Thursday, December 30, 2010

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 03 කොටස )



01 කොටස 
02 කොටස 

"නෑ මුකුත් නෑ.."

"කියන්න ඒ ඇයි කියලා.. මොකක්ද ඔයාලට එයත් එක්ක තියන තරහා..?"
චතුරිකා රැළිකරගත් ඇහි බැමෙන් යුතුව අසන්නට විය.

"නෑ ..නෑ.. මම විහිළුවට කිවුවේ.. ඔහොම ඉන්න කෙල්ලො,කොල්ලො නිකම්ම චා වෙනවනේ ඒකයි."

දිවා ආහාර වේල ගැනීමට කැන්ටිමට යාමට මිතුරියන් සමඟ එක්වීමට සිදූ වූ නිසා විකුම් සමඟ තව දුරටත් ඒ පිලිබඳ කතා කිරීමට ඇයට නොහැකි විය. එමෙන්ම විකුම් බොහෝ විට කටට එන පලියට කියවන නිසා ඒ කතාව වැඩිය ගණන් ගත යුතු නැතැයි යන්න චතුරිකාගේ හැඟීම විය.

දින සති කෙමෙන් ගෙවී යද්දී තුෂී දුකෙන් සිටින කාලයට වඩා සතුටින් ගත කරනා කාල සීමාව කෙමෙන් වැඩි විය. ඇය සති අන්ත නිවාඩු දින වල නගරයට ගොස් රූපලාවන්‍ය කටයුතු වලට අවශ්‍ය කලමනා ගත්තාය. රූපලාවන්‍යාගාර වලට ගොස් අවශ්‍ය උපදෙස් ලබා ගත්තාය.මේ සියලු දේ ඇය කලේ චතුරිකාගේ දිරි ගැන්වීමත් ඇතුවය.

"තුෂී.. ඔයා අයුර්වේද කඩේකට ගිහින් සුදු හඳුන් ,කොකුම් පොතු ගන්න.saloons වල කෘතිම දේවල් කරනවාට වඩා ඒක හොඳයි."
"ඒයි තුෂී.. ඔහොම කාල නම් කෙට්ටු වෙන්න වෙන්නෙ ඊලඟ ආත්මෙ තමයි."

චතුරිකාගේ බලකිරීම් විටෙක හිසරදයක් සේ දැනුනද.. ඇය ඒ සියල්ල කරන්නේ සැබෑ මිත්‍රත්වයෙන් බව ඈ දනී.මීට මාස ගණනකට පෙර ඇගේ සිතේ තිබූ අරමුණ දැන් ඇගෙන් පලා ගොස්ය. එනම් ආලයක් සොයා යෑම දැන් ඈට අමතක වී ඇත. ඇයට වුවමනා මිතුරු මිතුරියන් ඇයට කරන උසුළු විසුළු වලින් ගැලවීමය. තමා ඇති තැන මෙන්ම තමා නැති තැනද විවිධ නම් වනම් වලින් තමා ඇමතීම හිතට ලොකු වේදනාවක් වූ හෙයින් ඇයට අවශ්‍ය ඉන් මිදීමටය.

පලමු වසර අවසාන විභාගයේ ප්‍රතිඵල ද නිකුත් විය.පලමු වසරට වඩා වැඩ අධික වන දෙවන වසර වෙනුවෙන් සියලු ශිෂ්‍ය,ශිෂ්‍යාවෝ දැඩිව කැප වන්නට විය.මේ අතර එලඹුනු සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් නුවන් ඇතුලු ඔහුගේ මිතුරන් රිවස්ටන් පතන බැලීමට යාමට කතිකා කර ගත්හ.

ඒ ගැන දැනුම් දීමට ඔහු චමත්ට දුරකථන ඇමතුමක් ගත්තේය.

"මචං.. අපි 15 රිවස්ටන් trip එකක් යන්ඩ හිතන් ඉන්නෙ .. උඹත් වරෙන්.."

"අපෝ.. අර වන්නියටද බං යන්නේ?"

"කොහෙ වන්නියද බං?"

"ඇයි බං රිවස්ටන් තියෙන්නෙ මාතලේ නෙවේ ද..?"

"හෙ..හේ.. අහ්.. ඔව්.ඔව්.. ඒකත් වන්නියක් තමා බං... ඒත් දැන් මම ඒකට වන්නිය කියන්නෙ නෑ නේ.. "

"ඇයි ඒ?"

"යකෝ.. චතූ කේතලේ මල්ලක්නෙ .. එයා වන්නි වුනොත් අන්තිමට මමත් වන්නි කොල්ල වෙනවනෙ බං."

"හෙ..හේ.. !!! හරි. හරි.. ඒක නෙවේ මචං.. මට නම් 15 ගෙදරින් trip එකක් යන්ඩ set කරගෙන.ඒක නං කට් කරනව බොරු .. ගොඩාක් කලෙකින් ගෙදර ආව නිසා අම්මලා ඒ trip එක යන්න එන්ඩමලු බං.."

"ඔහ්.. so sad නෙ මචං වැඩේ.. කමක් නෑ.. ඊළඟ අවුරුද්දෙවත් වරෙං.. 15 තියාගනිං අපිත් එක්ක trip යන්ඩ ගොං වහන්සේ..!"

"උඹ කලිං කිවුවනම් book කරලා තියාගන්නවනේ බං.. උඹලා වගේ යෑ.. අපිට ඉතින් හරි හරියට වැඩ රාජකාරි තියන මිනිස්සුනේ.."

"අනේ..පල..!! උඹට තියන වැඩ.. පවුලක් පංසලක් වත් තියනවා වගේ කතාව... තනිකඩ උණහපුලු පැටියා..හේ..!!"

"අනේ.. කෙල්ලක් හිටියා කියලා උඹ හරි පොර කියල ද හිතන් ඉන්නේ..??? ,.. .......
මේ මචං අප්පච්චි ඇවිත්.මාස ගාණකින් අදනෙ ගෙදර ආවේ.. ගෙට ගොඩ වෙනකොටම 1 ලකුනු කරේ නැත්තම් හොඳ නෑනේ.. මම තියනවා මචං.. වෙලාවක set වෙමුකෝ.."

"ok මචං.. එහෙනම් ඕං මං ගියා."

15 දිනය උදා වුනා.විකුම් ඇතුළු පිරිස ගමන යාමට වෑන් රථයක් කතා කරගෙනයි තිබුනේ.උදෑසන 6.30 පමණ වනවිට පිරිස නුවරින් පිටත් වුනා.මාතලේ නගරයට එනවිට උදෑසන 7.30 පසු වි තිබුනා.එයින් පසු සුදු ගඟ හරහා රත්තොට ප්‍රදේශය ඔස්සේ රිවස්ටන් වෙත ඔවුන් ගමනේ යෙදුනා.

රත්තොට , හා ඒ ආශ්‍රීත ප්‍රදේශ වල වියලි උණුසුම් බවෙන් හෙම්බත් වන්නට මත්තෙන්.. රිවස්ටන් පතනේ වියලි එනමුත් සීතල බව ඔවුන්ගේ ගතට සනීපයක් ගෙන දුන්නා.

අවට පරිසර සුන්දරත්වයෙන් මවිත වූ සමීර නම් වූ විකුම්ගේ මිතුරා,
"මචං.. ලංකාවත් මාර රටක් නේද බං..?"

"ඔව් බං... බලපං.. මාතලේ ටවුමට එනකං.. අම්බානට වැස්ස.. සුදු ගඟ,මැටි හක්ක පැත්තට එනකොට ගිනි රස්නෙ.. දැන් පට්ට සීතල.."
සංදීපද කතාවට එක විය.

ඒ ඇසූ චේතිය,
"ඒක තමා මචං.. අපි වගේ කලවැද්දෝ නැත්තං.. ලංකාව තවත් ලස්සන වෙන්ඩ තිබුනා."

"ඒයි යකෝ.. උඹ වැද්දා කියලා අපි දන්නවා.. ඕවට අපිව ගාව ගන්ඩ එපා... නැද්ද.. සමීර.. මතකනේ මූ දබනේ ගිහින් කෙලපු පිස්සුව.."
ඒ විකුම් ය.. ඔහු ඉතින් කවදත් වඩේ විහිළුකාරයා ය.

පිලිතුර දුන්නේ සමීර නොව සංදීපය.
"ඔව් ඉතිං.. මු කැකුලියෙකුටත් වහ වැටුනනේ.. තව පොඩ්ඩෙන් දුන්නයි කෙටේරියයි ඉල්ලං එහෙම බින්න බහින්ඩ ගියේ.. නැද්ද මචං."

"පල.. නරි රැළ යන්ඩ.. මුන්ට ඉතින් ඊරිසියාව... ඕක ලොකුයි ලු නේ රුසියාවටත් වඩා.."

විකුම් ඔහුට දෙවනි නොවෙයි..
"අපෝ ඔව්.. ඊරිසියාව.. ඒක නෙවේ මචං.. fun bite එකක් තියනවා.. උඹලා සප් එක දෙනවා නම් එළ drama එකක් බලාගතහැකි.."

"දැං කවුද බං ඕකෙ ප්‍රධාන නළු නිළි ඩබල..? අනේ මචං.. ලස්සන නිළියක් නම් නළුවා මම ඕං..."
සමීර කට කොනට ගත් හිනාවෙන් යුතුව් පවසයි


 "හේ..හේ... ඔව්..ඔව්.. මාර ලස්සන නිළියක් බං..  නම කිවුවොත් උඹ වහ කයි..."
ඒ විකුම් ය.

................................................


ඉරක් ගෙන ආ දිනය බිඳෙන් බිදලූ පුවත
අරන් කෙටි පණිවිඩය නෙතට හසු වූ කරුම
අදහන්න බැරි පුවත නොවෙන්නයි පැතුව ද
සිහිනයක් නොම වෙමින් හිත හඬාලයි තවම

පාසලෙන් පසු පන්ති වල විටෙක හමු වුනද
ලබැඳි මිතුරන් ලෙසින් ඇසුරු කර නැති වුවද
සබඳ කිම මේ ලෙසින් ගියේ අද නොකියාම
සඟවන්න බැරි ලෙසින් හිත හඬයි ඉකි බිදින

මුහුණු පොත පුරා නුඹ ගැන කියයි හැම දෙනම
සිහිනයක් වන් දසුන ගැන කියයි උන් තවම
නෙත් අරින්නට හදයි බිය වැදී නින්දෙන්ම
නොනින්දේ සිටින බැව් හැඟෙයි දැන් දැන් අපට

මිතුර මා සිතේ සොව මෙතරම්ම දැඬි නම්
ඔබේ ලබැඳියන් මේ දුක කෙලෙස වාවන්
මතු බවේදිත් මෙලෙස හමු වුවොත් සසරින්
හැරනොයන් නොකියාම මේ ලෙසින් දිවුරන්

සිහිනයක්ම වෙනවා නම් ඔබේ මේ වෙන්වීම...

Wednesday, December 29, 2010

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 02 කොටස )


 
 
                                                      ඊට හේතුව ඇත්තෙන්ම තුෂීට හිතා ගන්න බෑ.. හිතන්නත් බයයි.ඒත් ඇත්ත නම් ඇය හදවතින් ඔහුට ආලය කරයි.එවන් තරුණයෙක් කෙදිනකවත් තමන් වැනි තරුණියකට පෙම් නොකරන බව ඇය හොඳාකාරවම දනී.ඒත් හිතට වැට කඩුළු නැත.. හිත ඔහේ හිතයි.එපා කියන විට වැඩිපුර සිතයි.ඒ හිතක ස්වභාවයයි.ඒ සිතිවිල්ල සිත ඇතුලේම මරා දැමීමට තුෂී දැඬි උත්සාහයක නිරත වෙයි.ඇය ට චමත් කැමති ඇයි..? ඔහු නිහඬයි.හොඳ ගති පැවතුම් ඇත්තෙක් ලෙස හැසීරිමෙන් දිස් වේ.ඒත් ඒ කැමැත්තෙන් වැඩක් නැත.

                                                          විකුම්ගේ නොසැලකිලිමත් කියවිල්ලෙන් තම මිතුරිය පත් වූ අපහසුතාවය චතුරිකා දැක්කා.

"හරි හිනා යන කතානෙ විකුම් ඔයා කියන්නෙ.. දැන් ඔය කතාවේ කොයි කෑල්ලටද ඔච්චර හිනා යන්නෙ දන්නෙ නෑ..."

"කියන්න ලැජ්ජයි නේ චතූ.. මතක් වුනොත් පස්සේ වෙලාවක කියන්නම් කෝ.."

                                                         එදා හවස නේවාසිකාගාරයට විත් තුෂී ඇති තරම් හැඬුවා.ඒ වන විටත් කාමරයට මිතුරියන් කිසිවෙක් පැමින හිටියෙ නෑ.. එය ඇයට සහනයක් වුනා. පෙම්වතෙක් නැති අඩුව ඇයට දැඬිව දැනුනා.

"තුෂී...????... මොකද මේ..? මූණත් රතු වෙලා... "
කවුළුවෙන් ඉවත බලාගෙන බර කල්පනාවක සිටි තුෂීට චතුරිකා ඇය අසලටම එන තුරුත් ඇනුනෙ නෑ.

"න්..නෑ.. මුකුත් නෑ චතූ. මේ නිකම්.. මට අද හවස ටිකක් දුක හිතුනා"
ඇය කඳුළු පිසිමින් තම මිතුරියට කිවුවා.

"මම හිතුවා.මට සමාවෙන්න තුෂී.. විකුම් වෙනුවෙන් මට සමාවෙන්න.. එයාට මම කොච්චරවත් කියනවා කටට එන හැම දේම කියවන්න එපා කියලා.please.. අනේ.. ඔයා ඒ ගැන හිතන්න එපා තුෂී.. "

"නෑ චතූ.. විකුම් වැරදි නෑ.. එයා මූනටම කිවුවා.. අනික් අය මම නැති තැන කියනවා ඇති... "
ඇයට ඉකි ගැහෙන්න වුනා..
චතූ,ඉකි ගසමින් හඬන ඇයව වලක්වන්න ගියේ නෑ.. ඇය දැන හිටිය විදිහට හැඬීමෙන් කෙනෙක්ට ලොකු සැහැල්ලුවක් හිතට දැනෙනවා.ඇය එහෙම හිතුවා..

"මම මහ කැත කෙල්ලක්.මම එහෙම ඉපදුනාට මම මොනවා කරන්නද..? ඔයාම කියන්න. එහෙමයි කියලා boy කෙනෙක් නැති එක මම හිතලා කරපු දෙයක් ද..? ඇයි මට හැමෝම මෙහෙම කියන්නෙ චතූ..?"

"ඒයි ළමයෝ... මේ බලන්න.."
චතූ..තුෂීගේ  මුහුණ නිකටින් අල්ලා තමන් ඇගේ දෙනෙත් දිහා බැලුවා.

"කවුද කිවුවේ ඔයා කැතයි කියලා.. අහ්..?.. 
ඔයාට තරම් ලස්සන ඇස් දෙකක් වෙන කාටද තියෙන්නෙ.. 
ඔයා ටිකක් පාට අඩුයි.. ඒ කියන්නෙ ඔයා කැතයි කියන එකද..? 
ඔයා ටිකක් මහතයි.. ඒ කියන්නෙ ඔයාට කෙට්ටු වෙන්න බෑ කියන එකද..? 
මම ඔයාට උදව් කරන්නම්.. ඒත් එකක් කියන්නම්.. ඔයාට .. ඔයාගෙ සිතුම් පැතුම් වලට ආදරය කරන කෙනෙක් මේ කොහේ හරි ඇති.. එයාගෙ ආදරේ අගේ ටිකක් වැඩි කරන්න දෙවියෝ එයාව පමා වෙලා ඔයා ලඟට එවයි.. ඔයා ඒ වෙනකම් ඉවසන්න ඕනෙ.. තේරුනා ද.?"

තුෂී. ටික වෙලාවක් චතූගෙ මූන දිහා බලන් කල්පනා කලා..

"හ්ම්..".. ඇගේ හිතට ලොකූ අළුත් බලාපොරොත්තුවක් ආවා.. ඇගේ වත ලස්සන හිනාවකින් පිපෙන්නට වුනා..

"මම මගේ ආදරය කොහොමහරි හොයා ගන්නවා"
තුෂී එහෙම හිතලා තැවුන හිත සනසගත්තා.

 චතූ රෑ නින්දට යනකොටත් කල්පනා කලේ තමන්ගේ මිතුරියගේ හිත හදන විදිහක් ඒත් ඒ ගැන කිසිම අදහසක් ඇයට සිහි වුනේ නෑ.

ඊළඟ දවසේ උදේ දේශනයෙන් පස්සේ පැය දෙකක විවේක කාලයක් තිබුනා.ඒ වෙලාවේ ඇය විකුම් මුණ ගැහුනා.

"පට්ට boring අප්පා..! මෙහෙමත් කට්ටක්.. "

"හ්ම්."

"මීට හොඳයි.. දවල් 12 වෙනකම් හොඳට පොරවගෙන නිදා ගත්තනම් ගෙදට්ට වෙලා."

"හ්ම්.."

"ඒයි බස්සී.. මොකෝ.. හ්ම්.!..හ්ම්..! ගාන්නේ.. මොකක්හරි අවුලක්ද..?"

"ම්ම්.. නෑ.. එහෙමමත් අවුලක් නෑ.."

"එහෙනම් කොහොමමත් අවුලක් ද තියෙන්නෙ?.."

චතුරිකා විකුම් දිහා බලලා ආයෙත් ඈත දේශන ශාලාව දිහා බැලුවා.
"මට තුෂී ගැන දුක හිතෙනවා විකුම්.."

විකුම්ගේ මුහුණට සමච්චල් හිනාවක් නොදැනීම නැඟුනා.
 "ඒ මොකෝ..?"

"එයා හරි upset එකේ ඉන්නේ.. ම්ම්... "
ඇය කියන්න ගිය දේ ගිල ගත්තා.

"ඇයි..? කොල්ලෙක් නෑ කියලද..?.. හේ..හේ.. ඒ බැරල් එකට නම් sorryම තමා.."

"මේ.. මම ඔයාට අය කියන්නෙ නෑ විකුම්.. ඔයා කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගන්න හොඳේ..?"

"හරි..හරි.. "
ඔහු චතුරිකාට තරහා ආ බව දැක..
"ඕකට අපි දෙන්නා රණ්ඩු වෙන්න ඕනෙ නෑ නේ.. " 

"ඔව්.. රණ්ඩු වෙන්න ඕනෙ නෑ.. ඒත් අපි දෙන්නට එයා වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න පුළුවන්.."

"මොනවාගේ උදව්වක් ද..? මඟුල් කපු කමක් ද..?.. ඔයාට පිස්සු ද..? මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න චතූ.. "

"කොහොමටත් එයාට ඔහොම තව ටික දවසක් හිටියොත් හොඳ card එකකුත් වැදෙයි.. ටිකක් පරිස්සමින් ඉන්න කියන්න."

"පරිස්සමින්..????"
චතූරිකා විකුම්ගේ මුහුණ දෙස බැලුවා.. ඇයට තේරුම් ගන්න බෑ ඔහු කුමක්ද මේ කියන්නෙ කියලා..

"ඒ ඇයි..?"



ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 01 කොටස )


"මේ.. ඔයා මාව බඳිනව ද..?"

"ඔයාට වයස කීයද..?"

"28යි.. ඔයාට..?"

"23යි"

පුංචි දොස්තර මද සිනාවෙන් යුතු මුහුණින් කියන්නට වුනා.ඔහු තාමත් වෙද සිසුවෙකි.එහෙයින් පුංචි
දොස්තර යැයි ඇමතීම සුදුසුයි යැයි සිතමි.

"ඒකට කමක් නෑ අනේ.. අපි බඳිමු.. ඔයා වෙන කාට හරි කැමති ද?"

"ඔව්.. "

"අහ්!.. එහෙනම් බෑ නේ?.. ඒක නෙවේ.."
ඇය ඒ පාර තම දෑත් විහිදුවා පෙන්වමින්..

"ඉස්සර මගේ අත් රත්තරං පාටට තිබුනා.. දැන් ඒවා අළු පාට වෙලා.. ඒ ඇයි?"
ඇය මුහුණ පුළුටු කරගෙන පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටී.

කසුන් ඈත එන හෙදි නිලධාරිනිය පෙන්වා..
" අර මිසීගෙන් අහලා බෙහෙත් ටිකක් ඉල්ලගන්න.මම එයාට කියන්නං.. "

"ඒ මිසී..???.. එයාට මං කී දවසක් කිවුවද.. කෝ තාම බෙහෙත් දුන්නෙ නෑනෙ.."

"අද අහන්න.. මම එයාට කියල තියන්නං.."

                                                          ඈත වාට්ටු කොනට විත් තමන් දෙස බලමින් ඔච්චමට හිනා වෙන තම මිත්‍රයක් දෙස හොරැහින් බැලූ කසුන් එසේ කීවේය.මේ ඔවුන්ගේ වැඩක් බව ඔහු දනී.දැන් කීප දිනක්ම ඇය නඟන එකම ප්‍රශ්නාවලියට පිලිතුරු දී ඔහු හෙම්බත් වී සිටී.මානසික රෝගී වාට්ටුවක වැඩ කරන විට ඔවැනි සිදුවීම් අනන්තවත් සිදුවේ.. එය අරුමයක් නොවේ.එහෙත් ප්‍රේමය නිසාම එනම් ප්‍රේමය අහිමි වීම නිසාම කී දෙනෙක් උන්මන්තක බවට පත්ව ඇත්ද.. මිනිස්සු ප්‍රේමය නිසා මෙවන් තත්වෙකට පත් වීමට තරම් එය බලවත් හැඟීමක්ද.. පොතට කොටුවූ හිතට එයින් තොර ලෝකයක් ගැන සිතිමට පවා ඉඩක් නොලැබුනි.එහෙයින් ඔහුට මෙය අරුමයකි.

                                                          තුෂීට අත් වූ ඉරණමද එයයි.ඇය එතරම් රූමත් තරුණියක් නොවේ.නමුත් සුහදශීලි ප්‍රියමනාප යුවතියකි. ඇය කිසි දිනක තමන්ට ප්‍රේමයක් හිමි වේ යැයි නොසිතූ නොපැතූ තරුණියකි.හීන මානයක් හිත තුල තද කරගෙන සිටි අයෙකි.එහෙයින් ඇගේ දෙමවුපියන් හැම විටම ඇය ගැන සෙවිල්ලෙන් පසුවෙන්නට වුනා.

                                                           ජීවිතයේ ලස්සනම අවදියක් ගත කරන්නට ඇයට හන්තානට එන්න සිදු වුනා.අපූරු පෙදෙසක්.. ඇය ඒ ගැන පුදුම සතුටු වුනා.ගලහ හන්දිය පහුකරන කොටත් ඇගේ දිලිසෙන දෙනුවන් තුනී තුටු කඳුළු පටකින් වැසී තිබුනා. ලොකු හුස්මක් අරන් ඇය ඒ හරිත වර්ණ භූමිය දිහා බලන්නට වුනා.

                                                           ඒතරම් කාලෙකට ඇය ගෙදරින් පිට බෝඩිං ජීවිතයක් ගත කරල තිබුනෙ නෑ.ඇය හිතුවා ඇයට කිරිල්ලියක් වගේ නිදහසේ ජීවත්වෙන්න ලැබෙයි කියලා.ඇත්තටම ඒ නිදහස ඇයට ලැබුනා.විශ්ව විද්‍යාල ජීවිතයට ඇය ඇත්තෙන්ම ඇලුම් කලා.විද්‍යා උපාධිය ලබාගෙන ඉන් ඉදිරියටත් අධ්‍යයන කටයුතු කිරීම ඇඟේ බලාපොරොත්තුව වුනා.

                                                            චමත් අනුරාධපුරයේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණි ශිෂ්‍යයෙක්.කඩවසම් පෙනුමැති පැහැපත් තරුණයෙකි.ඔහු නිතර පලඳින උපැස් යුවල ඔහුට වැදගත්,බුද්ධිමත් පෙනුමක් ගෙන දුන්නා.ඔහුත් විද්‍යා උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු කිරීමට පැමිණි කෙනෙක්.

                                                             පළමු වසර අවසාන වන විට තුෂීගේ මිතුරියන් සියල්ලන්ට පෙම්වතුන් සිටියා.මිතුරියන් අතර මහා තනිකමක් ඇයට දැනෙන්නට වුනා.

                                                            තුෂීගේහොඳම මිතුරිය චතුරිකා නම් රූමත් තරුණියකි.ඇය තුෂීට ඉතා හොද යෙහෙළියක් වුනා. චතුරිකාගේ පෙම්වතා විකුම් කටකාරයෙකි.ඇත්තෙන්ම කිවුවොත් කට හැකරයෙකි.

                                                            ප්‍රබෝධමත් හිරු කිරණ පේරාදෙණි විශ්වවිද්‍යාල බිම සිප ගන්නා එක් දිනෙක මේ මිතුරියන් සියලු දෙනා එක්වී හිම කිරම මිලදී ගත්තා.මෙතැනට විකුම් ඇතුලු ඉහත කී මිතුරියන්ගේ පෙම්වතුන්ද ඔවුන්ගේ තවත් මිතුරන් කීප දෙනෙක්ද එකතු වුනා.

හේ..හේ... තුෂානි.., තවමත් තනිකඩ ජීවිතේ වගේ.. බලාගෙන , ගෙදරටම නාකි වෙයි.

                                                            එසේ කියූ විකුම් උස් හඬින් සිනාසෙන්නට වුනා.සෙසු තරුණයෝද ඔහු හා එක් වී සිනා සෙන්නට වුනා.සෙසු තරුණයන් අතර චමත්ද සිටියා.

                                                            තුෂීට දරාගන්න බැරි ලැජ්ජාවක් දැනුනා.කියන්න දේවල් ගොඩක් හිතට ආවට බොහොම ආයාසයෙන් ඇය ඒ දේවල් නොකියා හිටියා.ඇය අඬන්නට බැරි නිසාම ඒ අපහාසාත්මක විහිළුව විහිළුවක් ලෙසම බාර ගෙන මදක් සිනාසුනා.කන් දෙක රතු වී දුම් දමන්නාක් මෙන් ඇයට දැනුනා.ඒත් එතනම ඉන්නවා මිසක් එතනින් පලා යෑමට නොහැකි බව ඇය තේරුම් ගත්තා.ඇයට ලොකුම දුක දැනුනේ චමත්ද තමන්ට සිනාසෙන අයුරු දුටු විටයි.ඊට හේතුව...

Monday, December 27, 2010

මාර අවුරුදු කුමරු වැඩි දා - 2010 - 12 - 06..

අහස ශෝකයෙන් හඬන්නට වන්..
එහෙත් මා සිත අද තොසින්.. 
ආයෙත් කලකට පසු පමාවී..
මා ළඟට ඇවිත්..

                                උදේ පාන්දර කොහොමටත් මම කාලෙක ඉදන් නැඟිටින්නේ නෑ.. ඒත් කොම්පියුටර් මිත්‍රයා ලඟ වරු ගනන් කල් මරන නිසා.. කොහොමටත් උදේ පාන්දර ඇහැරීමක් ගැන හිතන්නත් මොකක්දෝ වගේ..
                                මගේ ජීවිතේ සතුටුම දවස කවදද කියල අහන්නත් කලින්.. මම දෙන්නම් උත්තරේ... ඒ එදා තමයි..

                               අම්මත් ඉස්කෝලෙ ගිහින්.. ඉතින් තවත් ගුලිවෙලා නිදාගන්නයි හිත තිබුනෙ.ඒත් මගේ ෆෝන් කට්ට ඒකට මට ඉඩ දුන්නැති කරුමේ..

  "අද ප්‍රතිඵල නිකුත් කරනවාලු.. ප.ව 3.00ට"
කෙටි පණිවිඩ 2යි.. 

                                මේ දවස්වල.. දැන් මාසෙක විතර ඉදන්.. ඔහොම පණිවිඩ කීයක් ආවද..? ඒත් ඒ "මාර අවුරුදු කුමාරයා" (සමහරුන්ට මාරයෙක් වෙන.. සුළු පිරිසකට අවුරුදු කුමාරයෙක් වෙන අමුතු කෙනෙක්) තාමත් ආවේ නෑ. ඒත් හිත කියනවා අද නම් ප්‍රතිඵල එයිම කියලා.මම කොහොමටවත් කැමති වුනේ නෑ ඒ ප්‍රතිඵලේ එනවට.
                                මේ විදිහටම අම්මලගෙන් කකා බිබී මුළු ජීවිත කාලෙම කොම්පුටර් රාජයා ලඟට වෙලා ඉන්න තියනවා නම්... මුහුණු පොතේ හැමදාම ඉන්න තියනවා නම්.. ඊටත් වඩා ප්‍රතිඵල හොඳ වුනොත් (ටිකක් හරි) මාස හයකින් හැමෝම බයකරලා කියන විශ්වවිද්‍යාලෙ වැඩ වලට කොටු වෙන්න මම කොහොමවත් කැමති වුනේ නෑ. 

                                හිතේ බයට, හදිස්සියට කොම්පුටරේ නැඟිට්ටවගන්නත් හුඟක් වෙලා ගියා.ඒ වෙලේම එබිලා බැලුවේ මුහුණු පොතට.යාළුමිත්‍ර හත්මුතු පරම්පරාවම හිටියෙ එතන.. මම හිතාගත්තා ප්‍රතිඵල බලලා එන ගමන්ම සදහටම මුහුණු පොත වහන්න වෙයි මේ යන විදිහට කියලා.
                                ඒ අතරෙම ප්‍රතිඵල නිකුත් කරන වෙබ් අඩවියත් බොහෝම අමාරුවෙන් open කරගෙන මම නිවී හැනහිල්ලේ හිටියා.

පෙ.ව.10.00  : -

                                පෙ.ව.10.00 විතර වෙනකොට "results pending" ඒ මදිවට කහ පාටින් තරුවක් දිලිසෙනවා "new"..
                                තරුව නිවුන පත්තු වුන ගානට මගේ හදවතත් හයියෙන් ගැහුනා.. හිත හදන්න.. ලඟ පාත කවුරුවත්ම හිටියෙත් නෑ.. අම්මා ඉස්කෝලෙ , අප්පච්චී කැකිරාවෙ , නංගි ඉස්කෝලෙ ,අයියා චීනෙ..

                                එක යාලුවෙක් මේ අස්සේ වෙන පිස්සුවක් කියවනවා මුහුණු පොතේ.. මට හිතුන විදිහට එයාටත් මට තරම්ම වැඩි වෙලා නොතිබුනත් පිස්සු හැදිගෙන එන බවක් තමා පෙනුනෙ.. 

පෙ.ව 11.45 : -

                               පෙ.ව 11.45 වෙනකොට මම බය විමෙන් හොඳටම හෙම්බත් වෙලා හිටියෙ.. මට හිතුනා ප්‍රතිඵල බැලුවට පස්සේ බත් කන්නවත් හිතෙන්නෙ නැතිවෙයි කියලා.. ඒ බයට මම ඉක්මනට කුස්සියට ගිහින් බත් එකක් බෙදා ගත්තා.. ඔය අතරෙ අපෙ අත්තම්මා කියනවා ලොකු අත්තට බත් කවන්නලු.. මට එච්චර වත් ඇහුනෙ නෑ.. ඒ පාර පොල්  ටිකක් ගාලා දෙන්නලු.. ඒත් මට ගාණක් නෑ.. හිතෙන් හිටියෙ ගොඩාක් ඈත.. 

මධ්‍යහ්න 12.00 : -

                               හරියටම මධ්‍යහ්න 12.00 වෙනකොට මම වතුර වීදුරුවකුත් බිලා ආයෙත් තිරේ ඉදිරියෙ හරි බරි ගැහිලා ඉඳ ගත්තා.යතුරු පුවරුවෙන් ඇස් දෙක තිරයට යොමු කරා ............................................ ............!!!!
ඇත්තම කියන්නම්...,  
                               මොහොතකට හදවත නැවතුනා.. මට තනියම ඇඬුනා.. හයියෙන් ඇඬුනා.. බය වෙන්න එපා.. තාමත් ප්‍රතිඵල නිකුත් කරලා තිබුනෙ නෑ.. ඒත් ...
        

                                   Enter your Index Number
                                   ___________________
                      new*                 Submit


                               මම හිතාගත්තා අම්මා ආවට පස්සෙ ප්‍රතිඵල බලන්න.ඊට ඉස්සෙල්ලා දවසෙ අම්ම කිවුවෙත් එහෙමයි.ඒත් අප්පච්චි කිවුවෙ තමන්ගෙ ප්‍රතිඵලේ බලන්න තරම් පණක් තමන්ට තියෙන්න ඕනෙ කියලා.
මම ඉක්මනට මගේ හොඳම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක්ට කතා කලා..


මම : හෙලෝ චතූ , results out කරලා ඒ... 

චතූ : නෑ Pry ! ... තමා නෑ... 
( කවුදෝ දුරකථනයේ එහා කොනේ සිට කෑ ගසයි.. ලොක්කා.. out කරලා.. AAB.. Dis Rank 69 ..)

චතු : රු..ව..න්.... මේ මල්ලී කියනවා.. මම 69 ලු..( මහනුවරින් 85ක් විතර Medicine වලට තේරේ..)

මම : චතූ... ඔයා එළ නේ.. නියමයි.. මම තාම බැලුවෙ නෑ.. ඉන්න මම බලන්නම්.. හරි ෂෝක්.. ඔයා නම්     හරිම ෂෝක්...!!!!


                                 යාලුවාගෙ ප්‍රතිඵල ඇහුවට පස්සේ මට හිතට දිරියක් ආවා ප්‍රතිඵල බලන්න.. වෙවුලන ඇඟිලි තුඩු වලින් මම විභාග අංකය එබුවා.
  
-> Submit --->

දෙවියනේ..!!! 

තත්පරයක්වත් ගියේ නෑ.. 

කාගෙදෝ විභාග ප්‍රතිඵලයක් තිරේ වැටුනා.

ඇස් අදහගන්න බෑ.. 

ආයෙත් බැලුවා.. 
                      
 විභාග අංකය වැරදිද දන්නෙ නෑ..

                                විභාග අංකේ දෙසැරයක් ඇතුලත් කරන්න හදනකොටම පිටුව නොපෙනී ගියා..(ම්ම්.. ඒකට සිංහලෙන් කියන්නෙ කොහොමද.. එහෙම තමා.. වෙන කොහොමද..)

                               මම හද පතුලින්ම හදවතෙ පිරුන හැම ලේ බිංදුවකටම දැනෙන තරම්  සතුටු වුනා.. ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්.. ආයෙ ආයෙත් මතක් කර කර රස විදින්න පුළුවන් තරම්.

මම ඉක්මනට දුරකථනය අතට ගත්තා..

මම : අම්මා...

අම්මා : ඇයි ලොකු දෝනි.. results out කරල ද..?
 (මම අඬන බව අම්මට තේරෙන්න ඇති.. ඒ නිසාම අම්මා බය වෙන්න ඇති.).

මම : ඔව් අම්..මා...  මම 11.. .

අම්මා : අහ්,...!!!.. ඉතින් ඇයි එහෙනං අඬන්නේ..?..( මගෙ මොළෙ අමාරුවක් කියලා අම්මා හිතන්නට ඇති..)

මම : සතුටටනෙ අම්මා..! (ෂික්..!! දීලා තියෙන මෝඩ උත්තරේ.. වෙන උත්තර මගෙ කටට ආවෙම නැද්ද දන්නෙ නෑ ඒ වෙලාවෙ..)

දැන්... අප්පච්චිට..

මම : අප්පච්චි.. results out කරලා... මම 11...
(එක හුස්මට කිවුවෙ.. නැත්තම් අපරාදේ කියලා හිතුන නිසා..)

අප්පච්චි : අනේ....!!! හරිම සතුටුයි පුතේ..!( වචන ටිකයි.. කිවුව විදිහ මෙතන ලියන්න තේරෙන්නෙ නෑ.. ඒ වචන වල ලොකූ සතුටක් ගැබ්වෙලා තිබුන බව විතරක් මට තේරුනා..)

                               එතන සිද්ධ වුන සිද්ධිය අපි දැන ගත්තෙ පස්සෙ. අප්පච්චි ඒ වෙලේ ඉදලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන ගමන්.. එක දුරකථන ඇමතුමකින් පසුව අප්පච්චි අඬන්න පටන්ගෙන.. වටේම උදවිය හොඳටම බය වෙලා..

"ඇයි දොස්තර මහත්තයා.. කරදරයක් වත් ද..?" එයාලා හිතලා තියෙන්නෙ එහෙම..

                               කිසිම දෙයක් කියා ගන්නවත් අප්පච්චිට බැරි වුනාලු.. ගොඩාක් වෙලා ගියාට පස්සෙලු කට්ටිය හේතුව දන්නේ... ඒ අතරෙ අප්පච්චි අම්මට කතා කරලා.. ඒත් ඇඬෙනවලු තාම අප්පච්චිට.. (අම්ම නම් කිවුවෙ අම්මට ඇඬුනෙ නෑ කියලා.. වටේ කවුරු කවුරු හරි හිටිය නිසා අපි ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තා.. නැත්තම් තාමත් ආම්මාගෙ බොරුවට රැවටිලා..)

තාමත් ගෙදර හිටිය අත්තම්මට ආරංචිය කිවුවෙ නෑ.. 

"අත්තම්මා.. මම 11.. "..

මාතලෙන් පේරාදෙණියට ගන්නේ 10යි.. ඇත්තටම අපි කාගෙත් හීනෙ හන්තානෙටම යන්න.. ඒත් සමහර විට මට හන්තානෙ ලස්සන බලන්න බැරි වෙයි.. ඒ වෙලේ අත්තම්මට මතක් වුනේ ඒක..

"අනේ මයෙ කෙල්ලට 10 වෙන්ට බැරි වුනානේ..".. 

මූනත් රතු වෙන්න කඳුලු පෙරාගෙන අත්තම්මා එහෙම කිවුවට ඊට පස්සේ දවසෙම කැවුම් ගෙඩි තුන හතරක් හදලා මගේ අත්, මූණ තැවුවා.. (හේ..හේ.. කොහොමටත් මහෙ මූණේ ගානට තෙල්... කැවුම් වල තෙලුත් එක්ක එකතු වුනාම හොඳ ගණන්..)

                                    කතා කරන්න ඕනෙ හැමෝටම කතා කරා.. ආයෙත් මූනු පොතට එන්නත් මට අවස්ථාව ලැබුනා.. බ්ලොග් සොයුරු සොයුරියනුත් මට ඒ වෙලේ සුභ පැතුවා.. බොහොම ස්තුතියි.!

                                   එහෙම මගේ පරම පැතුම ඉටු වෙනකොට මගේ හොදම යාළුවො දෙන්නගෙන් එක්කෙනෙකුට හොඳ ප්‍රතිඵලයක් ලැබිලත් Medicine තේරෙන්න ලකුණුමදි වුනා.. ඇය මෙවරත් නැවත ලියන්න සූදානම් වෙනවා.. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෙම උදව්වක් කරන්න අපි සූදානම්.
කීප දෙනෙක්ට එහෙම වුනා.. එයාලා අයෙත් උත්සාහ කරනවා.. සමහරු තමන් කැමති ක්ෂේත්‍ර කරා යන්න ලෑස්ති වෙනවා.

                                  මම පළමු වතාවෙන් විශ්වවිද්‍යාල තේරෙන ශිෂ්‍යාවක් නෙවේ. ඒ වගේම ශිෂ්‍යත්වෙන් සමත් වුනත් ලොකු සතුටක් හිතට නොදැනුන.. සාමාන්‍ය ආකාරයෙන් සමත් වුන, සාමාන්‍යපෙළ සම්මාන 1ක් සමඟ විශිෂ්ඨ සම්මාන 9ක් ගත්ත.. ඒ නිසා ඒ අවස්ථා දෙකේම හිතට ලොකු දුකක් දැනුන කෙනෙක්.. උසස්පෙළ පළමුවර BCC ගත්ත..දිස්ත්‍රික්කෙන් 85 වුන කෙනෙක්.. 
ඒ නිසා මට මේ ප්‍රතිඵලය ගොඩාක් වටිනවා.. මට හන්තානට එන්න බැරි වුනත්..

                                  මේකෙන් කියන්නෙ නෑ.. මම මුළු අනාගතයම දිනුවා කියලා.. A/L කියන්නේ මුළු ජීවිතේම නෙවේ කියලා මට තේරුනේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ හසි අයියා ,කතා හසි අයියා ආදී අය දිගින් දිගටම කිවුව නිසා.. "හද සාක්කි" ලිපිය ලිවුව දවසේ රත්ගම සහෝදරයා කිවුවේ " මේ ලියපු ලිපිය ගැන කවදාහරි පසුතැවෙයි.. මම කොච්චර බොළඳ විදිහටද හිතලා තියෙන්නෙ" කියලා හිතෙයි කියලා.. ඇත්තටම අද මට එහෙම හිතෙනවා..

                                    බ්ලොග් අඩවිය කියන්නේ මට ලොකු සහනයක්.. මම මෙ ලිපිය ලිවුවේ මගේම සුභසිද්ධිය වෙනුවෙන්මයි.. කවදාහරි මට පසුබහින්න හිතුනොත් මේ ලිපිය කියවලා.. හිතට ගැම්මක් ගන්න.. ඒ තමා පරම අරමුන මේ ලිපියේ..

සමහර විට ගතකරපු කටුක අතීතෙ( මෑත අවුරුදු 2ක්3ක අතිතය) කොච්චර සොඳුරුද කියලා හිතෙයි ඉදිරි අනාගතය ගත කරනකොට.. 
A/L මොකක්ද කියලා හිතෙයි පාඩම්කරන්න තියෙන දේවල් දකිනකොට.. 
විදපු හිත් තැවුල් මොනවද කියලා හිතෙයි යාළුවො හිතන්න බැරි තරම් හිත් පාරවනකොට.. 
දැනුන තනිකම මොකක්ද කියලා හිතෙයි තනිකමේ ගිලිලා පණ අඳිනකොට... 
ඒත්.. 
මේ තරම් සතුටක්.. ආයෙත් මට දැනෙයිද කියන සැකයි.. ඒ ගැනම අයේ ආයෙත් හිතනකොට..






Wednesday, December 22, 2010

නමක් නැති බැඳීමක්..


 මේ ගැන හිතලා තවත් වැඩක් නෑ.. 
ඒ බව දැන දැනත් තාමත් හිතන්නෙම ඒ ගැනමයි..

පවුරු බැදි ඉසව්වේ..
ලිහිල් වූ එක් තැනක් වත්..
තාමත් සොයන්නෙම් මම්..

මම හරිද වැරදි ද..? 
ඒකත් සාපේක්ෂයි..
හරිත් නෑ.. 
වැරදිමත් නෑ..

ඇහුම්කන් දෙන්නම එපා හිතට.. 
එතකොට මිනිස්සු කියයි හිතට වහල් වුනා කියලා.. 
ඒත් මට ඇහෙන්නෙම හිත කියන දේ විතරයි..

මගේ හිතට ඕනෙ දේ.. 
මට නොලැබෙන බව දැන දැනත්.. 
හිත තාමත් ඉල්ලන්නේ.. 
නොලැබෙන ඒ දේමයි..

අහසේ තරු මෙච්චර තිබුනට.. 
අපිට වැදගත්
අපිව දවන
අපි සනසන 
හිරු විතරයි..

හිතට හිත් කොච්චර මුණ ගැහුනත්..
හිතේ ලැඟුම්ගත්තේ.. 
ඔය හිත විතරයි...

එක් නිමේෂයකින්.. 
කලින් නොහිතු ලෙස..
කලින් නොපැතූ ලෙස..
ඈතින් ඈතට අපි විසි වුන තරම්.. 
 
පැතූ පැතුම් මහ මෙරක්  ඉටු වී.. 
අහුරක් ඉටු නොවූ හැටි..
ඒ අහුරම මා හිත දවන තරම්..

"මෙය මෙසේ නොවුනා නම්".. 
මගේ හිත කියන තරම්..

වැරදුනේ කොතැනද..?..
මට එය නොවැටහෙනවා නම්..

අහිතකින් නොවන මුත්.. 
දැන් දැන් මට කියවෙන ලස්සන..
"මේ ලෙස ඔබ මා හමු නොවුනා නම්....!.."


(සත්‍ය සිද්ධියක් ඇසුරෙනි..)

Friday, December 10, 2010

අමුතු කතාවක්..

                                ගොඩාක් රෑ වෙලා, 10.00pm වලට විතර ඇති දැන් වෙලාව.. මේ මම physics class ඉවරවෙලා ගෙදර යන ගමන්..හරිම ජොලි විෂයක්.. ඒ නිසා මහන්සි නම් නෑ.. අද මම ගෙදර යන්නේ සමී එක්ක එයාලගෙ වාහනේ.. මේ යන ගමන් තමයි හිත හිත ඉන්නේ.. සමී සින්දු ගබඩාවක්.. එයාලගෙ කාරෙකේ යන්න මම හරි ආසයි.. මොකද හරිම ලස්සන ගීත එයා ලඟ තියනවා.. ගමන ඉවර වෙනකම්ම.. ලස්සන සිංදු අහන්න පුලුවන්..

"සමී.. සිංදුවක්..."

මගෙ ඉල්ලීම ඉක්මනටම ඉදිරිපත් කලා.මොකද ,අපේ ගෙදරට යන්න වැඩි වෙලා යන්නෙ නෑ.. ඒ ටිකේ ලස්සන සිංදුවක් අහන්නමයි හිත..
හරි .. ඔන්න දැන් CD එක වැඩ... මම ඇස්පියාගෙන ගීතයට කන් යොමු කලා..

"එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට"

"ම්ම්.. එක් පෙති මලක්..මේ මොන විකාර සිංදුවක්ද... කෙහෙල් මල් ගැන විතරයි දැන් සිංදු නැත්තේ.. ඇන්තුරියම් මල ගැනත් සිංදු ලියලා.. අනේ කාලේ වනේ වාසේ..."

                              ඒ වෙලාවේ Physics වලින් තෙම්පරාදු වෙලා තිබුන මගේ මෝඩ මොළේට වැටහුනේ එහෙමයි.. ඒත් එහෙමයි කියලා අත අරින්න හොඳ සිංදුවකුත් නෙවේ... එහෙමම මට ඒ ගීතය අමතක වෙලා ගියා...

                               කාලෙකට පස්සේ 2010-11-30... ගොඩාක් රෑ වෙලා මට ලොකූ සිංදු පිපාසයක් හැදුනා.. ලඟපාත හොඳ වෙලාවට U-tube තිබුනේ.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇන්තුරියම් සිංදුව මට හම්බුනා..(සොයන්නාට සම්බවේ..)
                              මම අද හවස් වෙනකම් කී සැරයක් මේ ගීතය ඇහුවද.. ඒ ගීතය ඇතුලේ හැංඟුන අමුතු කතාවක් තියනවා කියලා මට හිතුනා... ඇත්තටම එහෙම කතාවක් තිබුනා.. අන්තිමට මට ඒ කතාව වැටහුනා..

"එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට"

                              බුදු හාමුදුරුවන්ට පූජාකරන්න ගන්නකොට පෙති නොහැලුනු ,පර නොවුනු මල් ගන්න කියනවා.. ඒ වගේම අපි පෙති අඩු මල් විසි කරනවා.. ගණන් ගන්නේ නෑ.. එහෙව් එකේ එක් පෙති මලක් ගැන.. කවර කතාද..?

අපේ ලඟ පෙති ඔක්කොම තියන සම්පූර්ණ මලක් තියනකොට එක් පෙති මලකින් අපිට වැඩක් ද..?
                             ඒ වගේම තමා, තමන්ට ආදරය කරන පෙම්වතියක් ඉන්න පෙම්වතෙක්ට තවත් යුවතියකගේ ආදරය ඵලක්ද..?... ඒත් මේ ගීතයේ  පෙම්වතා තමන්ට පෙම්වතියක් ඉද්දීත්.. තව කෙනෙක්ට ආදරය කරනවා.
එයාගේ ඇහින් බලද්දී.. පළමු පෙම්වතිය පූර්ණ මලක් නම් දෙවන යුවතිය එක් පෙති මලක් විතරයි...

"නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට"

ඒත් එහෙම කියලා දෙවනි යුවතිය රවට්ටන්න තරම් ම පහත් කෙනෙක් නෙවේ ඔහු..

"හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට"

                              ඔහුට ඕනෙ දෙවනි යුවතිය මඟ හරින්න.. ඇයව තඹ සතේකට ගනන් නොගන්න බව පෙන්වන්න.. ඒත් ඔහු හිතෙන් ගොඩාක් දුක් වෙනවා ඇයගේ සමුගැනීම ගැන.... ඒක හරියට තමන්.. ඇය යනකොට නවත්තන්න නොහිතුවත්.. ඒ සමුගැනීම හිතේ ලොකු විරහ වේදනාවක් ඇති කලා වගේ,... ඒ විරහව මේ යුවතිය නිසාම ඇති වූවක් වගේ..

"විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම"

                             ම්ම්.. මෙතනදි නම් මට හිතෙන්නේ.. පිට සමාජයේ මිනිස්සූ මේ සිද්ධිය දකින්නේ වපර ඇහෙන් කියලා.. ඒ කියන්නෙ පෙම්වතිය වැරදී.. පෙම්වතා නිවැරදී කියලා..  ඒත් පෙම්වතා දන්නවා ඇත්ත සිද්ධිය.. ස්මහර විට දෙවනි පෙම්වතියවත් දන්නෙ නැති..

"සතුකර ගන්න මුල් පෙම නොපිදූ හෙයින"
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින.."

                             මේ මුලු ගීතයේම වඩාත්ම ශක්තිමත්ම පදවැල මේ කියලයි මම නම් හිතන්නේ.. මෙතනින් තමා මම මේ ගීතය ගැන නිගමනයට එළඹුනේ..
දෙවනි යුවතිය අයිති කරගන්න... ඔහු.. පළමු පෙම්වතිය අත අරින්නේ නෑ... ඒක කොච්චර වැරදි ද කියලා ඔහු දන්නවා.. නමුත්..
හිතට ලොකු දුකක්.. එකම විසඳුමක් පමණයි තියෙන්නෙත්.. එතනදී... පෙම්වතා අසරණයි.. ඒත් ඒ කටුක (කටුකම නෑ.. එහෙම නොකලා නම් පළමු පෙම්වතිය අසරණ වෙනවා..).. වුනත් ඒ විසඳුමම විතරයි ඔහුට ඉතිරි වෙන්නෙ..

"සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්..
මවෙතින් ලැබෙන ආදරයත් ලැබේ නම්.."

මේ පද වල තමා ඒ හිතේ ගැබ්වෙලා තියන ආදරෙ හොඳටම ඉස්මතු වෙන්නේ.. ඒක ඒ පද වලින්මොනවට ඔප්පු වෙනවා..

"මතකය ඔබට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් වී කල්පනාවන්.."

                                මුල් පේලි හතරෙදී.. පෙම්වතා තමන්ගේ හිත සනසගන්න අතරම අවසාන පේලි හතරෙන් පෙම්වතියගේ හිත හදනවා.. එච්චරයි ඔහුට කරන්න පුලුවන්.. හැම දේම අඩුවක් නැතුව ලැබෙන හෙයින්.. දුක් වීමෙන් කිසිම පලක් නෑ..ඔහු ඇයට කියන්න උත්සාහ කරන දේ හරියට හරි..

                                මේ ගීතයේ කියවෙන කතාව පුදුම අමුතුයි.. ඒ කතාව හරියට Twilight වගේ.. Twilight බෙලා කියන යුවතිය එක වර තරුණයින් දෙන්නෙක්ට ආදරේ කරනවා.. ඒත් ඇය තෝරා ගන්නෙ ඒ අතරින් එක්කෙනෙක්.. ඒක වෙනම කතාවක්..
නමුත් සාරාංශය ගත්තොත්.. එක වගේ කතා දෙකක්..

                               මම මේ වගේ සිද්ධියකට ආසා නෑ.. අවට සාමාජයේ දැකලත් නෑ.. ඒත් මේ ගීතය මෙච්චර ලස්සන.. අනිවාර්යෙන් මේ කාගේ හෝ අද්දැකීමක් නිසා විය යුතුමයි.. එහෙම නැත්තම් මෙච්චර ලස්සන පද වැලක් ගෙතෙන්න බෑ.. ඒ නිසා මේ වගේ සිද්ධිත් සමාජයේ තිබෙන්න ඕනෙ..ඒ ඇත්ත අපි පිලිගන්න ඕනෙ..

ගීතය ගයන හඬ ගැන නම් කියන්න වචන නෑ.. මේ පහතින් දක්වා තියන පද පේලි දෙක අනික් පද වලින් පුදුම විදියට වෙනස් කරලා.. හිත ඇතුලට කිදා බහින විදියට ගායනා කරන්නේ කොහොමද කෙනෙක්..???? ... මට නම් තාම හිතා ගන්න බෑ..

"දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින.."

"තව කුමකටද දුක් වී කල්පනාවන්.."



අමුතු කතාවක්.. ලස්සනම ලස්සන ගීතයක්...

(ආයෙත් මගේ බ්ලොග් නිවහනට එන්න ටිකක් කල් ගියාට සමා වෙන්න ඕනෙ.. හිතේ කිසිම සහනයක් පසුගිය දවස් වල තිබුනෙ නෑ.. ඒ ඔක්කොම දැන් හරි.. ඒ නිසා... අවශ්‍ය කලමනා කාරිය එකතු කරගෙන අයේ නොයන්නම මම ආයෙත් මේ පැත්තේ ආවා.. අනික් බ්ලොග් පිටු කියවන්නත් බැරි වුනා.. අද ඉදන් ඒ හැමදේම ආයෙත් ඉස්සර වගේම කියවනවා.. කියවන්න ඕනෙ.. )