Wednesday, April 27, 2011

සමරු..

                                මට මතක ඇති කාලෙක ලැබුනු මුල්ම වටිනා තෑග්ග තමයි "පහ වසරෙදී අප්පච්චි අරන් දුන්න අත් ඔරලෝසුව".ඒ කියන්නේ ඊට කලින් තෑගි දැකලාවත් නෑ කියන දේ නම් නෙවේ.. උපන්දින වලට,ඒ ඇරුනම අනං මනං තෑගි ගොඩාක් ලැබුනත්.. පහ වසරෙදී ලැබුන තෑග්ග විශේෂයි.මට හිතෙන්නේ අධ්‍යාපනයෙන් මං අද ඉන්න තැනට එන්න ඒ තෑග්ග ලොකුදෙයක් කරන්න ඇති..

                                මම පංතියේ හතරවෙනියා වුනා කියලා තමයි එදා මට අප්පච්චි එහෙම තෑග්ගක් ගෙනත් දුන්නේ.හැමෝම හිනාවෙයි.. 1,2,3ට ඇර 4ට තෑගි දුන්නේ කවද්ද..කියලා..:):) ඒත් මම හතර වසරේ පලවෙනි වාරෙ පංතියේ 14(පංතියේ ලමයි 14ට වැඩිය හිටියා හොඳේ..?:P) දෙවනි වාරෙ 11..
ඉතින් 5වසරෙදී මම පංතියේ 4 වෙනියා වීම ලොකුදෙයක් නේන්නං..

ඒ ඔරලෝසුව නං මේ වෙනකොට කැඩිලා.. :)

                                ඉන් පස්සේ මට 7 වසරේදි පංතියේ 3 වෙනියා වුන නිසා packer පෑනක් ලැබුනා.. අම්මේ!!මට එදා දැනුන සතුට.. තාමත් මතක් වෙනවා raping  paper එකක ඔතලා අප්පච්චී ඒ තෑග්ග ගෙනාව දවස..

                               ඊටත් පස්සේ 8වසරට එනකොට මට සෑහෙන හින්දි පිස්සුවක් හැදිලා තිබුනා..Hrithik Roshan..මගේ ප්‍රියතම නළු බට්ටා..:P:P.. ඉතින් ඉතින්.. 8වසරේ දෙවනිවාරෙ මම පංතියේ 2...  අප්පච්චී එතකොට මට ගෙනත් දුන්නේ KKKG.. (Kabhi Kushi Kabhi Gum)... එදා දැනුන සතුටත් ගොඩාක් ලොකුයි.. 

                               ඉතින් ඔන්න film CD එක Computer එකට දැම්මා විතරයි..:(:(.. Computer එක stuck..... ඒක හදාගන්න මාස 3ක් ගියා.. අන්තිමට කොහොමහරි ඒ ෆිල්ම් එකත් බැලුවා..

                                9 වසරේ තුන්වෙනි වාරෙ වෙනකොට අප්පච්චි මට VCD player එකකුත් ගෙනත් දුන්නා.. :):).. මොකද කිවුවොත් මට ඉරිදා හවස class.. ඉතින් ඉරිදාට ITN එකේ යන හින්දි film එක බලන්ඩ වෙන්නෙ නෑ.. :D... ම්ම්.. තුන්වෙනිවාරෙ මම පංතියේ 1වෙනියා.. ෂා...!!! ඔන්න එදා තමයි මම Koi Mil Gaya බැලුවේ..
අපේ යාලූවෙක් මගෙ auto එකේ මෙහෙම ලියලා තියෙන්නෙ ඒ නිසා වෙන්ඩ ඇති..

රිතික් ඉතින් ඔය කටේම නිති වැජඹෙනවා
පංතියෙ පලවෙනියා වෙලා ෆිල්ම් බලනවා
අනේ රුවන් ඔයත් ඉතින් පිස්සු නටනවා..(පළවෙනි පේලිය මතක නෑ.. :(..)

                                 ඔය කාලෙ අපි ,ලොකුඅම්මලා,අප්පච්චිගෙ යාළුවෝ Hitachi කෝච්චියේ trip එකක් ගියා.. ඒකෙදී ළමයින්ට විනෝද ක්‍රීඩා තිබුනා.. මම ඉතිං හරීම දක්ෂයිනේ.. ඒ නිසා මට තෑගි 0ක් ලැබුනා..:D
ඕකට අපෙ අප්පච්චිට දුකයි... ඉතින් අප්පච්චි ,මට ගෙනත් දුන්නා "ප්‍රෙහෙලිකා කැටයක්..(මට ඒකට කියන නම මතක නෑනෙ..:\)... මගේ මොළේ වර්ධනය වෙනඩ කියලා.. :)

                                ඉතින් ඔන්න මම 12වසරෙදී පංතියේ 1වුනා.. එදා වෙනකොට අර ප්‍රෙහෙලිකා කැටේ නැතිවෙලා.. ඉතින් අම්මා මට අයෙත් ඒ කැටයක් ගෙනත් දුන්නා..

                                මම O/L pass වුන දවසේ නංඟා දුන්න පර්ස් එකත් අමතක කරන්න බෑ.. ඒක හරි හුරුබුහුටි.. O/L pass වුනාම අම්මයි අප්පච්චි අපිව සිංගප්පුරුවෙට දවස් 5ක විනෝද චාරිකාවක් එක්කන් ගියා. .. ඒකත් ලස්සන මතකයක්..

                                මම Medical Faculty select වුනාම අම්මයි අප්පච්චී මට හොඳම හොඳ phone එකක් අරන් දුන්නා.. නංඟා ලස්සන phone case එකක් අරන් දුන්නා.. අයියා ලස්සනම ලස්සන watch එකක් එවලා තිබුනා..:)).. අත්තම්මා කැවුම් කිරිබත් හැදුවා... 

                               අයියා watch එකත් එක්ක ලස්සන වචන ටිකක් එවලා තිබුනා.. මම ඒ ගැන කියන්ඩ යන්නෙ නෑ,මොකද මගේ බ්ලොග් එකේ අයියා ගැන ලියන එක තහනම් කරලා තියෙන්නේ.. :P:P... හික්ස්...

                               යාලුවෝ දුන්න උපන්දින සුභපැතුම්පත් ,වෙසක් සුභ පැතුම්,... කොළයක් කොළයක් ගානෙ මං ලඟ තියනවා.. ඇත්තටම ඒ දේවල් මට ගොඩාක් වටිනවා.. 



ජීවිතයක් කියන්නේ සමරු වලින් හැදුන පඩිපෙළක් දෝ කියලා මට හිතෙනවා..

Wednesday, April 20, 2011

කිරි ඉතිරවීම..

                                 මේකයි කතාව.. මට ඉතින් සීහි වසන්තෙට එන්න බැරි වුනානේ.. ඒ වුනාට මොකද අවුරුදු 2කට විතර පස්සේ (ඉස්කෝලෙන් පැන්නුවාට පස්සේ) 2011 අප්‍රේල් මාසේ 16 වෙනිදා කොවුල් වසන්තය කියලා අවුරුදු උළෙලක් පැවැත්තුනා.අපේ පාසලේ උණුඋණු ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් තමා මේකට එකතුවුනේ..ඒ කියන්නේ 2000 - 2010.. (ටිකක් උණු..හා උණු උණු...)

                                 වයසින් 21ක් වුනාට මොකෝ..(තාම විස්සයි..තව දින කීපයකින් 21යි..:(:(..)අපි තමයි එතන පොඩ්ඩෝ.. හෙ..හේ.. මල්ලිලා,නංගිලා ටිකක් හිටිය නිසා බච්චොම බච්චෝ අපි නෙවේ..

                                අවුරුදු උත්සවයක් ගිය අවුරුද්දෙත් තිබුනා..ඒ කාලේ මට අවුරුදු නෑනේ.ඉතින් මම ඒ පැත්ත පලාතේ ගියේ නෑ.ඒත් මේ සැරේ මට අවුරුදු වගේ..

                                සති අන්තවල තිබුන මීටින් වල ප්‍රතිඵලයක් විදිහට ඔන්න බොහෝම කැපවීමෙන් මහන්සියෙන්,හැමෝගෙම වගේ දතුත් ගැලවීගෙන ලස්සනම ලස්සන දවසක් උදාවුනා ඔන්න.

                                2009 අපේ කෙල්ලොන්ට නියමවෙලා තිබුනේ "කිරි ඉතිරවීම".. කවදා කාපු පාන් ද කිවුවා වගේ.. අපිත් ටිකක් බයවුනා.. ඒත් ඕක බාරවුනේ සමීටනේ.. සමීනම් බයවුනේ නෑ..
ගියසැරේ හරියට කිරි ඉතිරිලා නෑලු.ඔන්න ඒ අභියෝගෙත් තිබුනා..

(ඔන්න ඉතින් කියවන දනා හිතනවලු.."අපෝ මේ කෙල්ලෝ කවදාවත් ලිපක්,මුට්ටියක් දැකලා නැති ගානටනේ කතාව කියලා..) 
                                  අපෝ නෑ.. අපි උදේ ඉදන් රෑ වෙනකම්.. ගෙදර දොරේ වැඩට උදව් වෙන,හොඳ පිළිවෙලට හැදුන දැරිවියෝ හොඳේ..?

                                 ඒත් ඉතින් මේ වැඩේ හරිම විනෝදයි.. අභියෝගාත්මකයි.. කොහොමද batch 8ක්,9ක් ඉස්සරහ කිරි උතුරවාගන්ඩ බැරිවුනොත් තියන සතුට..?:P:P

                                 කොහොමින් කොහොමහරි සමී හොඳ මැටි මුට්ටියකුත් ගෙනත් තිබුනා.. 

(අපේ පන්තියේ ඒ කාලේ සර්ලට මැඩම්ලට මුට්ටි අල්ලපු අය ලඟපාත හිටියා නම් මුට්ටියට ගිය වියදමත් ඉතුරුයි..:D) 
                                 දර ටිකක් මමත් අරං ගියා.. කෝකටත් කියලා.. ඒත් ඉතින් සමී..

1.වියලි පොල් අතු
2.හනසු
3.වියලි දර
4.කඩදාසි
5.හොඳ බෙලෙක් පොත්තක්..

ගෙනත් තිබුනා.. (භූමිතෙල් එයාට අරහං.. කපුරුත් නෑ..:))

                                උදේම හිස තෙලුත් ගාගෙන නාගෙන කියාගෙන.. කට්ටිය ඉස්කෝලෙට ගියා.. සමහරුනම් මූණෙ ක්‍රීම්,පවුඩර් ගාලා තියෙන්නේ ඉස්කෝලෙට එනින් ගමන් එහෙම නෙවේ.. හොඳේ..?

                                ගඩොල් කැට ටිකක් හොයාගෙන බොහොම මහන්සියෙන් දාඩිය පෙරාගෙන අපි විද්‍යාලයීය ක්‍රීඩාංගනයට සැපත් වුනා.. අපේ ground එක තියෙන්නේ ඉස්කෝලෙට ටිකක් එහා.. පාරෙන් එහා පැත්තේ..

                                ක්‍රීඩාභූමිය මැද කලමනාකාරිය හරිගස්සලා අපි පැත්තකට වුනා.. ඒ වෙනකොට අපේ "කිරි ඉතිරවීම"නඩේ හයදෙනයි..

1.මම
2.සමී
3.රූන්දි..
4.නිපූ
5.දුලී
6.මධූ..

(මේ නම් ටික දැක්ක ගමන් දන්න කියන කට්ටියට නං හිනා ..මොක්ද කිවුවොත් එක වගේ "කලේ මොචල් "සෙට් එකක්. ඒ නිසාම කණ්ඩායම් වැඩ කරන්ඩ ලේසී..:D)

                                      නිසි වෙලාව එන්ඩ කලින් අපි බැලුවා..ගෙනල්ලා තියන කල්කිරි ඇතිවෙයිද කියලා.. මෙන්න බොලේ වැඩක්.. මුට්ටියෙන් භාගයයි කිරි..

                                       අනුප් සර් කිවුවා ඔහොම ගියොත් නම් කිරි ඉතිරෙන්නෙ නැතිවෙයි කියලා.. ඒත් සමී හොඳ ගෙවිලී.. එයා කිවුවා අපෝ ඔය ඇති කියලා.. කොහොමහරි ඒ ගැටළුවත් විසඳගෙන අපි ලිප බැඳලා දරදාලා නැකත එනකම් බලං හිටියා.. නැකත කිවුවේ ඉතින් නියම වෙලාව කියන එකනේ.. කොහොමත් අපි වෙලාවට කලාවට වැඩකරන උදවිය..

( ඒ නිසාම තමා මීටින් එකකට 9.am වෙනකොට කට්ටිය එකතු කරගන්ඩ ඕනෙ නම් අඩුම තරමින් 8am වලටවත් එන්ඩ කියන්නේ.. :))


                        මේ අස්සේ අපේ විද්‍යාලයීය පෙරදිග තුර්යවාදක කණ්ඩායම පිට්ටනියට සැපත්වුනා.. ඔන්න වැඩේ .. පිට්ටනිය මැද මුට්ටිය හා ලිප.. ඒ කලමනා බේරලා යන්න තරම් bandඑකේ මල්ලිලා දක්ෂ වුනා.. නැත්තම්.. උතුරවන්න මුට්ටියක්වත් ඉතුරුවෙන්නේ නෑ.. :P:P

                                         එළඹෙන්නේ කිරි ඉතිරවීමේ අවස්ථාව කියලා කියවෙනකම්ම මම හොඳ චැටක හිටියේ.. ඔන්න අවසානයේ අපි හයදෙනා වැඩේට බැස්සා.. ම්ම්... පැමිණ සිටි පිරිසගෙන් හොඳ අත්පොලසන් හඬක් ආවා වගේ මතකයි..

                                         ලිපට වැදලා කාරිය ගිනි මෙලෙවුවා.. ඒත් ඉතින් සමී තමා.. අපි වටේ ඉඳන් දර සපයනවා.. අනං මනං..

                                        ම්ම්... විනාඩි දහයක් විතර ගෙවුනා.. ම්ම්.. තාම කිරි උතුරන පාටක් නෑ.. නඩේට ටිකක් දාඩියත් වගේ..ඒ ඉතින් මද්දහනේ රස්නේ නිසා මිසක් හීන් දාඩිය එහෙම නෙමේ ඔන්න..

                                        නිවේදක ඩිලාන් අයියා ලස්සනට නිවේදනය කරගෙන යනවා.. ඒ වදන් අහපු අපිටත් හිතට පුදුම උද්යෝගයක් දහිරියක්,සතුටක් තමා ආවේ..::P:P
මෙන්න මෙහෙමනේ ඒ අයියා නිවේදනය කරේ..

                     "ඔව්. අපි දන්නවා.. රජයේ විද්‍යාවිද්‍යාලයීය ගෙවිලියන් කොහොමත් ඉහුම් පිහුම් කටයුතු වලට හරිම දක්ෂයි.. කොච්චර දක්ෂද කියනවා නම් ගියසැරේ කිරි ඉතිරවීම සංකේතයකට පමනක් සීමා වුනා.. මේ සැරෙත් එහෙමම වෙන පාටයි.. ඒ වෙන කිසිවක් නිසා නෙවේ.. මේ බොහොම මහන්සියෙන් කිරි උතුරවන ගෙවිලියන්ගේ උත්සාහය නිසයි.. :D:D...

                                        ඔන්න නිවේදක තැනගේ වැඩ.. (කතාවේ යම් සාධාරණ කමක් නැත්තේ නොවේ..):):)

                                        ඒත් ඉතින් නිවේදිකා පූර්ණිමා අක්කා හිටියේ අපේ පැත්තට.. හික්ස්.. එහෙමත් කෙනෙක් එපැයි..

                                       බලං ඉඳලා ඉඳලා අන්තිමට අපිට එපා වුනා.. යස වැඩක්නේ... මේ... නැද්ද මං අහන්නේ..?:P:P

                      අන්තිමට කිරි මුට්ටියට අපි ගැන දුක හිතුනලු.. අපේ බෙරිවෙච්ච මූණු දැකපු මුට්ටිය  බොහොම ලස්සනට කිරි ඉතිරුනා..ලූ... (මුට්ටිය තමයි එහෙම කිවුවේ.. හීනෙන්.. :D)

                      ඔන්න ඔහොමයි '09 කෙල්ලෝ.. 2011 කිරි ඉතුරුවේ..

පුන්චි සිද්ධියකින් අමතක නොවෙන ලස්සන මතකයක් ජීවිතේට ලැබුනා..:)

Sunday, April 17, 2011

හදින් (නෙත්)කළු සුද්දා..

විසුළු මුහුණ පැලඳන් සුදු 
සම ලෙසිනේ
කළුවන් කළු එ වත වැසුමට 
ඇයි සිතුනේ
කුසුමක සුවද පැහැයට එන 
බිඟු ලෙසිනේ
මී බී කුසුම හැර යයි ඇයි 
නොසිතූයේ



ලෙව් තුල සුපතලව වැජඹීමට 
ලොල්ව
විරහව ප්‍රේමෙ මුල් කරගෙන
ගී ගැයුම
පමනක් සිත සිතා දඟලන 
පණු සේම
අතරින් මැවී මැවී නැඟෙ නුඹේ 
ලෝ දැක්ම



ගඟුලේ කිමිදෙනා මින් කැල 
ගැන මෙන්ම
නිල්වන් තුරුමුදුන් ගැන හද 
පත්ලෙන්ම
පන්හිඳ තුඩින් රූරා වැටි 
පද බෝම
කියවයි මුදු හැඟුම්බර මිනිසෙක් 
ගැනම



රූතිරයෙන්ම පමනක් දුටුවද 
නුඹව
සෑබෑලොව කිසිත් දින නොඇසුවද 
නද
නුඹ බෝ දුර ගොසින් බව මා 
ඇසූ සඳ
නෙතඟට ලොකුම ලොකු කඳුළක් 
ඉනුවෙ කිම

 2009 - 06 - 04 ..බොරු මොකටද මේ පද නම් ඉස්සෙල්ලාම ලියවුනේ පතක තමා.. ඒ කාලේ සිතේ දෑ කුරුටු ගාන්න මට බ්ලොග් පිටුවක් තිබුනේ නෑනෙ..

Monday, April 11, 2011

කූඩු වුනොත්..



                                 මිනිස්සු , ගෑනු.. පවුල් ජීවිතේ ගැන මොන මොන කයිකතන්දර කිව්වත් මට නං හිතෙන්නේ කසාද ජීවිතේ හරීම සුන්දර එකක් කියලා.. ඒ මක්කෙයි කියලා වචනෙං වචනේ කියන්ට මට නොතේරුනාට මොකෝ.. ඒක එහෙම තමා..

                                මකුළුස්ස කන්ද පාමුල පොඩි මිටියාවතක යස අගේට ගොම මැටි පිලියං කොරලා අටවලා තියෙන මගේ ගේ පොඩ්ඩ මට මාලිගාවක් ගානයි.මගේ බිරින්දෑ උදේ රැයින් අමදින පොලඅතු රටා මැවුන මිදුල කොනට වෙලා , මිදුල කොනේ බිමට නැමිලා තියෙන පොල් කඳේ ඉඳගෙන මට හිතන්ට දේවල් බෝමයි..

                                මගේ බිරින්දෑ අපේ ගේ පොඩ්ඩට ඇබිත්තං ලේ කැටියෙක් කැන්දං ආ දවසේ ඉදං.. මට රටක් රාජ්‍යක් ලැබුනු ගානයි..


"අප්පොච්චී... අප්පොච්චී... මේං අයියා මට අරියාදු කොරනා.."
ඒ මගෙ පුංචි මැණිකේ..


"කෝ.. මෙහෙට එන්ඩ මයෙ මැණික.. මම කතන්දරයක් කියලා දෙන්ට.."


ඔන්න.. පොඩි කෙලීගෙ මූනෙ ඇඳෙන හිනාව.. අනේ ඇස්වහක් කටවහක් නෑ... කිරිදත් ටික මුතුඇට ගානයි..


"අප්පොච්චී.. නඟාවමයි හුරතල් කොරන්නේ..."
පුතු ඩිංග මුක්කං නහයෙං දොඩයි.


"අනේ ඇත්තට... පුතේ උඹත් නඟා වගේ අප්පොච්චිට හුරතල් වෙන්ටද කල්පනාව... උඹ දැන් ලොකු කොල්ලෙක් නෙව.. මෙහෙ ඇවිත් කොස් ඇට ටික තලන්ට මට උදව් කොරානං.."

"අවුරුදු දහයක් එකොලහක් වුනා කියලා කොහොමෙයි ලොකු කොලුවෙක් වෙන්නේ... එන්ට පුතේ මං උඹලා දෙන්නටම හොඳ රස කතාවක් කියලා දෙන්ට.."

"අප්පච්චී,පුතාලා ,දූලා ඕනෙ දෙයක් කොරගන්ට එහෙනං.."
ඇය මුවට නඟාගත් මදහාසයෙන් යුතුව බොරු අමනාපයක් මවාගෙන ගෙට යයි.


පොඩි දුව සිනා වැලයි
පොඩි පුහුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ වැලයි
මගේ නිවන මගේ පැල්පතයි




                     පැටවු දෙන්නා ඔඩොක්කුවේ කටවල් ආයගෙන කතාවක් කියනකං බලාගෙන ඉන්නා දොහේ මං ආයෙත් කල්පනාවක..

                     කටුමැටි ගාලා වරිච්චි බිත්ති වැහුවට මොකෝ.. අතරින් පතර උදේ ඉර මුදුන් වෙන්ට කලියෙන්.. ගෙබිමේ ඇඳෙන ඇබිත්තං එළි බිංදු හරි අගේ.. හරියට මැටි බිත්තිය මැණික් කැට අල්ලලා ලස්සන කොරා වාගේ..

ගේ වට දඬුවැට..වැට අයිනේ දෙහි දොඩං ගස් ගෙඩි වලිං බර වෙලා.. අනේ වාසනාවන්..!!!

ගෙදර ඉස්තෝප්පු කෑල්ලයි..ගෙබිමයි අවුරුද්ද ලං ලං නිසාද කොහෙද යස අගේට ගොම පිලියං කොරලා..

කටුමැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

"අප්පොච්චී... කතාව කෝ..?"
පුංචි කෙලීට ඉවසිල්ලක් නැති ගාණයි.. පැටවු දෙන්නට කතාවක් ගොතන්ට වෙන විත්තිය මගේ කල්පනාවට ආවේ එතකොට...


"ඔන්න පුතේ එකෝමත් එක කාලෙක...."


                                සියදොරිස් මිදුල කොනට වෙලා දරුවන්ට කතන්දරයක් කියලා දෙනට පටන් ගත්තා.. වී මිල ඉහළ පහළ යන ගානට.. කර වටක් ප්‍රශ්න කන්දරාවක මිරිකිලා පණ ඇද්දත්.. පවුල් පන්සල් වුනාට පස්සේ සියදොරිස්ගේ වගේම බබුංගේ ජීවිතේටත් දෙයියෝ බැලූ ගානයි කියලයි ගමේ උදවිය කතාව..

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම්නැති සුවය දැනේ

                            වෙල්යායක් අයිනේ හුරුබුහුටියට පුංචියට ගොඩනඟාගෙන ඉන්න ඔවුන්ගේ ගෙදර හැමවෙලේම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නයි බබුංගේ උත්සාහය.. ගෙදරට ඕනෙ බත සරිකරන අතරේ සියදොරිස් උයන පිහන වෙලාවට බබුංට පොල් ටිකක් ගා දෙයි.. පලා මිටක් සුද්ද කර දෙයි.. පුංචි පැටවු දෙන්නත් හැකි හැකි ආකාරයෙන් උදව්..



මේ පවුල දිහා බලන් ඉන්න ලස්සනයි... දියුණුවෙන හැටි...
ජීවිතේ විදින හැටි...

Wednesday, April 6, 2011

බළල් යුවතී ..

"මියෑව්..මියෑව්..."

"අම්මා අන්දර වැට අස්සේ පූස් පැටියෙක් කෑ ගහනවා ඇහෙනවා"
අපේ ගෙදර පූසෙක් සිටී.. එමුත් තවත් පූස් පැටියකු වැඩි නැත.

"අනේ අම්මා අපි ගෙදර ගේමු.."
අපේ ගෙදර අවට ලේන් පැටියෙක්,ගිරා පැටියෙක් ,උකුසු පැටියෙක් ,පූස් පැටියෙක් , බලු පැටියෙක් අසරණව ගැවසෙන වාරයක් ගානේ අම්මට ඔය වැකිය අහන්නට ලැබේ.

"තමන්ගේ වැඩක්වත් තනියෙන් කරගන්ඩ බැරුව තව පූසෝ ගෙදර ගේන්ඩ කතාව.."
එහෙම කිවුවත් අපෙ අම්මගේ හිත වෙඬරු පිඬකි. සටස් ගා උණුවෙන සුළු ය.

"ම්ම්.. එහෙනං ගේන්ඩකෝ.. කිරි ටිකක් වත් හදලා දීලා කාටහරි ගිහින් දෙන්ඩ.." 

                                පූස් පැටවුන් බලු පැටවුන් මෙන් නොව.. බලු පැටවුන් ලේන් පැටවුන් මෙන් නොව ..ලේන් පැටවුන් උකුසු පැටවුන් මෙන් නොව..
පූස් පැටවුන් ඉක්මනින් පැන දුවයි.අල්ලා ගන්න අමාරුයි.බලු පැටවුන්.. සෙනෙහසක් දුටු තැනට ඉක්මනින් එති..ලේන් පැටවුන් ඉතා බියසුළුයි.. උකුසු පැටවුන් ඔය එක ආකාරයක් වත් මෙන නොව.. උන් වෙනස්ම ගති  පැවතුම් දක්වයි.

"චූටි පූස්.. මෙහෙට එන්න... කෝ..කෝ... හැංඟෙන්නෙ නැතුව එන්න.. වැස්සකුත් එන්න ළඟයි.. ඔයාට හොඳටම තෙමෙන්න වෙයි.."
මේ දඟ පූස් පැටියා අන්දර වැට අස්සේ එහෙමෙහෙ දුවයි.. ඈතින් ඈතට දුවයි.අල්ලන්න යනකොට අත පහුරුගාන්නට මාන බලයි.. 
අන්තිමට පුංචි පුළුන් බෝලෙ කොහොමහරි මම අල්ල ගත්තා...

සතර දෙසින් වැහි කළුවර ආ වේලේ
නතර නොකර නුඹ මරහඬ දෙනු ඇසුනේ
අන්දර වැටට නුදුරින් නුඹ සැඟවූයේ
දෙපාවන්ට ඇති බියටැයි මා සිතුවේ

මුදවා කටුරොදින් නුඹ ගෙන මා අතට
පිසදා තෙතබරිත නුඹ සම ලෙස හොඳට
රඳවා තුරුලේම නැති උණුසුම දෙන්ට
පියවා නෙතුපියන් නිදි දූ වෙත යන්ට

තුරුණු නුඹ මවුන් පෙර පෙම් කරන්නැතී
කරුන ලෙසින් නුඹ මෙලොවට එන්න ඇතී
කරුම ලෙසින් නුඹ තිරිසන් වෙන්න ඇතී
කුරිරු ලෙසින් නුඹ මෙහිලා යන්න ඇතී

මව්කිරී නොබී ගවකිරි බී වැඩුනු නුඹ
කැප ආහාර වෙනුවට බත් කැවෙනකොට
හොරෙන් කරවලත් කා පැන දුවනකොට
විස්කෝපයට වැඩියෙන් එයි හිනා මට

කිසිදින තෙත්නොවූ නිල්වන් සුනිල් නෙතූ
කන්දෙක සමඟ ඔසවාගෙන ලෙස අමුතූ
කිමැයි ඇසිමි දැනගන්නට සියල් තතූ
මව මෙන් නුඹත් මෙනි පෙමකට වෙලා නතූ



එහෙම අල්ලන් ආපු පුළුන් බෝලෙ... අද මොකද මේ..???

Tuesday, April 5, 2011

පලමුවර වැරදී..

සිනා කැන් කැන්දා
දිය කඳුළු අරන් දා
දිසි පැතුම වරද්දා
හද නිති තැවුල් ලද්දා

එකල මේ ලන්දා
මුව මදහසක් රන්දා
නෙත් පොතට වද්දා
දිය කිතු නිතින් ලද්දා

චතුර මුව ලද්දී
කොවුලිය මුව සරින් දී
හද නද ගිගුම් දී
සදිසි පැතුමක් සිතින් ගද්දී

අත වැරදී නොදී
තැත් මුත් පලක් නොලදී
අත වැරදී බිඳී
පැතුම තූ තූ සරින් සිත් රිදී

බිඳුනු මුත් ඇහිදී
ඵල ඉන් නැතැයි දනිද්දී
ගත් සිප් ලෙස නිසී




2010 - 11 - 20.. දෙවනිවර විභාගයට සුදානම් වන අතර..