Thursday, May 19, 2011

ඉලංදාරි අයියේ,නුඹට නිවන් සුව!..



සවනට නොවැටුනෙන් මනු ලොව අමන විකුම්
මිහිරැති පදවැලින් ඔපවිය බ්ලොගය නිතින්
ලඟනැති විටක දහිරිය ගන්නට නිතැතින්
විය නුඹ වදන් හයියක් මට අයියෙ "දිලුම්"

නෙත් හමුනොවී මනසින් බැඳි සොයුරු පෙමින්
සයිබර් සයුරෙ තුටුයෙන් වසමින් නිතියෙන්
ගෙවු ඒ මිහිරි කල යුතු කෙලිකවට කමින්
නික්මී ගියා දෑසින් දුර ඈත ඉමෙන්

මියුරු වදන් දෙසවන සනසනු රිසියෙන්
ලියලා වැඩුනු පැතුමක් සුපිපෙන විලසින්
බලා සිටියමුත් අප දැල්වූ දෑසින්
කඳුලක දැවටුවා අප සිත් සසල වෙමින්

වදනින් වදන සිරවේ දුක් කටු අකුලේ
කවියෙන් කවිය බොඳ වේ නෙතු කඳුළු පටේ
සසරෙන් එතෙර සැනසී පිවිතුරු නිවනේ
පියුමක් දෝ දැනේ අකලක මිලින වුනේ

බොඳ වී ගියා පැතුමන් හදේ..

Monday, May 9, 2011

සතුට හඹා එන දුක..

                                                            ලස්සන සිනාමුසු ,කඳුලින් තොර ලිපි පෙළකින් විතරක් මගේ බ්ලොග් එක සරසනවා කියලා මං හිතාගත්තේ මිස්ටර් රත්ගමගේ බ්ලොග් එකේ ලිපියක් කියෙව්වට පස්සේ.ඊටත් පස්සේ ළඟදී සිදුවුන සිදුවීමක් නිසා මම මගේ බ්ලොග් එකේ මුල ඉදන් හැම ලිපියක්ම පරීක්ෂා කර කර බැලුවා කාගේ හෝ හිත් අමනාප වෙන දේවල් ලියවිලා තියනවද කියලා..මොකද කිවුවොත් මේ බ්ලොග් එක තව දුරටත් රහස්‍ය භාවයක් නැති විවෘත බ්ලොග් එකක්.. ඕනෙ කෙනෙකුට කියවන්න පුළුවන්.. මගේ ඇතුලාන්තය ගැන..

                                                             ඒක මට හිසරදයක් වුනාට පස්සේ මම වෙන බ්ලොග් පිටුවක් පටන් ගත්තා.. වෙනම.ඒත් මම "පියගැටපෙළ අද්දර" මේ තාක් දුරට ගොඩනඟා ගන්න වුන මහන්සිය මතක්වුනාම ආයෙත් පරණ තැනටම ඇවිත් පදිංචි වෙන්න හිතාගත්තා.. දින පොතක් ලඟ නැති.. හිත විතරක් අඟුළු දාපු ලාච්චුවක් වුන මට.. බ්ලොග් එකත් හිත නිදහස් කරගන්න තැනක් වෙන්නේ නෑ අයෙත් කවදාවත්.. ඒත් මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා "පතක නොඇඳුනු සිතක සිත්තම්" එකට ආවම.. මේ තමා "මම".. කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරිවේ යැයි සිතෙන..

                                                             මම සෑහෙන සරල චරිතයක්..මම සපුරාම සාමාන්‍ය චරිතයක්.. සිනාව අඳුනන.. කඳුලට වෙර බඳින.. කෝපය අමුතු හැඟීමක් නොවන.. ඉවසීම සීමාවක් ඇති එකක් බව දන්න.. කෙනෙක්..

                                                            ඒත් මගේ ජීවිතේ ගතවෙන හැටි නොතේරෙන.. හෙට සිදුවෙන දේ ගැන හිතාගන්න බැරි... තුටු කඳුළට පස්සේ අනිවාර්‍යෙන්ම දුක් වැස්සකට අහුවෙලා තෙතබරිත වෙන.. මම.... ටිකක් හිතන්න ගත්තා යම් රටාවක් ගැන.

                                                            මම.. උපකල්පන මතින් නිගමන වලට එන්න ගොඩාක් උත්සාහ කරන කෙනෙක්. මගේ ජීවිතේ ගතවුනු "සෑහෙන කාලය" අනූව මම යම් නිගමන වලට ආවා.. 

                                                            එකක් තමයි.. මම මට ලබාගන්න ආසා කරන දෙයක් වෙනුවෙන් මම ආසාකරන වෙනත් දෙයක් කැපකල යුතුමයිකියන දේ.අමාරුවෙන් ලබාගන්න ගොඩාක් දේවල් ගොඩක් වටිනවා.. ඒත් මම දෙයක් වෙනුවෙන් කැපවුනේ නැත්තම් මට ලැබෙන්නේ හිතුවටත් වඩා අන්ත පරාජයක්..

උදා 1 :- 

             2006 වසරේ ජනාධිපතිවරණය තියෙන කාලේ රෑට හා දවල්ට සිංහල උපසිරැසි සහිත හින්දි චිත්‍රපටි TV එකේ පෙන්නුවා. එක දවසක් රෑ Kalho na ho පෙන්නනකොට ඊට පස්සේ දවසේ දවල් Koi Mil gaya පෙන්නුවා..මේ දෙකෙන් මම වැඩිපුරම ආස දෙවනි film එකට.. ඒත් මම රෑත් TV බැලුවා.. 
             ඒ ජනාධිපතිවරණේ තිබුන දවසට පසුව දවසට පසු එළඹුන දවසේ අපිට වාර විභාගෙ තිබුනා. ඉතින් මට Koi Mil Gaya බලන්ඩ හම්බුනේ නෑ.. ඒක බලන්ඩ එපා කියලා අප්පච්චී සැර කරා..:) මම කාමරේට වෙලා අඬ අඬ පාඩම් කරා..
            (ඔයාලා හිතනවා ඇති හින්දි films වලට මම ඔච්චරම කෑදරද කියලා.. වෙන බලන්න විදිහක් ඇත්තේම නැද්ද කියලා.. ප්‍රශ්නේ තමා මගේ භාෂා කෞෂල්‍ය දුර්වලයි..කොච්චර film බැලුවත් මට හින්දි තේරෙන්නෙ නෑ..:P.. english sub නොතිබුනොත් මම ඉවරයි.. ඒ බව මගෙ යාළුවෝ නම් හොඳට දන්නවා..:P:P.. ඔන්න මම wrongside යනවා..:D)
             ඒත් මම දැනගෙන හිටියා මම දෙයක් කැපකරොත් මට දෙයක් ලැබෙනවාමයි කියලා.. අන්තිමට මම දිනුවා.. මට Stage Report එකක් ලැබුනා..(1 ද, 2 ද,3 ද කියලා නම් මතක නෑ..:\)

උදා 2 :- 

             A/L පලවෙනි සැරේ වෙනුවෙන් මට හිතට දැනෙන තරම් කැපකිරීම් කරේ නෑ.. හිතට වේදනා දීලා විදෙව්වා විතරයි.. ඒ නිසා මගේ ප්‍රතිඵලය එච්චර සාර්ථක වුනේ නෑ.


                                         මගේ නිගමන හැම මොහොතෙම හරිගියේ නෑ.ඒත් සමහර වෙලාවට හරි.

                                        මේ තමයි එහෙම වුන දෙවෙනි වතාව.. ඒ කියන්නේ හැම වැහිවළාකුළකටම සැඟවුනූ රිදී රේඛාවක් තියෙනවා කියන එකේ අනික් පැත්ත..

                                        ඉතාමත් සාමාන්‍ය ආකරයට ගතවෙන මගේ ජීවිතේ කාලෙකට වතාවක් බොහොම සුන්දර දිනයක් උදාවෙනවා..මෙන්න මෙහෙම..

|උදේ නැඟිටිනවා...  රෑට නිදා ගන්නවා.|     

|. උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..|     

|අහ්.. අද  අවුරුදු උත්සවේ.මාර fun..|     

| ...අඬන්නේ නෑ මං,කොච්චර හිත රිදුනත්,..:(:(...ඕවත් ප්‍රශ්නද. :P |

| උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..|

|උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..| 

|හරිෂෝක්.. අද උපන්දිනේ.. ^_^... |

|... හිනා වෙන්ඩ ඇයි මේ තරම් අමාරු.. ..:(..:(... |
........ e.t.c....

                                         මේකේ ඉවරයක් නැති වෙයිද..? හැමදාටම එහෙම වෙයිද..? 

                                         ඔයාලා දන්නවාද.. මම ඉන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවෙන් සහ සතුටින්.. (සාමාන්‍ය දවස් වල..) දැන් මාස 5ක විතර ඉඳන්.. 
                                         1 වසරේ ඉඳන් 13ට එනකම්.. මම මෙච්චර කාලයක් එක දිගට සතුටින් ඉඳලා නෑ.. ඉගෙනීම නිසා හැමදාම හිටියේ පීඩනයෙන්.. ඒ නිසා ඒ කාලේ ඇතිවුන අනන්තවත් හිත් තැවුල් වලට වඩා දැන් මට සුළුදෙයක් වුනත් වැඩිපුර දැනනවා.. ඒත් මං දන්නවා ආයෙත් ඉගෙනීම පටන් ගත්තම මට ලේසියෙන් ඒකට අනුවර්තනය වෙන්න පුළුවන්..:) මට ඒ ගැන විශ්වාසයි...

                                           ජීවිතේට දුක සතුට දෙකම ඕනෙ.. නැත්තම් සතුටක අගේ අපිට හොඳට දැනෙන්නෙ නෑ.. වැඩිපුර පිං කරපු අය සතුටින් ඉන්න කාලය දුකින් ඉන්න කාලයට වඩා වැඩී.. ඇත්ත ඒකයි..

                                           කඳුළු අතරෙන් මට හිනාවෙන්න පුළුවන් නං එදාට තමා මං දිනුම්.. මම ඉස්සර එහෙම හිනාවුනා.. ආයෙත් මට පුළුවන් වෙයි...

ඒ මෙන්න මේ වගේ සිද්ධියකින්..

ඒ කාලේ මං හිටියේ 9 වසරේ..
                                           අපිට සමාජ අධ්‍යයනය කරපු Madam විශේෂ උපාධියක් තිබුන කෙනෙක්.. එයා කවදාවත් අපිට උගන්නලා නෑ.. හැමදාම කරන්නේ එයාගේ උපාධිය ගැන පම්පෝරි ගහන එක.ඒ අතරේ පුළුපුළුවන් හැමෝටම මඩගහන එක. 
                                           එයා අපේ අප්පච්චිගේ පැත්තෙන් දුර නෑයෝ.. ඉතින් ඔන්න එයා දන්නවා අපේ අම්මා භාහිර උපාධි කියලා.. අපේ අප්පච්චී Registed  Medical Officer කියලා.. Medical Officer නෙවේ කියලා.. ඉස්සර ඇපෝතිකරි කියලා හඳුන්වලා තියෙන්නේ RMO අය.. ඒත් එදා මෙදා තුර මට ඉංග්‍රීසි ඉගැන්වුව ගුරුවරු ඔක්කොගෙන්ම හොඳම ගුරුතුමී තමා මගෙ අම්මා.. ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දොස්තර කෙනෙක් වුන අපේ අප්පච්චී රෝගීන් වෙනුවෙන් කැපවෙන හැටි අපි දැක්කා.. තාමත් දකිනවා..අප්පච්චිට A/L දෙසැරයක් කරානම් අනිවාර්යෙන් Medical Faculty යන්ඩ තිබුනා..ලේසියෙන්.. ඒ ගැන අප්පච්චි තාමත් දුක් වෙනවා..පසුතැවෙනවා..:(:(... ඒත් මං දන්නවා.. මං දැක්ක හොඳම දොස්තර මගේ අප්පච්චි කියලා..ඒක අතිශයෝක්තියක් නෙවේ..මාව අද දොස්තර කෙනෙක්වෙන්ඩ යන පාරට තල්ලු වුනෙත් අප්පච්චි වෘත්තිය වෙනුවෙන් කොච්චර කැපෙවෙනවාද කියලා දැක්ක එකම තමයි.. 

                             ඔන්න ඉතිං මම අර කිවුව Madam,

"ඔය සමහරු වටින් පිටින් උපාධි අරං.. ලමයින්ට උගන්නන්ඩ එන අය ..නේද රුවන් මාලි..?"

මගේ කන් දෙකෙන් දුම් දාන්ඩ පටන් ගත්තා.. මට කවුරු බැන්නත් කම් නැත.. කවුරුන් හෝ මගේ පවුලේ අයට නිකරුනේ අවමන් කරන විට මගේ ඉවසීමේ සීමාව පනී.. නමුත් මං අසරණයි..

"හ්ම්.."
මම මවාගත් සිනාවෙන් යුතුව හූ මිටි තිබ්බෙමි.

"ඔය. ඇපෝතිකරි කියලා ඉන්නේ... හිතන් ඉන්නේ නං මහලොකු දොස්තරලා කියලා...නැද්ද රුවන්මාලී..""
මගේ ඇස්වලින් කඳුලූ පනින්නට විය. 

                                          මම මගේ ජීවිතයේ දේවත්වයෙන් සලකන.. උතුම්කොට සලකන අම්මට,අප්පච්චීට අපහස කිරීමට මේ ඇත්තීට ඇති වුවමනාව කුමකද.. මට හිතා ගන්නටවත් නොහැකි විය.
                                          ඒත් මම කඳුළු අතරින් සිනාසුනෙමි... ඒ Madamට ආයේ මට සමච්චලේට හිනාවෙන්නට ඉඩ නොතැබුවෙමි..  මට රිදවන තරමට... හිතට දැනෙන ශක්තිය වැඩිබව මං දැනගත්තේ එදාය.. දෙවනි සැරේ A/L කරද්දීත් මම අනුගමනය කරේ එයයි..
මම මටම හොඳහැටි රිද්දවා ගත්තෙමි.. රිදෙන්න රිදෙන්න.. මම ඉදිරියට ආවෙමි..

                                           මම ලඟදී කාමරය අස් කරන්නට පටන් ගත්විට කඩදාසි ගොන්නක් පෙරලීගොස් මගේ පය පාමුලට වැටුනි.. එතැනින් කැරපොත්තෙක් දෙන්නෙක් ඔළුව දමයිදෝ සිතමින් මොහොතක් ගතකර කොළයක් දෙකක් අතට ගත්තෙමි.. ඒ පුරා තිබුනේ මම ගතකල පසුගිය අවුරුදු 20 ගැනයි.. මෙතැන් සිට ඉදිරියට ලිපි කීපයක් මගේ ජිවිතේ සුන්දර අහුමුළු,වැරදුනු තැන්.. ලැබූ ජයග්‍රහණ.. ස්වයං චරිතාපදාවක් සේ රැඟෙන ඒමට සිතමි.. 

එය මට යලිඳු ඒ කාලෙට යෑමට උපකාරී වනු ඇත.. මගේ සිත තුටින් පුරවනු ඇත..

ඊයේ දිනයේ 21ක් වියට පත් මට ජීවිතේ ගැන අළුතින් සිතීමට කිසිදු වුවමනාවක් නැත.. ඇත්තේ ඉස්සර ලෝකය දෙස බැලූ තරම් එඩිතරව... සුන්දරව ලෝකය දකින්නටයි... ඉදිරි මාස දොළහ මම ඒ වෙනුවෙන් කැපවෙමි..

ආපසු හැරී බලමි..

Wednesday, May 4, 2011

නොදැක්කා සේ ..

                                මෑත කාලයේ නාවුල ප්‍රදේශයේ සිදුවුන සිදුවීමක් මම පත්තරේ කියවනකොට හමුවුනා.ඒ තමයි කබර ඇතෙක් බේරගන්න ළමයි දෙන්නෙක් කල උත්සාහයක් ගැන කතාව..සමහරවිට ඔයාලත් කියවන්න ඇති ඒ ගැන.

                                ඒ ඇතා ඒ ගමේම මිනිස්සු තුන්දෙනෙක් මරපු "මිනීමරු" මරුමුස් ඇතෙක්.. කකුලට වෙඩි වැදිලා අසරණව හිටිය ඇතෙක්..

                                වයිර කරන්න ඕනෙ තරම් හේතු තියෙද්දී ඒ ළමයි දෙන්නා ඒ ඇතා ලඟට ගියා,එයාව බේරගන්න උත්සාහ කරා. මේ ගැන වනජීවි නිලධාරින්ට කිවුවම ඇතා ලඟටවත් යන්ඩ එපා කියලා අනතුරු ඇඟෙව්වලූ.. 

                                ඒ දෙන්නත් ඒ දෙන්නට උපකාර කල තවත් වැඩිහිටි දෙන්නෙක් හැර අනික් අය ඒ අසරණ සතාව තඹ සතේකට ගණන් අරගෙන නෑ.. 

                                හරි.. ඒ ගමේ මිනිස්සු වැරදිනෑ.. ඒ මිනිස්සු අලි ඇත්තු නිසා ඕනෑ පදම් දුක් විදින උදවිය.. ඒත් වනජීවි නිලධාරීන් හා අනික් වගකිව යුත්තන්..????

                                ඇතා මැරුණට පස්සේ මැති ඇමතිවරු පවා ආවලු.. වනජීවි නිලධාරින් ආවාලු.. ළමයින් දෙන්නාගේ වැඩේ ප්‍රශංසා කරාලු.. ඒ.... ඇතා මැරුණට පස්සේ...

හරියට මෙන්න මේ වගේ,



එක් වසන්තයක
පිපි මලක මතුපිට මෙළෙක
නෙත් දහසකට හසු වූ හැටි
ඒ නෙත් දහසම වින්ද අපූරුව..



ඒ වසන්තයේම
බිඳු බිඳු අහිමි වන
දිය කඩිත්තක්
එක නෙතකටවත් හසු නොවුනු අරුම
එක නෙතක්වත් තඹයකට මායිම් නොකල කරුම

අහිමි වීමේ කෙලවර
කඩිත්තම සිදුනු කල
පණ අදින කනයියකු
දැන් දුටුවා සේ
"අනේ අපොයි"
ඉතින්..
කියවෙනු කිම?
එසේ නොකියනු මැන..




(විභාග ආතතිය තුල එයින් මිදීමට ගත් තවත් එක් පියවරක් 2010 - 03 - 04.. කාවුන්ට ආහාරයක් වන්නට පෙර යලි නෙත ගැටී.,.)

Monday, May 2, 2011

වටී වටී ඔබ මටම වටී..



                               ලංකාවෙන් පිට එකම එක වතාවක් විතරක් කරක් ගහපු මට ලංකාව ලෝකෙ හොඳම රට කියන්න තරම් හරි අයිතියක්,සාධාරණ හේතුවක් තියනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්.. ඒත් ඇත්ත නම් මට දැනෙන විදිහට,මම අහපු දැකපු විදිහට ..මගේ රට ලංකාව තමයි හොඳම රට ..මට..

                                 අපේ මිනිස්සුන්ට ගොඩාක් මිල මුදල් නැතිවෙන්න පුළුවන්.. අමු ගොඩේ එවුන් වගේ පේන්න පුළුවන්... ඒත් ඒ මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියන ලෙන්ගතුකම අපිට පිට කිසිම දේස දීපංකරයකින් බලාපොරොත්තු වෙන්ඩ බෑ.. ඒ.. අපි ශ්‍රී ලාංකිකයෝ නිසා..

                                 ලංකාවේ අපි,ලෝකෙ ප්‍රසිද්ධ.. රණකාමියෝ හැටියටයි.. අතීතය චුට්ටක් හාරා ඇවිස්සුවොත් අපිට ඒ බව හොඳට පේනවා.. යම් ජාතියක් අපිව පාගන්නට හැදුවොත් ඒ හැම මොහොතකම කැරැල්ලක් විදිහට නැගී ඉඳලා කොහොමහරි ඔවුන් පරාද කරන්න අපිට පුළුවන් වෙලා තියනවා.. ඒ අපේ ඇගේ දුවන්නේ ලාංකික ලේ නිසා..

                                 හෝඩියේ ඉඳන්.. 13 වසර දක්වා,නිලඇඳුම්,පොත්පත්.."නොමිලේ.."

                                 විශ්වවිද්‍යාල ඉගෙනුමට එක් ශිෂයෙකුට ලක්ෂ ගණනින් "අපේ රට" අපිට වැය කරනවා.. ඒත් ලෝකෙ වෙන කිසිම රටක එහෙම නෑ.. ඒ අපි ශ්‍රී ලාංකිකයෝ නිසා.. "අපි සාපේක්ෂව වෙනස්.."

                                 පිටරට වල පදිංචිවෙලා ඉන්න... ඒත්  දතක් ගලවගන්න ලංකාවටම එන ශ්‍රී ලාංකිකයෝ එමටයි.. ඇමරිකාව,එංගලන්තේ වගේ රටවල අනිවාර්යෙන් රෝහලකින් බෙහෙත් ගන්න රක්ෂණයක් අවශ්‍යයි.. ඒ රක්ෂනය මිල අධිකයි.. දරන්න බැරි තරම්..  දතක් ගලවන්න පවා රු.13,000 පමණ වැයවෙනවා"ලු".. එහෙ ඉද්දී පිලිකාවකින් පෙලුනත්.. රෝහලකට නොයා පැනඩෝල් වැනි වේදනානාශක පාවිච්චි කරමින් හිටිය අන්කල් කෙනෙක් ගැන මට අහන්න ලැබුනා.. අපේ රටේ නොමිලේ ලැබෙන සෞඛ්‍ය පහසුකම් වල වටිනාකම දැනෙන්නේ එතකොටයි.. 

                                ලංකාව ලස්සනයි.. එක දිනයක් ඇතුලත "මුහුදු වෙරලක්.." , " වියලි කාෂ්ඨක ප්‍රදේශයක්" , "සීතල දේශගුණයක්".. ,"කඳු මුදුනක්".. දැකබලා විදගන්න පුළුවන් අපේ රට... වටින්න ඕනෙ පිට අයට නෙවේ අපිටමයි..

                                සංස්කෘති කීයක උත්සව සිරිත්විරිත් අපි අත්දකිනවාද..? ඒක කොච්චර සුන්දර අද්දැකීමක්ද..? ලංකාවේ අපි ඔක්කොම ඉන්ඩ ඕනෙ.. එතකොට තමයි මේ රට තවත් ලස්සන..

                                අපි රණ්ඩුකර ගන්නවා... ඒත් සතුටින් සාමයෙන් ඉන්නවා.. 

                                 අපේ භාණ්ඩාගාරේ සල්ලි ගොඩාරියක් නෑ.. රත්තරං ගොඩාරියක් නෑ.. එන්න එන්නම රුපියල පා වෙනවා තමයි... අපි ඉල්ලීම් වෙනුවෙන් කෑ ගහනවා තමයි....ඒත්.. අපි ලංකාවේ මිනිස්සූ..

                                එක දෙයක්... හැමෝම,මේ "මගේ රට" කියලා හිතනවා නම්.... කෝලා බීලා ප්ලාස්ටික් කෝප්පෙ අයිනකට විසිනොකර... අයිස් පැකට් එකක් කාලා පොලිතින් කොලේ අයිනකර විසි නොකර..  වැඩක් කරගන්න මනුස්සයෙන් කාර්යාලයට ආවම එයාව රස්තියාදු නොකර... අනික් ය විවේචනය කර කර නොඉඳ තමන් ගැනම වැඩිපුර හොයාබලල... 

දෑසඟින් රිංඟා 
ගැලූ කඳුලු ගංඟා
සිසිල් සුවය ගන්වා 
මගේ උවන දෙව් දා
නමා දෙදණ නංවා 
දෑත් හිස ගන්වා
වලාකුළු ගොන්නේ 
දුර ඈත ඇඳුනේ


රටා නෙක හැඩදැමූ නිල්වනින් සාර කෙත්
ඇඟිලි තුඩටත් වඩා කුඩා ගම්මාන රැස්
සාර සරුසාර ගොමු කිරිමුහුද හාදු දුන්
වත ගුවන් තලයෙ ලා උඳුරගති මගේ මන්


ගොඩබටිමි සුරපුරක නෙත් මුලා කල ලෙසකි
විසුව මුත් සත් දිනක් සිනහවක් නොම ලදිමි
සුදු සමින් යුත් දනන් අතර මංමුලා විමි
හොඳ සිනහවක රසත් රඟත් හොඳ හැටි දැනුනි

 කොන්ක්‍රීට් පිළිම මුල 
සෙල් පිලිම මැවුනු හැටි
පාට ලෝකයක් තුල 
කෙතේ සිරි නොදුටු හැටි
වැටුනු වැහි පොදකවත් 
නැවුම් සුවඳක් නොරැඳි
සරුව පිත්තල ලොවක 
"අපේ කම" නොපැතු හැටි


නොදන් දන හුඟක් මැද බිඳක් දන්නා දනන්
හොඳින් අඳුනන ලෙසින් පා සුහද සිනා රන්
අපේ බැව් පෑ හෙයින් නිසා උන් අපේ එවුන්
නොදන්නා රටේ අප නොවුනි මංමුලාවන්


ඇඟිලි මම ගැන්නේ දමා යන්න පෙර දිනක
දැනුදු මම ගණුමි දමා එන්න මුලා රට
පැමිණ සිප ගන්නේ ලක් මවුනි නුඹ සොඳුරු වත
යන්න නොම යන්නේ නොවැයි මෙය මගේ රට


ලෝකෙ හැම රටක්ම හොඳයි,ලස්සනයි... ඒත් මගේ රට,ලංකාව නම්.... වටී..වටී ඔබ මටම වටී... !!!
 
                      

ලාංකික අපි "වෙනස්".. ඒකට හේතුව තමයි... අඳුරු සමට යටින්... අපේ එවුන්ට ලස්සන හදවත් ටිකක් ලැබිලා තියන නිසා...