ලස්සන සිනාමුසු ,කඳුලින් තොර ලිපි පෙළකින් විතරක් මගේ බ්ලොග් එක සරසනවා කියලා මං හිතාගත්තේ මිස්ටර් රත්ගමගේ බ්ලොග් එකේ ලිපියක් කියෙව්වට පස්සේ.ඊටත් පස්සේ ළඟදී සිදුවුන සිදුවීමක් නිසා මම මගේ බ්ලොග් එකේ මුල ඉදන් හැම ලිපියක්ම පරීක්ෂා කර කර බැලුවා කාගේ හෝ හිත් අමනාප වෙන දේවල් ලියවිලා තියනවද කියලා..මොකද කිවුවොත් මේ බ්ලොග් එක තව දුරටත් රහස්‍ය භාවයක් නැති විවෘත බ්ලොග් එකක්.. ඕනෙ කෙනෙකුට කියවන්න පුළුවන්.. මගේ ඇතුලාන්තය ගැන..
ඒක මට හිසරදයක් වුනාට පස්සේ මම වෙන බ්ලොග් පිටුවක් පටන් ගත්තා.. වෙනම.ඒත් මම "පියගැටපෙළ අද්දර" මේ තාක් දුරට ගොඩනඟා ගන්න වුන මහන්සිය මතක්වුනාම ආයෙත් පරණ තැනටම ඇවිත් පදිංචි වෙන්න හිතාගත්තා.. දින පොතක් ලඟ නැති.. හිත විතරක් අඟුළු දාපු ලාච්චුවක් වුන මට.. බ්ලොග් එකත් හිත නිදහස් කරගන්න තැනක් වෙන්නේ නෑ අයෙත් කවදාවත්.. ඒත් මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා "පතක නොඇඳුනු සිතක සිත්තම්" එකට ආවම.. මේ තමා "මම".. කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරිවේ යැයි සිතෙන..
මම සෑහෙන සරල චරිතයක්..මම සපුරාම සාමාන්‍ය චරිතයක්.. සිනාව අඳුනන.. කඳුලට වෙර බඳින.. කෝපය අමුතු හැඟීමක් නොවන.. ඉවසීම සීමාවක් ඇති එකක් බව දන්න.. කෙනෙක්..
ඒත් මගේ ජීවිතේ ගතවෙන හැටි නොතේරෙන.. හෙට සිදුවෙන දේ ගැන හිතාගන්න බැරි... තුටු කඳුළට පස්සේ අනිවාර්‍යෙන්ම දුක් වැස්සකට අහුවෙලා තෙතබරිත වෙන.. මම.... ටිකක් හිතන්න ගත්තා යම් රටාවක් ගැන.
මම.. උපකල්පන මතින් නිගමන වලට එන්න ගොඩාක් උත්සාහ කරන කෙනෙක්. මගේ ජීවිතේ ගතවුනු "සෑහෙන කාලය" අනූව මම යම් නිගමන වලට ආවා..
එකක් තමයි.. මම මට ලබාගන්න ආසා කරන දෙයක් වෙනුවෙන් මම ආසාකරන වෙනත් දෙයක් කැපකල යුතුමයිකියන දේ.අමාරුවෙන් ලබාගන්න ගොඩාක් දේවල් ගොඩක් වටිනවා.. ඒත් මම දෙයක් වෙනුවෙන් කැපවුනේ නැත්තම් මට ලැබෙන්නේ හිතුවටත් වඩා අන්ත පරාජයක්..
උදා 1 :-
2006 වසරේ ජනාධිපතිවරණය තියෙන කාලේ රෑට හා දවල්ට සිංහල උපසිරැසි සහිත හින්දි චිත්‍රපටි TV එකේ පෙන්නුවා. එක දවසක් රෑ Kalho na ho පෙන්නනකොට ඊට පස්සේ දවසේ දවල් Koi Mil gaya පෙන්නුවා..මේ දෙකෙන් මම වැඩිපුරම ආස දෙවනි film එකට.. ඒත් මම රෑත් TV බැලුවා..
ඒ ජනාධිපතිවරණේ තිබුන දවසට පසුව දවසට පසු එළඹුන දවසේ අපිට වාර විභාගෙ තිබුනා. ඉතින් මට Koi Mil Gaya බලන්ඩ හම්බුනේ නෑ.. ඒක බලන්ඩ එපා කියලා අප්පච්චී සැර කරා..:) මම කාමරේට වෙලා අඬ අඬ පාඩම් කරා..
(ඔයාලා හිතනවා ඇති හින්දි films වලට මම ඔච්චරම කෑදරද කියලා.. වෙන බලන්න විදිහක් ඇත්තේම නැද්ද කියලා.. ප්‍රශ්නේ තමා මගේ භාෂා කෞෂල්‍ය දුර්වලයි..කොච්චර film බැලුවත් මට හින්දි තේරෙන්නෙ නෑ..:P.. english sub නොතිබුනොත් මම ඉවරයි.. ඒ බව මගෙ යාළුවෝ නම් හොඳට දන්නවා..:P:P.. ඔන්න මම wrongside යනවා..:D)
ඒත් මම දැනගෙන හිටියා මම දෙයක් කැපකරොත් මට දෙයක් ලැබෙනවාමයි කියලා.. අන්තිමට මම දිනුවා.. මට Stage Report එකක් ලැබුනා..(1 ද, 2 ද,3 ද කියලා නම් මතක නෑ..:\)
උදා 2 :-
A/L පලවෙනි සැරේ වෙනුවෙන් මට හිතට දැනෙන තරම් කැපකිරීම් කරේ නෑ.. හිතට වේදනා දීලා විදෙව්වා විතරයි.. ඒ නිසා මගේ ප්‍රතිඵලය එච්චර සාර්ථක වුනේ නෑ.
මගේ නිගමන හැම මොහොතෙම හරිගියේ නෑ.ඒත් සමහර වෙලාවට හරි.
මේ තමයි එහෙම වුන දෙවෙනි වතාව.. ඒ කියන්නේ හැම වැහිවළාකුළකටම සැඟවුනූ රිදී රේඛාවක් තියෙනවා කියන එකේ අනික් පැත්ත..
ඉතාමත් සාමාන්‍ය ආකරයට ගතවෙන මගේ ජීවිතේ කාලෙකට වතාවක් බොහොම සුන්දර දිනයක් උදාවෙනවා..මෙන්න මෙහෙම..
|උදේ නැඟිටිනවා... රෑට නිදා ගන්නවා.|
|. උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..|
|අහ්.. අද අවුරුදු උත්සවේ.මාර fun..|
| ...අඬන්නේ නෑ මං,කොච්චර හිත රිදුනත්,..:(:(...ඕවත් ප්‍රශ්නද. :P |
| උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..|
|උදේ නැඟිටිනවා..රෑට නිදාගන්නවා..|
|හරිෂෝක්.. අද උපන්දිනේ.. ^_^... |
|... හිනා වෙන්ඩ ඇයි මේ තරම් අමාරු.. ..:(..:(... |
........ e.t.c....
මේකේ ඉවරයක් නැති වෙයිද..? හැමදාටම එහෙම වෙයිද..?
ඔයාලා දන්නවාද.. මම ඉන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවෙන් සහ සතුටින්.. (සාමාන්‍ය දවස් වල..) දැන් මාස 5ක විතර ඉඳන්..
1 වසරේ ඉඳන් 13ට එනකම්.. මම මෙච්චර කාලයක් එක දිගට සතුටින් ඉඳලා නෑ.. ඉගෙනීම නිසා හැමදාම හිටියේ පීඩනයෙන්.. ඒ නිසා ඒ කාලේ ඇතිවුන අනන්තවත් හිත් තැවුල් වලට වඩා දැන් මට සුළුදෙයක් වුනත් වැඩිපුර දැනනවා.. ඒත් මං දන්නවා ආයෙත් ඉගෙනීම පටන් ගත්තම මට ලේසියෙන් ඒකට අනුවර්තනය වෙන්න පුළුවන්..:) මට ඒ ගැන විශ්වාසයි...
ජීවිතේට දුක සතුට දෙකම ඕනෙ.. නැත්තම් සතුටක අගේ අපිට හොඳට දැනෙන්නෙ නෑ.. වැඩිපුර පිං කරපු අය සතුටින් ඉන්න කාලය දුකින් ඉන්න කාලයට වඩා වැඩී.. ඇත්ත ඒකයි..
කඳුළු අතරෙන් මට හිනාවෙන්න පුළුවන් නං එදාට තමා මං දිනුම්.. මම ඉස්සර එහෙම හිනාවුනා.. ආයෙත් මට පුළුවන් වෙයි...
ඒ මෙන්න මේ වගේ සිද්ධියකින්..
ඒ කාලේ මං හිටියේ 9 වසරේ..
අපිට සමාජ අධ්‍යයනය කරපු Madam විශේෂ උපාධියක් තිබුන කෙනෙක්.. එයා කවදාවත් අපිට උගන්නලා නෑ.. හැමදාම කරන්නේ එයාගේ උපාධිය ගැන පම්පෝරි ගහන එක.ඒ අතරේ පුළුපුළුවන් හැමෝටම මඩගහන එක.
එයා අපේ අප්පච්චිගේ පැත්තෙන් දුර නෑයෝ.. ඉතින් ඔන්න එයා දන්නවා අපේ අම්මා භාහිර උපාධි කියලා.. අපේ අප්පච්චී Registed Medical Officer කියලා.. Medical Officer නෙවේ කියලා.. ඉස්සර ඇපෝතිකරි කියලා හඳුන්වලා තියෙන්නේ RMO අය.. ඒත් එදා මෙදා තුර මට ඉංග්‍රීසි ඉගැන්වුව ගුරුවරු ඔක්කොගෙන්ම හොඳම ගුරුතුමී තමා මගෙ අම්මා.. ඒ වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දොස්තර කෙනෙක් වුන අපේ අප්පච්චී රෝගීන් වෙනුවෙන් කැපවෙන හැටි අපි දැක්කා.. තාමත් දකිනවා..අප්පච්චිට A/L දෙසැරයක් කරානම් අනිවාර්යෙන් Medical Faculty යන්ඩ තිබුනා..ලේසියෙන්.. ඒ ගැන අප්පච්චි තාමත් දුක් වෙනවා..පසුතැවෙනවා..:(:(... ඒත් මං දන්නවා.. මං දැක්ක හොඳම දොස්තර මගේ අප්පච්චි කියලා..ඒක අතිශයෝක්තියක් නෙවේ..මාව අද දොස්තර කෙනෙක්වෙන්ඩ යන පාරට තල්ලු වුනෙත් අප්පච්චි වෘත්තිය වෙනුවෙන් කොච්චර කැපෙවෙනවාද කියලා දැක්ක එකම තමයි..
ඔන්න ඉතිං මම අර කිවුව Madam,
"ඔය සමහරු වටින් පිටින් උපාධි අරං.. ලමයින්ට උගන්නන්ඩ එන අය ..නේද රුවන් මාලි..?"
මගේ කන් දෙකෙන් දුම් දාන්ඩ පටන් ගත්තා.. මට කවුරු බැන්නත් කම් නැත.. කවුරුන් හෝ මගේ පවුලේ අයට නිකරුනේ අවමන් කරන විට මගේ ඉවසීමේ සීමාව පනී.. නමුත් මං අසරණයි..
"හ්ම්.."
මම මවාගත් සිනාවෙන් යුතුව හූ මිටි තිබ්බෙමි.
"ඔය. ඇපෝතිකරි කියලා ඉන්නේ... හිතන් ඉන්නේ නං මහලොකු දොස්තරලා කියලා...නැද්ද රුවන්මාලී..""
මගේ ඇස්වලින් කඳුලූ පනින්නට විය.
මම මගේ ජීවිතයේ දේවත්වයෙන් සලකන.. උතුම්කොට සලකන අම්මට,අප්පච්චීට අපහස කිරීමට මේ ඇත්තීට ඇති වුවමනාව කුමකද.. මට හිතා ගන්නටවත් නොහැකි විය.
ඒත් මම කඳුළු අතරින් සිනාසුනෙමි... ඒ Madamට ආයේ මට සමච්චලේට හිනාවෙන්නට ඉඩ නොතැබුවෙමි.. මට රිදවන තරමට... හිතට දැනෙන ශක්තිය වැඩිබව මං දැනගත්තේ එදාය.. දෙවනි සැරේ A/L කරද්දීත් මම අනුගමනය කරේ එයයි..
මම මටම හොඳහැටි රිද්දවා ගත්තෙමි.. රිදෙන්න රිදෙන්න.. මම ඉදිරියට ආවෙමි..
මම ලඟදී කාමරය අස් කරන්නට පටන් ගත්විට කඩදාසි ගොන්නක් පෙරලීගොස් මගේ පය පාමුලට වැටුනි.. එතැනින් කැරපොත්තෙක් දෙන්නෙක් ඔළුව දමයිදෝ සිතමින් මොහොතක් ගතකර කොළයක් දෙකක් අතට ගත්තෙමි.. ඒ පුරා තිබුනේ මම ගතකල පසුගිය අවුරුදු 20 ගැනයි.. මෙතැන් සිට ඉදිරියට ලිපි කීපයක් මගේ ජිවිතේ සුන්දර අහුමුළු,වැරදුනු තැන්.. ලැබූ ජයග්‍රහණ.. ස්වයං චරිතාපදාවක් සේ රැඟෙන ඒමට සිතමි..
එය මට යලිඳු ඒ කාලෙට යෑමට උපකාරී වනු ඇත.. මගේ සිත තුටින් පුරවනු ඇත..
ඊයේ දිනයේ 21ක් වියට පත් මට ජීවිතේ ගැන අළුතින් සිතීමට කිසිදු වුවමනාවක් නැත.. ඇත්තේ ඉස්සර ලෝකය දෙස බැලූ තරම් එඩිතරව... සුන්දරව ලෝකය දකින්නටයි... ඉදිරි මාස දොළහ මම ඒ වෙනුවෙන් කැපවෙමි..
ආපසු හැරී බලමි..