Tuesday, November 23, 2010

හදත් අහිමි කල ..

"රුවී.. trip එක යන්න එනකොට කෑමට විතරක් සල්ලි අරන් එන්න හොඳ ද..?ඉතිරි සේරම වියදම් අපේ ධානපතිනී චේතනා භාර අරන් තියෙන්නේ..හික්"..
ගයාත්‍රි සියළු විස්තර දිග අතර,හරස් අතට අඩු නැතිව කියලා ඉවර කලා..

              ඒත් රුවිනි තාම වෙන ලෝකෙක වගේ.. කියන කිසිම දෙයක් අහගෙන ඉඳලා නෑ.. ඇස් වල කඳුළුත් නෑ.. කිසිම හැඟීමකුත් නෑ.. තත්වය භයානකයි....

"මට එන්න බෑ ගයා...මට mood නෑ..ඔයාලා යන්න.."..
            ඉස්සර නම් (ඉස්සර කිවුවට එකෝමත් එක කාලෙක නෙවේ.. බොහොම මෑත අතිතයේ) trip එකක් කිවුවොත් පැනගෙන එන කෙල්ල... රුවිනි... දැන්.. ගොඩාක් වෙනස්..

"මේ.. මේ.. කෙල්ල ,.. එහෙම කියලා හරියන්නේ නෑ..මම හැම දෙයක්ම ලෑස්ති කලේ යන යාළුවෝ ගාණටනේ.. "
චේතනා එතනට ආර්ථික අපහසුතාවක් ඇඳලා ගත්තෙ එහෙම හරි රුවිනිව ඇඳගෙන යන්න.

"අනේ.. මට බෑ.. මම කිවුවනේ.. මුල ඉඳන්ම... මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න.. ඇයි මේ කරදර කරන්නෙ.."

"මෝඩියේ... ඔයාට පිස්සුවක් හැදීගෙන එනවද..?කොල්ලා දාලා ගියා කියලා උඹ ඔහොම ලෝකෙම නැති වුණා වගේ ඉන්න.. හරීම ෂෝක්..!.. ගයාන්ට තව සතුටු හිතෙයි.
අනේ.. මම කොච්චර වටින කොල්ලෙක්ද කියලා.."චේතනා මේ දවස් ටිකේම කියල වචන ටික.

"ඔයාට මෙච්චර කල් යස අගේට තිබුන මොළ බාගෙට මොකද වුනෙ.. ඒකත් මේ ටිකට වාෂ්ප වුනා ද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු"
ගයාත්‍රි කොහොමත් කටකාරය. විහිළුවෙන් හෝ කොහොමින් කොහොම හරි යෙහෙළිය සතුටු කිරීමයි.

"නෑ.. මම එන්නෙම නෑ.. අනික ඔයාලට වටින්නේ නෑ එයාට එහෙම කියන්න. එයා මාව දාලා ගියේ මගේ මොකක්හරි වැරැද්දක් නිසා වෙන්න ඇති.. ඔයාලා පුදුම යාළුවෝ.. යාළුවෙලා ඉන්නකම් ඔය කතා බිංඳුවක් කිවුවද..? හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ.. පිස්සු කතා කිය කිය... මට නම් ඔයාලා ඇති වෙලා.."
රුවිනි එක හුස්මට කියාගෙන ගියා.. ලඟ පාත වතුර වීදුරුවක් තිබුනේ හොඳ වෙලාවට.. එක හුස්මට වතුර ටික බොන්න තරම් කතාව..

වටේ මිනිස්සු ගොඩයි.. ඒ අතරේ ගයාත්‍රිටයි චේතනාටයි හීන් දාඩිය දාන්න පටන් ගත්තා..

"මොකා ද බං රුවීට වැහිලා ඉන්න යකා.."
ගයාත්‍රි චේතනාට මුමුණන්නට විය.

"ඒක තමා බං මාත් බැලුවෙ මෙයාට අන්දකයිප්පු කැවිල ද දන්නෙ නෑ"

"කැවිලා නෙවේ මොට්සන්, කවලා... අර ගෝතයා යන්න කලින් අන්දකයිප්පු තොග පිටින් කව්වලා ගිහින් ද කොහෙද.."
චේතනා ඉවසීමේ සීමාවේ සිට රහසින් කියන්නට විය.

"ලැජ්ජාවේ පණ යනවා බං... වටේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලනවා.."ගයාත්‍රි වට පිට බලමින් කොඳුරන්නට විය.

"මොනවද මුමුණන්නේ.. අහ්? කියන දෙයක් දැන්වත් කට ඇරලා කියන්න.. මෙච්චර කල් හැමදේම රහසේ කිවුවේ කොන්ද පණ නැති නිසා නෙ.. දැනුත් එහෙමද..?.හරිනෙ ඉතින්..පණ තියෙන්න හරි කොන්දක් තියෙන්න එපැයි..". රුවිනි තාමත් තරහෙන් පුපුරනවා..

දැන් නම් ඉවසුවා හොඳටෝම ඇති කියලා චේතනාට හිතුනා..

"කොන්දේ පණ ගැනද ඔයා අපිට කතා කරන්නෙ අහ්?.. ගයාන් ඉස්සෙල්ලාම ඔයාට කැමති කියලා දැන ගත්තාමත් අපි ඔයාට මොනවද කිවුවේ... කිවුව කිසි දෙයක් තඹ සතේකට හිතට ගත්ත ද..? ඇස් දෙක අන්ඳ වෙලා වගේ ඔහේ හිටියා මිසක්. "

"එපා චේතනා.. එයාට දැන් ඕවා කිවුවට තේරෙන්නේ නෑ.. අපි  යමු"ගයාත්‍රි චේතනාගේ උරහිසට අත තියලා කිවුවා.

"නෑ.. එහෙම හරියන්නෙ නෑ.. මෙයා දැන ගන්න ඕනෙ ඔය වගේ කතාවකින් කොච්චර හිත් රිදෙන්න් පුළුවන්ද කියලා"චේතනා නොනැවතී කියන්නට විය.

"ගයාන් එක්ක යාළු වුනාම ඇයි එයා අපි දෙන්නත් එක්ක තරහ වුනේ.. ඔයාව අපෙන් ඈත් කර ගත්තේ... ඒ කිසි දෙයක් හරි විදිහට ඔයාට තේරුණා ද..? නෑ.. මොකුත් නෑ.. අන්තිමට ගයාන් ඔයා දාලා ගියා කියලා දැන ගත්ත දවසෙ අනික් ඔක්කොම යාළුවෝ.. උඹට හොඳ වැඩේ වුනේ කියද්දී.. අපේම එකියක් කොහොමද එහෙම දුකෙන් තියන්නේ කියලා ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම විසදලා දීලා.. හිත ටිකක් හරි හදන්න උත්සාහ කරන අපිට ... ඔයා ඔහොම කතා කරලා මදි රුවී... මේ මිනිස්සු ටික මදි නැද්ද? අපරාදේ.. නිදහස් චතුරස්‍රෙ ලඟට ගිහින් කෑ ගහලා කියන්න නේ තිබුනේ මෙහෙමත් කොන්ද පණ නැති යාළුවෝ කියලා... " තව එක මොහොතක්වත් එතන ඉන්න බෑ කියලා චේතනාටත් ගයාත්‍රිටත් හිතුනා.

            චේතනා ගයාත්‍රිත් එක්ක යන්න ගියා... ආයේ එක සැරයක් හැරිලා බලන්නවත් හිතෙන්නැති තරමට හිත් බිඳිලයි තිබුනේ..


            අද දවස ඇතුළත ඒ විදිහට මං ලඟ ඉතිරිවෙලා හිටිය අන්තිම හිත් දෙකත් යන්න ගියා.. මම මොනවා කියවනවද කියලා මටම හිතුනේ නෑ නේ...

            සඳලුතලයේ බිම පැදුරක් එලාගෙන ,ඒකෙ ඈඳිගෙන.. ඈත වෙල්යාය දිහා බලන් ඉන්න ගමන් රුවිනිට හිතුනා..
            මුකුත් පේන්නෙ නෑ.. කට්ට කරුවල... ඒත් ගොඩක් දේවල් ඇහෙනවා.. ඒ තුලින් හිතේ ගොඩක් දේවල් මැවෙනවා..

            මේ අමාවකද... නැත්තම් වලාකුලු වලින් හඳ වැහිලා ද... මට හිතා ගන්න බෑ..ම්ම්... නෑ..
අද අහස හරියට මගේ හිත වගේ... කාලෙකට කලින්... තරු ගොඩාක් වගේ යාළුවො ගොඩාක් මට හිටිය නිසා කළුවරක් තිබුනත් එච්චර දැනුනෙ නෑ පාළුවක්...

             ඊටත් පස්සේ කෙනෙක් මගෙ ජීවිතයට ආවා.. එන්න එපා කියලා හිත කියද්දීත් ඇවිත්... පුන් සඳක් වෙලා... තරුවල එළිය ඔක්කොටම හරියන්න ලොකු එළියක් දුන්නා... මට තරු ගැන අමතක වුනා.. නොදැනීම තරු එකින් එක කඩා වැටුනා.. මගේ හිත් අහසේ යස අගේට පායපු හඳක් තියෙද්දී කඩා වැටෙන තරු ගැන මම බිඳක් හිතුවෙ නෑ...

අද.. එක පාරටම ඒ හඳත් නෑ.. තරු එකක්වත් නෑ.. ඔය අහස තරම්ම හරිම පාළුයි මගේ හිතත්...

ඒ සිදුවීම හරියට මේ වගේ...
            ඔයා මගෙ ජීවිතේට හඳක් වුනාම... මම ඒ එළියට කොච්චර ආස ද ආදරේද කියලා දැනගෙන.... ඔයා යනකොට මගේ හිත් අහසට ඒ වෙනකොට ඉතිරි වෙලා තිබුන එකම සහ ලොකුම එළිය අරන්ම ඔයා ගියා වගේ..

"මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්"

සුසුමක්.. කඳුලක් එක්ක නොදැනීම නින්ද ආවා රුවිනි හොයාගෙන... ඒ දවස නිම වුනා එහෙම..

            උදේම නොවුනත් හිමිදිරියේ සිතල දැනෙන තරම් පාන්දර ඇඳටම වෙලා... කවුළුවෙන් එළිය බලාගෙන... රුවිනි... හිතනවා අයෙත්... 
කවුළුවට පිටින් තියෙන්නෙ ලස්සන මගෙ රෝස පඳුර... හොඳට හැදිලා... ලස්සනට මල් පිපිලා තිබුනා මෙච්චර කල්... අද නම්... තියෙන්නෙ එක මලයි... ඒකෙත් පෙති ගැලවි ගැලවි වැටෙනවා..

කාලෙකට කලින් මේ වගේම උදයක... ඔය පඳුරෙම කවුළුවට පේන තරම් ලඟ අත්තක... පුංචි පොහොට්ටුවක් තිබුනා .. ඒ පොහොට්ටුව ටික ටික මලක් වෙනකම් මම බලන් හිටියේ හරි ආසාවෙන්..ඔයාට දෙන්න... අර නවකතාවල වගේ...
හ්ම්...... ඒත්..
ඒ පොහොට්ටුව මලක් වෙන්න කලින්ම... ඔයා .... වෙනස් වුනා... 
            දැන් නම් මට පේන්නෙ මලත් ආගිය අතක් නෑ... පරවෙලා වැටුන ද.. නැත්තම්.. අකාලේ කවුරුහරි කඩලා දැම්මද.. කියලා වත් මට හොයන්න හිතුනෙ නෑ..ඊට වඩා හිතන්න දෙයක් මට ඒ වෙනකොට තිබුනා..

බලන්න.. ඒ සිදුවීමත් හරියට... අනේ මංදා.. ඔක්කොම එකට සම්බන්ධයි...

             මම හැම උදෙම කවුළුවෙන් එළිය බැලුවෙ අළුත් බලාපොරොත්තුවක් එක්ක.. මේ මල අද පිපෙයි.. අද පිපෙයි... ඒ තරම්.. ආසාවෙන්.. අන්තිමට .. ඔයා යනකොට.. ඔයත් ගිහින් කියලා හැඟෙනකොට.. ඒ මලත් නෑ.. මට බලන්න...

"මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්"

පාළුවක් නැති වෙලාවට.. ඉන්නකොට හැමෝම.. ගොඩාක් අය හිටියා මා වටේට..
අද ලොකු පාළුවක් දැනෙනකොට කවුරුවත්ම නෑ.. පාළු මකන්න...

යාළුවොන්ට මොකක් කිවුවත්.. ඇත්තටම ඔයා ගියේ කාගෙ වරදින්ද..?

"ඔයා හරිම ඇනට් එකක් වුනානේ.."

"ගයාන්.. ඇයි ඔයා ඔහොම කියන්නෙ?"

"අපරාදේ යාළු වුනේ කියලා හිතෙනවා දැන් නං.."

"මම අහපු දේට උත්තරේ ඕක නෙවේනෙ නේද?.."
හිත ටික ටික රිදෙන්න පටන් ගත්තත්.. මම ඇහුවා.

"බලන්ඩ.. යාළුවෙලා නැති කොල්ලො.. කොච්චර ජොලියේ ඉන්නවද කියලා... ඔයා නිකම් ගම් ගාලා ඇලෙව්වා වගේ මගේ ලඟමයි,,,"

"හි.. ඉතින් ඔයා කිවුවානම් මම ඈතට වෙලා ඉන්නවනේ.."

"ඔව් .. ඒත් ඇස් දෙක ඈතට කරං ඉන්නෙ නෑනේ.."

"පුදුම වැඩක් නේ.. ඔයා ගැන එහෙම අයිතියක්වත් මට නැද්ද..?මම ඔයාට කවදාවත් කියලා තියනවද .. අරයත් එක්ක කතා කරන්න එපා.. මෙයත් එක්ක කතා කරන්න එපා කියලා..?"

"ඒත්.. අපෙ යාළුවෝ කියනවා.. මම මහ මෝඩ වැඩක්ලු කර ගත්තේ.."

"ඉතින් ඕක මගෙ යාළුවොත් කියනවනේ..".. 

"විහිළු නෙවේ රුවිනි.."

"රුවිනි..?... ... මගෙ යාළුවෙක්වත් මට රුවිනි කියන්නෙ නෑ..ඔයාට අද මොකද වෙලා තියෙන්නෙ?"

"අදයි මට මොලේ පෑදුනේ.. ඒකයි වෙලා තියෙන්නෙ.. අපේ යාළුවෝ කියනවා ඔයා ඉස්සර වගේ ලස්සන නෑලු.. මම අපරාද වැඩක්ලු කලේ.."

"ඔයා මට කවදාවත් ඔහොම කතා කරලා නෑ ගයාන්.. ඔයාගෙ ආදරේ........................
මට තේරුම් ගන්න පුලුවන් දැන්.. "
මම හිතේ ඇතිවුන පුදුමාකාර පිලිකුලත් හංඟගෙනම කිවුවා මට මතකයි..

              එච්චර දේවල් වෙලත් මම හිතපු විදිහ.. ඔයා අමතක කරන්න බැරි විදිහ... ගයා කිවුවා හරි... මගේ තිබුන මොල බාගෙත් වාෂප වෙලා වගේ...

"නොඉඳුල් තොල්පෙති අතරින්
        උඳුරාගෙන සිනාව        
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව"


             මම තවත් ඔයාගේ පැත්තට කතා කරන්න කිසිම සාධාරණ හේතුවක් නෑ.ඇත්තම කිවුවොත් මට ඔයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්... ජීවිතේ ගැන සරලව හිතපු ,යාළුවෝ එක්ක හොඳ ගාණට පිස්සු වැඩ කරපු , හැම වෙලේම හිනා වෙලා හිටපු මට....... ඔයා ගෙනත් දුන්නෙ මොනවද..?.... ඒ හැමදේකම විරුද්ධ පැත්ත... එච්චරයි.

              ඇඬෙන්නෙ, කල් යනකොට... ඔයා එක්ක තියෙන තරහා නිවෙනකොට.. අපේ ලස්සන මතක මතක් වෙනකොට.. අන්තිමට මගේම මෝඩකම ගැන මම පසුතැවෙනකොට..
මම ආදරේ ගැන දැනන් හිටියේ නෑ.. ආදරේ කරන්න ඉගෙන ගත්තෙ ඔයාට ආදරේ කරලා.. ඒත් මට දැන් නම් හිතෙන්නෙ... ඔයාට ආදරය කරන්න කෙසේ වෙතත් හදවතක්වත් තිබිලා නෑ කියන එකයි.
(ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් - එහි මහරුත නුඹ තව වටහාගෙන නෑ)

              මට trip එකක් යන්න හිත හදාගන්න බෑ.. යාළුවෝ එක්ක විනෝද වෙන්න හිත හදාගන්න බෑ.. නිදහස්ම නිදහස් ලෝකෙක හිරකාරියක් මම ම හදා ගත්ත හිර ගෙදරක..

              අහස දිහා බැලුවත් මට වේදනාව... ගහක් මලක් දිහා බැලුවත් මට වේදනාව.. විදින්න කියලා ආදරෙන් ලං කරන් හිටිය මගේ ජීවිතේ.. විදවන්න ඕනෙ කඳුලු ගොඩක් කියලා පසක් කරලාම ගිහින් වගේ..ඔයා ඈති ඈතටම..

"එක්ටැම්ගෙයි සිරගතකර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව"



                ආදරයට නිර්වචන අනන්තයි.. මම නම් දකින්නේ රුවිනි හරි මෝඩයි.සමාජෙට පෙනෙන්නේ එහෙමයි.. එච්චර වාත කොල්ලෙක් ගැන තාම හිත හිත ඉන්න මෝඩ කෙල්ලක්.. ඒත් ගීතය පුරාවට ඇයත් හිතනවා අතීතය වලලන්න.. ඒත් ඒ දේ හිතන තරම් ලේසි නෑ.. අමතක කරන්න කියන්න ලේසි.. ඒත් කරන්න අමාරුයි.
                මම එහෙම කිවුවෙ මගේ දැක්මට අනූවයි.ආදරය කියන්නේ කිසිම තත්වයකට(condition)  යන නොවී කල යුතු දෙයක්ලු.ඒත් ශ්‍රී ලංකාව වගේ රටක ඒ දේට තත්ව එනවලු.. සංස්කෘතියත් එක්ක.. උගත්කම හා තවත් බොහෝ දේවල්. ඒක වැරදී ලු.ආදරය විවාහයෙන් කෙලවර හෝ ආරම්භ විය යුතු නැතිලු.ආදරයේ අදිරය කීපයක් තියනවලු..
1.දැකීම
2.කතාබස් කිරීම
3.මුණගැසීම
4.ස්පර්ශය
5.ආදරය කිරීම.

            අපි ගොඩාක් දෙනා ඉන්නේ fall in love කියන අදියරකලු.. ඒ අවස්ථාවේ ආදරයක් නෑලු.. කීප දෙනෙක් වෙනුවෙන් ඇතිවන හැඟීමක්ලු.ගොඩක් අය ඒ ආදරේ කියලා වරද්දගෙන ඉදිරියට යනවලු..
(ලු.. කිවුවෙ මේ දේවල් මගේ අදහස් නොවන නිසා)

            මම නම් හිතන්නේ ඔය ඔක්කොම සුද්දගෙ කතා.. මම දකින්නෙ ආදරය කරන්න ඔච්චර අදියර ගානක යන්න බෑ.. අනික ඔය අදියර හැමෝටම ගැලපෙන්නෙ නෑ.. ආදරය කියන්නේ හැඟීමක්.. ඒ ගැන එක එක්කෙනා කොහොමද කියන්නේ..?

            fall in love අය ඇත්තටම මට මුණගැහිලා නෑ.. ඒ කියන්නෙ එක සැරේ කොල්ලො කීප දෙනෙක් එක්ක හෝ කෙල්ලෝ කීපදෙනෙක් එක්ක යාළුවෙලා ඉදලා නෑ.ඒ නිසා ඔය අදහස වැරදී.අනික මම පත්තරේක කියෙව්වා එක සැරේ කීප දෙනෙක් එක්ක යාළුවෙන එක පහත් පරිණාමික ලක්ෂණයක්ලු.ඉස්සර එක ගේ කෑවට දැන් ඊට වඩා පරිණාමිකව දියුණුයි. මගේ ආකල්පය ඒකයි.

           අනික.. අපි හැඟීම් වලට වහල් වෙන්න බෑ.ආදරය ඕනෙම වෙලාවක ඇතිවුනා කියලා ... නවකතා වල චරිත වගේ හැසිරෙන්න බෑ.බොහෝ ලේඛකයෝ හැමදේම සාධාරණීකරණය කරනවා.අනියම් සම්බන්ධ සාධාරණයි.. එ වෙලාවට බිරිඳ හෝ සැමියා හරිම් වැරදි.. නැත්තම් නෝන්ජල්.මොනවද මේ කියන්නේ..?
එක එක්කෙනා බලන රාමු විතරයි..ඒවා කාවද්දන්න උත්සාහ කරනවා.

           මේ ගීතය ගැන කිවුවොත් පෙම්වතියක් හැර ගිය පෙම්වතා ගැන ටිකක් කළුපාටට බලන පද පෙලක්.. මම හිතන්නේ එහෙම ගීතයක් ගැන මම ලියන පලමු අවස්ථාව.සමහර විට පෙම්වතා වැරදි නැතුව ඇති.. මොකක්හරි නොගැලපීමක් තියෙන්න ඇති.. ඒ දේ පිලිගන්න තරම් පෙම්වතියගේ හිත දියුණු නෑ.

            පොරොන්දම් ගැලපීමේ කිසිම තේරුමක් නෑ කියලා කවුරුහරි කියයි. ඒත් ජීව විද්‍යාවේ කියන විදිහට රුධිරයේ යම් සාධකයක් තියනවා රිසස් කියලා.. ඒ සාධකය නොගැලපෙන දෙන්නෙක් විවාහා වුනොත් දෙවනි දරුපිලිසිඳ ගැනීම බොහෝ විට ගබ්සා වෙනවා. ප්‍රවේණි විද්‍යාවේ එන තවත් ගොඩාක් දේවල් තියනවා විවාහයේදී දරුවන්ට බලපාන.ඒත් මට නම් හිතෙන්නෙ පොරොන්දම් ගැලපීමේදී ඔය හැමදෙයක්ම හරියන විදිහට කරුණු යෙදෙනවා ඇති.ලෝකෙ ඇත්ත කියලා තියෙන්න පුළුවන් එක දෙයයි. දෙකක් නෑනේ.

             අපේ ජීවවිද්‍යාව උගන්වපු සර් නම් කිවුවෙ.. විවාහ වෙනකොට "මෙන්න මගේ පෙලවැල සටහන කෝ ඔයාගෙ පෙළවැල සටහන?" කියලා අහන්න කියලයි.ඒ ගැන විස්තර පසුව කියන්නම්කෝ.. දැනගෙන ඉන්න එක හැමෝටම හොඳයිනෙ නේද?

              තමන් කරන්න යන දේ හරි නම් හදවතින්ම ඒ දේ කරන්න.මම හිතන්නේ හැඟීම් මත්තේම නැහෙන්නෙ නැතිව ටිකක් බුද්ධියට ඉඩදීලා බැලුවොත් අපූරුයි!
          
(මේ ගීතය ගැන හිතන්න කියලා කිවුවේ බ්ලොග් නිවහනේ චතුර නිලංග අයියා... මම මීට කලින් මේ ගීතය අහලා තිබුනෙ නෑ.ඉතින් මේ ගිතය මට දෙන්න ගොඩාක් මහන්සි වුන බ්ලොග් නිවහනේ තුසිත නුවන් සොයුරාටත් දෙන්නාටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.. ලස්සන ගීතයකට මගේ හිත යොමු කලාට..
බොහෝම ස්තූතියි හොඳේ..?
ඊයෙ ගොඩාක් රෑ වෙනකම්ම මම මේ ගීතය ඇහුවා.. මට හොඳට දැනෙනකම්.. සඳුදා පන්තියේදී සර් කියපු කතා ටිකත් මෙතනටම ඈඳන්න ඕනෙ කියලා හිතුනා.. ලියන්න ගොඩාක් තියනවා. ඒත් එතකොට කියන්න යන දේ පිට පනිනවා.. )

(කතාවක් වගේ ලිවුවත් මෙහි එන බොහෝ සිද්ධීන් සැබෑවටම මා අවට සමාජයේ ඇසූ දුටු සිද්ධි බව සළකන්න...)

Monday, November 22, 2010

නිදහසේ ලියන්න.. ආසා නැද්ද මමත්...?


                                මම කවදාහරි මේ බ්ලොග් පිටුව අයින් කරනවා.. ඊට පස්සේ අළුත් නමකින් අළුත් පිටුවකින්.. ආයෙත් එනවා.. මොකද කිවුවොත්.. කියන්න හිතෙන හැමදේම ලියන්න මට මෙතන බෑ..
                                 දැන්.. ගොඩාක් අය දන්නවා මගේ ඇත්ත නම, ගම,.... ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් මේ පිටුව පවුලේ අයත් කියවනවා.. ඒක මට බරපතල ප්‍රශ්නයක්..!

                                 මම විශ්වාස කරන දේ තමයි "සත්‍ය.. ප්‍රබන්ධයට වඩා ගොඩාක් ලස්සනයි" කියන දේ.. ඒත් ඒ ලස්සන ඇත්ත ලියන්න කලින් මට දෙසැරයක් හිතන්න වෙලා.. අන්තිමට අකමැත්තෙන් වුනත් ප්‍රබන්ධයක් ලියන්න හිත යොමු වෙනවා.. වලක්වන්න අමාරුයි දැන්..

                                 පුංචිම කාලේ දින පොතක් ලිවුවේ අප්පච්චි කියපු නිසා.. ඒත් ඉංග්‍රීසියෙන්.. දැනුම වැඩි වෙන්න.. එකම දේ හැමදාම..

  "Today I got up early in the morning.. 
   I brushed my teeth & washed my face...." හැමදාම එකම චක්කරේ...

                                 ඊට පස්සේ  දිනපොතක් ලිවුවා.. 2006දී.. ඒක අපේ ගෙදර හැමෝම වැඩිම වාර ගණනක් කියවලා තිබුන පොත වුනා අන්තිමට..දුක තමයි.. මම නැති අතරේ හැමෝම ඒ පොත කියෙව්වා.. මම එක එක්කෙනාට බැන්න දේවල්.. අනං මනං ගොඩයි.. හොඳ වෙලාවට මම ඒ කාලෙත් දැනං හිටියා ඒ පොත පොදු දේපලක් වෙන බව.. ඒ නිසා ටිකක් පරිස්සමෙන් ලිවුවේ..
                                මම ලිපියක් ලිවුවා.. අන්තිමට ඒක ගෙදර අයගෙන් අඩුම වාර ගණනක් කියවලා තිබුන කෙනා වුනේ මම..
 
                                අන්තිමට බ්ලොග් ලියන්න පටන් ගත්තා.. තාමත්.. ලියන්න නිදහසේ.. නිදහස නෑ මට.....!

                               එක සැරේකුත් අයියට පණිවිඩේ ලැබිලා තිබුනා.. මම ලිවුව ලිපියක් ගැන..  ඒ නම් කවුරුහරි කේලම්කාරයෙක් කියලා..
දෙවනි සැරේත් ආයෙත් කියවලා.. ඇත්තමයි පුදුම හිසරදයක්.. .. මට ඕනෙ දේ ලියන්න මට නිදහස නෑ..
මම මෙච්චර කල් ඇරලා ලියන්නෙත් ලියන්න දේවල් නැති නිසා නෙවේ.. ඒත් ලියන්න කලින් ටිකක් හිතන්න ඕනෙ නිසා..
හරිම වදයක්.. හිතට බොරු කර කර බ්ලොග් ලියන එක.. අනික මේ දවස් වල හිතේ පීඩනය වැඩි.. ඔළුවත් රිදෙනවා.. ඒ පීඩනය අඩු කරගන්න බෑ.. ඒක පුදුම කරුමයක්..

                              ලෝකෙ දකින ලස්සන ලියන්න බෑ.. ඒ විදිහටම.. වටේ ගොඩාක් ඇස් තියනවා.. කොහොමද හරි හරියට ලියන්නේ..?....
මගේ හිතෙ දැනුත් ගොඩාක් වචන තියනවා.. එන්න දෙන්න බෑ.. අන්තිමට ඕවා අල්ලගෙන කියවනකොට ලැජ්ජාවේ මැරෙන්න හිතෙනවා.. ආයෙ බ්ලොග් නොලියාම ඉන්න හිතෙනවා.. 
                             ඒත් බ්ලොග් කියන්නේ ගොඩාක් ලස්සන තැනක්.. මෙතනට ආවම මොකක්හරි ලියන්නමයි හිතෙන්නේ.. බ්ලොග් ලියන අනික් යාළුවොන්ට මට වගේ බාධක කම්කටොළු නැතිව ඇති මම හිතන්නේ.. එහෙමනම් ඔයාලා හරිම වාසනාවන්තයි..

                            හිතට එකඟ නැතිව ලියන කිසිදෙයකින් මට තෘප්තියක් නෑ.. ඉතින් මට "මම ලියන දේවල් අපේ ගෙදර අය දැන ගන්නවා" කියන දේ අමතක වෙනකන් මට ලියන්න අමාරුයි.. හිතට කපොල්ලක් set කරලා තියෙන්නෙ.
                           දැනට මම ලිවුව එක ලිපියක් ඒ "අනික් අය කියවයි" කියන බය නිසා ඉවත් කලා.. මම අදත් දුක් එනවා ඒ ලිපිය ඉවත් කිරීම ගැන.. ඒත් එක තිබුනා නම්,,, (සමහර විට ඒ ලිපියත් කියවලා ඇති)... මම ආයෙ බ්ලොග් ලියන්නෙ නැති වෙන්නම upset වෙලා හිඳී..

මම හරිම ආසයි නිදහසේ ලියන්න.. ඒත් ඒකට මට ඉඩක් නෑ.. 

              Trust me.. I want to write more...

Wednesday, November 17, 2010

රිදවන දසුන නුඹ වුව මඟ බලමි තව..


සනසන නුඹ නුවන් දුටු කාලයක් විය
හුඟ කලකින්ම ඒ නෙතු නොදුටුවා වුව
සිහිනෙන් නොවේ දකිනෙමි නුඹ දිවා රැය
රිදවන දසුන නුඹ වුව මඟ බලමි තව..

සකි මා නිතින් කියනා බස් වහ කඳුරු
නුඹ මා සිතින් බිඳ බිඳ ඉවතලන රිසින්
මා සිත බිඳෙයි යලි සැකසෙයි එබස් විසින්...
මා සිත මටම දැන් අවනත නැත එලෙසින්

ඔවුන් මගේ සිත සතපා ස්නේහයෙන්
අළුත් පැතුම් ගෙනඑයි සුමියුරු වදනින්
නින්දෙන් පියවි සිහියට එලැඹෙන විගසින්
නුඹ ගැන මතක පියඹා පැමිනෙයි රහසින්

නුඹ නැති ලොවක් දකිනට දැන් පතමි මම
නමුදු නුඹෙන් එයටද සහයක් නොදකිම්
කියන් "මිතුර" විසඳුම දන්නේ නුඹ නම්
එය මා රිඳෙව්වා වුව එමතින් සැනසෙම්..


Now I want to stop loving u.. and want to like u most.. but I'm too late now

Saturday, November 13, 2010

මොකකින් මොකක් වුනත්..

                             උදේම නැඟිටලා බැලුවම ලස්සන දවසක් නෙත ගැටුනා.ඇහැරුනේ ගොඩක් පරක්කු වෙලා.. නැත්තම් දවස ටිකටික ලස්සන වෙන විදිහත් දකින්න තිබුණා.. එහෙනම් මට තේරෙයි මේ ලස්සන ලබන්න කොච්චර වෙලා යන්න ඇද්ද.. කොච්චර ඉවසන්න වෙන්න ඇද්ද කියලා..

                              ඇති වෙන්න වැහැලා.. මුලු පලාතම පාළු කරලා.. එක පාරටම ලස්සන දවසක් උදා වෙලා.. ඒ කියන්නේ  මේ ලස්සන දවසට පස්සේ ආයිත් එන අඳුරු දවස විද ගන්නත් හිත ලෑස්ති කර ගත යුතුයි..

                              මීට අවුරුද්දකට විතර කලිනුත් ලස්සන දවසක් උදා වුනා.. මම ඒ දවසේ උදේ ඇඳෙන් නැඟිට්ටේ නෑ.. ඇස් තද කරගෙන හිටියා.. අනේ අළුත් දව්සක් එන්න එපා... මේ හීනයක්ම වෙන්න කියලා හිතුවා.. ඒත් ඉතින් ඇත්තනම් ඒ දවස උදා වෙලා..හරිම ප්‍රබෝධමත් ලස්සන දවසක්.

                              අයියා හිටියේ කොම්පියුටරේ ලඟ ... මම ඉතින් ඒ කාලේ විනෝදෙටවත් මේ පැත්තේ ආවේ නෑ. අයියා දුන්නේ limited time එකක්නේ.. ඒකයි..!!
මම පුළුවන් තරම් සාමාන්‍ය වෙන්න බැලුවා.. පත්තරයක් බලන්න හිතුනා... මොනවාහරි කරලා ඒ දේඅමතක කරන්න.... කොහොමටවත් බැරි වුණා.... 

                              මගේ පරණ phone කට්ට... හෝ ගාලා කෑ ගැහුවා.. "sms එකකට ඔච්චර කෑ ගහන්න ඕනෙද ?" මම හිතුවා... මෙන්න පණිවිඩේ..
  
"Pry.., ඔන්න results out කරලා.. මට CCS.. "ප්‍රතී... 
දැන් ඉතින් හිතේ බය හංඟන්න ඕනේ වුනෙ නෑ.. 

"අයියා..." මට දැන් ඇඬෙන්න වගේ... මේ තත්පර කීපයවත් සතුටින් ඉන්න ඕනේ නිසා.. මම තාමත් බොහෝම සාමාන්‍යයි..

"මොකෝ.. out කරලද..?" අයියා ඉතින් ප්‍රශ්නයක් අහන්නත් නැති නිසා ඇහුවා...

"හ්ම්..."

දැන් අයියා අන්තර්ජාලෙන් හොයනවා මේ ජංජාලේ ගැන..
 එයා මුලින්ම බැලුවා.. ඊට පස්සේ මම... 

BCC....................... distric rank 85..........

                              මම ඇඬුවේ නෑ... මොකද මගේ හිත බලාපොරොත්තුවෙන් හිටියා දෙවනි සැරයක් ගැන.. මම අයියා ගැන සතුටු වුනා.. ගොඩක් සතුටු වුනා එදා අපි හැමෝම.. ආරංචිය ආවේ 7ක් merit කියලා...
අපි හිතුවා අයියා med Faculty යයිම කියලා... 

                              අම්මා ගෙදර ආවා.. මගේ යාලූවෝ ගැන කියද්දී... ඔන්න එතකොට තමා මට දුක දැනෙන්න පටන් ගත්තේ හරියට...

                              දින සති ගෙවී ගෙන ගියා.. අම්මා හැමවෙලේම යම් යම් දේ කිවුවත්.. අප්පච්චී කිවුවේම නෑ.. හැමදේම දරාගෙන හිටියා..

                              මම 2සැරයක් කරන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලේ පලවෙනි සැරේ වින්ද දුක විදින්න අකමැති නිසා..
                              chem පන්තිය මතක් වෙනකොටත් හීන් දාඩිය දැම්මා.. උදේ 3.30ට නැඟිටලා මාතලෙන් 4.15 බස් එකේ නැඟලා 5.00 ඉඳන් 5.30 වෙනකං card පෝලිමේ ඉදලා සීතලේ .. උදේම paper ලියලා.. දවල් වෙනකොට වහලේ රත්වෙනකොට 3000ක් විතර ඉන්න පන්තියේ අපිරිමිත සැප විඳලා.. රෝස් කරන්න දාපු කුකුල් පැටවු වගේ හෙම්බත් වෙලා.. 1.30ට පන්ති ඇරිලා... අනුරාධපුර බස් එකක නැඟ්ඟහම..  අල්ලගන්න ඕනේ නෑ.. සැමන් pack කරා වගේ තමයි ඉතින්.. මාතලේ ටවුන් එකෙන් බහිද්දී.. කොණ්ඩෙ ස්ථිති විද්ය්‍යුතයෙන් ආරෝපණය වෙලා වගේ... වංගු ගොඩක් තියන පාරේ බස් එක ආපු විදිහට.. බැස්සට පස්සෙත් ටිකක් වෙලා කැරකෙනවා වගේ මුලු ලෝකෙම..

ඒ කට්ට මතක් වුනාම ... මම පැතුවෙම.. මැරෙන එක හොඳයි  2සැරයක් නැතුව කියල..

                                මට ආයෙත් ඒ පන්තියටම යන්න වුනා.. තවත් මම යන්න බෑම කිවුව පන්තියකට අඬ අඬා යන්න වුනා.. ඒත් පාඩුවක් වුනෙ නෑ.. ගොඩක් දේවල්.. පලමුවතාව වගේ නෙවේ හොඳින් තේරුණා...
ඒත් හැමදාම හිටියේ හිතේ කිසිම සතුටකින් නෙවේ... දවසට එක සිද්ධියක් හරි වුනා.. මට ලෝකෙම එපා වෙන්න..
                                එක්කෝ යාළුවෝ ගැන අම්මා මොනවාහරි කියයි.. නැත්තම්.. මට නින්ද ගියොත්... එදාට ඉදලා ඉවරයි.. කොහොම කිවුවත් මගේ අම්මලා හරිම පව්.. මම වගේ දුවක් ලබන්න..එච්චරයි..

                                අවුරුද්දක් ගතවුනා... අදත් හරි ලස්සන දවසක්.. අද හවස අම්මලත් එක්ක ගමනක් යන්නයි ඉන්නේ.. ඒත්............ හිත හරි බයෙන්.. ගොඩාක් සතුටින් ඉන්න එපාලු.. ගොඩාක් දුක් වෙන්න වෙයිලු..
අද හෝ හෙට.. ලඟදීම.. ආයෙත් results එනවා... 
ඒදවස කළුවර වෙයිද නැත්තම් ලස්සන වෙයිද මම දන්නෙ නෑ.. හිත හරිම වියවුල්... ඒත් මගෙ හිත මෙහෙමත් කියනවා..

"plan කරන් සතුටින් ඉන්න ජීවිතෙ ඔයාට කවදාවත් ඉඩ දෙන්නෙ නෑ.. දුකක අවදානමත් එක්ක ඔයා ලඟට ජීවිතේ විදින්න අවස්ථාවල් ලැබෙයි.. දුකක් අතලඟ කියලා ඒ අවස්ථාවත් මඟ ඇරගෙන ජීවිතේ විදවනවාට වඩා.. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත්....  එදාට තමයි කියන්න පුළුවන් ඔයා ජීවිතේ විදවන්නේ නැතුව වින්දා කියලා  ..."

නැව ගිලුනත් බෑන්ඩ් චූන්..
තව ගිලුනොත් තවත් චූන්...

Wednesday, November 10, 2010

ඉරණමට හිස නමා..

"අනේ මම දන්නෑ අර සක්කරවට්ටම... අපේ පුතාව අල්ලගත්තේ කොහොමද කියලා... දන්න මායම් ඔක්කොම දාන්න ඇති... "

"ඇයි කමලා ඔයා ඕකට ඔච්චර කලබල වෙන්නේ.. ඒක කොහොමටවත් වෙන්න අපි  ඉඩ දෙන්නෙ නෑනේ... අනික පුතා අපේ වචනෙකට පිට යන්නෙ නෑ.. එක අතකට කෙලින්ම ඇවිත් අපි එක්ක මේ ගැන කතා කරපු එක හොඳයි.."

"ඔයා නම් කියයි විමලෙ... ඉලංදාරි වයසට කරන දේවල්.... මේ කාලේ ඉන්න කොල්ලෝ හරිම හිතුවක්කාරයි. ඔය කෙල්ල එක්ක අපේ කොලුවා ගියොත් මොනවා... කරන්නද..? ගමේ උන් මොනවා නොකියයිද..? "

අනිකුන්ගේ කතාවලට හොරෙන් ඇහුම්කන් දීම නොහොබිනා මුත්.. සුජිත්ට ඒ කතාව අසා නොසිටීමට නොහැකි විය.චමත්කාට දෙමවුපියෝ මෙතරම් අකමැති එකම එක හේතුවකටය.. එයද ඇගේ වරදක් නොවේ.. ඇය එසේ වී ඉපදිමේ වරදයි.අනික් අතට ඔහුට දෙමවුපියන්ට පිටුපාන්නට නොහැක. මේ තාක් ජීවීතේ ඔවුන් තමන් වෙනුවෙන් කොතරම් වේදනා උහුලන්නට ඇද්ද.. 

තිරණයක් ගැන සිතිමට පවා නොහැකි මෙවන් මොහොතක ඔහුගේ එකම පිහිට තරිඳුය.

"හෙලෝ.. මචං තරිඳු... මට උඹව මුණගැහෙන්න ඕනේ.. ප්‍රශ්නයක් මචං... "

"හ්ම්.... අහ්! හිටපං.. මම එන්නං.."

"එපා බං... ඒ දේවල් මෙහෙදී කතා කරන්න බෑ... මම උඹේ දිහා එන්නං.... "

"හරි මචං එහෙනම් වරෙං"

සුජිත් අම්පිටිය ප්‍රදේශයේ වංශවත් පවුලක වැඩිමහල් පිරිමි දරුවාය.ඔහු ඒ ගමේම යුවතියක් වන චමත්කා සමඟ ආදර සම්බන්ධයක් අරඹා දැනට අවුරුදු 2ක් පමණ වේ.. චමත්කා උගත් , ගුණයහපත් තරුණියකි.. නමුත් කුලමල බේද මඟින් වර්ගීකරණය කර ඇති එක් කුලයකට අයත් කෙනෙකි... ඒ කුලය සුජිත්ගේ කුලය හා යාකල නොහැකි යැයි සමාජය සම්මත කල එකකි...

                                         "සුනිල්වන් නුවන්යුග වසා උතුර උතුරා
                                    ගැලූ කඳුළු ගංඟාවෙ රැයදැන්හිඳීලා
                                              ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
                                           වැදූ මවුනි පිය තුමනි කරුණාව පාලා..."

"උඹ ඕක කෙලින්ම තවත් අම්මලා එක්ක කතාකරපම් බං.. උඹට රැවුලත් ඕනේ.. කැඳත් ඕනේ.... ඒකයි අවුල.."

"ඒකත් හරි තමා..." 
සුජිත් අවසානයේ මේගැන දෙමවුපියෝ සමඟ කතා කරන්නට සිතුවේය.. 

සුභදායක පැත්තට සියුම් බලාපොරොත්තුවක් ඔහුගේ සිත තුල විය..
ඒත් කතාව පටන් ගැනීමට විදිහක් ඔහුට නොතෙරේ..

"අම්මේ..."

"ම්ම්..... මොකද පුතා හොර ගල් අහුලන්නේ..."
"
නෑ.. මේ..... මේ.... මට කාරණාවක් ගැන ටිකක් කතා කරන්න ඕනේ..."

"ඉතිං කියන්න පුතා...."
කමලා මහත්මිය කරමින් සිටි වැඩේ මොහොතකට නවතා සිය අවධානය පුතා වෙත යොමු කලාය..

"හ්ම්... දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.."සුජිත් සිතන්නට විය..

"ඒත් පුතා... ඔයා ඔය කතා කරන්න යන්නේ අර මායාකරි ගැන නම්.... මේ කතාව නවත්තමු.."

අයෙත් ඇඟෙ ලේ වතුර වේගෙන යන බවක් සුජිත්ට දැනෙන්නට විය.

"ඇයි අම්මා ඔහොම කතා කරන්නේ... මේ හණමිටි අදහස් කවදද අත අරින්නේ.. මෙච්චර කල් මම අම්මලා කියන් කියන හැමදේටම එකඟ වුණා .. ඇයි අම්මලාට බැරි මේ මම කියන දේට එකඟ වෙන්න.."

"මේ.. පුතා.."
කමලා මේ කතාවට කොහොමත් අකමැතිය..

"ටිකක් ඉන්න අම්මේ.. අද මට කතා කරන්න දෙන්න..
මට ගැලපෙන කෙනා තේරෙන්නේ අම්මලාට නෙවේ මට.. මම බඳින කෙනා කවදාහරි ජීවත් වෙන්න ඕනෙ අම්මලත් එක්ක නෙවේ මාත් එක්ක.. දේපල ,ඉඩකඩම් , යාන වාහන අස්ථීරයි... අනික ඕවා බඳිනකොටම තියෙන්න ඕනෙ නෑ... අපේ මහන්සියෙන් හම්බකරගන්න ඕනේ දේවල්... "

"පුතා.. අපි ඒවා ගැන කිවුවද..? අපි දුප්පත් පොහොසත් කම් බැලුවද..? අහ්..? කියන්න බලන්න.... අපි දන්නවා ඒ දැරිවි හරි උත්සාහවන්තයි, දක්ෂයි ,ඒ අයටත් යමක් කමක් තියනවා... ප්‍රශ්නේ ඒක නෙවේ.."

"ඔව් අම්මා ප්‍රශ්නේ ඒක නෙවේ... කොහෙටවත් නැති දෙයක්... ඉපදෙනකොටම අරන් එන දේවල් වලින් කොහොමද කෙනෙක් මනින්නේ... කොහොමද ... මට කියන්න.."

"මෝඩ විදිහට කතාකරන්න එපා පුතා.. ඔහොම කෙනෙක් බැන්ඳම ප්‍රශ්නේ එයාට නෙවේ..ඔයාට.. මඟුලකට මුත්තෙට්ටුවකට නෑදෑයෝ එකතු වුණාම.. හිත රිදෙන කතා කියවෙන්න පුළුවන්... කොන් වෙන්න පුලුවන්.. ඒක සාමාන්‍යෙන් වෙන දෙයක්... ඒ අහිංසක කෙල්ලටත් පව්.... අපි වුනත් අය පවුලට වද්දගන්නේ නෑ.. ඒකයි ඇත්ත.. ඔය පහත් මිනිස්සුගේ ගති පැවතුම් වුණත් පහත්... කරන්නෙම පහත් වැඩ.."

"මොනවද අම්මා මේ කියවන්නේ... උසස් කුලවල මිනිස්සු... කරන තරමක් කරන්නෙත් පහත් වැඩ තමා... මුළු ජාතියක් පාවලා දුන්නේ ඔය අහිංසක මිනිස්සු නෙවෙ... මහ උසස් රදළ කුලේ ඇහැලෙපොල... "

"පුතා ඔයා ඔය මොනවා කිවුවත්.. ඔයා දැන් කිසිම දෙයක් ඉදිරිය පෙනෙන්නැති තත්වෙක ඉන්නේ.... කෝක කිව්වත් ඔච්චරයි... ඔයාට මේ දේවල් තේරෙන දවසකුත් එයි..

"ඒත් අම්මා.....!"

                                            "මට මේක දඟගෙයකි දෙන වේදනාවන්
                                      සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
                                              සැනසී සිටින්නෙම්ද ඇඟෙ දුක දරා දැන්
                                                සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.."

"අම්මා... මම පොඩි ළමයෙක් නෙවේ.. මට ජීවිතේ ගැන තේරෙනවා... මට ලෝකෙ මිනිස්සු කියන දේවල්වලින් වැඩක් නෑ... මට ඕනේ අම්මලා අප්පච්චිලා මේ ගැන හිතන දේ විතරයි.. ඒ මිනිස්සු මම වෙනුවෙන් නිදි මැරුවේ නෑ... මම රස කෑම කද්දී දන්කුඩ කෑවේ නෑ..  මම විභාග වලින් හිත් රිදුම් ඇති කරගන්න කොට ඒ හැම දුකක්ම දරාගෙන දිරි ගැන්වුවේ නෑ... ඉතින් මට ඒ මිනිස්සුගේ කතා මොකටද..? මට ඕනේ අම්මලාගෙ වචන විතරයි... "

                                                 "රජ දහන වැලි කතර වුව උරුම වෙ නම්
                                                   මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්."

තවත් අම්මලා එක්ක කතා කරලා ඵලක් නෑ... ඒකයි සුජිත් වටහා ගත්ත ඇත්ත.. ඔහුගේ හිතෙ අහස අල්ලන්න තරම් බලාපොරොත්තු නෑ.. නෑ නෙවේ.. දැන්ම නෑ... පවුලෙන් පිටුවහල් කලත් ඇය හිමි වෙනවානම් ඕනෙම දුකක් විදින්නට ඔහුගේ හිත සූදානම්... ඒත් හිත තාම නොසන්සුන්...
                                                  
                                           "මගෙ ජීවනේ ගීයෙ ඇඟෙ හඬ නොවේනම්..
                                            හඳ වෙණෙහි සත්සර සදා ගොළු වුනාදෙන්.."

අන්තිමට ඔහුට හිතුණේ එහෙමයි.. ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.. ඒත් ඒ තමා ඔහුගේ ජීවිතෙ ඉරණම වුනේ... 

ඇය නොමැති ලෝකෙක ඔහුටත්.... ඔහු නොමැති ලෝකෙක ඇයටත් සැනසෙන්නට සිදුවුණා...





(සත්‍ය කතාවයි මෙ ගීතයට පාදක වුනු.. නම් ගම් මනංකල්පිතයි... ගී පද රචකයා සෝමතිලක ජයමහ ගායකයානන් "තරිඳු"ගේ භූමිකාවට පණ පොවා ඇත...)

Tuesday, November 9, 2010

බලාපොරොත්තුවක් වෙනුවෙන් බලා ඉන්නම්..

                                                             මේ ලෝකෙට මුලින්ම ආවට පස්සේ මම දැක්කේ මගේ අම්මගෙ පින්වන්ත මූණ.. ඊට පස්සේ අප්පච්චිගේ... ඔහොම ඔහොම හැමදාම ඇසුරු කලේ කෙනෙක් නෙතට හසු වුණාට පස්සේ.1,2,3 ඔහොම පාසල් කාලේ ගෙවෙනකොටත් මම කතා කලේ ,ඇඳිනුවේ නෙතට වැටුන කෙනෙක්.. හදවත අඳුරන්න කලින්.. නෙතින් අඳුරගත්ත කෙනෙක්.

                                                              සාමාන්‍ය පෙළ, උසස් පෙළ කාලේ ඒක තවත් උග්‍ර වුණා මිසක් අඩු වුනේ නෑ.අපේ පන්තියේ පිරිමි ළමයි විතරයි හොඳ.. අනික් අය එහෙම නෑ, එයාලා කට ඇරියොත් හරි වාත කතාවක් කියන්නේ,ඒත් අපේ යාලුවෝ එහෙම නෑ,... කතාව ඇත්ත... මොකද අපිට හොඳටම දැනුනා අපේ පන්තියේ යාළුවොන්ගේ යාළුකමට එහා ගිය සහෝදරකමක්. ඕන දෙයක් කියන්න පුළුවන්, ඕනෙ විහිළුවක් කරන්න පුළුවන්.. ගොඩක් වෙලා තරහාවෙලා ඉන්න බෑ..ඒත් රණ්ඩු නොවීත් ඉන්නත් බෑ.. ඒ ‍යාළුවෝ තාමත් එහෙමයි..

                                                              මගේ පන්තියේ යාළුවෝ මුහුණු පොතේ ඉන්නෙ අඩුවෙන්.. ඒත් හිතේ අපෙ බැඳීම ගොඩක් වැඩී...
                                                             උසස් පෙළ පළමුවර කලාට පස්සේත් ඒ මතේමයි... බස් එකේ පන්ති ගියත් යාළුවෝ නොවන සමාන්තර පාසල්වල අයට හිනාවත් වෙන්නෙ නෑ... හ්ම්.. එහෙම කාලෙකුත් තිබුණා...

                                                             2010 අගෝස්තු මාසේ 28 වෙනකනුත් මම ඒ මතේමයි.. මෙහෙ අපි ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේට හිදගෙන සූදානමින් ඉන්නවා.. අරෙහෙ මල්ලිලා (පලමුවර මුහුණදෙන) හරි සද්දෙන් ගහමරා ගන්නවා.එතනදීත් අපි කිවුවේ ඒ අපේ උන් නම් වෙන්න බෑ.. අපේ එවුන් ඔච්චර අණ්ඩපාල නෑ..( අනේ ඉතින් ඒ ටාසන්ලගේ වැඩ අපිට මතක නෑලු... 11දී ගහගත්ත ඒවා... ඒවා ඉතින් දැන් මතකම නෑලූ..)

                                                             අයියා මට මේ බ්ලොග් එක හදලා දෙනකම්ම... ඒත් මේ අඩවිය මගේ ගෙදර තරම් දැනෙනකම්ම මම හිටියේ අමුතු ලෝකෙකට ආව අමුතු සතෙක් වගේ...
ඒත් මම හද සාක්කි කියන post එක ලියුව දවසේ රත්ගමයා ඔයා,හසියා අයියා ඔයා, Hasitha අයියා ඔයා සහනිසල් ඔයා... එතනදී  ලියලා තිබුන කොමෙන්ටු මගේ හිතෙ දුක පිහදාන ගමන්ම මගේ හිතෙ නොමැකෙන සටහන් සළකුණු කලා.

                                                            මම ඒ ලිපිය ඉවත් කලත් ඒකල ඔයාලා දුන්න කොමෙන්ටු මට හොඳට මතකයි.
                                                           දැන් මම විශ්වාස කරනවා නොදුටු සිත් වලටත් සහෝදරත්වය දැනෙනවා කියලා... මුහුණු පොතෙත් මට ඒදේ හිතුනා... හිත හිත ඉන්න මොහොතක.. ඕනෙම ප්‍රශ්නයක් බ්ලොග් එකේදී ඇති වුනොත් මගේම සොයුරෙක් සොයුරියක් ඉන්නවා මම වෙනුවෙන් කතා කරන්න කියලා මට දැන් හිතෙනවා.. හිතට හරිඅ සතුටක්..!

                                                           මට මේ දේ ලියන්න හිතුනේ ළඟදී රත්ගමයා සොයුරා එකපාරටම බ්ලොග් ලියන එක නැවැත්තුව නිසා.ඇත්තම් කිවුවොත් බ්ලොග් කීපයක ලිපි පල වෙනකම් මම බලන් ඉන්නෙ හරි ආසාවෙන්. ඒ එකක් තමා රත්ගමයා බ්ලොග් එක.. ඔය අතරේ ඊයේ ශානි නඟා (බ්ලොග් එකේම) මුහුණු පොතට පණිවිඩයක් එවනව 

"ප්‍රාර්ථනා අක්කේ.. රත්ගමයා සහෝ... මුහුණු පොතෙනුත් ගිහින්නේ කියලා.."

ඒ අතරේ ළමයා චට චට ගාලා චැටේ ඉන්නකොට කියනවා 

"මගේ කල්පනාව බ්ලොග් ලියන එක නවත්තන්නයි"
කියලා... 

                                                           එහෙම වුණාම ඔච්චර ආසාවෙන් එයාලගෙ ලිපි කියවන්න ඉන්න අයට මොකද වෙන්නේ.. රත්ගමයා යාළුවා නම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඉවත් වෙන්න හිතන්න ඇති.. නැත්තම් කොහොමටවත් එහෙම දෙයක් කරන්නෙ නෑ.. හරිම දුකයි.. හමුවීමක්නම් වෙන්වීමක් තිබිය යුතුමයි කියන්නේ ඒක වෙන්න ඇති...

                                                           මම ඔයාලට කියන්නේ කරුණාකරලා "මම බ්ලොග් ලියන එක නවත්තනවා කියන්න එපා.. ලිපි ලියන්න කොච්චර කල් ගියත් කමක් නෑ.. හිතෙ අළුත් ලිපියක් වෙනුවෙන් බලාපොරොත්තුවක් ඉතිරි කරන්න... මේ මගේ හිතෙ ගැඹුරින්ම එන බලවත් ඉල්ලීමක්.. කවුරුත් ඒ දේට ඇහුම්කන් දෙයි කියලා හිතනවා..
අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් වෙනුවෙන් ... එහෙම නේද?

Monday, November 8, 2010

අද ..මේ මොහොත තුරු..

                  අද මම ලියන්නේ ප්‍රධාන අරමුණක් නැතිව... අද දවසේ මේ වෙලාව වන තුරු ඒ කියන්නේ සිදුවුන සිදුවීම් ගැනයි.

                  අද උදේම පොඩි කට්ටක් කන්න වුණා.. මොකද මට අද කොම්පියුටර් පන්ති.කට්ට ඒක නෙවේ.. මට පන්ති තියෙන්නේ 8.30ට.ඒත් අම්මත් එක්ක අම්මගෙ ඉස්කෝලෙ ලඟට(අම්මගෙ ඉස්කෝලෙ කියුවට ඒ මගේ ඉස්කෝලෙ..9ට එනකම්ම ඉගෙන ගත්ත..)යන්න ඕනෙ.. එතන පැයක් විතර වාත වෙන්න ඕනේ.. මම ඉතින් අපේ ගෙදර ඉදන් town එකටවත් යන්න බැරි "පොඩි බබා" නෙ ඒකයි..(අම්මලා හිතන් ඉන්නේ එහෙම..:))

                  ඈතින් නකල්ස් කදු පන්තියත් ලස්සනට පේනවා.ඒ අතරේ උදේ ප්‍රබෝදමත් හිරු එළිය ඊයේ වගේ මලානික නෑ.ටිකක් හොඳට අහන් ඉන්නකොට ළමයි කෑ ගහන සද්දෙයි කුරුල්ලෝ කෑ ගහන සද්දෙයි ටැපලෙනවා..
ඔය ඔක්කොම එක්ක මට කවි සිතුවිලිත් පහල වෙනවා..ඉතින් හිතෙනකොටම මම "ටක්"ගාලා කොලයක් අරගෙන හිතට එන දේවල් කටු ගෑවා..

නකල්ස් මුදුන සෙනෙහෙන් සිඹ නීල නුබ
සොමි හිරු සොඳුරු වත පිරිමැද අරුණ විද
පැටළුනු නන් නදින් නද දෙන විහඟ රොද
මා සිත දැවෙන ගිනි පිඹ පිඹ නිවන රඟ

සිනා තවර පිබිදුනු මා වතට යට
හඬා වැටෙන සිත පිරිමැද නිහඬවම
උදේ මිහිරි සුව විදිනට සරිසි ලෙස
කැන්ඳන අයුරු විය ඉමිහිරි දසුන් මට

                ඔහොම ඔහොම කාලය ගතවුණා.. මම ඉතින් මගේ යාළුවත් එක්ක පන්ති ගියා.අපි දෙන්නට කතා කරන්න දේවල් කෙලකෝටියයි."අරයා"ගැන එයා කියනවා.."මෙයා"ගැන... ම්ම්... කියන්න මට දෙයක් නෑ.. ඉතින් අපි ළඟදි ප්‍රතිඵල එන එක ගැනයි අනං මනං ගොඩක් කතා කර කර class ගියා.
class ඉක්මනට ඉවර වුනා.ඊට පස්සෙත් වෙලාව ඉතිරි.ඉතින් අපේ සර් මනෝ විද්‍යාව ගැන කතා කරන්න ගත්තා

              ."ෂා... මමත් ඉතින් කවුරුහරි කතාවක් කියනවානම් අහන් ඉන්න හරිම කැමති කෙනානෙ..ඒකනේ මම ලියනවාට වඩා වැඩිපුර බ්ලොග් එකේ කැරකෙන එක කරන්නේ"

                 මිනිහෙක්ට සියදිවි නසාගන්න හිතෙනවා නම් එයා කවදාවත් ඒක කෙලින් කියන්නෑලු.ඒත් එයා කොහොමහරි ඒක අඟවනවලු..(මේ..මේ.. ඔය බොරුවට මැරෙන්න හිතන අයත් හොඳට අදුර ගන්න පුළුවන් හොඳේ..:))
                 එයා එහෙම කියන්නේ "කොහොමහරි මාව බේරගන්න" කියන්නලු.ඉතින් කවුරුහරි දිගින් දිගටම කියනවානම් "මට දැන් ජීවත් වුනා ඇති කියලා හිතෙනවා..එහෙම නැත්තම් මම දැන් ජීවත් වී සිටීමෙන් වෙහෙසට පත්වෙලා ඉන්නේ කියලා.. ඔයා කෙලින්ම බය නැතිව අහන්න "ඒ කියන්නේ ඔයාට මැරෙන්න ඕනේ කියන එකද?" කියලා.මොකද එහෙම තමා මුලින්ම අපිට ඒ ගැන දැනගන්න පුළුවන්.
සිය දිවි නසා ගන්න යන කෙනෙක්ට එහෙම කරගන්න තියෙන අවදානම මනින්නේ මෙහෙම..

  SAD PERSON 

                  මේ එක එක අකුරෙන් තේරුම් තියනවාලු.. ඒත් අපිට ඔක්කොම කියන්න වෙලා මදි වුනා.එකක් තමා ගෑනු ද පිරිමි ද කියන එක.ගැහැනු අය සියදිවි නසාගන්න තියන සම්භාවිතාවය පිරිමි අයට වඩා වැඩීලු.
අනික තමා වයස.වයසට යන්න යන්න ඒත් අවදානම වැඩි ලු.

                  ඉතින් ඔය දිවි නසා ගැනීම් කතාවෙන් පස්සේ අපි ආසාවෙන් හිටියේ භූත කතා අහන්න.. මොකද සර් ඒ ගැනත් කියන්න හිටියේ.. භූතයෝ ඉන්නවලු.. ඒත් අපි කරදර නොකරනකම්ම අපිට කරදර නැල්ලු. ඒ වගේම එයාලට අපිට දෘෂ්‍ය වෙන තරම් ඝනීභවනය වෙන්නත් පුළුවන්ලු."අප්පේ...." ඒ වෙලේ මට හීන් දාඩියත් දැම්මා.. fan එකට පිං සිද්ධවෙන්න ඒක කාටවත් මාට්ටු වුනේ නෑ..මම ලොක්කා වගේ අහන් හිටියා.. හැබැයි රෑ වෙනකොට ඕකේ ඵල විපාක තියෙයි..:):)
                  අපේ මතකය මරණයෙන් පස්සෙත් තියනවා කියන එකයි සර්ගෙ අදහස.ඒකලු සමහරුන්ට මෙලෝ විදියකින් ඉංග්‍රීසි කතා කරන්න බැරිවුනත් හීනෙන් ගජරාමෙට කඩ්ඩෙන් කොටන්නේ..(මට නම් ඉතින් හීනෙන්වත් බෑ..:( ..............)

මට හරි ආස හිතුනා මනෝ විද්‍යාව ඉගෙන ගන්න.

                    පන්ති ඉවරවෙලා ආපහු එනකොටත් මටයි,චතූටයි,අපිත් එක්ක ආව අක්කටයි තවත් කතා ඉතිරිවෙලා තිබුනා කතා කරන්න..(ඒවා ඉතින් ඉවරවෙන කතා යෑ... )

ඉතින් ඔහොම තනියම..(එක එක අතුරු පාරවල් වලදී එකින් එකා හැලුනා.. දැන් මම විතරයි..)..එනකොට මට කොච්චර දේවල් හිතුවද..?
                      ම්ම්.... මම ආසම වර්ගෙ බලු කුක්කෙක් පාර අයිනේ හිටියා.. මෙයාව ගෙදර අරන් ගියොත් අම්මා කොච්චර වෙලා දේශන පවත්වයිද..? එහෙම හිතුන ගමන් ඒ දේශනේ සිත්ගන්නාසුළු කන්කළු බව නිසාම මම හිතෙ අදහස එතනම තියලා පය ඉක්මන් කලා.. 
                     ගෙදර ළඟම තියන වල් වැදුන ඉඩමක් දැකලා..මේකේ අවුරුදු උත්සවයක් තිබුනා නම්.. කියලත් හිතුනා... 
                     ගෙදරත් පහුකරන් අඩියක් විතර ගියානම්..."ඉස්සර වගේ අයියයි,නංඟයි එක්ක වෙලේ දුවන්න තියනවා නම්.. ආයෙත් ඉස්සර වගේ ඉන්න තියනවා නම් කියලා හිතෙයි.. 
ඒ නිසා මම එච්චර දුර නොයා නතර වුනා..

කොහොම කිවුවත් මට ආයෙත් ඒ ලස්සන කාලෙට යන්න බැරි විදිහට ඒ කාලේ මට අහිමි වෙලා..


Thursday, November 4, 2010

රුසිරු වූ මුත් ඵලක් නැති මල..


උදෑසන මනරම්
දිනිඳු සොමි ගුණයෙන්
පිණි කඳුළු බිඳු නෙතේ රන්දා
වැලපෙනා වනමල්..

(සමහර පුද්ගලයෝ ජීවීතේ ලැබෙන සොඳුරු අවස්ථා වලදී ඇල්මැරුණු ගතියෙන් ඒ දේවල් මඟ හරිනවා.)

රුවෙන් අග තැන්පත්
සුව සුවද පතුරන්
නටුව අග තැවෙමින්
හඬනු කිම කුසුමන්

(රුව ගුණ කුමක් තිබුණත් ජීවිතේ ගැන තෘප්තිමත් නෑ)

සොමි අරුණෙ වැලපී
සැඩ හිරුට හිනැහී
පෙර දිනය බොඳ වී
යලි නොඑයි පරවී

(සමහර විට හිතන්න බැරි විදිහේ අවස්ථාවල.. අනික් පුද්ගලයන්ට සොඳුරු නොවන අවස්ථාවල උපරිම සතුටින් හැසිරෙනවා.රිදවන්නම නෙවේ..ඒ කෙනාගෙ හැටි..ඒත් එයාලගෙ සතුටට වැඩි ආයුෂ නෑ)

රුව සොයා ඇඳෙමින්
මලේ පැණි උරන්
අතැර යන බඹරුන්
ඔහොමමයි උන් සිතන්

(සමහරු තමන්ට කිට්ටු වෙන හැමෝම මුළුමනින් තමන්ට අයිති කියලා හිතනවා.. ලෝකෙටම වය්ර කරනවා)

වනේ පීරා යමින්
රසැති පැණි රැස් කරන්
බඹරා ඇඳෙනා දෙසින්
බඹරි ඇත මඟ බලන්

(ඇත්ත තත්වෙ නම් අන්තිමට වෙන්නේ "අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" වගේ දෙයක්)

නටුවෙන් ගිලිහී යමින්
පෙමැති නෙතකින් බලන්
සිනිඳු අතකට ගොසින්
සැනසෙන් ඉතින් කුසුමන්

(ඒත් විය යුත්තේ තමන්ට ලැබෙන දෙයින් උපරිම තෘප්තිමත් වීමයි)

මිලින වී අදටත්
යලි හෙටත් උදෙන්
නෙතට කඳුළක් අරන්
විකසිත නොවෙන් ඉතින්..

 (හැම වෙලේම ලෝකෙට වෙර බඳින අය ලෝකෙට වුවමනා ද?)



 මේ මගේ 25වෙනි ලිපිය.. ඉතින් මට සතුටුයි.25ක්ම මම ලියලනේ කියලා.මම බ්ලොග් එකට ආවේ හිතේ කිසිම සතුටකින් නෙවේ.මුහුණු පොතට ඇබ්බැහි වෙනවට අයියගේ තිබ්බ අකමැත්ත නිසා බලෙන් හදලා දුන්න පිටුවක මම පලමු ලිපිය(හැදින්වීම) ලිවුවේ "අයියාට ඕනෙවට" .. ඒ ලිපියට comments එනවද කියලා මම පැයෙන් පැයෙට බැලුවා.එකක් ආවම අයියා කියනවා "මොනවද ඔයි.. තාම එකයි.. වැඩක් නෑ "කියල.මට හරිම upset. මම මුලින්ම කියෙව්වේ වේජනා අක්කගෙ පිටුවයි හසී සොයුරියගේ පිටුවයි.ඉතින් එයාලට followersලා ගොඩක් ඉන්නකොට මට මං ගැන ගොඩක් දුක හිතුනා.මුලින් ලිපි ලියුවේ අයියා බල කරපු නිසාමයි.ඒත් මම එතකම්ම නිසඳැස් ලිවුවේ මට පුළුවන් නිසා නෙවේ මම ආස නිසා.මම පත්තර වලට ලියවෙන කවි කියවලා ඇයි මට බැරි කියලා හිතුවා. මම කොහොම හරි ලියුවා.
ඒත් දැන්.. මම හරිම ආසවෙන් බ්ලොග් පිටුවට එන්නේ..  කියවන ඔයාලා නොසිටින්න බ්ලොග් ලියන එක මම නවත්තලා හුඟක් කල්.හිතට දුකක් ආව වෙලාවට.. සතුටක් ආව වෙලාවට මට ඒ දේවල් බෙදා ගන්න හිටියේ ඔයාලා තමයි.දැන් මගේ හොඳම යාළුවෝ දෙන්නෙකුත් බ්ලොග් ලියන්න පටන් අරන්.ලියන අයට මම හරි කැමති.මොකද කියලා මම වත් දන්නෑ... 25 සමරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් විශේෂයක් ඕනෙ නේ.ඒ නිසා මම ඉටිපන්දම් පත්තු කරලා සැමරීම කරන්න හිතුවා..
(50...100...)