"රුවී.. trip එක යන්න එනකොට කෑමට විතරක් සල්ලි අරන් එන්න හොඳ ද..?ඉතිරි සේරම වියදම් අපේ ධානපතිනී චේතනා භාර අරන් තියෙන්නේ..හික්"..
ගයාත්‍රි සියළු විස්තර දිග අතර,හරස් අතට අඩු නැතිව කියලා ඉවර කලා..
ඒත් රුවිනි තාම වෙන ලෝකෙක වගේ.. කියන කිසිම දෙයක් අහගෙන ඉඳලා නෑ.. ඇස් වල කඳුළුත් නෑ.. කිසිම හැඟීමකුත් නෑ.. තත්වය භයානකයි....
"මට එන්න බෑ ගයා...මට mood නෑ..ඔයාලා යන්න.."..
ඉස්සර නම් (ඉස්සර කිවුවට එකෝමත් එක කාලෙක නෙවේ.. බොහොම මෑත අතිතයේ) trip එකක් කිවුවොත් පැනගෙන එන කෙල්ල... රුවිනි... දැන්.. ගොඩාක් වෙනස්..
"මේ.. මේ.. කෙල්ල ,.. එහෙම කියලා හරියන්නේ නෑ..මම හැම දෙයක්ම ලෑස්ති කලේ යන යාළුවෝ ගාණටනේ.. "
චේතනා එතනට ආර්ථික අපහසුතාවක් ඇඳලා ගත්තෙ එහෙම හරි රුවිනිව ඇඳගෙන යන්න.
"අනේ.. මට බෑ.. මම කිවුවනේ.. මුල ඉඳන්ම... මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න.. ඇයි මේ කරදර කරන්නෙ.."
"මෝඩියේ... ඔයාට පිස්සුවක් හැදීගෙන එනවද..?කොල්ලා දාලා ගියා කියලා උඹ ඔහොම ලෝකෙම නැති වුණා වගේ ඉන්න.. හරීම ෂෝක්..!.. ගයාන්ට තව සතුටු හිතෙයි.
අනේ.. මම කොච්චර වටින කොල්ලෙක්ද කියලා.."චේතනා මේ දවස් ටිකේම කියල වචන ටික.
"ඔයාට මෙච්චර කල් යස අගේට තිබුන මොළ බාගෙට මොකද වුනෙ.. ඒකත් මේ ටිකට වාෂ්ප වුනා ද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු"
ගයාත්‍රි කොහොමත් කටකාරය. විහිළුවෙන් හෝ කොහොමින් කොහොම හරි යෙහෙළිය සතුටු කිරීමයි.
"නෑ.. මම එන්නෙම නෑ.. අනික ඔයාලට වටින්නේ නෑ එයාට එහෙම කියන්න. එයා මාව දාලා ගියේ මගේ මොකක්හරි වැරැද්දක් නිසා වෙන්න ඇති.. ඔයාලා පුදුම යාළුවෝ.. යාළුවෙලා ඉන්නකම් ඔය කතා බිංඳුවක් කිවුවද..? හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ.. පිස්සු කතා කිය කිය... මට නම් ඔයාලා ඇති වෙලා.."
රුවිනි එක හුස්මට කියාගෙන ගියා.. ලඟ පාත වතුර වීදුරුවක් තිබුනේ හොඳ වෙලාවට.. එක හුස්මට වතුර ටික බොන්න තරම් කතාව..
වටේ මිනිස්සු ගොඩයි.. ඒ අතරේ ගයාත්‍රිටයි චේතනාටයි හීන් දාඩිය දාන්න පටන් ගත්තා..
"මොකා ද බං රුවීට වැහිලා ඉන්න යකා.."
ගයාත්‍රි චේතනාට මුමුණන්නට විය.
"ඒක තමා බං මාත් බැලුවෙ මෙයාට අන්දකයිප්පු කැවිල ද දන්නෙ නෑ"
"කැවිලා නෙවේ මොට්සන්, කවලා... අර ගෝතයා යන්න කලින් අන්දකයිප්පු තොග පිටින් කව්වලා ගිහින් ද කොහෙද.."
චේතනා ඉවසීමේ සීමාවේ සිට රහසින් කියන්නට විය.
"ලැජ්ජාවේ පණ යනවා බං... වටේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලනවා.."ගයාත්‍රි වට පිට බලමින් කොඳුරන්නට විය.
"මොනවද මුමුණන්නේ.. අහ්? කියන දෙයක් දැන්වත් කට ඇරලා කියන්න.. මෙච්චර කල් හැමදේම රහසේ කිවුවේ කොන්ද පණ නැති නිසා නෙ.. දැනුත් එහෙමද..?.හරිනෙ ඉතින්..පණ තියෙන්න හරි කොන්දක් තියෙන්න එපැයි..". රුවිනි තාමත් තරහෙන් පුපුරනවා..
දැන් නම් ඉවසුවා හොඳටෝම ඇති කියලා චේතනාට හිතුනා..
"කොන්දේ පණ ගැනද ඔයා අපිට කතා කරන්නෙ අහ්?.. ගයාන් ඉස්සෙල්ලාම ඔයාට කැමති කියලා දැන ගත්තාමත් අපි ඔයාට මොනවද කිවුවේ... කිවුව කිසි දෙයක් තඹ සතේකට හිතට ගත්ත ද..? ඇස් දෙක අන්ඳ වෙලා වගේ ඔහේ හිටියා මිසක්. "
"එපා චේතනා.. එයාට දැන් ඕවා කිවුවට තේරෙන්නේ නෑ.. අපි යමු"ගයාත්‍රි චේතනාගේ උරහිසට අත තියලා කිවුවා.
"නෑ.. එහෙම හරියන්නෙ නෑ.. මෙයා දැන ගන්න ඕනෙ ඔය වගේ කතාවකින් කොච්චර හිත් රිදෙන්න් පුළුවන්ද කියලා"චේතනා නොනැවතී කියන්නට විය.
"ගයාන් එක්ක යාළු වුනාම ඇයි එයා අපි දෙන්නත් එක්ක තරහ වුනේ.. ඔයාව අපෙන් ඈත් කර ගත්තේ... ඒ කිසි දෙයක් හරි විදිහට ඔයාට තේරුණා ද..? නෑ.. මොකුත් නෑ.. අන්තිමට ගයාන් ඔයා දාලා ගියා කියලා දැන ගත්ත දවසෙ අනික් ඔක්කොම යාළුවෝ.. උඹට හොඳ වැඩේ වුනේ කියද්දී.. අපේම එකියක් කොහොමද එහෙම දුකෙන් තියන්නේ කියලා ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම විසදලා දීලා.. හිත ටිකක් හරි හදන්න උත්සාහ කරන අපිට ... ඔයා ඔහොම කතා කරලා මදි රුවී... මේ මිනිස්සු ටික මදි නැද්ද? අපරාදේ.. නිදහස් චතුරස්‍රෙ ලඟට ගිහින් කෑ ගහලා කියන්න නේ තිබුනේ මෙහෙමත් කොන්ද පණ නැති යාළුවෝ කියලා... " තව එක මොහොතක්වත් එතන ඉන්න බෑ කියලා චේතනාටත් ගයාත්‍රිටත් හිතුනා.
චේතනා ගයාත්රිත් එක්ක යන්න ගියා... ආයේ එක සැරයක් හැරිලා බලන්නවත් හිතෙන්නැති තරමට හිත් බිඳිලයි තිබුනේ..
අද දවස ඇතුළත ඒ විදිහට මං ලඟ ඉතිරිවෙලා හිටිය අන්තිම හිත් දෙකත් යන්න ගියා.. මම මොනවා කියවනවද කියලා මටම හිතුනේ නෑ නේ...
සඳලුතලයේ බිම පැදුරක් එලාගෙන ,ඒකෙ ඈඳිගෙන.. ඈත වෙල්යාය දිහා බලන් ඉන්න ගමන් රුවිනිට හිතුනා..
මුකුත් පේන්නෙ නෑ.. කට්ට කරුවල... ඒත් ගොඩක් දේවල් ඇහෙනවා.. ඒ තුලින් හිතේ ගොඩක් දේවල් මැවෙනවා..
මේ අමාවකද... නැත්තම් වලාකුලු වලින් හඳ වැහිලා ද... මට හිතා ගන්න බෑ..ම්ම්... නෑ..
අද අහස හරියට මගේ හිත වගේ... කාලෙකට කලින්... තරු ගොඩාක් වගේ යාළුවො ගොඩාක් මට හිටිය නිසා කළුවරක් තිබුනත් එච්චර දැනුනෙ නෑ පාළුවක්...
ඊටත් පස්සේ කෙනෙක් මගෙ ජීවිතයට ආවා.. එන්න එපා කියලා හිත කියද්දීත් ඇවිත්... පුන් සඳක් වෙලා... තරුවල එළිය ඔක්කොටම හරියන්න ලොකු එළියක් දුන්නා... මට තරු ගැන අමතක වුනා.. නොදැනීම තරු එකින් එක කඩා වැටුනා.. මගේ හිත් අහසේ යස අගේට පායපු හඳක් තියෙද්දී කඩා වැටෙන තරු ගැන මම බිඳක් හිතුවෙ නෑ...
අද.. එක පාරටම ඒ හඳත් නෑ.. තරු එකක්වත් නෑ.. ඔය අහස තරම්ම හරිම පාළුයි මගේ හිතත්...
ඒ සිදුවීම හරියට මේ වගේ...
ඔයා මගෙ ජීවිතේට හඳක් වුනාම... මම ඒ එළියට කොච්චර ආස ද ආදරේද කියලා දැනගෙන.... ඔයා යනකොට මගේ හිත් අහසට ඒ වෙනකොට ඉතිරි වෙලා තිබුන එකම සහ ලොකුම එළිය අරන්ම ඔයා ගියා වගේ..
"මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්"
සුසුමක්.. කඳුලක් එක්ක නොදැනීම නින්ද ආවා රුවිනි හොයාගෙන... ඒ දවස නිම වුනා එහෙම..
උදේම නොවුනත් හිමිදිරියේ සිතල දැනෙන තරම් පාන්දර ඇඳටම වෙලා... කවුළුවෙන් එළිය බලාගෙන... රුවිනි... හිතනවා අයෙත්...
කවුළුවට පිටින් තියෙන්නෙ ලස්සන මගෙ රෝස පඳුර... හොඳට හැදිලා... ලස්සනට මල් පිපිලා තිබුනා මෙච්චර කල්... අද නම්... තියෙන්නෙ එක මලයි... ඒකෙත් පෙති ගැලවි ගැලවි වැටෙනවා..
කාලෙකට කලින් මේ වගේම උදයක... ඔය පඳුරෙම කවුළුවට පේන තරම් ලඟ අත්තක... පුංචි පොහොට්ටුවක් තිබුනා .. ඒ පොහොට්ටුව ටික ටික මලක් වෙනකම් මම බලන් හිටියේ හරි ආසාවෙන්..ඔයාට දෙන්න... අර නවකතාවල වගේ...
හ්ම්...... ඒත්..
ඒ පොහොට්ටුව මලක් වෙන්න කලින්ම... ඔයා .... වෙනස් වුනා...
දැන් නම් මට පේන්නෙ මලත් ආගිය අතක් නෑ... පරවෙලා වැටුන ද.. නැත්තම්.. අකාලේ කවුරුහරි කඩලා දැම්මද.. කියලා වත් මට හොයන්න හිතුනෙ නෑ..ඊට වඩා හිතන්න දෙයක් මට ඒ වෙනකොට තිබුනා..
බලන්න.. ඒ සිදුවීමත් හරියට... අනේ මංදා.. ඔක්කොම එකට සම්බන්ධයි...
මම හැම උදෙම කවුළුවෙන් එළිය බැලුවෙ අළුත් බලාපොරොත්තුවක් එක්ක.. මේ මල අද පිපෙයි.. අද පිපෙයි... ඒ තරම්.. ආසාවෙන්.. අන්තිමට .. ඔයා යනකොට.. ඔයත් ගිහින් කියලා හැඟෙනකොට.. ඒ මලත් නෑ.. මට බලන්න...
"මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්"
පාළුවක් නැති වෙලාවට.. ඉන්නකොට හැමෝම.. ගොඩාක් අය හිටියා මා වටේට..
අද ලොකු පාළුවක් දැනෙනකොට කවුරුවත්ම නෑ.. පාළු මකන්න...
යාළුවොන්ට මොකක් කිවුවත්.. ඇත්තටම ඔයා ගියේ කාගෙ වරදින්ද..?
"ඔයා හරිම ඇනට් එකක් වුනානේ.."
"ගයාන්.. ඇයි ඔයා ඔහොම කියන්නෙ?"
"අපරාදේ යාළු වුනේ කියලා හිතෙනවා දැන් නං.."
"මම අහපු දේට උත්තරේ ඕක නෙවේනෙ නේද?.."
හිත ටික ටික රිදෙන්න පටන් ගත්තත්.. මම ඇහුවා.
"බලන්ඩ.. යාළුවෙලා නැති කොල්ලො.. කොච්චර ජොලියේ ඉන්නවද කියලා... ඔයා නිකම් ගම් ගාලා ඇලෙව්වා වගේ මගේ ලඟමයි,,,"
"හි.. ඉතින් ඔයා කිවුවානම් මම ඈතට වෙලා ඉන්නවනේ.."
"ඔව් .. ඒත් ඇස් දෙක ඈතට කරං ඉන්නෙ නෑනේ.."
"පුදුම වැඩක් නේ.. ඔයා ගැන එහෙම අයිතියක්වත් මට නැද්ද..?මම ඔයාට කවදාවත් කියලා තියනවද .. අරයත් එක්ක කතා කරන්න එපා.. මෙයත් එක්ක කතා කරන්න එපා කියලා..?"
"ඒත්.. අපෙ යාළුවෝ කියනවා.. මම මහ මෝඩ වැඩක්ලු කර ගත්තේ.."
"ඉතින් ඕක මගෙ යාළුවොත් කියනවනේ.."..
"විහිළු නෙවේ රුවිනි.."
"රුවිනි..?... ... මගෙ යාළුවෙක්වත් මට රුවිනි කියන්නෙ නෑ..ඔයාට අද මොකද වෙලා තියෙන්නෙ?"
"අදයි මට මොලේ පෑදුනේ.. ඒකයි වෙලා තියෙන්නෙ.. අපේ යාළුවෝ කියනවා ඔයා ඉස්සර වගේ ලස්සන නෑලු.. මම අපරාද වැඩක්ලු කලේ.."
"ඔයා මට කවදාවත් ඔහොම කතා කරලා නෑ ගයාන්.. ඔයාගෙ ආදරේ........................
මට තේරුම් ගන්න පුලුවන් දැන්.. "
මම හිතේ ඇතිවුන පුදුමාකාර පිලිකුලත් හංඟගෙනම කිවුවා මට මතකයි..
එච්චර දේවල් වෙලත් මම හිතපු විදිහ.. ඔයා අමතක කරන්න බැරි විදිහ... ගයා කිවුවා හරි... මගේ තිබුන මොල බාගෙත් වාෂප වෙලා වගේ...
"නොඉඳුල් තොල්පෙති අතරින්
උඳුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව"
මම තවත් ඔයාගේ පැත්තට කතා කරන්න කිසිම සාධාරණ හේතුවක් නෑ.ඇත්තම කිවුවොත් මට ඔයත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්... ජීවිතේ ගැන සරලව හිතපු ,යාළුවෝ එක්ක හොඳ ගාණට පිස්සු වැඩ කරපු , හැම වෙලේම හිනා වෙලා හිටපු මට....... ඔයා ගෙනත් දුන්නෙ මොනවද..?.... ඒ හැමදේකම විරුද්ධ පැත්ත... එච්චරයි.
ඇඬෙන්නෙ, කල් යනකොට... ඔයා එක්ක තියෙන තරහා නිවෙනකොට.. අපේ ලස්සන මතක මතක් වෙනකොට.. අන්තිමට මගේම මෝඩකම ගැන මම පසුතැවෙනකොට..
මම ආදරේ ගැන දැනන් හිටියේ නෑ.. ආදරේ කරන්න ඉගෙන ගත්තෙ ඔයාට ආදරේ කරලා.. ඒත් මට දැන් නම් හිතෙන්නෙ... ඔයාට ආදරය කරන්න කෙසේ වෙතත් හදවතක්වත් තිබිලා නෑ කියන එකයි.
(ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් - එහි මහරුත නුඹ තව වටහාගෙන නෑ)
මට trip එකක් යන්න හිත හදාගන්න බෑ.. යාළුවෝ එක්ක විනෝද වෙන්න හිත හදාගන්න බෑ.. නිදහස්ම නිදහස් ලෝකෙක හිරකාරියක් මම ම හදා ගත්ත හිර ගෙදරක..
අහස දිහා බැලුවත් මට වේදනාව... ගහක් මලක් දිහා බැලුවත් මට වේදනාව.. විදින්න කියලා ආදරෙන් ලං කරන් හිටිය මගේ ජීවිතේ.. විදවන්න ඕනෙ කඳුලු ගොඩක් කියලා පසක් කරලාම ගිහින් වගේ..ඔයා ඈති ඈතටම..
"එක්ටැම්ගෙයි සිරගතකර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව"
ආදරයට නිර්වචන අනන්තයි.. මම නම් දකින්නේ රුවිනි හරි මෝඩයි.සමාජෙට පෙනෙන්නේ එහෙමයි.. එච්චර වාත කොල්ලෙක් ගැන තාම හිත හිත ඉන්න මෝඩ කෙල්ලක්.. ඒත් ගීතය පුරාවට ඇයත් හිතනවා අතීතය වලලන්න.. ඒත් ඒ දේ හිතන තරම් ලේසි නෑ.. අමතක කරන්න කියන්න ලේසි.. ඒත් කරන්න අමාරුයි.
මම එහෙම කිවුවෙ මගේ දැක්මට අනූවයි.ආදරය කියන්නේ කිසිම තත්වයකට(condition) යන නොවී කල යුතු දෙයක්ලු.ඒත් ශ්‍රී ලංකාව වගේ රටක ඒ දේට තත්ව එනවලු.. සංස්කෘතියත් එක්ක.. උගත්කම හා තවත් බොහෝ දේවල්. ඒක වැරදී ලු.ආදරය විවාහයෙන් කෙලවර හෝ ආරම්භ විය යුතු නැතිලු.ආදරයේ අදිරය කීපයක් තියනවලු..
1.දැකීම
2.කතාබස් කිරීම
3.මුණගැසීම
4.ස්පර්ශය
5.ආදරය කිරීම.
අපි ගොඩාක් දෙනා ඉන්නේ fall in love කියන අදියරකලු.. ඒ අවස්ථාවේ ආදරයක් නෑලු.. කීප දෙනෙක් වෙනුවෙන් ඇතිවන හැඟීමක්ලු.ගොඩක් අය ඒ ආදරේ කියලා වරද්දගෙන ඉදිරියට යනවලු..
(ලු.. කිවුවෙ මේ දේවල් මගේ අදහස් නොවන නිසා)
මම නම් හිතන්නේ ඔය ඔක්කොම සුද්දගෙ කතා.. මම දකින්නෙ ආදරය කරන්න ඔච්චර අදියර ගානක යන්න බෑ.. අනික ඔය අදියර හැමෝටම ගැලපෙන්නෙ නෑ.. ආදරය කියන්නේ හැඟීමක්.. ඒ ගැන එක එක්කෙනා කොහොමද කියන්නේ..?
fall in love අය ඇත්තටම මට මුණගැහිලා නෑ.. ඒ කියන්නෙ එක සැරේ කොල්ලො කීප දෙනෙක් එක්ක හෝ කෙල්ලෝ කීපදෙනෙක් එක්ක යාළුවෙලා ඉදලා නෑ.ඒ නිසා ඔය අදහස වැරදී.අනික මම පත්තරේක කියෙව්වා එක සැරේ කීප දෙනෙක් එක්ක යාළුවෙන එක පහත් පරිණාමික ලක්ෂණයක්ලු.ඉස්සර එක ගේ කෑවට දැන් ඊට වඩා පරිණාමිකව දියුණුයි. මගේ ආකල්පය ඒකයි.
අනික.. අපි හැඟීම් වලට වහල් වෙන්න බෑ.ආදරය ඕනෙම වෙලාවක ඇතිවුනා කියලා ... නවකතා වල චරිත වගේ හැසිරෙන්න බෑ.බොහෝ ලේඛකයෝ හැමදේම සාධාරණීකරණය කරනවා.අනියම් සම්බන්ධ සාධාරණයි.. එ වෙලාවට බිරිඳ හෝ සැමියා හරිම් වැරදි.. නැත්තම් නෝන්ජල්.මොනවද මේ කියන්නේ..?
එක එක්කෙනා බලන රාමු විතරයි..ඒවා කාවද්දන්න උත්සාහ කරනවා.
මේ ගීතය ගැන කිවුවොත් පෙම්වතියක් හැර ගිය පෙම්වතා ගැන ටිකක් කළුපාටට බලන පද පෙලක්.. මම හිතන්නේ එහෙම ගීතයක් ගැන මම ලියන පලමු අවස්ථාව.සමහර විට පෙම්වතා වැරදි නැතුව ඇති.. මොකක්හරි නොගැලපීමක් තියෙන්න ඇති.. ඒ දේ පිලිගන්න තරම් පෙම්වතියගේ හිත දියුණු නෑ.
පොරොන්දම් ගැලපීමේ කිසිම තේරුමක් නෑ කියලා කවුරුහරි කියයි. ඒත් ජීව විද්‍යාවේ කියන විදිහට රුධිරයේ යම් සාධකයක් තියනවා රිසස් කියලා.. ඒ සාධකය නොගැලපෙන දෙන්නෙක් විවාහා වුනොත් දෙවනි දරුපිලිසිඳ ගැනීම බොහෝ විට ගබ්සා වෙනවා. ප්රවේණි විද්‍යාවේ එන තවත් ගොඩාක් දේවල් තියනවා විවාහයේදී දරුවන්ට බලපාන.ඒත් මට නම් හිතෙන්නෙ පොරොන්දම් ගැලපීමේදී ඔය හැමදෙයක්ම හරියන විදිහට කරුණු යෙදෙනවා ඇති.ලෝකෙ ඇත්ත කියලා තියෙන්න පුළුවන් එක දෙයයි. දෙකක් නෑනේ.
අපේ ජීවවිද්‍යාව උගන්වපු සර් නම් කිවුවෙ.. විවාහ වෙනකොට "මෙන්න මගේ පෙලවැල සටහන කෝ ඔයාගෙ පෙළවැල සටහන?" කියලා අහන්න කියලයි.ඒ ගැන විස්තර පසුව කියන්නම්කෝ.. දැනගෙන ඉන්න එක හැමෝටම හොඳයිනෙ නේද?
තමන් කරන්න යන දේ හරි නම් හදවතින්ම ඒ දේ කරන්න.මම හිතන්නේ හැඟීම් මත්තේම නැහෙන්නෙ නැතිව ටිකක් බුද්ධියට ඉඩදීලා බැලුවොත් අපූරුයි!
(මේ ගීතය ගැන හිතන්න කියලා කිවුවේ බ්ලොග් නිවහනේ චතුර නිලංග අයියා... මම මීට කලින් මේ ගීතය අහලා තිබුනෙ නෑ.ඉතින් මේ ගිතය මට දෙන්න ගොඩාක් මහන්සි වුන බ්ලොග් නිවහනේ තුසිත නුවන් සොයුරාටත් දෙන්නාටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.. ලස්සන ගීතයකට මගේ හිත යොමු කලාට..
බොහෝම ස්තූතියි හොඳේ..?
ඊයෙ ගොඩාක් රෑ වෙනකම්ම මම මේ ගීතය ඇහුවා.. මට හොඳට දැනෙනකම්.. සඳුදා පන්තියේදී සර් කියපු කතා ටිකත් මෙතනටම ඈඳන්න ඕනෙ කියලා හිතුනා.. ලියන්න ගොඩාක් තියනවා. ඒත් එතකොට කියන්න යන දේ පිට පනිනවා.. )
(කතාවක් වගේ ලිවුවත් මෙහි එන බොහෝ සිද්ධීන් සැබෑවටම මා අවට සමාජයේ ඇසූ දුටු සිද්ධි බව සළකන්න...)










