Thursday, February 24, 2011

අසන් හිමියනේ..



                               අපි විවාහ වුනේ යෝජනාවකින්.ඒ කියන්නේ යෝජිත විවාහයක්.ඔහු එක්ක කතාබහ කරපු දින දෙක තුනට මට හිතුනා ඔහුගේ කඩවසම් වතට යට ඊටත් වඩා සිත්ගන්නාසුළු සිතක් තිබුනු බව.
                              
                     නිම්සර නිහඬ පෙනුමක් තිබුනු කෙනෙක්.ගොඩාක් කෙටි උත්තර පාවිච්චි  කරපු කෙනෙක්.. ඒ කෙටි උත්තර වලින් කුතුහලය ගොඩක් ඇවිස්සුව කෙනෙක්. ඒ ගතිගුනත් එක්ක මම අනාගතය ගැන ගොඩාක් හීන මැව්වා.විවාහ උත්සවේ චාමෙට ගත්ත එක හොදට ගියා.ඒකෙන් ඉතුරු වුණ සල්ලි වලින් අපි කුලියට ගේ පොඩ්ඩක් ගත්තා.
                                
                     මම හීන මැව්වෙම උදේ පාන්දර නැඟිටින,හොඳ රසට ගුණට කෑම උයන පිහින,සැමියා ගෙදර එනතුරු හවසට මඟබලාගෙන ඉන්න,රෑ කෑම එකට ගන්න බිරිදක් වෙන්න.. 
                                මම පැතුවේ නිම්සර උදේම නැඟිටලා බිරිදත් එක්ක කුස්සියට ඇවිත් කෑමමේසෙ ලඟට වෙලා කතා කර කර ඉන්න,හැම වෙලේම හිනා වෙලා ඉන්න, සැමියෙක් වෙනවා දකින්න.


ඒත් .... ගත වුනේ බොහොම ටික කාලයයි..

පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කඳුළු කතාවක කෙලවර



"හෙලෝ.."

"හලෝ.."

"ම්..මේ.. නිම්සර.."

"ඔව් නිම්සර තමයි.. මේ ෆෝන් එකෙන් වෙන කෙනෙක් කතා කරන්න හේතුවක් නෑ නේ.."

"න්..නෑ.. මම නිකම් කතා කරේ.."

"නිකම්..? ඇයි..?"

"අද ඔයා ගෙදර එන්න ඇයි පරක්කු..?"

"මේ ගෑනියේ,ගෙදර එන්ඩ මම පරක්කු වුනේ අද විතරද..? උඹට මොකද වෙලා තියෙන්නේ..? තොත්ත බබෙක් වගේ හැසිරෙන්නෙ නැතුව ඉන්නවා.."

සලා සොළස පිරි පුර හඳ
අතැර ගොසින් සිය පිය බඳ
එදා කියූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ



"මම ඔයා ආසම කෑම ඉවුවා.. ඔයා..එ.."

"මම පිටින් කෑවා.. අද මේ යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා ඉන්නේ.මම එනකං ඉන්නෙ නැතුව කාලා නිදා ගන්නවා..."

"මට පාළුයි නිම්.."

අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර..



"එක එකාගෙ පාළු මකන්ඩ මට බෑ ඕයි.."

"මම එක එකා වෙන්නෙ කොහොමද..?"

"මඟුල් කතා නොකර තියනවද.. නැද්ද ෆෝන් එක.."

"නොතිබ්බොත්.."

"මේ.. මගෙ යකා අවුස්සන්නෙ නැතුව හිටපං.."

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
දුකද දැනේ බියද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ...




(වදනක් වදනක් ගානේ හද තුලටම කිදා බැස ඇති හෙයින් )

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 04 කොටස )




ඔන්න එහෙනම් අහ ගනින්.. 

විකුම් රස කරමින් තිරපිටපත කියන්න පටන් ගත්තා.

කතාව කියලා ඉවර වෙන්නත් කලින්..

"මේ..මේ.. විකුම , මේක මහ කැත වැඩක් බං...චී..චී... "
චේතිය නම් මේ වැඩේට උඩින්ම විරුද්ධ පාටයි.

"හරි..හරි.. චේතිය,නළුවා උඹ නෙවේ.. ඒක නිසා කට වහගෙන පැත්තකට වෙලා හිටපන්."

"එහෙනම් කවුද..?"

"කවු නම් නෙවේ බං.. අපේ කණ්ණාඩි පොළඟා... චමත්.."

" හෝ..හෝ.. එහෙනම් අපි shape.."

උඹ නිකං මොකෙක්ද එකෙක් වගේ ඇඟ බේරගන්ඩ හදන්ඩ එපා බන්ස්.. ඕකනේ උඹලත් එක්ක බැරි.. "

"හරි..හරි.. මොකක්ද අපෙන් වෙන්ඩ ඕනෙ.."

උඹලා මේ සීන් එකේ අප්‍රධාන නළුවෝ.. ඒ නිසා මේක ඇත්ත විදිහට වෙන්ඩ ..පොඩි පොඩි ඇක්ටික් ටිකක් ඕනේ.."

"හ්ම්.. ඕනෙ කෙහෙල්මලක් බන්.. "

එදා ඒ කතා වුන නාට්‍ය නිසා කෙනෙක්ගෙ ජීවිතෙ උමතු වෙන්න තරම් සිද්ධියක් වෙයි කියලා කවුරුත් නොහිතන්න ඇති..

මේ වැඩේට චමත්ම තෝර ගන්නත් හේතු ගොඩාක් විකුම්ට තිබුනා.ඔහු තුෂීව හොඳින් අධයනය කරලා තිබුන නිසා කිසිකෙනෙක් දැන නොසිටිය.. නමුත් තුෂී පමනක් දැන සිටිය ඒ රහස හොයාගෙනයි තිබුනේ.

ඊලඟ සතියේ සඳුදා දවසේ යාළුවෝ ටික කැම්පස් ඇවිත්.පොඩි නිවාඩුවකට පස්සේ නිසා ටිකක් වැඩ කරන්නත් හොරයි හොරයි වගේ. උදේ පාන්දරම තිබුන ලෙක්චර් එක නිසා ඒ ගතිය දහ ගුණයකින් විතර වැඩි වුනා.හවස එක නම් කට් කරනවාමයි කියන පරම අධිෂ්ඨානයට ඒ නිසා ගොඩාක් ශිෂ්‍යයෝ පෙළඹුණා.

හවසක පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඇවිදගෙන යන එක හිතට පුදුම සහනයක්.හැමතැනම කොළ පාටයි.
පාර අයිනේ තියන ගොහොරු මඩකඩිත්තක වුනත් තියනවා අමුතු "ගතියක්".. ඊටත් වඩා.. සනීපෙට හමාගෙන එන සුළඟ... .. මේ වගේ වටපිටාවක් ගොළු වතක් දොඩමළු කරන්න හොඳටම ප්‍රමාණවත්. කොහොමත් මුඛරි කටක් ගැන එතකොට කුමන කතා ද..?

විකුම් හෙමීට හෙමීට චමත්ට විනෝද චාරිකාවෙදී කතා වුන සිද්ධිය ගැන අදහසක් ඔළුවට දැම්මා.

"මොකක්..? උඹට පිස්සු ද බන්,,?"

"ඇයි..? "

"යකෝ ඕකෙන් වෙන්න මට කෙල්ලක් සෙට් වෙන්න තියන අවස්ථාවත් නැති වෙලා යන එක.. උඹලට නම් මොකෝ.."

"නෑ..නෑ.. බං.. එහෙම වෙන්නෙ නෑ,.. උඹ මොකටද ඒ ගැන බය වෙන්නේ.. මේක මාස දෙක තුනකට විතරක් රඟපාන්ඩ වෙන පොඩි නාට්‍යයක් විතරයි.."

"අනේ මංදා බං.. උඹට නම් පිස්සු.. "
චමත්ට හිනා.. 

"එහෙනම් උඹ ok නේ මචං..?"

"හරි..හරි.. හැබැයි මචෝ.. මාත් එක්ක අපායට යන්ඩ උඹත් එන්ඩ ඕනේ,,, නැත්තම් මම උඹ දඬුකඳේ  ගහනවා.."



Monday, February 21, 2011

සෙනෙහසක් ඉපදුනාම හදක..

                                මගේ හිතේ ඉපදුනේ ආදරයක්ද කියන එක මටවත් කාටවත් තේරුම් ගන්න බෑ.. තේරුම් ගන්න පුළුවන් එකම දේ තමයි මම කෙනෙක්ට ගොඩාක් කැමැත්තෙන් හිටියා..
ඔහු ළඟ ගොඩාක් හොඳ ගතිගුණ තිබුනා..
හිත රිදෙන වචන ටිකක් තිබුනා..
සමස්තයක් විදියට ගත්තම හිතන්න කරුණු ගොඩාක් තිබුනා.. හිතලා ඵලක් නෑ.. මට තවත් හිතන්න අයිතියක් නෑ..
මට හිතන්නවත් අයිතියක් නෑ..

                               හීන මැව්වේ හිතට දුකක් නොදී ඉන්න... හැමදාම සතුටින් තියන්න නෙවේ.. නිකරුනේ හිත් වේදනා නොදී ඉන්න..
මම හිතුවේ එහෙමයි.. ඒත් ඒ හිත හිතුවෙ එහෙමද..? එහෙම නොවුනත් කරන්න දෙයක් නෑ..

"සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට"

                               මම හිත හිත දුක් වෙනවා.. තේරුමක් ඇත්තෙම නැති වැඩක්.. මට අවැඩක්.. හැම සිදුවීමකදිම අන්තිමට මට ඉතුරු වුනේ.. සීතලම සීතල කඳුලක් විතරයි.. කඳුළු බිංදුවේ වත් උණුසුමක් නෑ.. 
ඒත් ඒ සමුගැනීමේ දුක මට විතරයි.. ඒ ගැන තව්දුරටත් හිතන්නේ මං විතරයි..


"කඳුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කරේ ඇයි..?"

                                 කොච්චර අමතක කරන්නම් කියලා හිතුවත් ඒකටවත් හිත අවනත නැති වුනාම.. හිතන්න.. මම කොච්චර අසරණ වෙන්න ඇද්ද..?....
මගේ හිත අකීකරු නෑ.. මීට කලින් කවදාවත් අකීකරු වෙලත් නෑ.. ඒත් ඇයි මේ.. මටම හිතා ගන්න බෑ..

අහසේ තරු තරම්.. පොලවේ වැලිකැට තරම්.. මම කෙනෙක්ට ආදරේ කරා හෝ කරනවා කියන්න බෑ..
කියන්නෙත් නෑ.. 
කවදා පටන් ගත්තද..? දැන් ආයෙත් ආදරේ නොකරන තරමට ඒ කතාව ඉවර වෙලාද.. කියනවා නම්... තාම ඒ කතාව ලියවෙනවා.... හිත රිද්ද රිද්ද ලියවෙනවා...

                                 ඒ රුව දකින්න ආසවෙන්... ඒ හඬ අහන්න ආසාවෙන්.. තාමත් මේ හිත මඟබලන් ඉන්නවා.. 
ඒකට කියන්නෙ නම් මෝඩකම කියලා... වෙන දෙයක් නෙවේ..

"සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතු මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කර දා සැඟව ගියේ ඇයි?"

ගොඩාක් දුර අනාගතේ බැලුවේ නෑ... ඒත් ටිකක් එහාට හිතුවා.. හිතුව හිතිවිලි ටිකයි කවි ලිවුව කඩදාසි ටිකයි විතරක් මට උරුම වුන එක... තාමත් මට අදහගන්න බෑ...

නිදිදුව එනකම්... සිවිලිම දිහා බලන් හිටියත් නින්ද එන පාටකුත් නෑ.. සුසුමක හඬ විතරක් හෙමිහිට කොඳුරනවා.. මම ටිකක් වටපිට බැලුවා..කාගේ සුසුමක්ද ඒ කියලා... අන්තිමට මගේම සුසුමකට මම රැවටිලා.. 

මුළු විශ්වාසෙම කෙනෙක් ගැන තැබුවොත්... දැන හෝ නොදැන ඒ විශ්වාසේ බිඳුනොත්... පුළුවන් වෙයිද තිබුන තත්වෙටම ඒ සිතිවිල්ල අරං එන්න... කොහොමටවත් බෑ.. 

අද වගෙ දවසක ඔයා අතිනුත් වුනෙ.. ඒ වගේ දෙයක්.... 
මට ආදරේ නොකලා නම්.. මට බොරු නොකරන්න තිබුනා..
මට බොරු නොකලා නම්.. මම අද මෙහෙම නොහිතන්න තිබුනා..
මම එහෙම නොහිතුවා නම්.. ... "නම්" කියලා වැඩක් නෑ.. ඒ හැමදේම වෙන්න තිබුනු විදිහට වෙලා ඉවරයි..

"මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා
අසරණ කර දා ඉවත ගියෙ ඇයි?"

මම වයිර කරන්නෙ නෑ.. (නෑ..මයි කියනවා නම් ඒක බොරු.. ඒත් නොකර ඉන්න සෑහෙන උත්සාහයක යෙදෙනවා).. මට මං ගැනම දුකයි.. මේ හැමදෙයක්ම ලියවුනේ ඒ හින්දා මිසක්... වෙන දෙයක් නිසා නම් නෙවේ..

චමත්,
ඔයා ඉන්න තැනක සතුටින් ඇති... මම මේ ලියන්නෙ.. ලියවෙන අන්තිම වදන.. ඔයා ගැන
මේ හෙලන්නෙ.. ඔයා වෙනුවෙන් හෙලන අන්තිම කඳුළු බිංදුව..

                                                                                 
                                                                                           තුෂී..



(සෙනෙහසක්.. ඉපදුනාම හදවතක... විරහ වේදනාවක් ඒ එක්කම කවදාහෝ එනවාමයි ඒ හදවත හොයාගෙන...)

http://www.youtube.com/watch?v=VCLKsDycEIY

Tuesday, February 15, 2011

බය කරන්නට හිතුවා මදි ඔබ..



"හ්ම්... ඔය ඔය.. ආයෙත් තරහ වෙලා.. චතුර ඔයාට නම් කොහිල තමා තුන් වේලටම කන්න දෙන්න ඕනේ.."

"ඔ...හෝ... "
ඔන්න ඉතිං ආයෙත් සමච්චලේට මං දිහා බලනවා .

"ඔ..හෝ.. ඒ පාර ඔයා මට වල් පල් කව්වන්න ද හිතන්නේ..? අනේ මේ මාලි,ඔයාම තියා ගන්ඩ හරි ද.."

දැන් නම් මගේ ඉවසීමේ සීමාවේ රතු කට්ට පැනීමට ආසන්නය..
"ඇත්තට ඔයාට මොකද වෙලා තියෙන්නෙ චතුර... ඇයි මාත් එක්ක රුවිතෙටම කතා කරන්නෙ.. වැඩ ඇරිලා ගෙදර ආව වෙලේ ඉදන් ඔයා ඔහොමයි.. මමත් කොච්චර මහන්සි වෙලාද ගෙදර ආවේ.. ඇයි ඔයාට මං ගැන එක බිංදුවක් හිතන්න බැරි...."

"හ්ම්..හ්ම්.. මට ඔයා ගැන හිත හිත ඉන්නවට වඩා වැඩ ගොඩාක් තියනවා.. "

මේ කොල්ලා නම් එන්නෙම මාත් එක්ක රණ්ඩුවකටනේ.. 
හ්ම්..බලාගමු.. අද රෑට කෑමදෙන්නෙ නෑ..

"ඔයා ඕනෙ කුදයක් කරගන්න.. අද ඔයාට රෑට කෑම නෑ.. මම ගැන හිතන්නෙ නැත්තේ.. හිතන්න අය ඇතිනේ.. එයාලගෙන්ම ඉල්ලගෙන කන්න"
මම ගස්සාගෙන ඉස්තොප්පුවට ගොඩ වී , ඒ වේගෙන්ම සාලය හරහා කුස්සියටම ගියෙමි.
"ඇයි එයා එහෙම කරන්නෙ.." 
මම හිතන්නටපටන් ගත්තා..කොහෙන් පටන් අරං කොහෙන් ඉවර කරන්න පුළුවන් කතාවක් ද..


"මේ..මාලි‍යෝ..,මට එක එක්කෙනාගෙන් ඉල්ලගෙන කන්න ඕනෙ නෑ.. මම හිඟන්නෙක් නෙවේ.. මම ටවුමට ගිහින් හොඳ කොත්තුරොටියක් කනවා.. "

ඔහ්.. මම ඔළුවේ අත ගසා ගත්තෙමි.ඒකෙත් පාඩුව මට.ෂික්..!! මට full shape එකේ හිටියා නම් උයන්න වෙන්නෙ නෑනේ.. දෙන්නටම කඩෙන් කන්න තිබුනා...
ඒත් සමඟම මගේ හිතට ආවේ රණ්ඩුවට හේතුවයි..
අනික් අතට....,මොකටද මම එයාට වුණත් බාල්දු වෙන්නෙ... ඔන්න ඔහේ creamcracker එකක් කාලා නිදා ගන්නවා.. පොඩි බඩගින්නට super නේ.. 

එහෙම කිවුවට බඩගින්න නම් පොඩි නෑ.. මොනවා කරන්නද.. අර වාත බෝට්ටුවට තරහ ආවනේ..
මගේ මූණත් නරක් විය.
ඔළුවත් කකියනවා වගේ.දවසම හොස්පිටල් එකෙ එහාටයි මෙහාටයි දුවලා මට හොඳටම මහන්සි... off වුනෙත් හවස 4.00ට.. 

චතුර ලෑස්තිවෙලා එළියට බැස්සා.ගේට්ටුවත් අරින සද්දේ ඇහුනා.. මම ඉතිං දැන් මේ මහ රෑ ඉන්න එපැයි තට්ට තනියම.. 

හෙමින් හෙමින් සාලෙට ගිහින් ටීවි එක on කර ගත්තා.. නින්දක් අහලටවත් එන්නෙ නෑනේ.. බඩගින්න නිසා.නෑ.. මම අද කන්නෙ නෑ... නපුරුයි.. ඔයා හරීම නපුරුයි.. 

මට මතක් වුනේ අපි කැම්පස් එකේ ගත කරපු ලස්සන ජීවිතේ..
"මේ.. කොහොමද අර කෙල්ල..ලස්සනයි නේ..?" 
චතුර මගෙන් එහෙම ඇහුවා.

"ම්ම්.. මොන කෙල්ල ද.. අහ්.. ඔව් ලස්සනයි..."
මම ඉතිං හිතේ ඊරිසියාව වාව ගන්න බැරුව වුනත් එහෙම කිවුවා.හැබැයි ඉතිං මගෙ මූන නම් චොරොක් වෙන්න ඇති.. ඒකට මට කරන්න දෙයක් නෑ..ඊටත් වඩා හිතේ දුක වැඩී.

"මම දැන් යන්න ඕනෙ චතුර.. අන්න යාළුවො මම එනකම් බලන් ඉන්නවා"
මම හුන් තැනින් නැඟිට්ටා.


"අනේ මාලි... කෙල්ල..ඔයාට තරහ ආවා නේ..? මෝඩ කෙල්ල.. ඔයාට තරහ ආවම නම් අර කෙල්ලට වඩා ගොඩාක් ලස්සනයි.."
මගේ මූණට එබිලා ඔයා කිවුව හැටි...
 අදත් ඔයා එදා තරම්ම මහ පිස්සු කොල්ලෙක්.. 
දැන් ඊට වඩා අවුරුදු 3,4ක් වයසින් වැඩි.. එච්චර්යි වෙනස..

ඔයා නම් හැමදාම ඔහොමයි.මම උයන කෑම රස නෑ කියන කෙනා .... 
"අනේ මාලි මේ කඩ වලින් කනවා වගේද..ඔයාගෙ අතින් හදන කෑම.. හරිම රසයි.. ඇත්තමයි.."
කිය කිය මෙච්චර කල් හිටියේ... අද මේ මොකෝ එක පාරටම වුනේ..

එක පාරටම ලයිට් ගියා..

ඔහ්.. මගෙම කරුමේ.. අනේ දෙවියනේ.. නෑ..නෑ.. අනේ චතුර ඉක්මනට එන්න.. මට බයයි.. හොඳට තද කරලා ඇස් දෙක පියා ගන්න ඕනේ.. කළුවරේ මුකුත් පේන්නෙ නෑ.. කැරපොත්තෙක් වත් ඔළුවෙ වහයි ද දන්නෙ නෑ.. 

"සරා..ස්"
අපොයි... ඒ මොකක්ද ඒ සද්දේ.. දැන් නම් හොඳටම දාඩියත් දාලා.. බයේ වෙව්ලනවා.. මම ඉවරයි.. මම ඉවරෙටම ඉවරයි.. 

"අහස් ගැබේ තරු කැට ගානේ..."
ඒ අතරේ මගේ handphone එකත් ring වෙන්න පටන් ගත්තා.. 

මම වෙවුලන අතින් කළුවරේම සැටිය උඩ එහෙ මෙහෙ අත පත ගලා phone එක හොයා ගත්තා..
තිරය දිහා බැලුවා..
අනේ.. චතුර... ඔයා නම් දෙවි කෙනෙක්ම තමා..

"හෙ..ලෝ.."

"හෙලෝ.. මාලි.. ඔයා ආස කොත්තු ද..? නැත්තම් ව්‍රයිඩ් රයිස් ද? ව්‍රයිඩ් රයිස් නම් ... එලවළු ද..? මාළු ද..? මස්.."


හ්ම්.. සෝඩා වගෙ තමා ඔයාගෙත් තරහා..
"අනේ චතුර... ඔය මුකුත් ඕනෙ නෑ.. ඔයා ඉක්මනට ගෙදර එන්න... ලයිට් ගියා.. මම කළුවරේ ඉන්නේ.. මට බයයි.. අනේ එන්න.." මට හැඬුම් එයි,..
සැබවින්ම මම කළුවරට බය නැත.. නමුත් තට්ට තනියම කඳුරේ ඉන්න මට නා නා විද විකාර සිතුවිලි ඔළුවට එයි..

"මාලි... ඒයි මෝඩ කෙල්ල.. ඔයා අඬනව ද..? මේ..මේ.. බය වෙන්න එපා.. මම ඉක්මනට එන්නම්.. එතකොට කෑම..? මට කොහිල මලවලා කව්වන්නද තාමත් හිතන් ඉන්නේ..?"

"ඔයා ඔතන ඉදන් පිස්සු කියවනවා.. මම හොඳටම බය වෙලා ඉන්නේ.. ඔයා කෑම ගෙනාවත් නැතත්... මම ඔයාට තුන් වේලටම දෙන්නෙ වල් පල් තමා.. ඒක වෙනස් වෙන්නෙ නෑ.හි..හී.."

"අම්මේ.. ඔයාගෙ සැර..,"

"අහ්.. මගෙ විතරද සැර..? කවුද දන්නෙ නෑ.. ගෙදර ආපු වෙලේ ඉදන් රත්වෙලා හිටියේ.."

"ඇත්තට කවුද..? මම දන්න කෙනෙක් ද..? හරි..හරි.. ඔන්න මම දැන් කාර් එකට නැග්ගා.. විනාඩි 5න් මම ගෙදර.."

"හ්ම්.. බුදු සරණ..."
කියලා ඉවර කරන්නත් කලින් තිබ්බා නේද phone කට්ට.. 

ඔයා නම්... කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. මට ඔයාගෙ පිස්සු වැඩ එපා වෙන්නෙත් නෑ.. ඔයා ඔහොම නිසා  වෙන්නැති මම ඔයාට මෙච්චර ආදරේ.. ඔව්.. ඒක එහෙම තමයි..

"පීප්....පීප්ප්ප්ප්ප්ප්ප්.."
හික්‍‍ස්.. ඔය ආවේ ලොක්කා..
අල්ලගන්නම්කෝ බෙල්ලෙන්ම මාව මේ හැටි බය කරනවට...


කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
බය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන්නේ නෑ ඕවාට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්
......
අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඔය හැඬුම් ඒ දෙඩුම් රෑ එළිවෙනකොට ඉවරයි
තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරලව කිවුවොතින් නම් ඔබට මං හරි ආදරෙයි

ඔය නුවන් මේ සවන් අහන දකිනා ඒවා
හොද හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව තව කිවුවොතින් නම් අපිට අපි හරි ආදරෙයි..

කණාමැදිරි එළි දිලෙන කළුවරේ
ම හැර මා දමා තනිව මිදුලේ
මා හැඬෙව්වට ඔබේ දඟ වැඩ
එපා වෙන්නේ නම් නෑ මට නම්
තිගැස්සෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නෑ මට නම්



ලස්සන සිංදුවක්.. හිතට වැදුන නිසා හිතුනා මේ ගැන ටිකක් ලියන්න..

Friday, February 11, 2011

ලෝකේ හොඳම අම්මට..




                             අපේ අම්මට මාව හම්බෙන්න ඉන්නවා කියලා ඇහුවම හීන් දාඩිය දැම්මලු.. මොකද කිවුවොත් ඒ වෙනකොට අපෙ අයියාට මාස 5ක්,6ක් විතරනේ.. ඉතින් කොහොමද බබාලා දෙන්නෙක්ගෙ වැඩ එක දිගට කරන්නේ... අම්මා හිතන්න ඇති.. (එහෙම හිතුවාලු.) ඒක ඉතින් මම දන්නෙ නෑ.. මේ ලෝකෙට එන්න ලොකු හදිස්සියකින් මම ඉන්න ඇති...  
                                 එහෙම කිවුවෙ මේකයි.. තාමත් මට උගන්නන ගුරුවරුන් කියන දේ තමයි.. 
"රණතුංග කලබල වැඩි.."
.. ඕහ්...!!.. ඒක අහලම මට එපා වෙලා තිබුනේ..

                                ඔන්න ඔහොම මම මේ ලෝකෙට ආවනේ.. අවුරුදු 20ක්ම හොඳ රැග් එකකුත් අම්මට දුන්නනේ.. ඉදිරියටත් එහෙමම වෙයි මට හිතෙන්නේ.. :\.. මොනවා කරන්නද.. කරුමේ..කරුමේ...

අපේ යාලුවෙක් දවසක් මුහුණු පොතේ දාලා තිබුනා ලස්සන status එකක්..

"අපෙ අම්මගෙ කොච්චි සම්බෝලෙ සැරායි.. ඒත් රසායි.."

හික්‍.. හරියට අම්මගෙ ආදරේ වගේ.. අපේ අම්මා ගැන කියනවා නම්.. මට හිතාගන්න බැරි තරම් සැරයි.. ඒ තරම්ම හරි හොඳයි.ඒ සමහර විට අම්මා පවුලෙ බඩපිස්සා නිසා වත් ද..?

                                මම බඩේ ඉද්දී අම්මා පැනඩෝල් පෙත්තක්වත් බිව්වේ නෑ කියලා අප්පච්චි කියනවා.. අපි හම්බෙන්න හිටියාම අම්මගෙ කොණ්ඩෙ ගියාලු ,දත් ඈත් වුණාලු.. හ්ම්... අපි ඉතින් බඩේ ඉදන් අම්මගේ සාරය උරාගෙනනේ..
ඒ මදිවට දැන් කට ගහන්නත් යනවා..

                               මම අම්මගෙ හිත රිද්දුවා කියලා දුක හිතෙන දවසක් තියනවා.මගේ මෝඩ කට තමා මේ හැමදේටම මුල..
එක දවසක් හැමදාම වගේ අම්මා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් මාව පිට ළමයෙක් එක්ක සංසන්දනය කරන්න පටන් ගත්තා.. (කොච්චර කිවුවත් අපෙ අම්මා තාමත් එහෙමමයි..:)

ඔය අස්සේ මම කිවුවා
"අපිට කියන්න කලින් අම්මා ඉගෙනගෙන ඉන්න " කියලා.. 
එදා නම් අම්මට ඇඬුනා.. 

                               මම මහා වාත බෝට්ටුවක් කියලා මට පස්සේ හිතුනා.මගේ ළමයිත් කවදාහරි මට ඔහොම කියයි.එතකොට මට හිතාගන්න පුලුවන් හිතේ අමාරුව.. දැන් ඉතින් කියලා වැඩක් නෑ.. විදලාම බලන්න වෙනවා ඒකෙ රඟ..

                               තව එක දෙයක්.. අම්මා ඔච්චර සුදු වෙලා.. මම මෙච්චර කළු වුනේ ඇයි දන්නෙ නෑ.. අම්මා ඔච්චර ලස්සන වෙලා මම මෙච්චර කැත වුනේ ඇයි දන්නෙ නෑ...
ගිය සතියේ අපේ කොම්පුටර් පංතියේ අක්කා මගේ මූණටම කිවුවා..

"අම්මත් එක්ක බලද්දී මෙයා ළඟින්වත් තියන්න බෑ" 
කියලා..

එයා එලිපිට කිවුවා.තව ගොඩාක් අය නැති තැන කියනවා ඇති..

                                මට ගොඩාක් දුක හිතුනා කියලා මම කියන්නෙ නෑ.. මොකද ඔය වචන ටික අහලා අහලා හෙම්බත් වෙලා මම ඉන්නේ.. ඒත් අම්මා ලස්සනයි කියලා කතාව නැවැත්තුව නම් මම අහන්නෙ නෑ.." එතකොට මම..?" කියලා.. මම බලෙන් නාගන්න කොහොමත් කැමති නෑ.. හරි ඒකට කමක් නෑ..
අම්මා ලස්සනයි නේ.. ඒක නම් හරිම සතුටට සහ ආඩම්බරයට දෙයක්.

                               අනික් දේ තමයි අම්මා සැරට නොහිටියා නම් මම මෙතැන නෑ කියන එක.. මම එහෙනම් "ප්‍රසිද්ධ මැට්ටිය"ක් වෙලා.

                               ඉස්සර නම් ඒක මහා වදයක් මට.. අම්මගෙ කෑ ගැහිල්ල...ඔළුව ගලේ ගහ ගන්නවාටත් වඩා ගොඩක් රිදුනා.. ඒ කාලෙත් හිතුනා මේ මගේ හොඳට කියලා.ඒත් හරි හිසරදයක්නේ.. ඒ නිසා වර්තමානයේ ඒ දුකෙන් පෙලෙන මගේ නංඟා පොඩ්ඩ (ගම්මිරිස් ඇටේ) එයින් මුදවා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ.. ඒත් වැඩේ ලේසි නෑ.. අන්තිමට වැඩිපුර බැනුම් මට.. මම පව් අප්පා...!!!

                               අම්මා හොඳම හොද දුවෙක්.. මම නම් එච්චරම හොද දුවෙක් නෙවේ..(ඒ මට හිතෙන හැටි).. අම්මා ලොකුඅත්තට සැලකුව හැටි මම දැක්කා.. කවදාවත් සැරෙන් කතා කරේ නෑ,.. (ඒවටත් හරියන්න අපිට නම් හොද පදමට බැනුම්..)

                               මම වෙනුවෙන් අම්මා වෙහෙසුන තරම් මගෙ දරුවෙක් වෙනුවෙන් මට නම් වෙහෙසෙන්න බැරි වෙයි.ඒ ගැන මට හරිම දුකයි.පහුගිය අවුරුදු 4,5ම අම්මා මට වඩා කට්ටක් කෑවා..(අප්පච්චිත් ඊට නොදෙවෙනි)..
                               හැම බ්‍රහස්පතින්දම උදේ 3ට නැඟිටිනවා කියන්නේ මට නම් හිතන්නවත් බැරි වැඩක්.. අම්මෝ.. මට නම් හිතන්නම බෑ..
ඇයි ..,හැමවෙලේම මම පාඩම් කරනවා ද.. පොතෙ පිටු ගණන් කරනවද කියලත් බලන්න වුනා නේ.. අපොයි අපොයි ඒවා ගැන කතා කුමටද..?

මේ ඔක්කොම එක පාරටම කියන්න හිතුනේ ඇයි දන්නවද..?

හි..හි....

                                අද තමා අපෙ අම්මගෙ උපන්දිනේ.. හ්ම්.. අම්මට නම් තාම වයස 24යි ලූ.. 24න් පස්සේ අම්මගෙ වයස නතර වෙලාලුනේ.. ඒ නිසා ඔන්න මේ සමරන්නේ හැමදාම වගේ අපෙ අම්මගෙ 24 වෙනි උපන්දිනේ හොදේ..? අතුරු ප්‍රශ්න තහනම්.. (24 මුලින්ම සැමරුවේ කුමන වර්ශයේ ද..?වගේ..)

                               මේ ලෝකෙ ඉන්න ගොඩාක්ම හොඳ..  අපේ අම්මාට මේ ලබන අවුරුද්ද.. සතුට,සැනසුම පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක්ම වෙන්න ඕනේ..


(මම අප්පච්චිගේ උපන්දිනේටත් විශේෂ ලිපියක් ලියන්න ගොඩක් ආසවෙන් හිටියේ.. ඒත් ඒ වෙනකොට මට සිංහල අකුරු ටිකයි... අවශ්‍ය කලමනා කාරිය නැතුව හිටියේ.. ඒ නිසා සිංහල අකුරු ටික මට ආයෙත් දුන්න.. මම හොඳ මලකඩ කාපු ඇණයක් වුන මිස්‍ටර්.රත්ගමස්ට ගොඩාක් පිං.. අනික් දේ තමයි මේ බ්ලොග් එක නැත්තම් මට මේ දේවල් ලියන්න තැනකුත් නෑ.. ඒ නිසා මාව බ්ලොග් අවකාශෙට හඳුන්වා දුන් මගේ අයියණ්ඩීටත් ස්තූතියි.. )

ඔන්න ඔහොමයි අපෙ අම්මාගෙ ____ වෙනි 24 උපන්දිනය අපි සමරන්නේ..




ගුවන් ගැබම රන් කෙන්දෙන් ගෙතීයන්
නොතෙර සයුර කිරි දියරෙන් තෙමීයන්
නුවන් සඟල නුඹෙ තුටුයෙන් නැහැවීයන්
අම්මේ නුඹෙ හදට සැනසුම ලැබීයන්

සිනා කටක් කා තුටු මී ඉසින්නට
ඉනා මිට්ක් දුන් සැම සිත් තැවෙන්නට
වැරූ නිදි කඳුළෙ ගුණ ගී ගැයෙන්නට
දින ටික දිනයි නුඹෙ සෝ ගිනි නිවෙන්නට

සඳක් රුවැති වත රූ සිරි මැකේ යැයි
දැරූ මහ මෙරක් වන් බර වැඩී යැයි
කළුවන් කෙස් කළඹ අළුවන් වුනේ මැයි
නුඹෙ රන් කිරෙන් පැටවුන් උස් වුනේමැයි

(මම මේ පදවැල් ගෙතුවේ 18 - 02 - 2010 වෙනිදා.. විශ්වවිද්‍යාල ගිය යෙහෙලියකගේ මවක් කිවු දෙයක් නිසා අපෙ අම්මා හිත් තැවුලෙන්   හිටිය තවත් එක දවසක්.. එදා මම මේ ටික ලිවුවේ හැඬු කඳුළින්.. ඒත් ලොකු අධිෂ්ඨානෙකින්...)