මං ඉපදුනේ වැව්බැඳි රාජ්‍යයේ.. ඔන්න ඉතින් ඒ නිසාම මගේ නම "රුවන්මාලි" වුනා.මම ඒ නමට හරීම ආසයි. ම්ම්.. ඇයි දන්නෙ නෑ.
අනුරාධපුරේ ඉපදිලා එහෙ අවුරුදු දෙකක් තුනක් ඉදලා ඊට පස්සේ ආවේ ගල්කිරියාගමට.ගල්කිරියාගම තියෙන්නේ දඹුල්ලෙනේ.ඉතින් මට හොඳටම මතක බාලකාලේ එහෙ තමා ගත කලේ.අපි හිටියේ වෙදනිලනිවාස වල. ඒ නිලනිවස ඉස්සරහා ලොකූ මිදුලක් තිබුනා.අයියායි මායි උදේ ඉඳන් හවස්වෙනකම්ම ඉතින් එක එක පිස්සු වැඩ ගොඩයි. නිවාඩු දවස්වලට අප්පච්චි ,අපි දෙන්නයි ළඟ පාත තිබුන වෙල්යායකට යනවා දං කඩන්න.මට තාමත් මතක් වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ.වියපු තොප්පි දෙකකුත් දාගෙන නිවාඩු දවස් පුරා අපි වෙලේ නටනවා.හවස්වෙලා ගෙදර එනකොට අම්මා මොනවාහරි රස බීමක් හදලා තියනවා.අනුරාධපුර පැත්ත කට්ට රස්නෙයි තමා.ඒත් ඒ වියලි හුළඟ , ප්‍රබෝධමත් හිරුකිරණ මට නම් හිතෙන්නේ "මා බාල කාලේ" තවත් උණුසුම් විනෝදමත් එකක් කරා කියලා.
හැම සති අන්තයකම උඩමළුවට ගිහින් ,රුවන්වැලි සෑය ලඟ රෑබෝ වෙනකම් ඉදලා ආව ඒ කාලෙට මම පුදුම ආසයි,ආදරෙයි.
ඒ හැමදේම දාලා අවුරුදු හතරක් පහක් වෙනකොට මාතලේට ආවනේ.මෙහෙ නම් ආවේ පදිංචියටමයි.ඉතින් ඒ ඇවිත් අවුරුද්දක් විතර හිටියේ,අත්තම්මලා එක්ක... අම්මලාගේ මගගෙදර ,වාලවෙල අළුත්ගම.. ඒත් මාතලේම තමා. අපේ ලොකුඅත්තා හොඳ වෙදමහත්තයෙක්... "අත්තරගම වෙදමහත්තයා" කිවුවම කවුරුත් දන්නවා.ඒත් ඒ වෙදකම ලොකුඅත්තගෙන් පස්සේ ඉදිරියට අරං යන්න කෙනෙක් නොහිටපු එක නම් ලොකු දුකක්... අම්මලා ඉස්කෝලෙ ගියාම අයියත් එක්ක, මම අත්තම්මටයි ලොකුඅත්තටයි හොඳ මලකඩකාපු ඇනට් එකක් වෙන්න ඇති. අත්තම්මා මාව ඒ මුළු වත්ත පුරාම එක්ක යනවා.ඒ වත්තේ නැති දෙයක් නෑ.. පළතුරුද, එළවළු ද , ඔසු වර්ගද.. මොනවද නොතිබුනේ.හැබැයි ඉතින් වත්තේ ඇවිදලා ගෙදරට ගොඩ වෙනකොට අනිවාර්යෙන් කූඩැල්ලෙක් දෙන්නෙක් ඇඟිළිපුරුක් අස්සෙ ඉන්නවා මයි... :-\
ඒ පැත්තට හැමදාම මන්දාරම... මාතලේ නේ.වැස්ස වැස්ස ඉවරයක් නෑ... අනුරාධපුරේ ප්‍රබෝධමත් ඉරඑළියෙන් සතුටට පත්වෙලා හිටිය මං මාතලේ මන්දාරම් අහස දිහා ගොඩාක් දුකෙන් බලන් ඉන්න ඇති.
කොහොමින් කොහොමහරි අපි අන්තිමට හුලංගමුව අපේ වාසභවනට ආවනේ අන්තිමටම... හොඳ වෙලාවට.... හොඳම වෙලාවට අපේ ගෙදරට එහාපැත්තේ කුඹුරක්..:):)...
ඉස්සර අවුරුද්ද ලං වුනාම අපි හයදෙනා(ලොකු අයියා,චූටි අයියා ,අපේ අයියා ,මම,ලොකු නංඟා , මගෙ නංඟා) කුඹුරෙමයි. හොඳට මඩනාඟෙන ගෙදර එනකොට අම්මගෙ රතුකට්ට පැනලා..:):)... ඒ කාලෙ කොහොමත් හවස්වෙනකොට ගෙදරට ගොඩවෙන්නේ කලවැද්දෝ වගේ තමා...
මම පහ වසරෙදී අපේ ප්‍රියතම ක්‍රීඩාව තමා රොබින්හුඩ්... කොළඅතු වලින් මාල හදාගෙන ,දුනු ඊතල හදාගෙන කොලරොඩු වලින් පුංචි ගිනිගොඩවල් ගහගෙන නටලා නටලා ගෙදර එනකොට හොඳටම ගස්ගඳ... ඒකට හරියන්න ටිකක් ලොකු වත්තක් ගේ ළඟ තිබුන නිසා හොඳට ගියා වැඩේ..
අපේ අම්මා ඉතින් අපිව හෝදලා හෝදලා යාන්තම් මිනිස් ලමයි ගානට අපුල්ලලා ගන්නවා.. :P:P.. වැඩක් නෑ.. ඊලඟ දවසෙත් ඔහොමමයි...
ශිෂ්‍යත්වෙ නොතියෙන්න තව ගොඩාක් පිස්සුවැඩ කරන්න තිබුනා.. කෝ ඉතින් ඒකට ඉඩක් තිබුනේ නෑ නේ..
ඉස්සර නිවාඩුදවස් වලට අපි ඇහැරෙන්නේ අප්පච්චි නැඟිට්ටනකොට.. කොහොමත් පක්ශාත්භාගයට අව්ව වැටෙනකම් ඒ කාලේ නිදාගත්තා.. ඉතින් ඊට පස්සේ උදේ දහය එකොළහ වෙනකම්.. කෑ ගහ ගහ ඉන්නවා.. අප්පච්චී, අපි හතර දෙනයි.... හවසට බැල්කනියට වෙලා රෑ නවය විතර වනකම්ම සිංදු කියනවා.. හ්ම්.. ඒ කාලේ ආයේ එන්නෙම නෑ නේ..:)
ටික ටික ලොකු වෙනකොට ,විභාග වලින් බෙල්ල හිරවෙනකොට, ඒ ඔක්කොම නැති වෙලා ගියා.ගිය අවුරුද්දේ විදපු දුකේ තරම මතක් වෙන්නේ එතකොට තමා. අම්මලා අප්පච්චිලා එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. සිංදුවක් අහන්න වෙලාවක් නෑ.. පොතටම ඔළුව බරකරගෙන , ඉස්සාට තියන චරපාද ගාණයි,ප්ලව පාද ගාණයි ගැණ ගැණ , බස් එකකට දුවගෙන ගිහින් නඟින මිනිහෙක්ට බස් එකට සාපේක්ෂව තියෙන්න ඕනෙ වේගෙ හොය හොයා , ලවෝෂියර්ද හරි,නැත්තම් ප්රවුෂ්ට් ද කිය කියා හොය හොය... විඳපු දුක නම් හොඳටම ඇති... ඒත් අනේ මන්දා ඒ ඉගෙනූම තුලත් අන්තිමට වින්දනයක් තිබුනද මංදා..
කොහොමත් දෙවනිපාර විභාගෙ කරන්න ලංවෙනකොට මට ජීවිතේ ගැන වෙනස් අවබෝධයක් ආවා.හිත හරිම සැහැල්ලු වුනා. ඒකෙත් හැටි..:):)
මම ටිකක් ආපහු මම මෙතෙක් ගතකරපු ජීවිතෙ ගැන හිතලා බැලුවා.එහෙම බැලුවාම පසුගිය අවුරුද්දේ ටිකක් දුකෙන්ම කාලය ගතවුනත් ඉතිරි අවුරුදු 19ම හරිම සතුටුදායකයි.. ඉදිරි ආනාගතය ගතකරපු ජීවිතේට වඩා සිය ගුණයක් වෙහෙසකර වුනත් මට පුළුවන් නම් සතුටින් ඉන්න...
අනේ කරුණාකරලා සතුට මං ලඟම ඉන්න... මාව දාලා නොයන්න... :):)







