නෙ මට දැන් ගෙදරින් ඈතට ඇඳිලා යන්නත් කල් ලං වෙනවා නේද කියලා හිතෙනකොට නම්.... මට දරාගන්න අමාරුයි.. ඒ නිසා මම තව සති දෙක තුනක් යනකම් "කැම්පස්" තහනම් වචනයක් කරලයි තියෙන්නේ.. 

                                අපි කවදාහරි ගෙදරින් පිට වෙන්න ඕනෙ.. ඒකට දවසක් එනවා,අනිවාර්යෙන්ම.. ඒ විතරක්ද.. මේ සරීර කූඩුවෙනුත් අපිට කවදාකහෝ යන්න වෙනවා.. හමුවීම්..සමුගැනීම්... අපි හැමෝටම උරුමයි.. ඒකයි ලෝක සොභාවය..

                                මෙන්න මේ පුංචි..නමුත් ගොඩාක් පැහැදිලි න්‍යාය තේරුම් ගන්න තරම් මගේ මොළේ මෝරලා නැති එකනේ ප්‍රශ්නේ..

                                මාදුරුඔය ගියේ නම් ලොක්කා වගේ.. ඒත් "අන්දර යායේ.." හෝ "ගමට කලින් හිරු.." ඇහුන ගමන් 

                                හංඟගන්න බැරි කඳුලකට මගේ ඇස් දෙකේ ඉඩ පෑදුනේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ.. 

                                හිතේ සියුම් ම තැන් වෙන් වෙලා තියෙන්නේ අපිට වැඩිපුරම ආදරේ කරන... අපි වැඩිපුරම ආදරය කරන අයටද කියලා මට ඒ වෙලේ හිතුනා.

                                ඔයාලට හිතෙන්නේ මොකක්ද..? දැන් දැන් මට ආසයි අතීතෙට ඇඳිලා යන්න... ඒත් එහෙම බෑ,ජීවිතේ අපිව හසුරුවනවා..ඒ විදිහට අපි ඒ අත ..මේ අත වැනෙන්න ඕනෙ.

                               කවුරු කොහොම කිවුවත්,මම එක දෙයක් හිතාගත්තා... ගෙදර ඉන්න මේ කාලේ,පුළුවන් තරම් විනෝදෙන් ගතකරනවා..ආයේ දුක් නොවෙන්න...:)



මම යන්නෙ නෑ,ආයෙත් එනවා..මඟ බලන් ඉන්න..!