Wednesday, March 30, 2011

මා බාල කාලේ..

                                මං ඉපදුනේ වැව්බැඳි රාජ්‍යයේ.. ඔන්න ඉතින් ඒ නිසාම මගේ නම "රුවන්මාලි" වුනා.මම ඒ නමට හරීම ආසයි. ම්ම්.. ඇයි දන්නෙ නෑ.

                                අනුරාධපුරේ ඉපදිලා එහෙ අවුරුදු දෙකක් තුනක් ඉදලා ඊට පස්සේ ආවේ ගල්කිරියාගමට.ගල්කිරියාගම තියෙන්නේ දඹුල්ලෙනේ.ඉතින් මට හොඳටම මතක බාලකාලේ එහෙ තමා ගත කලේ.අපි හිටියේ වෙදනිලනිවාස වල. ඒ නිලනිවස ඉස්සරහා ලොකූ මිදුලක් තිබුනා.අයියායි මායි උදේ ඉඳන් හවස්වෙනකම්ම ඉතින් එක එක පිස්සු වැඩ ගොඩයි. නිවාඩු දවස්වලට අප්පච්චි ,අපි දෙන්නයි ළඟ පාත තිබුන වෙල්යායකට යනවා දං කඩන්න.මට තාමත් මතක් වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ.වියපු තොප්පි දෙකකුත් දාගෙන නිවාඩු දවස් පුරා අපි වෙලේ නටනවා.හවස්වෙලා ගෙදර එනකොට  අම්මා මොනවාහරි රස බීමක් හදලා තියනවා.අනුරාධපුර පැත්ත කට්ට රස්නෙයි තමා.ඒත් ඒ වියලි හුළඟ , ප්‍රබෝධමත් හිරුකිරණ මට නම් හිතෙන්නේ "මා බාල කාලේ" තවත් උණුසුම් විනෝදමත් එකක් කරා කියලා.

                                හැම සති අන්තයකම උඩමළුවට ගිහින් ,රුවන්වැලි සෑය ලඟ රෑබෝ වෙනකම් ඉදලා ආව ඒ කාලෙට මම පුදුම ආසයි,ආදරෙයි.

                                ඒ හැමදේම දාලා අවුරුදු හතරක් පහක් වෙනකොට මාතලේට ආවනේ.මෙහෙ නම් ආවේ පදිංචියටමයි.ඉතින් ඒ ඇවිත් අවුරුද්දක් විතර හිටියේ,අත්තම්මලා එක්ක... අම්මලාගේ මගගෙදර ,වාලවෙල අළුත්ගම.. ඒත් මාතලේම තමා. අපේ ලොකුඅත්තා හොඳ වෙදමහත්තයෙක්... "අත්තරගම වෙදමහත්තයා" කිවුවම කවුරුත් දන්නවා.ඒත් ඒ වෙදකම ලොකුඅත්තගෙන් පස්සේ ඉදිරියට අරං යන්න කෙනෙක් නොහිටපු එක නම් ලොකු දුකක්... අම්මලා ඉස්කෝලෙ ගියාම අයියත් එක්ක, මම අත්තම්මටයි ලොකුඅත්තටයි හොඳ මලකඩකාපු ඇනට් එකක් වෙන්න ඇති. අත්තම්මා මාව ඒ මුළු වත්ත පුරාම එක්ක යනවා.ඒ වත්තේ නැති දෙයක් නෑ.. පළතුරුද, එළවළු ද , ඔසු වර්ගද.. මොනවද නොතිබුනේ.හැබැයි ඉතින් වත්තේ ඇවිදලා ගෙදරට ගොඩ වෙනකොට අනිවාර්යෙන් කූඩැල්ලෙක් දෙන්නෙක් ඇඟිළිපුරුක් අස්සෙ ඉන්නවා මයි... :-\

                                ඒ පැත්තට හැමදාම මන්දාරම... මාතලේ නේ.වැස්ස වැස්ස ඉවරයක් නෑ... අනුරාධපුරේ ප්‍රබෝධමත් ඉරඑළියෙන් සතුටට පත්වෙලා හිටිය මං මාතලේ මන්දාරම් අහස දිහා ගොඩාක් දුකෙන් බලන් ඉන්න ඇති. 

                                 කොහොමින් කොහොමහරි අපි අන්තිමට හුලංගමුව අපේ වාසභවනට ආවනේ අන්තිමටම... හොඳ වෙලාවට.... හොඳම වෙලාවට අපේ ගෙදරට එහාපැත්තේ කුඹුරක්..:):)... 
ඉස්සර අවුරුද්ද ලං වුනාම අපි හයදෙනා(ලොකු අයියා,චූටි අයියා ,අපේ අයියා ,මම,ලොකු නංඟා , මගෙ නංඟා) කුඹුරෙමයි. හොඳට මඩනාඟෙන ගෙදර එනකොට අම්මගෙ රතුකට්ට පැනලා..:):)... ඒ කාලෙ කොහොමත් හවස්වෙනකොට ගෙදරට ගොඩවෙන්නේ කලවැද්දෝ වගේ තමා...

                                  මම පහ වසරෙදී අපේ ප්‍රියතම ක්‍රීඩාව තමා රොබින්හුඩ්... කොළඅතු වලින් මාල හදාගෙන ,දුනු ඊතල හදාගෙන කොලරොඩු වලින් පුංචි ගිනිගොඩවල් ගහගෙන නටලා නටලා ගෙදර එනකොට හොඳටම ගස්ගඳ... ඒකට හරියන්න ටිකක් ලොකු වත්තක් ගේ ළඟ තිබුන නිසා හොඳට ගියා වැඩේ..

                                  අපේ අම්මා ඉතින් අපිව හෝදලා හෝදලා යාන්තම් මිනිස් ලමයි ගානට අපුල්ලලා ගන්නවා.. :P:P.. වැඩක් නෑ.. ඊලඟ දවසෙත් ඔහොමමයි...
ශිෂ්‍යත්වෙ නොතියෙන්න තව ගොඩාක් පිස්සුවැඩ කරන්න තිබුනා.. කෝ ඉතින් ඒකට ඉඩක් තිබුනේ නෑ නේ..

                                  ඉස්සර නිවාඩුදවස් වලට අපි ඇහැරෙන්නේ අප්පච්චි නැඟිට්ටනකොට.. කොහොමත් පක්ශාත්භාගයට අව්ව වැටෙනකම් ඒ කාලේ නිදාගත්තා.. ඉතින් ඊට පස්සේ උදේ දහය එකොළහ වෙනකම්..  කෑ ගහ ගහ ඉන්නවා.. අප්පච්චී, අපි හතර දෙනයි.... හවසට බැල්කනියට වෙලා රෑ නවය විතර වනකම්ම සිංදු කියනවා.. හ්ම්.. ඒ කාලේ ආයේ එන්නෙම නෑ නේ..:)

                                 ටික ටික ලොකු වෙනකොට ,විභාග වලින් බෙල්ල හිරවෙනකොට, ඒ ඔක්කොම නැති වෙලා ගියා.ගිය අවුරුද්දේ විදපු දුකේ තරම මතක් වෙන්නේ එතකොට තමා. අම්මලා අප්පච්චිලා එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. සිංදුවක් අහන්න වෙලාවක් නෑ.. පොතටම ඔළුව බරකරගෙන , ඉස්සාට තියන චරපාද ගාණයි,ප්ලව පාද ගාණයි ගැණ ගැණ , බස් එකකට දුවගෙන ගිහින් නඟින මිනිහෙක්ට බස් එකට සාපේක්ෂව තියෙන්න ඕනෙ වේගෙ හොය හොයා , ලවෝෂියර්ද හරි,නැත්තම් ප්‍රවුෂ්ට් ද කිය කියා හොය හොය... විඳපු දුක නම් හොඳටම ඇති...  ඒත් අනේ මන්දා ඒ ඉගෙනූම තුලත් අන්තිමට වින්දනයක් තිබුනද මංදා.. 
කොහොමත් දෙවනිපාර විභාගෙ කරන්න ලංවෙනකොට මට ජීවිතේ ගැන වෙනස් අවබෝධයක් ආවා.හිත හරිම සැහැල්ලු වුනා. ඒකෙත් හැටි..:):)

                     මම ටිකක් ආපහු මම මෙතෙක් ගතකරපු ජීවිතෙ ගැන හිතලා බැලුවා.එහෙම බැලුවාම පසුගිය අවුරුද්දේ ටිකක් දුකෙන්ම කාලය ගතවුනත් ඉතිරි අවුරුදු 19ම හරිම සතුටුදායකයි.. ඉදිරි ආනාගතය ගතකරපු ජීවිතේට වඩා සිය ගුණයක් වෙහෙසකර වුනත් මට පුළුවන් නම් සතුටින් ඉන්න...

අනේ කරුණාකරලා සතුට මං ලඟම ඉන්න... මාව දාලා නොයන්න... :):)

Sunday, March 27, 2011

කොන්දේසි විරහිත ආදරය (unconditioned love)..


                                අපේ අයියව එයාපෝට් එකට ඇරලවන්න කොළඹ ගිහින් එන අතර මඟ,හරියටම කිවුවොත්අර ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා අභාවප්‍රාප්ත වුන ප්‍රදේශය ලඟදී, අප්පච්චිගේ බැච්මේට් කෙනෙක්ගේ ගෙදර යන්න ඕනෙ කියලා යෝජනාවක් අප්පච්චි ගෙනාවා.අම්මා ඒ යෝජනාව ස්ථිර කරාට පස්සේ අපි එතන හන්දියෙන් වාහනේ හරවගෙන මේ යාළුවාගෙ ගෙදර හොයාගෙන ගියා.

                       අප්පච්චිගේ යාළුවාගේ නම තමා ප්‍රින්සි.අපි හිතුවේ අන්කල් කෙනෙක් කියලා.. නෑනේ... බලනකොට ආන්ටි කෙනෙක්.. ප්‍රින්සි ඇන්ටි,අපි  එයාලගෙ ගෙදර ලඟට එනකොට හොයාගන්න බැරිවෙයි කියලා ගේට්ටුව ලඟටත් ඇවිත්..හරිම සිනාමුසු මුහුණින්..(අපි යන්න කලින් එයාලට කෝල් එකක් දුන්නා..)
  
                       ප්‍රින්සි ආන්ටිගේ සැමියගේ නම තමා සනත්. ඔන්න සනත් අන්කලුයි,ප්‍රින්සි ඇන්ටි විතරයි ගෙදර.ඒ ඇයි කිවුවොත් එයාලට බබාලා නෑ.ප්‍රින්සි ආන්ටි තලෙලුයි..හරිම ප්‍රසන්න පෙනුමයි.ඒ වගේම හරි කටකාරයි.සනත් අන්කල් සුදුයි,නිශ්ශබ්දයි.දෙවි පිහිටෙන් දෙන්නම හොඳ සතුටින්,.ඒත් ආන්ටිගේ පුන්චි අසනීප ගතියක් තිබුනා,කතා කරනකොට හරි වෙහෙසයි වගේ...

                                එදා උදේ අසනීප ගතිය නිසා ආන්ටි උදේම නැඟිටලා නෑ.. අන්කල් තමා උදේ තේ එක හදලා තියෙන්නේ... අන්කල්ට දියවැඩියාව...:).. 

ඉතින් ඇන්ටි මෙහෙම කිවුවා..

"අද උදේ ඉතින් මට ටිකක් අසනීප ගතියක් තිබුන නිසා සනා තමයි bed tea හැදුවේ.. 
ඔන්න ඉතින් තේ එක හදන්න ටිකක් පරක්කු නිසා මම කුස්සියට ගියා.. ඒ වෙනකොට තේ හදලා.. මම තේක අරන් බොන ගමන්.. ඉල්ලන් සනාගේ තේක ටිකක් බීලා බැලුවා...
ඔයාට කියන්න චන්දන.....මෙයාගෙ තෙ එක මී පැනී වගේ..."

ඔන්න එතකොට අපේ අම්මා.
"ඔවා කියලා වැඩක් නෑ ප්‍රින්සි,චන්දනත් ඔහොමයි... පැණි රස කන්න පුදුම කෑදරකමක් තියෙන්නේ,..."
අම්මගෙ වැඩේ අප්පච්චිගෙ කාඩ් කුඩු කරල එකමයි..හී..!!

"ඒකනේ යමුනා.. අපි මෙයාලට ඒ දේවල් කියන්නේ ආදරේට කියලා තේරෙන්නෙ නෑ නේ.. ඉතිං මම ඕනෙ දෙයක් කරගන්න කියලා කරබගෙන හිටියා.."

"ආදරේ නෙවේ කෑදරේ... අර හරකුන්ට පුන්නක්කු දිදී තව ටිකක් කල් වැඩිපුර ජීවත් වෙයං වස්සෝ...තව උඹෙන් වැඩ ගන්න තියනවා කියනවා වගේ... කුරක්කන් රොටී කව කවා අපිව තියා ගන්ඩ හදන්නේ.."
 අපේ අප්පච්චිට ඕනෑ ඕනෙ දෙයක් විහිළුවට හරවන්නටයි.

"චන්දන නං ෆැකල්ටි හිටියා වගේ මයි කට.. තාම වෙනස් වෙලා නෑනෙ යමුණා.."
 ප්‍රින්සි ආන්ටිට හිනා..:)

සනත් අන්කල් කලේ හිනා වෙලා නිහඬව ඉන්න එක විතරයි. 

                        එයාලා අළුත් ගේ පොඩ්ඩ්ක් අරන් තිබුනා,හරිම පියකරුයි... මැද මිදුලකුත් තිබුනා..පුන්චි දියඇල්ලක් ගලාගෙන එන විදිහට හැදුව.... 
ගේ ඉස්සරහා මල් වවලා.. හරි ලස්සනයි. ඒ මල් වවන්නෙත් ප්‍රින්සි ඇන්ටි ලු.. හරි ෂෝක් පවුලක්..මම එයාලගෙ සතුට හැමදාම රැඳෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කලා හිතෙන.

                      අපිට දවල්ට කන්නත් ඉන්ඩ කිවුවා.. ඒත් ඇන්ටිටත් මහන්සි වගේ නිසයි ,ගෙදර එන්න ගොඩාක් වෙලා යන නිසයි..(අපේ ලොකුඅත්තයි අත්තම්මයි ගෙදර තනියෙන් නේ..) අපි එහෙන් පිටත් වුනා...ඉක්මනින්.

මඟ එන ගමන් අපිට කතා කරන්න දේවල් ගොඩායි..

"අප්පච්චි සනත් අන්කල් මොනවද කරන්නේ..?"
මටත් ඕනැ නැති දෙයක් නැත.

"නෝ ජොබ්... "

"අහ්..?? ඇන්ටි ඩොක්ට ,අන්කල් නෝ ජොබ්.. මාර කපල් එකක් නේ.. අනේ හරිම ෂෝක්.. ආන්ටි අන්කල්ට ගොඩාක් ආදරේ පාටයි.."

"ඔව්..ඔව්.. කතා කරන්නෙත් සනා බබා කියලනේ.."
ඒ අම්මා.. 

                      අපෙ අම්මට ජෙලස් ඇති.. එදා ඉදන් අපෙ අම්මා අප්පච්චිටත් බබා..බබා.. කියන්නෙ ඔය නිසා වෙන්න ඇති... අප්පච්චි නම් කියන්නෙ අම්මා "බබා" කියනකොට හීන් දාඩිය දානවා කියලා.. මොකද ඒ බටර් වලින් අප්පච්චිගෙ පොකට් එකට එක සැරේට සෑහෙන්ඩ තට්ටු වෙනවා..:):)

"ඔව්..ඔව්.. ඉස්සර ප්‍රින්සි ඉස්කෝලෙ යනකාලේ එයාලා ඉදලා තියෙන්නේ කැකිරාවේ.. සනත් ඒ ගෙදර බෝඩින් වෙලා ඉදලා,සනත් බෞද්ධ,ගර්ලි ක්‍රිස්තියානි..( මේ දත්ත නම් මට හරියට මතක නෑ,,:\) ඉතින් ප්‍රින්සි සනත් එක්ක යාළු වෙලා... ඒ කාලේ ප්‍රින්සි ගොඩාක් ස්පෝර්ට්ස් එහෙමත් කරපු කෙනෙක්.. ඒත් 
A/L කාලෙ තමා දැනගෙන තියෙන්නේ...
එයා 'හෝල් ඉන් ද හාට්' කියලා"

"ඇත්තද මෙයා..?"
අම්මට අප්පච්චි ඔය කතාව කී සැරයක් නම් කියලා ඇද්ද..? ඒත් මැදට පනිනවනේ..:)

"ඔව්... ඒත් එයාලගෙ affair  එක බ්‍රේක් වෙලා නෑ.. ප්‍රින්සි ෆැකල්ටි ගියාට පස්සේ තමා දැනෙගෙන තියෙන්නේ සනත් & ගර්ලි අතරේ සම්බන්ධේ ගෙදර අය..
එයාලා ඒකට උඩින්ම විරුද්ධ වුනාලු..
එකක් තමා සනත්ට ජොබ් එකක් නෑ..
අනික තමා ආගම් ප්‍රශ්නේ.."

" ඉතින් ඉතින් අප්පච්චි.."
මාර ලව් ස්ටෝරි එකකි.. මට මෙච්චර කාලෙකට මේ වගේ කතාවක් කියවන්නට නොලැබුනී..

"ඒත් ප්‍රින්සි ටිකක් මුරණ්ඩුයි ලු.. එයා කොහොමහරි කැමැත්ත අරන්.. 
සාමාන්‍යෙන් හදවතේ සිදුරක් තියන අයගේ හදවත දුර්වලයි නේ.. ඒ අයට බබාලා හදන්න එපා කියලයි ඩොක්ටර්ස්ලා නියම කරලා තියෙන්නේ.."

"එ ඇයි අප්පච්චි..?"
මේ ගම් මිරිස් ඇටේගෙ මොලෙත් ඒ sizeමද (ගම්මිරිස් size :P) කොහෙද..

"අයියෝ.. නංඟා එච්චර දෙයක්වත් තේරෙන්නෙ නැද්ද?.. heart එක weak නම් කොහොමද තව බබෙකුත් දරාගෙන ඉන්නේ.. ඒකට ශක්තිය ඕනෙ.. ඔක්සිජන් වෙඩිපුර ඕනෙ.. ඩිලිවරි එකටත් කොච්චර ශක්තියක් ඕනෙද.."
අපේ නංඟී හැමවෙලේම කියන්නේ මට මොළේ නෑ කියලා.ඉතින් මේ වගේ අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත යුතු ය.

"ඒ ගැන සනත් අන්කල් දන්නවද අප්පච්චි..?"

"ඔව්.. ඒ විතරක් නෙවේ.. ප්‍රින්සිගේ ජීවිතේ අවධානම්.. ඒ ගැනත් සනත් දන්නවා.. එයාලා ඒකටත් සූදානම්.. ඒ හැමදේම තියාගෙන එයාලා හරිම සතුටින් හා ආදරෙන්.."

                                  මට තවත් අහන්න ප්‍රශ්න හිතට ආවේ නෑ.. මගේ හිතට ඒ යුවල ගැන ඇතිවුනේ පුදුමාකාර උතුම් බවක්.. ගොඩාක්ම සනත් අන්කල් ගැන..අපි තමා ජීවිතේ අපිට නොලැබුනු පොඩි දේවල් ගැන හිත හිත විදවන්නේ.. එයාල ජීවිතේට කොච්චර හොඳට මුහුණදෙනවද..?

                                 
ප්‍රින්සි ආන්ටි පවුලේ ආර්ථිකය ගොඩ නඟනවා තමයි.ඒත් බබාලා නැති කමින් කැඩෙන කොච්චර සල්ලිකාර පවුල් තියනවද..? සනත් අන්කල් ආදරය වෙනුවෙන් කරලා තියෙන්නේ කොච්චර ලොකු කැපකිරීමක්ද..?  
ප්‍රින්සි ආන්ටිත් එයාට කොච්චර ආදරේ ඇද්ද..? මම එහෙම කපල් එකක් ගැන ඇහුවමයි...

අපි ගෙදර ඇවිත් සති දෙකක් විතර ගතවුනා..
එදා හවස මමයි නංඟී "ජය හෝ.." සිංදුවට පොඩි ස්ටෙප්ස් ටිකක් අත්හදා බල බලා හිටියේ..ගොඩාක් හිනා වෙවී..කාමරේ දොරත් වහගෙන..


අම්මා ඇවිත් දොරට තට්ටු.... 

"මොකක්ද අම්මා..? අපි මේ සිංදුවක් අහනවනේ... "
අපිට ටිකක් තරහා ආවා.. :)

"ලොකු දෝණි.. මේ... ප්‍රින්සි ආන්ටි....."

"ප්‍රින්සි ආන්ටි......... කවුද චුම්, ප්‍රින්සි ආන්ටි කියන්නේ..?"

"අනේ මැට්ටි... අර අපි සතියකට දෙකකට කලින් ගියේ.."
නංඟගේ මතකය එළ.

"අහ්.. ඔව්මයි.. ඉතින් ඇයි අම්මා..?"

"ප්‍රින්සි ආන්ටි අද නැතිවෙලානේ දුව.."
අම්මාගේ මූණ අඳුරු වුනා..

මගේ හිතට දැනුන වේදනාව.. ක්ෂණික කම්පනයක් තරම්... මට හිතාගන්නත් බැරි තරම්.. (අනේ මේ හීනයක් වෙන්න..!!!!..)

                                  එදා ඇන්ටියි අන්කලුයි කොළඹ මහගෙදර ඉදන් එනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.. ඒ වෙනකොට ආන්ටිට අවුරුදු 50යි.. 

                                  අප්පච්චි ඊළඟ දවසෙම මළගෙදර ගියා.අන්කල් හොඳටම අඬනවලු.එදයින් පස්සේ අන්කල් තනිවෙන නිසා වෙන්නැති.. අන්කල් ආන්ටිට ගොඩාක් ආදරේ කරපු නිසා වෙන්නැති.. ඒ හැමදේම නිසා වෙන්නැති...

                                 ගර්ලි ආන්ටි නැතිවුනාට පස්සේ ඒ හැමදේම අයිතිවෙන්නේ අන්කල්ට කියලා හැමෝම කියනවා ඇති.රස්සාවක් නැති සනත්අන්කල් ඔච්චර කල් සැපෙන් සතුටින් හිටියේ ප්‍රින්සි ආන්ටිගේ ආර්ථිකේ නිසා,ඒ නිසා සනත් අන්කල් හරි වාසනාවන්තයි කියලා මිනිස්සු කියන්න ඇති...

                                  ඒත් මගේ මෝඩ මොළේට..ම්ම්.. නෑ..නෑ.. මගේ බොළඳ හිතට හිතුන විදිහට නම්.. තමන්ගේ ආදරය වෙනුවෙන් පිරිමි කෙනෙක් ඒ තරම් කැපකිරීමක් කරයිද? තමන්ගේ ආදරය වෙනුවෙන් ගැහැනු කෙනෙක් ඒ තරම් කැපකිරීමක් කරයිද..? ආදරය කියන්නේ කැපකිරීම්,කළගුණ සැළකීම් වල එකතුවක්ද කියලා මට හිතුවා..
conditons වලින් තොරව ඒ වගේ ආදරය කරන්න මටත් පුළුවන් නම් කියලා මට හිතුනා.. 

ඒ තරම් උතුම් ආදරයක් මම දැක්කා මයි... මට නම් තාමත් හිතාගන්න බෑ...

ඒ ආදර කතාව වචන වලින් කියා නිම කරන්න බැරි තරම් ලස්සන උතුම් එකක්...ප්‍රායෝගික ලෝකෙ කතා ප්‍රබන්ධ වලට වඩා ලස්සනයි කියලා මම කියන්නේ එකයි.

Love is not about how much love you have in the begining,
but how much you build till the end.

Saturday, March 26, 2011

මම කැමති කුමන ආකාරයේ පෙම්වතෙක්ටද?..

                                 මම අද පෝස්ට් එකක් ලියන්න කියලා හිතාගෙන පතාගෙනමයි හිටියේ.. ඒ අපිට වස වදයක් වුන කලවැද්දෝ ගැන.ඒ වෙනුවෙන් ලොකු සල්ලි කන්දරාවක් යටකරන්න වුනු තරහටත් එක්කයි මම එහෙම ලියන්න හිතුවේ.ඒත් එහෙම හිතන් මම අන්තර්ජාලෙට ගොඩ වදිනකොටම... වදිනකොටම කිවුවට මුහුණුපොතට මූණදාලා බලනකොට මෙන්න වැඩක්...

                                 සුදු පූස් අළුත් ප්‍රශ්න විචාරාත්මක..ම්ම්.. නෑ... ඒක නිකම් පුංචි ඡන්දයක් වගේ දෙයක් පටන් අරං... අහලා තිබුනේ මේකයි..එක එක ඡන්ද ගොඩයි..ඒ අතරේ එකක් තමා මේ,

"ඔබ කැමති කුමන ආකාරයේ පෙම්වතෙක්ටද?"

වරණ තුනයි..
1.අවංකව ආදරය කරන
2.කඩවසම්
3.සල්ලි තියන

                                      ඔන්න ඉතින් මට උත්තරයක් හොයාගන්න බැරුව ටිකක් හිටියා.අන්තිමට හිතුවා මට හරියන උත්තරේ නැතිනිසා මගේ ඡන්දේ පාවිච්චි නොකර ඉන්න.. ඒත් අන්තිමට හිතලා හිතලා මමත් මොකක්ද වරණයක් තෝරගත්තා..._____

                                 ඇත්තටම මං කැමති කොයිවගේ කෙනෙක්ටද..? ඒක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් ,මොකද ඔය ප්‍රශ්නෙට මේ වනතුරු නිසි පිළිතුරක් හොයාගන්න මට බැරි වුනා.හැබැයි හොයාගන්න සෑහෙන්න උත්සාහ කරා. මෙන්න මේ විදිහට..

                                අංක එක ගැන කතා කරොත් ඒ දේ අනිවාර්යයි.ඒත් හිතේ ගංඟන් බුම්මාගෙන ඉන්න ආදරයකින් නම් මට තඹසතේක වැඩක් නෑ.මම හිතන්නේ කෙල්ලො හැමෝම එහෙම හිතනවා ඇති.ඒ කියන්නේ ආදරේ අඟවන්න ඕනේ.. ඔහොම වරණයක් මම අතනට එකතු කරා..ඒත් ඔන්න පිරිමි අය ආදරේ අඟවන්න දරණ උත්සාහය අතින් දුර්වලයි කියලා පූස් කිවුවනේ.. ඔන්න මගේ බලාපොරොත්තුව ඇලේ... දුකම තමා... දුකට මට ඇඬුනෙ නෑ..:)

                                 අංක දෙක ගැන කිවුවොත්,මම නම් ඒ ගැන සලකන්නෙම නෑ.. ඒකට හේතු ගොඩායි.අම්මියෝ..!! ඒවා කියන්න ගියොත් මටම හිනා යයි.කොල්ලෙක්ගේ කඩවසම් කම නෙවේ මම නම් හිතන්නේ ගොඩාක් විට හිතට වදින්නේ වැදගත්කමට .කතාබහ කරනකොට,හැසිරෙනකොට... අවංක වෙනවා නම්.. විවෘත වෙනවා නම් ඒ දේ තමා වටින්නේ... 

                                 අංක තුන ගැන කියනවා නම්... සල්ලි තියන... සල්ලි තියෙන්න ඕනෙ.. ඒක තමා ඇත්ත.. රට යන විදිහට සල්ලි නොතිබුනොත් දිවිනසාගන්න තමා වෙන්නෙ.. හික්ස්..!

                                  "සල්ලිකාර"  කියන දේ නෙවේ.. නමුත් ජීවත්වෙන්න ප්‍රමානවත් තරම් සල්ලි තියෙන්න ඕනෙ.. දෙමවුපියන්ගේ සල්ලි ගැන නෙවේ මේ කියන්නේ... ඇත්තටම අවුරුදු 25ක් 26ක් වෙනකම්... ගොඩාක් විට අවුරුදු 30ක් විතර වෙනකම්... කෙනෙක්ට තමන්ටම සල්ලි උපයාගෙන ලොකු ස්ථාවරයකට එන්න අමාරුයි.එතනදී වැදහත් වෙන්නේ ඒ පුද්ගලයා "බුද්ධිමත් " ද.. හා "උත්සාහවන්ත"ද කියන එකයි. මම දැනට හිතන විදිහට උත්සාහවන්තකම තමා වැදගත්ම.. එතකොට ඒ කෙනා දියුණුවෙන දිහා බලලා සතුටුවෙන්න පුළුවන්.. පුංචි පුංචි දේවල් ගොඩනඟා ගන්න පුළුවන්..

මගේ මිතුරියක් ලඟදී කියනවා 

"අනේ රුවන්,මට නම් බඳින්න වෙන්නේ 35දී විතර තමා.."

"ඒ මොකෝ..? ඩොක්ටර් කෙනෙක් වෙලා එලියට එනකොටම 26 පැනලා නිසාද..?" 
මම ඇහුවා.

"නෑ අනේ... _____ට ඉස්සෙල්ලාම ගෙයක් හදන්න ඕනෙලු... ඊට පස්සේ වාහනයක් ගන්න ඕනෙලු.. ඊට පස්සෙලු බඳින්නේ..."

මටම හිනා... ඉතින් දන්නවද මගෙ යාළුවා එයාට දීලා තියෙන උත්තරේ..

"අනේ මේ.. මට නම් එච්චර කල් බලං ඉන්න බෑ.. ඔයා එහෙනම් වෙන කෙනෙක් හොයාගන්න..හි..හී.."
ඒ ජීවිත වල තියෙන හීන.. හැමෝගෙම ජීවිත වල තියන බලාපොරොත්තු... ඒ දේවල් සම්පූර්ණ කරගන්න අතේ සල්ලි ටිකක් ගැවසෙන්න ඕනෙ.. අන්න ඒකයි මම අංක තුන ගැන එහෙම කිවුවේ..

                                 මම නම් හිතන දේ තමයි.. බඩට බඩගිනි දැනෙනකොට,ජීවිතේ දුක් කම්කට්ළු වලින් විදවනකොට මුලින් තිබුන ආදරය කියන හැඟීම පලායන්න ඉඩ වැඩී.. ඒත් අපි ආර්ථිකය අතිනුත් ශක්තිමත් නම් මම හිතනවා ගැටළු අඩුයි කියලා.. ඒකෙන් කියන්නෙ නෑ සල්ලි වලින් හැමදේම විසඳනවා කියලා... 

අන්තිමට හැමදාම වගේ අදත් මට බැරිවුනා "මම කැමති මොන වගේ පෙම්වතෙක්ටද?" කියලා හොයා ගන්න..

එක දෙයක් නම් දන්නවා... ඒ කෙනා තුල මම අගය කරන හොඳ ගතිගුණ වගේම මම අකමැති ගතිගුණත් තිබියයුතුමයි... මොකද කිවුවොත් ,

අපි ඔක්කොම මිනිස්සුනේ...          

Friday, March 25, 2011

සුදු නෙළුම..


                                 සැන්දෑ අහස ලා රක්ත වණින් පැහැවෙමින් තිබුනා.දවාලේ සොරබොර වැවේ  සිසිල් ජලකඳින් උණුහුම පහකරගත් හෙයින් පන්සල් යන්නටැයි අමුතුවෙන් ස්නානය කිරිමක් නුවුමනා ය.දුෂ්කර සේවයට කියා මේ ප්‍රදේශයට මාරුවීම ලැබුනත් මට නම් මෙහි දුෂ්කර බවක් නොදැනේ.උදේ රැයින් පිබිදීමක් ද නැත. එන්න එන්නම ජීවිත සරල වී ඇත.ගයාන් කියන්නේද එයමයි.අපි දැන් පෙරටත් වඩා සතුටින්.මෙහි එන්නට තිබූ අකමැත්තට වඩා දැන් අපට ඇත්තේ තවත් මාස 3කින් මේ ප්‍රදේශය දමා යාමට අකමැත්තයි. 

                                  සුන්දරම දේ මෙයයි.මහියංගන වෙහෙර ඇත්තේ අපට පයින් යා හැකි දුරින්.දවස පුරා හිතට ,ගතට දැනෙන විඩාව නිවා මනසට සුවයක් දැනෙන්නට හොඳම තැන මෙයයි.

"ලක්මා... ඔයා ලෑස්ති ද..?"

"මම එනකම් ඔයා පොල්තෙල් බෝතලේට පොල්තෙල් වත්කරගන්නකෝ......හලාගන්න එපා.."

"අයියෝ..... ඔය පොල්තෙල් බෝතලයක්  එතනින් ගතහැකි..."

"මේ..මේ.. එතන පොල්තෙල් ගිනි ගනන්.. නෙළුම් මල් ගන්නවා වගේ නෙවේ.."

"ඔව් ඉතින් ඔයාට අර පුංචි කටකාරි හොඳට හිතට අල්ලලා නේ.. ඕවා ලොකු මිනිස්සුන්ගේ උපක්‍රම.. ඔයා වගේ මෝඩ ගෑනු රැවටෙනවා නේ.."
ඔහු කෙදිනකවත් පැරදෙන්නට අකැමැති ය.

"ඔයාට වුනත් ආස හිතෙන්නේ නැද්ද අනේ ඒ පොඩි කෙල්ලගේ කටකාර කමට.. එක මලක් විකුණගන්න කොච්චර දුකක් විදිනවද..?මට නම් ගොඩාක් දුක හිතෙනවා"

"මල් කඩන්න ඊටත් අමාරු ඇති...."

"ඒ මල් නම් ලොකු මිනිස්සු කඩනවා ඇත්තේ... කොහොමද පුංචි එකෙක් ඕවා කරන්නේ.."
කොන්ඩය ගොතමින්ම මම එළීයට ආවෙමි. කොහොමින් කොහොමහරි පොල්තෙල් ,හඳුන්කූරු ,පහන්තිර ටිකත් අරගෙන අපි දෙන්නා පාරට බැස්සා..

මහියංගන පුදබිමට යන පාර දෙපැත්තේම මල් විකුණන අහිංසක මිනිස්සූ..

"අනේ නෝනා අපෙනුත් මල් ගන්න... අනේ මහත්තයා නෙළුම් මලක් රුපියල් දහයයි.."

විපරම් කරමින් අපි ඉදිරියට ඇඳුනේ සුපුරුදු සිනාමුසු විඩාබර මුහුන දකින අටියෙන්... ඒත්... ඒත් ඇය පේන්නට නැත... ඒ වෙනුවට එතැන ටිකක් ලොකු දැරිවියකි.
"සුදු නෙළුම කෝ...?"

කෝ.. ඇය.. පේන්නට නැත.

"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලෝස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ.."

'කෝ අද අර මෙතන අනික් දවස්වල මල් විකුණන..."
මට කියා නිම කරන්නට නොලැබුණි.

"අනේ නෝනා.."
එතැන මල් විකුණමින් සිටි දැරිවි අතේ තිබූ මල් ටික පසෙක තමා නෙතඟින් බේරෙන කඳුළු පිසින්නට විය.

මම මදක් වික්ශිප්ත වුනෙමි. ගිය සතියේ ආවාට පසු මට මහියංගනේ වඳින්නට එන්න ලැබුනේ අදයි.

"ඒ මගේ චූටි නංඟී..."

මම ගයාන් දෙස බැලීමි.ඔහුටද මෙය ප්‍රශ්නාර්ථයක් වී ඇති සැටියකි.

"එදා අපේ අප්පච්චිට අසනීප වුනා.."
ඇය කුමක්හෝ කතාවක් කියන්නට උත්සාහ කරයි.අපි එයට බාධා නොකර බලා සිටියෙමු.

"ඒ නිසා නංඟි තමයි හවස තනියම ඔරුව පැදන් මල් කඩන්න ගියේ..."

"ඉතින් එච්චර පුංචි නංඟි ගියේ ඊට වැඩිමල් කවුරුත්ම හිටියේ නැද්ද..?"
මට ඇති වුයේ පුදුමයකි.

"ඒ වෙලේ මම හිටියෙ කඩේ... අනික නංඟිට වැවේ ඔරු පැදලා හුරුයි... ඒත් එදා.....'

"වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා"

ඒ වගේම එදා මන්දාරමත් තිබුනා.. ලොකු වැස්සක් නොආවත් සෑහෙන වැස්සක් වැස්සා... අනේ මගේ චූටි නංඟී..."
ඇය දරා සිටි කඳුළු කැට සියල්ල සට සට ගා පසෙක වූ නෙළුම් මල් මත පතිත වනට විය.

"සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු වෙළුම් මල දෑස පිය වී
මෙහා ඉවුරට පා වුනා"

"ගිය සතියේ සඳුදා තමයි නංඟි නැති වුනේ... අන්තිමට......... අන්තිමට  නංඟිව හොයාගන්නකොට එයාගේ අතේ නෙලාගත්ත නෙළුමල් හතරක් හිරවෙලා තිබුනා,,,"

"නෙළු මල්මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුනා"

                                 මිනිස් ජීවිත කොතරම් විවිධාකාරද..? ඈ එතරම් පුංචි සංදියේදී ජීවිතයෙන් සමුගත්තේ දඟකාරවැඩක් කර නොවේ , සෙල්ලමක් කර නොවේ... ඒ පුංචි නොමේරූ දඟකාර වතට යට මුහුකුරා ගිය පවුලක වගකීම් අඳුනන සිතක් සැඟවී සිටි නිසාවෙනි.ඒ වගකීම් ඉටු කරන්නට ගිය නිසාවෙනි.

                                 කළුවරට නුබ භාරදී අවරගිරේ නොපෙනී යන මලානික හිරු මඬල තුලින් අවසාන වරට ඒ ලපටි සිනාව මවාගන්නට මම උත්සාහයක යෙදුනෙමි.


 ඔය එක මලක් විකුණගන්න... මල් කෙල්ලෝ... කොච්චර දුක් විදිනවා ඇද්ද..?



Wednesday, March 23, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( අවසාන කොටස )




                                ඒ වසර තුන පුරාවට චමත් ඇගේ සුවදුක් සොයා බැලුවේ ය.ඒත් ඒ ඇයට රහසින් ය. හද සාක්ෂිය අනූවත් ඔහුගේ හිතේ ඇඳී තිබූ යම් හැඟීමක් නිසාත් ඔහු තුෂී ගැන සොයා බැලුවේය.

                                මුලින් මුලින් දොඩමළු නොවූ තුෂී පසුව නොනවත්වා කියවන්නට විය.මානසික රෝහලේ ගත කරන තුන්වන වසර වනවිට ඇයට යම් සුවයක් තිබුනක් අතොරක් නැතිව කතා කිරීම නතර නොවිනි.

                                චමත් හා කසුන් පාසල් වියේ මිතුරන් වීම දයිවෝපගත සිද්ධියක් මෙන් විය.කසුන් පළමුවරම වයිද්‍යවිද්‍යාලයට ඇතුල් වූ අතර චමත් දෙවන වර විභාගයට මුහුණදී විද්‍යා උපාධිය සඳහා ඉගෙනුම ලැබීමට තේරිණි. 

                                බොහෝ කලකට පසු මෙම රෝහලේදී අහම්බෙන් හමුවන තම මිතුරා වන කසුන්ට චමත් සියලු සිද්ධිය නොවලහා කී අතර විකුම්ව පාවා දීමක් නොකලේ ය.චමත්ගේ කතාව අසන හැමදෙනෙකුටම මෙන් කසුන්ටද ඔහු ගැන දැඩි පිළිකුලක් ඇති වූ අතර එහෙත් එය නොඇඟවීය.කසුන් සිතූ එකම දේ නම් තුෂී මෙවන් දුකක් විදින්නේ ඇය කල යම් අකුසලයක් නිසා බවත් චමත් කල මේ බොරුවට කෙදිනක හෝ ඔහුටද විදවීමට සිදුවන බවයි.

                                රෝගයට හේතුව මෙතුවක් කල් සැඟවී තිබුනද දැන් එය හෙලි වූ නිසා තුෂීට ප්‍රතිකාර කිරීම තවත් පහසු වූ අතර ඒ නිසාම ඒ වසරේ අඟභාගය වනවිට ඇය සම්පූර්ණ සුවය ලැබුවා ය.ඇය මෙතුවක් අවුරුදු 3ටම චමත්ව දැක නොතිබුනි.චමත් සිතුවේ මේ වනවිට ඇයට ඒ අමිහිරි සිදුවීම අමතක වී ඇතැයි කියා ය.(හදිසි කම්පනයකින් හිත වුල් වන බොහෝ රෝගීන්ට එසේ වීමට හේතු වූ සිද්ධිය හරි හැටි පැහැදිලිව මතක් නැත.)

                                සුවය ලැබූ තුෂී තව මොහොතක් හෝ රෝහලේ ගත කිරීමට අකැමැති වූ හෙයින් ඇගේ දෙමාපියන් ඇය නිවසට එක්කන් ගියහ.

                               මේ අතර තුෂීගේ දෙමාපියන් ඇගේ කලවයස පසුවී යමින් පැවතීම ගැන දැඩි ශෝකයෙන් ඇයට හොඳ සහකරුවෙක් සොයන්නට විය. එහෙත් එය එතරම් ලේසි පහසු නොවිනි. ඇයට මානසික අසංතුලිතතාවයක් තිබූ බව කියූ පමණින් බොහෝ දෙනා ආ පයින්ම ගිය හ.

                               එහෙත් එක් දිනක් ඊට සපුරා වෙනස් දෙයක් සිදුවිය.ඇය බලන්නට සුපුරුදු පරිදි මනමාලයෙක් ,ඔහුගේ නෑදෑහිතවත්තු යනාදී සෑහෙන පිරිසක් පැමිණි අතර  නෑදෑයින් ඉඩකඩම්,දේපල පිරික්සන අතර ඔවුන් දෙදෙනාට තනි වන්නට මොහොතක් ලැබුනි.

"ඔයාගෙ නම මොකක්ද..?"

"තුෂී"

"මගේ නම අහන්නෙ නැද්ද..?"

("ඔහ්..මෙයානම් සිරාම මනමාලයෙක් පාටයි.." තුෂීට සිතුනි..)
ඇය මද සිනාවකින් නිහඬ විය.

"කියන්ඩ බලන්ඩ ඔයා ගැන විස්තර ටිකක්..."
එක එල්ලෙ තුෂීගේ දෑස දෙස නොබලා ඔහු ඇසීය.

"මට පිස්සු හැදිලා හිටියා.. දැන් හොඳයි.."
තුෂීට විවාහයක් ඕනෑ නෑත. ඇයට ආදරය,විවාහය බොරුවක් ලෙස දිස් වේ.එමෙන්ම මානසික අසනීපයක් තිබි ඇති බව එන ඕනෑම මනමාලයකුට ඇය පලමුවෙන්ම කියන දෙයයි,එවිට ඔහු තුෂ්නිම්භූතව බලාසිට පලා යයි.

"හෙ..හේ...ඇත්තට..? ඒ මොකෝ..?"
ඔහු හිතුවේ ඇය කරන්නේ විහිලූවක් කියා ය.විහිළුවට විහිළුවකින් පිලිතුරු දී ඔහු බලා සිටී.

"මම යුනිවර්සිටි ඉන්නකොට කෙනෙක්ට ආදරේ කරා............"
ලෙස පටන්ගත් කතාව ඇය කිසිවෙකුට මීට පෙර නොකී ලෙස විස්තර කර කීවා ය.

                                   මුලින් මුහුණේ මැවී තිබූ සිනාව මැකී ගොස් "ඔහු"ගේ මුහුනට බැරෑරුම් පෙනුමක් ආරූඩ විය. කතාවේ අවසානයට යනවිට ඔහුගේ හිතට කතාව තදින් කාවැදී තිබුණි.ඔහු ප්‍රේමය ගැන මීට පෙර උනන්දු වූවෙක් නොවූවද හොඳ හිතක හිමිකාරයෙක් විය.

එදා ඔවුන් පිටත්ව ගිය අතර  "ඔහුගේ" මුහුණෙ වූ හැඟීම, ඒ බැල්ම, ඇයට තේරුම් ගන්නට නොහැකි විය.

                                  මේ අතර චමත් සුපුරුදු පරිදි තුෂීගේ සුවදුක් දැනගැනීමට රෝහලට පැමිණියේ ඇය ගෙදර ගිය බව නොදැන ය. එතැනින් ඇයගේ ලිපිනය ඉල්ලාගත් ඔහු ඇය සොයා ඇගේ ගමට ගියේ ය. 

කීපදෙනෙක්ගෙන් ඇසු පසු ඔහුට ඇගේ ගෙදර සොයාගැනිමට අපහසු නොවීය.

                                 අඩියෙන් අඩිය ගෙදරට ලංවන විට ඔහුගේ හිත ,යලිහැරී යන්නටැයි කෑ ගසා කීය.නමුත් ඔහු එය බිඳකුදු ඇසුවේ නැත.හැමදිනකම ලෙස ඔහු තමන්ගේ හදවතට ඇහුම් කන් නොදුන්නේ ය.

                                ගේට්ටුව ලඟට විත් කවුරුන්හෝ සිටීදැයි විපරම්කල ඔහුගේ දෑස නතර වූයේ මිදුල අමදිමින් සිටි තුෂී ලඟය.ඔහු මොහොතක් නොසැලී සිටියේ ය.ඒ මිනිත්තු කීපයට තුෂී තමන් නියැලෙමින් සිටි කාර්යයෙන් මිදී ගේට්ටුව දෙස බැලුවේ යම් ඉවකින් මෙනි.ඇය තවත් තත්පර කීපයක් මේ ආගන්තුකයා දෙස බලාසිටියේ හරියටම අඳුනාගන්නටය.ඇය චමත් යලි මුණගැසිමට කෙදිනකවත් සිතුවේ නැත.
ඒ මොහොතේම ඇගේ මවද ගේට්ටුව ලඟ ආගන්තුකයකු සිටිනු දැක ගෙයින් පිටතට පැමිණියේ ය.

මවද පිටතට ආ බව දුටු තුෂී,

"එන්න ගෙට"
යැයි කිසිත් නොඅඟවා කීය.

                               එය හොඳ නිමිත්තකැයි චමත් හිත සැහැල්ලු කරගත්තේ ඔහු එවන් පිලිගැනීමක් බලාපොරොත්තු නොවුනු නිසාවෙනි. නමුත් එසේ කීමට තුෂීට හේතු ගොඩකි.එකක් නම් ඇගේ මව මේ කිසිවක් තවම නොදනී.අනික නම් ඇය බැනවැදී චමත්ව එලවාගත්තේ නම් අහලපහල මිනිස්සුද සියල්ල දැනගනු ඇත.

"අහ්.. මේ කවුද දරුවො..?"
අම්මා ඇසුවේ තුෂීගෙනි.

"මම චමත්.."
පිලිතුර චමත්ගෙනි.ඔහු කවදත් කටදැම්මේ තමන්ට අයිති රාජකාරි වලට නොවේ.

"දෝණිගෙ යාළුවෙක් වෙන්ඩ ඇති... දැන් මේ දරුවා මොකද කරන්නේ..?"

"මම දැන් රජරට යුනිවර්සිටි එකේ ලෙක්චර් කෙනෙක්.. මේ පැත්තේ නෑදෑ ගෙදරක ආව එකේ තුෂීවත් මුණගැහිලා යන්න හිතුවා.."
ඔහු මුසා දොඩයි.

                             තුෂී කෝපයෙන් වෙව්ලයි.ඇයට ඇගේ මුළු ජීවිතයෙන් අවුරුදු 15කටත් වඩා කාලයක් ඉගෙනගත් දෙයින් පල නෙලා ගන්නට නොහැකි වූයේ චමත් නිසා ය. 

"ඉන්නකෝ.. මම ඔය ළමයට රණවරා වතුර ටිකක් ගෙනත් දෙන්න.. මේ පැත්තට බස් නෑනේ පුතේ වැඩිය. ඇවිදං ඇවිත් මහන්සිත් ඇතිනේ.."
එසේ කියූ මව ගේ ඇතුලට ගියා ය.

ලද අවසරයෙන් තවත් පමාවිය නොහැකි ව චමත්,
"තුෂී..."

"ම්ම්..."
ඇය නොරිස්සුම් හඬින් පිළිතුරු දෙයි.

"මට.... සමාවෙන්න...'"
ඔහුට ඇගේ ඇස් දෙකට කෙලින් කතාකල නොහැක.ඒ ඔහු ඇය ඉදිරියේ බොරු කාරයෙක් වි අවසන් නිසාවෙනි.

"ඕනෙම බලු වැඩක් කරලා සමා වෙන්න කිවුවම... ඔයා හිතනවද චමත් ඔක්කොම හරි කියලා..?
මම අද රස්සාවක් නැති කෙල්ලක්... ඔයාට පුළුවන්ද මට ඒ නැති වුන හැමදේම දෙන්න..? 
බෑ.............. 
ඔයා මහ නරුමයෙක්..!!!
තව ආවා ආයෙත් මට පරණ දේවල් මතක් කරලා හිත පාරන්න.. 
ඇයි ඔයා ආවේ...?"
ඇය නොහඬයි.. නොහඩා සිටීමට වෙහෙස දරයි.ඒත් නෙතඟින් නිරායාසයෙන් කඳුළුකැට එලියට පනී.

"ම්,...මම... ආවේ..."

"තව මොනවද ඔයාට කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නේ..? පිං සිද්ධ වෙයි... ආපු අතක් බලාගෙන අපෙ අම්මා එන්ඩ ඉස්සෙල්ලා ආපහු යන්ඩ.. 
මගේ අහිංසක  අම්මා දන්නේ නෑ මට මොකක්ද වුනේ කියලා.."
ඇය පුළුවන් තරම් ආවේගය කෝපය පාලනය කරගෙන කීවා ය. ඇගේ මානසික තත්වයට ඇද වැටුනු ඉන්නා කෙනෙකුට එය ලේසි පහසු නොවේ.

චමත් නැඟිට්ටේ ය.කසුන් සිතුවාක් මෙන් චමත් විදවිය යුතුය.ඔහු සෙමින් සෙමින් ඉදිරියට ඇඳෙයි.හරියටම "එදා" තුෂී පාර දිගේ ඉදිරියට ඇදුනාක් මෙනි.

ඔහු ගේට්ටුව පසුකරන විටම, ඔහු හැරයන මඟ දිගේ විත්, ගේට්ටුව ලඟ මෝටර් බයිසිකලයක් නතර විය.


                                   ෴ සමාප්තයි෴



If you win, you need not have to explain..
If you lose,you should not be there for explain...

Tuesday, March 22, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 11 කොටස )



                                හිරුගේ සිනාව කඳුලින් වසාලු වරුසාවක් මෙන් තුෂීගේ හදේ පිරී ඉතිරී දෝර ගලමින් තිබූ සතුට, දුක් ගංඟාවකින් සේදී ගියේ සතුටක රස බිඳක්වත් ඉතිරි නොකරයි.තමන් ලක් වූ මුලාවක තරම ඇයට සිතාගත නොහැක.

                                චමත් දිස්වූයේ කොතරම් නිර්ව්‍යාජ පුද්ගලයකු ලෙසද.. නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ සිටි චමත් මෙතරම් බොරුකාරයෙක් දැයි සිතීමට ඇයට තාමත් නොසිතේ.උපාසක බළලුන් ඔහොමමැයි සිතා ඇයට සිත සනසාගත නොහැක. ඇයට සිතාගන්නටම නොහැකි කාරණය ඔවුන්ට තමන් විහිළුවක් වීමට තමන් කල වරද කුමක්ද කියා ය.මේ සිද්ධිය ගැන කතා කරන්නට ඇයට කිසිවෙක් නැත. ඔවුන් කතා වූ පරිදි තමන් විහිළුකාරියක් බව නොදැන සිටියේ තමන් පමණී.

                                 තමන් වටේ ඉන්නා යාළුවන් කෙබඳූදැයි ඇයට ටික ටික වැටහිණි. ඇයට අදහාගන්නට බැරි තවත් දෙයකි.චතූත් මේ ගැන දැන සිටියා නම් ඇයි ඇය වත් තමන්ට මේ ගැන නොකීවේ යන්නයි.චතූ මේ ගැන අනිවාර්‍යෙන් දැනගත යුතුයැයි ඇය මේ වන විටත් උපකල්පනය කර හමාරය.

                               නැවත බෝඩිමට එනවිට තුෂී වැස්සට තෙමී තෙතබරිත වී සිටියා ය.ඇය ඇඳගෙන ගියේ අළුතෙන්ම මැසූ රතු හා කොළපාට මිශ්‍ර කොටු කොටු ගවුමකි.වැස්සට තෙමී සායම් දියවී එහි නියම ස්වරූපය දැන් හඳුනාගන්නටවත් බැරි ලෙස විකුර්ති වී ඇත.ඒත් ඒ දැන් පෙනෙන්නේ ඇඳූමේ නියම ස්වරූපයයි.හරියට අද දවසේ ඇයගේ ජීවිතය වැසී තිබූ අප්‍රසන්න මුලාවක් හෙලි වූවාක් මෙනි.

"තුෂී.... මේ මොකෝ.. හොඳටම තෙමිලා නේද,,? මෙහාට එන්න... සුපී.. ඔය ටවල් එක ගේන්න,මේ කෙල්ලට පිස්සු නේ.. හොඳටම වැස්සට තෙමිලා"
චතූ හැමවිටම තුෂීගේ යහපත පැතූ මිතුරියයි.ඇය තුෂීගේ සිත් වේදනාව ගැන නොදනී.

"ඔව්... මට පිස්සු..."
තුෂී මුහුණේ කිසිදු හැඟීමකින් තොරව ඔහේ කියවයි.

"අනේ අනේ... ඕක කියන්නත් දෙයක්ද... චමත් වගේ පිස්සු කොල්ලෙක් එක්ක යාළු වෙන්න අනිවාර්යෙන් ඔයාට පිස්සු චූට්ටක් හරි තියෙන්න ඕනේ."
චතූ අත වූ තුවාල තුෂීගෙ කෙස්‍ රොදේ පටලා පිස දමමින් සිනාසිසී කීය.එහෙත් ඒ වදන් තුෂීට හෙණ පහරවල් මෙනි.

තුෂීගේ දෑසට කඳුළු උනයි.නමුත් එය කිසිවකුට නොපෙනේ.

"ඔය ඇති චතූ,...මට ඔයාගෙ ලැප් එක දෙන්න පුළුවන් ද?"

චතූ මොහොතකට පුදුමයට පත් විය.තුෂී කවදාවත් තමන්ගේ පරිඝණකය භාවිතා කරන්නේ අසා නොවේ.
"ඈ කෙල්ලේ... කවුද ගුඩ් මැනස් ඉගැන්නුවේ..? චමත් ද..?"

"දෙන්න පුළුවන් ද..? අදට විතරක්.."
තුෂී බයාදු විලාසයෙන් ඉල්ලයි.

'පිස්සී..."
චතූට තුෂීගේ හැසිරීම විහිළුවකි.

                                මිතුරියන් සියලුදෙනා නින්දට ගිය පසුත් තුෂීගේ නින්ද අහලකවත් නැත. ඇය නැඟිට්ටා ය.ලැප්ටොපය කුද්දාගෙන හිතුමතේ හිතට ගලන සිතුවිලි අමුනන්නට විය.ඒ ඇය ලියන්නට පටන් ගත බ්ලොගයේ දෙවැනි ලිපියයි.මේ ලිපියද කියවමින් "ඔවුන්" සිනාසෙන අයුරු හිතේ මැවෙද්දීත් ඇය ලිවුවා ය. 

සිතට තාවකාලික සැනසුමක් දැනුනු හෙයින් ඇය නින්දට ගියා ය.

                              ඒ ඇය මතක ඇති කාලයක ලැබූ හොඳම නින්දයි.එයින් පසු බොහෝ දෑ වෙනස් විය. ඇය ලෙක්චර්ස් කට් කරන්නට වූ කල,ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නට වූ කල, මිතුරියන් ඒ ගැන සැලකිලිමත් විය.මිතුරියන් පමණක් නොව මිතුරන් කීපදෙනෙක්ද ඒ ගැන ලතැවුනි.

                              චමත් වේදිකාවේ ගැයූ ගීය හමුවේත් තුෂී නොසැලී සිටි නිසා විකුම් සිතුවේ තුෂීට මේ සමුගැනීම දරාගත හැකි කියා ය.ඒත් එය එසේ නොවිනි.මෙය විරහාවක් පමනක් නොව මුලාවකි.
තුෂූගේ සහ චමත්ගේ සම්බන්ධය නිවෙස් වලින්ද නොදැන සිටි නිසා තුෂීගේ දෙමාපියන්ට දුවගේ හදිසි වෙනස්වීම සිතාගන්නටවත් නොහැකි විය.

                            ඇයට ඇත්තේ මනසේ වේදනාවකැයි සිතන්නටවත් ඒ දෙමාපියන් අකමැති වූහ. ඔවුන් ඇය ගමට එක්කන් ගිය හ.ඒ ගිය ඇය වැඩිපුරම කාලය ගතකරන්න කැමති වූයේ කුඹුර අසබඩ වූ ඉඩමේ ය. එහි වූ ලෑලි බංකුවක් මතට වී ඇය ඔහේ බලාගත්ත අත බලාගෙන සිටියා ය.

                            මේ බලාසිටිය නොහැකි වූ දෙමාපියන් අකමැත්තෙන් හෝ අවසානයේ තුෂීව මානසික වයිද්‍යවරයකුට පෙන්වීමට තීරනය කල හ.ඒ චතූ ඇතුළු මිතුරියන්ගේද අනුදැනිම මතයි.

මේ අතර ඇගේ අඩුව බරපතල ලෙස දැනෙන කෙනෙක් විය.

                           චමත්ට පේරාදෙණි සරසවියේ පියනඟන පියවරක් ගානේ ඇය සිහි වේ.ඒ සිතිවිල්ල ඇයට කල බොරුව නිසා ඉපදුනු "අනුකම්පාව"කැයි ඔහු කොතරම් හිතට බොරු කරත් ඒ සෙනෙහසක් මිස අනුකම්පාවක් පමනක්ම නොවේ..

ඔහු දන්නා එකම දෙය නම් ආයේ ගව් ගණනකින්වත් ඇයට ලංවන්නට නොහැකි බවයි.කෙනෙක්ගේ වටිනාකම හොඳාකාරවම දැනෙන්නේ ඔහු හෝ ඇය තමන් ලඟ නැති විටය. එය ඔහුට දැන්  හොඳාකාරවම දැනේ.

"විකුම්... අපි තුෂීගැන ටිකක් හොයලා බැලුවොත් නරකද..?"

"උඹට පිස්සුද බං..? අපිට ගහලා පන්නයි.."

"තව ටික කාලෙකින් මටත් පිස්සු හැදෙයි තමයි බං.. ගහලා පන්නන්ඩ වටින වැඩේනෙ බං.."

"මම චතූගෙන් විස්තර ඇහුවා බං..."
විකුම් කුමක්හෝ කියන්නට කර අදී.ඒත් නොකියයි.

"ඇයි..උඹ නිකං මූන දෙල් කරගෙන..? තුෂී ගැන මොකක්හරි ආරංචියක් තියනවද..?"
චමත් නොඉවසිලිමත්...

"ම්ම්... මේක කිවුවා කියලා උඹ අප්සෙට් ගහන්ඩ එපා"

"තෙපරබාන්නේ නැතුව කියපං... මොකක්ද වෙලා තියෙන්නේ..?"

"තුෂී ඇඩ්මිට් කරලා ලු...මචං මේක සේල් වුනොත් ඉවරයි.ඒ නිසා උඹ පිස්සු නටන්න එපා..චතූ කිවුවේ මට කාටවත් කියන්ඩ එපා කියලා.."

"චතූ තාම උඹ එක්ක යාළු එක මට නං පුදුමයි බං.. මෙච්චර් දෙයක් වෙලත්.."
චමත්ගේ හිත වේදනාවෙන් පිරී ඇත.ඒ තරම්ම ඔහුට තමනුත් විකුමත් අප්පිරියා වී ඇත.

"තුෂී මුකුත්ම කියලා නෑ බං... චතූලයි ඔක්කොමලා හිතන්නේ මානසික ආතතියක කියලා.. studies නිසා ඇතිවුන.."
විකුම් ඈත රූස්ස ගස් මුදුනක් දෙස දෑස් යොමාගෙන කලකිරුණු සිතින් යුතුව කීය.ඔහුට චමත්ගේ වදන් වලින් අමුතු වේදනාවක් හිතට දැනුනේ නැත.ඔහුට ච්මත්ව තේරුම් ගන්නට පුළුවන.

චමත් දෑතට හිසේ බරදී බිමබලාගෙන කල්පනා කරන්නට විය. අවසානයේ ඔහු තීරණයකට එලැඹිණි.

"මම යනවා බං තුෂී බලන්ඩ.."

"උඹ එයාට තියෙන අසනීපේ තවත් වැඩි කරන්ඩද යන්නේ.?.. පැත්තකට වෙලා හිටපං චමත්.. "

එදා හවස චමත් නිකමට මෙන් නැවතත් තුෂීගේ බ්ලොග් පිටුවට පිවිසුනේ ය. ඒ ඇගේ හදවතයි.හිතට ආ හැමදේම කුරුටු ගෑ... 

"ඔහ්.."

ඔහුට එසේ කියවුනේ ඈ අවසානයට ලියූ ලිපිය කියවීමෙ පසුවය.ඔහු දිග සුසුමකින් හිත සැහැල්ලු කරගත්තේ ය.

 " ඒ රුව දකින්න ආසවෙන්... ඒ හඬ අහන්න ආසාවෙන්.. තාමත් මේ හිත මඟබලන් ඉන්නවා.. "

ඇය ලියා තිබූ ඒ වැකිය නිසා ඔහු අවසාන තීරනයකට එලැඹුනි.

ඇය රෝහලට ඇතුල් කරන විට ඇගේ වයස අවුරුදු 25කි.ඉන් පසු ගතවූ අවුරුදු 3ම ඇගේ ජීවිතය ඉදිරියට ගලායාමකින් තොරව එකතැන නතර විය.

අවසාන කොටසට






Monday, March 21, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 10 කොටස )




                                  ඔහු මියුරු සරින් ගී ගයයි.. වටේ පිටේ සියුම් කසු කුසු නැඟෙයි.ගැහැනු ළමයි,නැඟෙන සිනා සඟවාගන්නට බොරු උත්සාහ වල යෙදෙයි.සමහර පිරිමි ළමයින්ගේ කටවල් වලට බ්‍රේක් නැත.

"අයියෝ.. පොළඟා කාටදෝ.. නෑ..නෑ.. කවුදෝ පොළඟට ලව් කරලලු බං.. ඌ එහෙම නෑලු බං.. කවුරු උනත් දුකම තමා..."

"ඒක තමා නේද බං.. ඇත්තට කවුරු වෙන්ඩ පුළුවන්ද... අපි දන්න කෙනෙක්වත්ද බං.."
ඔවුන්ට එය හුදු විහිළුවක් පමණී..

මේ කිසිත් තුෂීට ගාණක් නැත. ඇය නිසොල්මනේ ඒ සිනාවත් වත දෙස දෑස් යොමා ඒ ගැඹුරු හඬ වෙත දෙසවන් යොමා සිටී.ඇය තව තවත් සිනාවෙන් වත සරසාගත්තීය. ඇය නොසැලී සිටියා ය. එහෙත් මොහොතකට පෙර චමත් කියූ වදන් ඇගේ කන් අඩි පැලෙන්න තරම් හඬින් ඇසෙන්නා සේ ඇයට දැනේ..හැඟේ..

"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."

"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."

"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනු..........."

                                 ඔහු එසේ නොකිවුවානම්.. ආයෙත් මතක් කල විට එය කියන විට ඔහුගේ දෑසේ කපටි පෙනුමක් ගෑවිලාවත් තිබුනේ නෑ නේදැයි ඇය සිතුවා ය.ඒත්.....

                                 මේ අතරේ කෙනෙක් තුෂීගේ ප්‍රතිචාරයන් දෙස තියුණු දෑසින් යුතුව බලාහිදී.ඇය උසුළු විසුළු වලින් තබා ගීතයෙන් වත් සැලුනු බැව් නොදුටු ඔහු අන් කවරකුවත් නොවේ විකුම් ය.ඇය කවදාවත් ඔහුට වරදක් කරනැත. ඇගෙන් පලිගත්තා කියා තාත්තා ආයේ එන්නේද නැත.දුර දිග නොබලා තමන් ගත් තීරණය කොතරම් බරපතලදැයි ඔහු සිතයි.

                                 සංදර්ශණයෙන් පසු ශාලාව අස්පස් කිරීමට ටික දෙනෙක් ඉතිරි විය.තුෂී චතූ සමඟ එක්ව ශාලාව අතු ගාන්නට විය. චමත් ඇඳුම් මාරුකරගෙන පැමිණ මිතුරන් හා එක්ව බඩු මුට්ටු එහෙමෙහෙ කලහ. සංදර්ශනය පටිගත කරතිබූ අතර රෑ බෝ වී එය නැරඹිමට චමත්ගේ බෝඩිං කාමරයට එක් වීමට විකුම් ඇතුලු පිරිස කතිකා කර ගත්හ. 

                                 මේ අතර තමන්ගේ ගීතයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් බිම බලාගෙන තමන්ගේ වැඩක තමන්ගේ පාඩුවේ නියැලෙන තුෂී දුටු චමත්ට මද නොසන්සුන් බවක් දැනුනි.බලෙන් කතා කිරීමට ගොස් ඇය විසින් අහන අතෝරක් නැති ප්‍රශ්න හමූවේ නිරුත්තර වන්නට බැරිය.ඒ අතරේ කතාවට පොටක් මතක් වූ චමත් තුෂී අසලට ඇඳෙන්නට විය.


"තුෂි‍යො.."

"ම්ම්..?"
තුෂී පයට පෑගුන කඩදාසි කොලයක් අහුලා කසල බඳුනට දමන ගමන් ..


"ඔයා ලඟ මගේ ප්‍රොජෙක්ට් එකක් තියනවා නේද..? හරී ෂෝක්.. දැන් රිටන් කරන්න කල්හරි.."
යැයි විහිළුවට මෙන් සිනාවක් මූනේ තවරාගෙන ඇසීය.


"අහ්.. ඔව්මයි.. අනේ සොරි ඩලෝ.. මම... අද හවසට...."

"නෑ..නෑ.. මම එන්නං අරං යන්න.."

"හ්ම්... ටැන්කූ..."
 ඇය මුහුණ ඇලකර සිනාසෙයි.

                                  ඇය සිනාසෙන්නේ කඳුළු අතරින්ද නැත්නම් අව්‍යාජවදැයි වෙන්කර හඳුනාගැනීමට නිශ්පල උත්සාහයක යෙදෙන අටියෙන් මිනිත්තු කීපයක් ඒ වත දෙස බලාසිටි චමත් එතනින් ඉවත්ව ගියේය.ඔහු ඉවත්ව යන අයුරු බලාසිටි තුෂී නැවත කරමින් සිටි කර්යයට සිත යොමු කලා ය.



                                 හවස හතර පමණ වනවිට බෝඩිමට ගිය චමත්ට තද හිසේ ඇම්මක් දැනුනි.ඒ වෙනකක් නිසා නොව තමන් කරන මුලාව නිසා හිත නොසන්සුන් වීමෙන් ඇති වීමකැයි ඔහු සිතීය.ඔහු කොම්පියුටරය ක්‍රියාකරවා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් තුෂී ලියා පලකර තිබූ ලිපිය නැවත කියවන්නට පටන් ගත්තේ ය.


"ඇත්තම කියන්නම්,මට ඔය කතාකරන ඇස් දිහා බලන් කිසිම දෙයක් කියා ගන්න බෑ.ඒ ඇයි? අනේ මට නම් තේරෙන්නේ නෑ.කල්පයක් පෙරුම් පුරනවා ඔයාව දකින්න.ඒත් දැක්ක ගමන් හිත, බිම බලාගෙන යන්න."
  
"අන්තිමට මට පිස්සු හැදෙයි වගේ.."
චමත් සිතයි.

"ටොක්..ටොක්.."
කවුරුන්හෝ දොරට තට්ටු කරන හඬ ඇසී ඔහු මොහොතකට පියවි ලෝකයට ආවේය.

"චමත් මේ අපි බං... "
 විකුම් ඇතුලු මිතුරන් සංදර්ශනයේ වීඩියෝ පටය බැලීමට  එන්න පොරොන්දු වූ බැව් ඔහුට මතක් වුනේ එවිටය.


"උඹලා එනවා කියලා මට අමතක වුනා නේ.. පොඩ්ඩක් හිටපන් මම කන්ඩ මොනවාහරි අරං එන්නං..."
එසේ කියා  දනිපනි ගා එලියට බැසගත් චමත් ලඟපාත ඇති කඩමණ්ඩිය දෙසට පියමනින්නට විය.

ඈතින් එන මිනිස් රුව දෙස විමසිල්ලෙන් බැලූ චමත්,
"ඔහ්... මගේ සිහිකල්පනාව නං... "
"ඔයා ආවේ නැති නිසා මං හිතුවා කැන්ටින් එක ලඟට ඇවිත් කෝල් එකක් දෙන්න"
ඒ තුෂී ය.


"මට අමතක වුනා නේ... ෂික්... මගේ සිහිය නං අන්තිමයි..."


ඇය මද සිනාවක් නඟා නිහඬ වූවාය.


"බෝඩිමෙ ඇන්ටි අදත් ඔයාව මතක් කරා.. දකින්නත් ආසයි කිවුවා.. යමු ද..?"

"හා..හරි ෂෝක්... මටත් ගොඩාක් කාලෙකින් නන්දනී ආන්ටිව මීට් වුනේ නෑනේ.."


ඔවුන් දෙදෙනා කඩයට ගොස් බිස්කට් ටින් එකක්ද රැගෙන නැවත බෝඩිමට හෙමින් හෙමින් ඇවිදගෙන යන්නට විය.නමුත් කතා බහ කල කාලයට වඩා නිහඬව සිටි කාලසීමාව වැඩි ය.

මිතුරන් මහ හඬින් සිනාසෙනු ඇසුනු චමත්,
"උන්ට මගේ සිංදුව ජෝක් එකක් වෙලාද කොහෙද.."
යැයි කීය.


ඒ අතර ,
"මේ බලපං බං... මේකි ලියලා තියෙන එක.. අයියෝ බ්ලොග් පිටුවක් පිරෙන්න පොළඟා ගැන ලියලා... "


"එක අතකට පව් බං.. ඔය බොරුව දැනගත්ත දවසට වහකාලා මැරෙයි.."


"ඇත්ත බං... දැන් ඉතින් ඒක ඔක්කොමලා දන්නවනේ... මේ පොලඟත් මාර එකා.. මේ ලව් ලෙටර් එක ගැන අපිටවත් කිවුවෙ නෑනෙ... ආවාම අල්ලගමුකෝ බෙල්ලෙන්ම"

                      ඔහුට මතක් වුනෙ එවිටය.මිතුරන් එනවිට කියවමින් සිටි බ්ලොග් පිටුව වසා දැමීමට ඔහුට අමතක විය.දැන්.. සියල්ල සිදුවී හමාරය.      
                      චමත් හිටියේ තුෂීට පිටුපාය. එනම් ඔහු හිටියේ ගේට්ටුව අරිමින්ය.ඔහුගේ කන්දෙකෙන් දුම් පිටවෙන්නාක් මෙන් විය.මිතුරන් නොනවත්වා කියවයි.ඒ හැම වචනයක් ගානේ නිරවුල්ව පැහැදිලිව තමන් සහ තුෂී සිටින තැනට ඇසේ.. ඔහුට දැන් නම් ඇඟේ මූණ බැලීමටවත් බැරි අයුරකි.ඇයට කුමක් සිතෙනවා ඇද්ද..? එහෙත් දැඩි ධයිර්යයෙන් ඈ වෙතට හැරුණි.

                                  ඇය ගල් ගැසී ගේට්ටුවෙන් අතුලත බෝඩිම දෙස බලාහිඳී.. ඇඟේ දෙනෙත් කඳුලින් පිරී ඉතිරී ක්ෂනයෙන් කඳූලු දාරා වත දිගේ බේරෙන්නට විය. ඇයට සියල්ල වැටහුන සැටියකි. අවසානයේ ඇය චමත්ගේ මුහුණ දෙස බැලීය.

මිනිත්තු කීපයක් එසේ බලා සිටියදී ඒ බැල්ම දරාගත නොහැකිව චමත් බිම බලාගත්තේ ය.

                                  මේ අතර බිස්කර් පැකට්ටුවක් ගෙන ඒමට කඩේට ගිය තම මිතුරාගේ පැමිණිම පරක්කු ඇයි දැයි බැලීමට විකුම් ඇතුලු මිතුරන් බෝබිමෙන් පිටතට පැමිණිය හ.

"මූ ෆැක්ටරියට ගිහින් බිස්කට් හදනව ද දන්නෑ..... ......"
"ඉවරයි.!!!!"
ඔවුන් සිද්ධිය දුටුවේ එවිටය.

තුෂී අවසානයේ ආයාසයෙන් වචන ටිකක් ගලපාගත්තා ය.

"ඇයි මේ....???"

චමත් නිහඬව සිටියේ ය.ඔහු හිස ඔසවා ඇය දෙස බලා යමක් කීමට සැරසුනා පමණී..

"මුකුත් කියන්න එපා... මට හැමදේම හොඳට තේරෙනවා... "

                                  එසේ කියා තවදුරත් එතැන රැඳී සිටිය නොහැකිව එනම් ලැජ්ජාවෙන් මියැදෙන්නට නොහැකිව ඇය ආපසු හැරී ආමග දිගේම ඉදිරියට ඇඳුනා ය.. ඉතාම සෙමින්...බොහොමත්ම සෙමින් ඇය ආපසු යයි.. ඒ අතර පෙනෙන නොපෙනෙන දසුන් බොඳ කරන කඳූළු කැට පිස දමයි.. 

චමත් ඈ නවත්වන්නට නොගියේ ය. ඒ එයින් වැඩක් නොවන නිසාවෙනි.

                                   වසන්තය නිමා විය.මේ තුරු මුදුන් ඇටසැකිලි මෙන් දිස්වන අවදියයි. මන්දාරම් කළුවරින් පළාතම අඳුරු වෙද්දී සිහින් වැහිපොද ඇඳහැලෙමින් මුළු පරිසරයම ගුප්ත බවකින් වෙලාගන්නා අවධිය යි.

එකොළොස්වන කොටසට




Sunday, March 20, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 09 කොටස )



                               තමන්ට මෙසේ කිරීමට හිතුනේ ඇයි..? ඒ තමන්ගේ පියාට වූ අසාධාරණය නිසා ය. එබැවින් තමන් නිවැරදිකරු නොවුනත් වැරදි නැත.මේ වැඩේ ආරංචී වූ දවසට චතූද තමන්  හා අමනාප වනු ඇත. මේ සියල්ල ගැන සිතා, කල බොරුව ඉක්මනින් යථාතත්වයට පත්කල යුතුයි යන තැනට විකුම්ගේ මනස හැදිනි. තමන්ගේ අතිජාත මිත්‍රයා පවා විහිළුවට හෝ ඔහුට එසේ කීවේ නම් අනික් උන් ගැන කවර කතාද..?

                               මේ අතර විනෝද සවාරිය පිලිබඳ අදහස යටපත් වූ අතර සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සියළු දෙනා කතිකා කර ගන්නට විය.

"චමත්.."

"ම්ම්..?"

"ඔයාගෙ කටහඬ හරි ගති.. මම දන්නෙ නෑනෙ ඔයාට සිංදු කියන්නත් පුළුවන් කියලා"
චමත් ගයන ගීතයක් අසා සිටි යෙහෙලියන් විසින් කල වර්ණනාකිරීම් වලින් සිත තුටින් පිරුනු  තුෂී එතැනින් මිදී ගොස් චමත්ගෙන් විමසන්නට විය.

ඇයගේ දිදුලන දෙනෙත් වල ගිලෙමින් චමත්..
"කියන්නත්? ඒ කියන්නේ මම වෙන මොනවටද තව දක්ෂ.?"

"ම්ම්... ඇත්තට මොනවටද..?"
ඇය නිකටේ අතගසාගෙන බොරුවට බර කල්පනාවක යෙදෙන අයුරක් පෙන්වයි.

"ඔයා හිතන්නේ මම කියන්න හොඳ සිංදුව මොකක්ද..? ඔයාටනෙ ඕවා ගැන තේරෙන්නේ.."

"ම්ම්... ඔයා කියන්න අතුල අධිකාරිගේ සිරිලාල සිත නයනා සිංදුව... ඒක හරි ලස්සනයි.. මම හරි ආසයි.."

"අපොයි.."

"ඇයි....?"
ඇය නළල රැලිගන්වාගෙන පිලිතුරක් වෙනුවෙන් බලාසිටී.

"මගේ වොයිස් එකට ඒක ගැලපෙන්නෙ නෑනෙ ළමයෝ... මදෑ මමත් ඉදලා ඉදලා පණ්ඩිතයෙන්ගෙන් ඇඩ්වයිස් එකක් ගත්තා.."

"ඔහ්..!!!... හික්‍..."
ඇය දකුණතින් මුව වසාගෙන සිනාසෙන්නීය.

"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."

"ඔහ්...ඇත්තමද.. surprise..?"

"හ්ම්... "

"එහෙනම් මම තවත් අහන්නෙ නෑ... ඒක නෙවේ මටත් බැරිද ඔයාට අත්වැල් ගායනයක්වත් දෙන්න.."
තුෂීට ගායන හැකියාවක් විශේෂිතව නැත.

"හේ..හේ... බලමු බලමු.."

එදින රෑ 12ට චමත්ට කෙටි පණිවිඩ පෝලිමකි.ඒ අතර තුෂී විසින් එවූ පණිවිඩයක්ද විය. එහි වූයේ මෙවන් පණිවිඩයකි.

මගේම ආදරණිය චමත්,
මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.එදා ඔයා හදලා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට මම බ්ලොග් එකක් පටන් ගත්තා.. මේ ..හා..හා.. පුරා කියලා ලියපු ලියවිල්ල.. සුභම සුභ උපන්දිනක් MY Sweetu..!!!!
                          
චමත් පරිඝණකය වහා කුද්දාගෙන ලිපිය කියවන්නට විය.

"ඔහුගේ පපුව මහ හඬින් කෑ ගහන්නට විය..
"චමත්.. ඒ අහිංසක කෙල්ල රවට්ටන්න එපා..!!!!"

ඔහු නොසිතාම දෙවරක්,බ්ලොග් පිටුවට පිවිස කොමෙන්ටුක් යෙදීය.

"ඔයාට පිස්සු හැදෙයි තුෂී... මම දැන් මොකද කරන්නේ.."
චමත්ට ඔහුගේ උපන්දිනය මේ යැයි සතුටක් හිත අහලකවත් නොවීය.

ඊලඟ දිනයේ එනම් චමත්ගේ උපන්දිනයට් පසුදිනයේ සංගීත සංදර්ශනය පවත්වන්නට නියමිත දිනය උදා විය.

"අනේ මයි හැන්ඩි 'වෙන්ඩ හබියෝ' ඔයා අද හරිම ස්මාර්ට් අනේ.."
තුෂී ඔහු අසල දැවටෙන්නට විය.

ඉතා ඉක්මනින් ඇයට ඇත්ත වැටහෙන අයුරුත් එයින් මතු ඇය ඔහු ආයේ නොබලන අයුරුත් මැවි මැවී පෙනුනු චමත් ,
"කාටද ආඩම්බර නේද..?"

"ඒකනේ... මේ ඔයා කියලා තිබුනා වගේම මට අද හවස නම් හොඳ වැනිලා අයිස්ක්‍රීම් එකක් ඕනෙ..හොඳේ..?"
ඇය හැසිරෙන්නේ පොඩි ළමයකුගේ ගාණටය.

"දෙන්නම්කෝ.. එකට දහයක්.... ම්ම්.. තුෂී.. තව එක සැරයක් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ.. මම දැන් යන්නද..?"

"හ්ම්.."
ඇය තවමත් සිනාසෙයි.

වේදිකාව පිටුපසට ගිය චමත් ඔහුට නියමිත ගීතය පුහුණු වන්නට විය.මේ ගීතය තෝරන ලද්දේ මීට බොහෝ දිනකට පෙර විකුම් ප්‍රමුඛ ඔහුගේ මිතුරු කැළයි.
හදිසියේ දඩිබිඩියේ ඔහු සොයා පැමිණි විකුම්..

"මේ මචං... උඹ ප්‍රැක්ටිස් වුනේ ඒ සිංදුව විතරද..?"

"ඔව්.. මචං.. බයවෙන්ඩ එපා.. මම හොදට කියන්නං..."

"ඒක නෙවේ බං.. උඹට වෙන සිංදුවක් කියන්ඩ බැරිද..?

"දැන් ඉතින් ඔය තමුන්වහන්සේ මගේ යකා අවුස්සන්ඩයි හදන්නේ.. තව පැය කාලකින් මම සිංදුව කියන්ඩ ඕනේ විකුමෝ..'

"නෑ මචං.. මම ඊයෙ ගොඩාක් කල්පනා කරා.. සතෙක් වගේ මම මේ කරන්ඩ යන වැඩේ කැතයි කියලා මට හිතුනා.. ඔය සිංදුව කිවුවොත්.."

"දැන් ද.. පුත්තලං බූරු පැටියෝ උඹට ඕක තේරුනේ.. මොකෝ.. උඹ කකුල් දෙකෙන් එල්ලිලා හිටියද ඊයෙ මොලේට ලේ බහින්ඩ..'

"නෑ මචං.. මම ඊයෙ දවසම වාඩිවෙලා පාඩං කර කර හිටියෙ ඒකයි.. මේ.. "

"දැන් වෙනස් කරන්ඩ බෑ බං.. කොහොමත් අපිට මේක තුෂීට කියන්ඩ වෙනවනේ... එදාට වෙන දේ අපි දෙන්නම බාරගමු.. වෙන මොනවා කරන්ඩද..?"

"අහ්... මචං උඹේ turn එක.. හොඳට කියපං.."

මීළඟට ඔබේ දෙසවන ගැඹුරු සිත්කළු හඬකින් පිනවන්නේ ..............චමත් බලසූරිය. පිලිගන්න වේදිකාවට ඔබේ අත්පොළසන් නදකින්...

වේදිකාවට සෙමින් පියමැන්න චමත් ප්‍රේක්ෂකයන් සිසාරා නෙත් යොමුකලත් අන්ධකාරයේ ඔහුට එක් වතක්වත් හඳුනාගන්නට නොහැකි විය.

පසුබිම් වාදනය ඇරඹිණි...

"ඇයි කලේ මුළුහදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ...

නෑ කලේ කිසිදිනකදි ඔබහට ආදරේ..
නැතිදෝ ඔබහට එය වැටහුනේ...."

දසවන කොටසට