Saturday, October 30, 2010

මා දැන් තනියෙන්.. වරක් සිටිය නුඹෙ සිහිනයේ..

මට දැන් මේක ඇති වෙලා.. ඔයා මගෙ තාත්තා කියලද හිතන් ඉන්නෙ..අහ්..?

"නෑ.. ඔයාගෙ boyfriend කියලා"

ඇයි ඔච්ච්ර මට නීති දාන්නේ.. ඔයා මම කවුරු කියලද හිතන් ඉන්නේ.. මම ඔයාගෙ wife නෙවේ.."

"ඉතින් එහෙම වෙන්න ඉන්න කෙනානෙ.."
මට ඕනෙ වුනේ නෑ බොහොම කලාතුරකින් මුණගැහෙන්න ලැබුන මේ අවස්ථාවෙත් රණ්ඩු වෙන්න..

"ඔහ් .. ඇත්තට..? එහෙමද හිතාගෙන ඉන්නේ..?"
ඇය ඇහුවා..

"ඔව් එහෙම තමා.."
දැන් නම් පොඩ්ඩක් cool  වේගෙන එනවා වගේ situation ..

"හිතුවා මදි.. ඔයා හිතනවාද මේ නීති ඉවසගෙන තවදුරටත් මම මෙහෙම ඉදී කියලා.. "

දෙයියනේ.. මේ මොකෝ.. අද මෙයාට වෙලා තියෙන්නේ.... මම හිතන්න වුනා.. ඒත් මටම හිතා ගන්න බෑ..

"මම අද ආවෙ මේක කියලා යන්න.. මම අයෙ ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. තේරුණා ද..? මමත් ආසයි නිදහසේ ඉන්න.. මට ඔයා ගැලපෙන්නෑ... ඇත්තනම් එහෙම කෙනෙක් කොහේ හරි ඇති කියලා මට හිතෙනවා..
මම යන්නම්.."


මට දැන් හුස්මගන්නත් අමතකයි වගේ... ඒත්..

"හ්ම්....."
"තේරුණා.. හොඳට තේරුණා... එහෙනම් ඉතින් මටත් කියන්න තියෙන්නේ  "පරිස්සමින් යන්න".. එච්චරයි.."
මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි... ඔක්කොම තීරණය කරලා ඉවර නම් මම තව මොනවා කියන්නද..
  
ඇය යන්න යනවා.. මම අන්තිමට කියූ කිසිදෙයක් ඇහෙන්න නැතිව ඇති.. ඇහුනත් දැන් වැඩක් ද..

"මම ඔයාගෙ කවුරු කියලද හිතන් ඉන්නේ" කිව්ව ලස්සන..
ඇත්තටම මම කවුද ඔයාගෙ...
මම නම් හිතන් හිටියේ මම ඔයාගෙ මුළු ජීවිතේම කියලා..
බලනකොට මට වැරදිලා...

                         "ඔබ පවසයි මා හැර යන බව
                          ඔබට අවැසි නිදහස ගන්නට
                          සත්තයි මා කවුරුන්දෝ ඔබගේ.."

හරි ..ඔයාට ඕනෙ නම්..
මම ඔයාගෙ කවුරුත් නෙවේ කියලා හිතාගන්න..(ඇය යන දිහා බලන් මම තවමත් හිතනවා..)..
ඔයා ඔය විදිහටම යන්න.. ඒත්..

ඒත් ඔයා මේ කරපු දේ හදවතට එකඟද කියලා අහලා බලන්න.. ලස්සන උත්තරයක් ලැබෙයි ඔයාට..

                         "යා යුතු මඟ එය නම් යන්න
                          ඔබට අවැසි විදිහට"

                         "සවන් දෙන්න
                          ප්‍රවේශමෙන්
                          නුඹ හද ගැහෙනා රාවයට...
                          පවසන්නේ කුමක්දැයි කියා.."

                       " රැදී තියේවී මතකයන්..."

මට හැමදේම මැවිලා පේනවා..ඒත් ඔයාට නෑ... අපි කොහොමද මුණ ගැහුනේ.. කොච්චර ලස්සන මතක සටහන් තියෙනවද අත්වින්ද.....
ඔයාට පේන්නේ නුදුරු අනාගතය විතරයි.. ඒත් ඉදිරිය ගැන ටිකක් හරි මට ඔයාට වඩා පේනවා.. ඒක නිසයි මම ඔයාට මේ මේ දේවල් කරන්න එපා කිවුවේ..
සමහර විට කවදාහරි ඔයාට තේරෙයි..
ඒත් ප්‍රමාද වැඩි වෙයි..
(හැමදෙයකටම යම්කිසි හේතුවක් තියනවා...)

                        "අහස ගිගුරුම් දෙන්නේ වහින විටදී
                          සබඳ මදක් නැවතී නුඹ යනමඟ දෙස බලන්..
                         දිනෙක සියල්ල නුඹව හැරදා යාවී"
                         වස්සානය නිමා වේවි..
                         ඔබ වටහා ගනීවී..."

කෙනෙක් ඔළුව අතගාලා කියන දේට වඩා ටිකක් සැරෙන් කියන දේ ගැන වැඩිපුර හිතන්න.. 
ඔයාට ලස්සන අනාගතක් තියෙයි..
ඒත් ඒ අනාගතයේ ..
ඔයා ඔයාගෙ ලෝකෙ..
මම මටම හිමි වෙනම ලෝකෙක..
මට දුක මම ගැන නෙවේ..
මම මෙච්චර ආදරේ කරපු
ඔයා ගැන............

                      "නුඹ නැත්තම් මා ළඟින්
                       මං නෑ මං නෑ දුකින්..
                       වියෝව සොඳුරුයි.. මාගේ ආත්මයේ"

ඔහු හැරිලා යන්න යනවා.. ඒත් අනික් දවස් වලට වඩා වෙනස්.. එකම වෙනසයි..
අද ඔහු තනියෙන්...

(මට හිතුනේ මේ ගීතය ගොඩක් කාලෝචිතයි කියලා.. ඒත් අද මම ලියුව දේ එතරම් රසවත් නැතුව ඇති..
මොකද බත් කන්න ගියත් අතගගා හිටියම බත් එක සීතල වෙනවනේ.. ඒ වගේ මේ ලිපියත් දැන් දවස් ගාණක් ලියනවා... )

      ලෝකෙ හැමෝම එක වගේ නෑ..
     

Monday, October 25, 2010

තුන්මංසලේ දී..


   උදේ පාන්දරම නැඟිට්ටම ගතට දැනෙන පුදුම සීතල එක්කම හිතට ලොකු ප්‍රබෝධයක් දැනුනා... අද අළුත් දවසක්.හෙටත් එහෙම දවසක් වෙයි.ලස්සන දවසක් වෙයි.ඒත් මගේ ජිවිතේට මොකක්ද මේ වෙන්න යන්නෙ.. හිතා ගන්න බැරි "මොකක්දෝ දෙයක්"
.අළුත් ආරම්භයක්.. 
ජීවිත කාලෙටම හොඳ සඟයෙක්... 
හ්ම්... අනේ මංදා..... 

හෙට කොහොම වෙයිද..? මේ සැහැල්ලුව දිගටම දැනෙයිද..?
හිත අහනවා අතොරක් නැතිව මගෙන්..."උඩු හිත ද... යටි හිතද..." කවුරු වුනත් මගෙ හිතනේ....

         "සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ..
          සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ.."

ඕකටද දන්නෑ අර කියන්නේ "ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ"...ම්ම්.. ඉතිරි ටික නම් ඕනෙ නෑ...  දුක් කරදර නැති වෙනකොට දුර පෙනෙනෙ නෑ කියන්නෙ ඇත්ත වෙන්නැති...
අනේ..අනේ.. උදේ පාන්දර මමත් හිතන දේවල්.. සුභවාදීව හිතන්න ඕනෙ... ..ඇස් පියාගෙන....

     අද දවසම් හරි අමුතුයි... මට මෙතුවක් කල් නොපෙනුන ලෝකයක් මං ලඟ තිබිලනේ... 
කවුලුවෙන් එළිය බලන් මම හිතන්න වුනා... ලස්සනම ලස්සන ලෝකයක්.... 

අර ඈත යන පෙම්වතුන් කොච්චර දේවල් කියවනවා ඇත්ද..? කියාගන්න තව කොච්ච්ර දේවල් ඇත්ද..?....... 

    " ලතාවක් සේ වෙලී සියොලඟ..
       පතමි රැකවරණය ඔබෙන්..."  (එහෙමත් කියනවා ඇති.. එතකොට පෙම්වතා මොනවා කියනවා ඇත්ද.?)

       සදා දෝතින් මලක් සේ ඔබ...
       වැලදගන්නෙමි හදවති..." 

(එහෙම කියයිද..? අප්පෝ.. එයාලා ගැන නම් කියන්නම බෑ.....එයාලගෙ    හිතේ තියන දේවල් දෙයියො දනී අපි නොදනී..)

හි.....!!.(නොදැනීම හිනාවක් ඇඳුන නිසා.. වටපිට බැලුවා... කවුරුහරි දැක්කානම්... BBC News වල දායි..)
        
    ඉස්සරනම් කොහොමද අපි හිතුවේ.." අනේ මේ ඒ කොල්ලා වැඩක් නෑ... අරයට try කරලා තියනවා.. එතකොට අනික් එක්කෙනා...? අහ් .. එයාද එයා  ".."ට try   කලානේ..."

   ඔහොම කිවුව අපි..! ඉතින් අපි ගැන නම්.. කියන්න  ඕනෙ නෑ..... "දන්නෝ දනිති.... නොදන්නෝ.. සොයා ගනිති ...තමා..!!!

එහෙම හිතුවේ මීට කොච්චර කාලෙකට කලින්ද..? අවුරුදු 20දි විතර....:):)
         
         "වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි.."  (ඇත්ත නම් ඒකයි..)

හැබැයි  "ඔහු" නම් කියන්නෙ....

        "මහා කතරක ගෙවූ තනිමඟ නිමා කල ඉම ඔබ නෙතයි.."

කොහොමද බොරු කියන ලස්සන..!... මගේ අනාගත නෑනම කිවුවා මිසක් නැත්තම් මම හිතන් ඉන්නේ.. 

"අනේ මාගේ අනාගත සැමියා අදහන්න වටින සාන්ත දාන්ත තීන්ත කූඩුවක්ය.. මෙවන් සැමියෙක් කාටනම් ලැබේද..?" කියලා...... හරි හරි ඉතින් ..... එවන් සැමියෙක් ලැබෙන්නෙ මටම තමා.. වෙන කාටද ඉතින්....:):)
ඒත් බොරු කිවුව එක තමා නරක.. .. ඒකෙන් වැඩක් නෑ.. කොහොමටවත් දැන්  මට.....

         ඇත්තටම ජීවිතේ මම හිතනවට වඩා සොඳුරු වෙයි... "තවත් කෙනෙක්ගේ" ජීවිතේ එහෙම කරන්න උත්සාහ කරයි.. 
හිතට දැනෙන මේ සතුට අඩු වැඩි වෙවි මෙහෙමම තියෙයි....

        කාලය මැවු වෙනසක් ....අරුමේ....

 (මේ ගීතය..පද රචනයට නොදෙවෙනිව තනුව මගේ සිත් ගත් නිසා ඒ ගැන සිතන්නට වුනා.. මට නම් දැනුනේ ඒ ගීතය විවාහ වුනු අළුත හෝ විවාහ වීමට ආසන්න දෙදෙනෙකුගේ හැඟීම්.. ඉහත වචනයක් පාසා දැන් පබැඳි දෑ මිස කිසිසේත්  කිසිවකුගේ අත්දැකිම් නොවන බව සළකන්න..)

එහෙම වුනොත් මේකත් ලෝකයක්ද.?..

"මේ නීටා .."

"ඇයි ශානි.."

"අර..බලන්න.."

"ඇයි ..මොකක්ද.?

"අර අපේ සුජීගෙ බබා....."

"අනේ ඇත්තමයි..හරි ෂෝක් දරු පැටියා නේද..?"

"ඕං  බලන්න ඒකෙත් හැටි...."

"ඇයි.. එහෙම කියන්නෙ"

"ඇයි..දන්නැද්ද.. ඔය හදාගන්න ළමයෙක්නේ....අනේ මටනම් දාහක් දෙනවා කිවුවත් අනුන්ගේ දරුවෝ එපා..! කාගෙ එවුන්ද කවුද දන්නේ..නැද්ද මං අහන්නේ"

"මං ඔය වගක් දන්නෑනෙ...එතකොට සුජීට බබාලා නැද්ද..? අනේ ඇත්තට... ඔය ගෑනු උදේට දකින්නවත් හොඳ නෑ කියනවානේ...හරි මුස්පේන්තුයිලු..."

                  අපිට මේ වගේ කතාකරන අය කොච්චර සමාජයේ මුණගැහෙනවද?ඒවගේ හිතන හණමිටි අදහස් තියන අය කොච්චර ඉන්නවද..?  
                  අන්තිමට බැලුවම දරුවා විතරයි නොදන්නේ "රහස"... අනික් හැමෝම දන්නවා... 
ඒ වෙලාවට ..තමන් සර්වසම්පූර්ණයි.තමන් වගේම තවත් ගැහැනියක් "මුළුමනින් අසම්පූර්ණයි.." ..
ඇයි මිනිස්සුන්ට ටිකක් වෙන කෙනෙක්ගේ දෘෂ්ටිකෝණෙන් බලන්න බැරි..! 
 මට නම් හිතාගන්න බෑ..
                  
                   ඒ අම්මත් කොච්චර ආසා ඇත්ත වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙන්න...
තමන්ගේ හිතම කොච්චර රිදවනවා ඇද්ද ඒ හිත.... මිනිස්සුන්ගේ කතා කොච්චරක් වැටෙනවා ඇත්ද ඒ දෙසවනට..... අරුමයක්... ඒ දේ තවෙකෙකුට නොවැටහීම...!

                              "කිරි අම්මාවරු දනට වඩිනවා..
                               කිරි සුවඳයි මුළු ගම්මානේ..
                               අම්මා ඇයි ඒ දනට නොයන්නේ.....
                               නොඅසන් පුතණුවනේ....
                               මා සිත රිදෙන නිසා...."

                     හැමෝටම හැමදේම ලැබෙන්නෑ.... ඒකට අනෙකා හරිම කැමති... අනුකම්පා කරන්න මිනිස්සූ තරම් රුසියෝ වෙන කවුද..? ඒ අනුකම්පාවත් බොහෝවිට හිත් පෙලන තරම්.....!

                     කිරි අම්මලා විදිහට කිරිඅම්මා දානෙට වඩින්නේ විවාහක "සර්වසම්පූර්ණ" කාන්තාවෝ.. වැන්දඹු නම් "අසම්පූර්ණ..", දරුවන් නැත්තම් .."අසම්පූර්ණ'................ මේ දේවල් මිනිහෙක් පෙලන්න තවත් මිනිහෙක්ම යොදාගන්න ආයුධ. 
  
                ඒ අම්මත් දරුවෙක් හදන්න ගන්න ඇත්තේ දරුවෙක් නැතුවම බැරි නිසා නොවේද..? එහෙම නේද..? මම රූපවාහිනියේ,පුවත්පත්වල පවා දැකලා තියනවා දරුවන් නැති කලා කරුවන්ගෙන් ඒ ගැන පුන පුනා අහනවා.. ඇත්තට ඒ වෙලාවට මට හිතෙනවා "මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද" කියලා.

                          "  නෙත නිදි මරලා..
                             කැත කුණු අතගා..
                             මම නුඹ හැදුවෙමි..
                             දුක් විදලා....      "

                             "එනමුත් කුසයේ හොවමින් බිහිකර
                             ඇඟ ලේ කිරිකර නැත පොවලා.."

               හදපු අම්මාද, වදාපු අම්මාද උතුම්..? මම නම් හිතන්නෙ හදපු අම්මා කියන එකයි.. සමහරෙකුට කළලයක්............,භෘණයක්............, පමණක්ම වූනු දරුවෙක් ....තවත්  අම්මෙකුට ලේ කිරි කැටියෙක් වෙනකොට තමා මිනිස්සුන්ට ඉවසන්න බැරි...................... මම ඇත්තටම එහෙම හිතන මිනිස්සුන්ට වයිර කරනවා...ඒ ඇර මට මේ සමාජය වෙනස් කරන්න බෑ....

                              "නුඹගෙන් දරුසුරතල් බැලුවා මිස...
                               මව් පදවිය නැත මා පතලා.."
                               
                             " මතු බවයේ මා..
                               දනට වඩින්නම්...
                               නුඹ බිහි කර ඉන්..
                               මව වීලා.....   "                  

               පුළුවන් නම් අපිට තේරුම් ගන්න කෙනෙක්ගේ හදවත... ඒකම ලොකු පිනක්...! මහ ලොකු කමට.. "මම නම් ඇත්තමයි කියන්නේ... කියන දේත් මූණටම කියනවා... " කියලා කියන එක නෙවේ මනුස්සකම කියන්නේ... මගේ බොළඳ හිතට හැඟෙන විදිහට....
මිනිහෙක් කියන්නේ අනික් අයට ඇහුම් කන් දෙන කෙනෙක්............ 
හඬට නෙවේ.......... 
හද ගැහෙන රාවයට....

                       මම දන්නෑ මේ දේවල් කතා කරන්න තරම් මම මෝරලාද කියලා.. ඒත් මට පෙනෙන ලෝකෙ ගොඩක් තැන් මට පේන්නෙ හිස් තැන්...  තමන් ළඟ වැරදි කොච්චරක් තියනවද... ඒත් බලන්නෙම අනික් කෙනෙක්ට රිදවන්න.....
                       අද අපිට හරි ලොක්කො වගේ ඉන්න පුළුවන්.. ඒත් හෙට ගැන අපි කාටවත් කියන්න බෑ..
මම ඉස්කෝලෙදී හරියට යාළුවොන්ගෙන් බැනුම් ඇහුවා.."ප්‍රාර්ථනා,ඔයා ලෝකෙ හැමදෙයක්ම සාදාරණීකරණය කරන්න යන්න එපා.." කියලා
                      .ඒත් මම හිතන දේ තමා හැමෝම එහෙම හිතලා බෑ.කවදාහරි සමාවදෙන්න බැරි වැරැද්දක් වුන කෙනෙක්ට අනුකම්පා කරන්න මිනිස්සූ ලෝකෙ ඉන්න ඕනෙ..හැමෝම ඕනෙ නෑ.. ඒත් එහෙම අය ඉන්න ඕනෙ.. කෙනෙක් වැටෙන්නෙ සුළු මොහොතයි යන්නේ.. හිතන්න...!ඒ වෙලාවට කවුරුත් නැති වුනොත් එයා නැඟිට්ටවන්න........ 
                        පුළුවන් නම් මේ ගීතය විදින්න... මම මේ ගීතය එක සැරයයි අහලා තිබුනේ.. රූපවාහිණියෙන්.. ඒ මීට අවුරුදු ගානකට කලින්.. ඒත් ඒකෙ තේරුම මගේ හිතට ගොඩක් වැදුනා... අද තමා 2වනි සැරේට මම මේ ගීතය ඇහුවේ.. මේ වගේම ගීතයක් තමා.."ජයසිරි මහ බෝ හිමි මම පිරිමි පුතෙක් පැතුවා(හරියට මතක නෑ..ඒකත් එක සැරයයි ඇහුවේ..) ගීතය..
                 
                        http://www.youtube.com/watch?v=eUiUBKiASHQ
මම හිතන්නේ මේ ගිතයේ නම් රූපරචන ගැලපෙනවා..ඒත් ඒ නැතුව අහන්න....

                          පුළුවන් තරම් මිනිස්සු දිහා සානුකම්පිතව බලන්න...ඒත් අනුකම්පාව අඟවන්න එපා.. ඒ දේ එයාලව ගොඩක් රිදවයි...ඒ වගෙම හිතට එන හැමදෙම නොකියා ඉන්න.. හිතක් කියලා දෙයක් ඇත්තේ අපිට හිතන්නනේ........... නැත්තම් එහෙම එකක් මොකටද..?
                          
මේ ලෝකෙ හැමෝම සතුටින් නම්
කිසිම අඩු පාඩුවක් නැත්නම්..
මේකත් ලෝකයක් වෙයිද...?

ලෝකෙ අපි හැමෝම ඉන්න ඕනෙ.. කවුරු යන්න කිවුවත්..........

Sunday, October 24, 2010

ගීතයක් සුන්දරද කෙතරම්..

දිනක් මවක් සහ දුවක් රූපවාහිනී නරඹමින් සිටියහ.ඒ මොහොතේ රූපවාහිනියේ මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන්ගෙ ගීතයක් ප්‍රචාරය විය.ඒ ඇසූ දුටු දුව (2 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි)...පැනයක් මව වෙත යොමු කලාය...

"අම්මා... මේ සින්දුවේ කවුරු ගැනද කියවෙන්නේ......"

අම්මා හීන් දාඩිය බිදක් පිසින්නට විය.කුඩා ළමුන් සමඟ රූපවාහිනී නැරඹීමේදී එවැනි අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවීම සාමන්‍ය දෙයකි.දැන් කුමක් කියන්නද..?... තාමත් දැරිය පිළිතුරක් අපේක්ෂාවෙන් මව දෙස උපේක්ෂාවෙන් බලා හිදී....


"අනේ ඇත්තට...මේ පුංචි කෙල්ලට ඕන්නැති දෙයක් නෑනේ.... ඒවා ලොකු අයගෙ කතා..ඔයාට ඒවා ඕනෙනෑ..."

ඔන්න අසරණ දැරියට ලැබුණු පිලිතුර... ඒ පිළිතුරෙන් ඇය තවත් අසරණ වෙන්න ඇද්ද.. එසේ නැද්ද..?
දැරිය අම්මා දෙස සමච්චල් බැල්මක් හෙලන්නට විය..(කිසිදින මව දෙස එසේ නොබලනු දරුවනි...:)...)

"අනේ අම්මේ.. අම්මා ඒකවත් දන්නෑනේ... මේ සිංදුව කොහොමද වැඩිහිටියන්ගෙ වෙන්නේ.මේක පොඩිහිටියන්ගේ සිංදුවක්නේ..."

හරි දැන් මම මෙය කියවන ඇත්තන්ගෙන් පැනයක් විමසමි.
"මිල්ටන් මල්ලවාඅරච්චි ගායනා කල ළමා ගීතයක් නම් කරන්න.."

 හැකිද ඒ ළමා ගීතය කුමක්දැයි කියන්න,...?....මෙන්න ගීතය..............

                     "තනි වී සිටින්නයි මා අදහස් කලේ.."
(සිනා නොමවන් දසන් දක්වා..:)........)

"දෝණි,ඒ කොහොමද ඒ පොඩිහිටියන්ගේ සිංදුවක් වෙන්නේ..?" අම්මා ඉමහත් පුදුමයෙන් විමසන්නට විය.

"අම්මට ඒකවත් තෙරෙන්නෑ... එයා කියන්නෙ එයාගෙ මල්ලි ගැන නේ...අනේ..අනේ..."

"මල්ලි ගැන" මව සිතන්නට විය. දැන් නම් පිලිතුර කටටම දී ඇත.
"ඒකනේ දූ... මට ඒකවත් තේරුන්නෑ නේ.....ඇයි ඔයා එහෙම හිතුවේ... කියන්න බලන්න "

මුහුණට බැරෑරුම් පෙනුමක් මවා ගත් දියණිය පැහැදිලි කරන්නට විය.
"බලන්න අම්මේ මමත් නංඟා ඉපදෙනකම්ම තනියෙන් බෝනික්කොත් එක්ක සෙල්ලම් කලේ(තනි වී සිටින්නයි මා අදහස් කලේ..ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.)...හරි ඉතින් ටිකක් පාළු දැනුනා තමා,මම නංඟියෙක් ගේන්න කියලා අම්මට කිවුවත් කියමුකෝ..."

"ඒ වගේම" දියණිය තවදුරටත් පැහැදිලි කරයි..
"මම අම්මා සැරකලාම ගිහින් නංඟට කියන කොට චුට්ටක් මුකුත් කියන්නෑනෙ...ඔයා ඕවා ගණන් ගන්න එපා අක්කා ..කියලා.. ඒ වෙනුවට එයා හොඳට හිනා වෙනවා..."

අන්තිම පේලිය ගැන නම් එයා හිතුවා මිසක් හිතුව දේ කිවුවේ නෑනේ... ගොඩක්විට නංඟා ගැන පොඩි පහේ ඊරිසියාවක් තියෙන්න ඇති... එච්චර කල් බඩපිස්සී වගේ ඉදලා ලොකු දෝණි වෙන්න උනාම..(වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ..)

(ඉහත පුවත සත්‍ය කතාවක් මිස ප්‍රබන්ධ කතාවක් නොවන බවත්.. ඒ සිද්ධිය අදින් වසර 13කට පමණ එනම් මෑත අතීතයේ සිදු වූවක් බව කරුණාවෙන් සළකන්න)

අද ගීත වලට කරන රූපරචන ඉහත කතාවට යම් සමානතාවයක් දක්වන හෙයින් මට එම කතාව කීමට සිදුවිය.. කිසිම ගැලපීමක් නැති රූපරචන ගීත වලට යෙදීමෙන් සිදුවන හානිය සුළුපටු නොවේ.. එය රසස්වාදනයට බලවත් බාධාවකි.ගීතයක් නැරඹීමට වඩා එයට සවන් දීම අගනේ යැයි මම විශ්වාස කරමි..

ඉහත ගීතය ගැන බිඳක් හෝ කතා නොකලොත් එය විශාල අඩුවක් වනු ඇත..
මෙය විරහ ගීතයක් බව සැබෑය... නමුත් මම කියන්නේ මෙම ගීතය මිනිස් සිතක ස්වභාවය මනාව විස්තර කරන බවයි..

ගීතය ලියන්නට පටන්ගෙන ඇත්තේ නම් පෙම්වතිය ගැන බලවත් අමනාප සිතිනි.. එමෙන්ම සිදු වූ "වරද" නිවැරදි කර ගැනීමට නොහැකි  පසුතැවීම් සිතකිනි..
      "තනි වී සිටින්නයි මා අදහස් කලේ..
      ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.."..
තමන් කිසිම වරදක් නොකල නිවැරදි කරු..ඇයයි හැමටම වැරදිකරු වගේ අදහසක්...

ඒත් ගීතයේ අන්තරා කොටසට එනවිට තරහා ටිකක් නිවිලා..හිතේ සෙනෙහස මුදුනට ඇවිත්..
    "ඔබෙ චේතනා අගනා මා සිත දනී...   (පේනවා නේද..?)

දැන් පෙම්වතාට තමන්ගේ සෙනෙහස සඟවාගනු බෑ.. ඒ නිසා පෙම්වතියට කල දෝෂාරෝපනය සමාජය වෙත යොමු කරනවා..
ඔයත්,මමත් නිවැරදි........... අනික් සියල්ලන් වැරදී....වගේ තේරුමක්..
    "අවට ලෝකයේ බැලුම් විසකටු වැනි..
     ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී..
    ගලන දුක් වේදනා රුධිරය වැනී.."

ඒ තමා හිතක ඇත්ත ස්වභාවය.. එක වෙලාවක හිතනවා මමයි වැරදී... තව වෙලාවක ඇයි මෙහෙම හමු වුනේ ..හමු නොවුනා නම් මේ කිසිදෙයක් නෑ..(අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ)

ඇත්ත ඒකයි... 

ගීත හරි මිහිරී... ඒ දේවල් කෙනෙක් විදපු දේවල් කියලා දැනෙනකොට වටිනාකම වැඩි වෙනවා

ලෝකෙ ගොඩක් ලස්සනයි.. 
හැමෝම හරිත් නෑ..
හැමෝම වැරදිත් නෑ..

Friday, October 22, 2010

ඔහු................ මිහිබට දෙවියෙකි..................!..


"කොහොමද පුතා දැන් ජීවිතේ...?"

"හොඳයි සර්..වරදක් නෑ"

අර... ඉස්සර එකට බත් එක කාපු ගෑනු ළමයා එහෙම..දැන් හොඳින්ද..?"
මම එහෙම ඇහුවේ මේ දරුවෝ දෙන්නගෙ සම්බන්ධෙ ගැන ගුරුවරු හැමෝම දැන හිටි නිසා...

නිමල්ගේ මූණ බිමට හැරවුනා... අයෙත් මං දිහා බලලා අඬන්න බැරි නිසා හිනා වෙනවා වගෙ හිනාවුනා.
"ඒක මම නැවැත්තුවා සර්.."

සාමාන්‍යයෙන් මේ වගේ රිදවීම් කරන්නේ ගෑනු ලමයි නිසාත්.. මේ දරුවො දෙන්නා ලොකු බැඳීමකින් හිටි බව අපට දැනී තිබුන නිසාත් මම පුදුම වුනා... ඒත් දැන් කොහොම ඒ ගැන අහන්නද..?මම නිශ්ශබ්දව බලන් හිටියා. ඒත් මගේ ප්‍රශ්නේ කොල්ලට තේරුනා වගේ..

"සර් අපි දෙන්නම උසස්පෙල ලිවුවට පස්සේ "ඇය" විශ්වවිද්‍යාලෙට තේරුනා.. මට ලකුණු මදි වුනා..
(හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ නුඹට හැකිය දකින්න..)

ඒ ජිවිතේ හරි සුන්දරයි සර්... මම "ඇයට" ඒ සුන්දරත්වය විදින්න ඉඩ දෙන්න ඕනෙ සර්...
(ලතා මඩුලු අත වනාවි..එපා අහක බලන්න..) 
ඒ නිසා මම ඒ සම්බන්ධෙ නැවැත්තුවා...."

මම මොනවා කියන්නද..?මේ විය හැක්කක්ද..? සත්‍ය ප්‍රේමය කියන්නෙ මේක නේද..?ප්‍රශ්න ගොඩක් මගේ හිතට ගලන අතරෙ...

"පුතා..!උඹ දෙවි කෙනෙක්.. සාමාන්‍ය තත්වෙට වඩා වෙනස් කෙනෙක්.." 
කියලා කියවෙනවා මටම ඇහුනා මගේ කටින්....
කොතරම් පරිත්‍යාගයක්ද..?                                                                                                                        
                             
                    හන්තානෙට පායන හඳ ලස්සනයිද කියන්න
                    මා නොදකින ඒ පුර හඳ නුඹට හැකිය දකින්න
                   
                    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
                    කුඩය යටින් ඔබ යන කල එපා තනිය රැඳෙන්න

                    ලත මඩුළු අත වනාවි එපා අහක බලන්න
                    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න....
          
ඒ මහින්ද බණ්ඩාරයන් පේරාදෙණිය පාසලක ගුරුවරයකු ලෙස සේවය කරද්දී ලැබූ අදැකීමක්... පසුව ඔහු අතින් ගීයක සිර කළ..............

ටිකක් හිතලා බලන්න ... ඒ පුද්ගලයා කොතරම් උසස් සිතැත්තෙක්ද..? ....අපි අතර එහෙව් අය ඉන්නවාද.?
සැබවින්ම ඉන්නවා.... ඒ ආදර කතා ගොඩක් වේදනාත්මක මුත් උතුම්.. අමරණීයයි... ඇත්ත ඒකයි..

පුළුවන් නම් මේ ගිතය විදින්න.. මේ ගියෙ අරුත් පැහැදිලි කල යුතු නෑ..විදිය යුතුයි.. කොච්චර ලස්සනට පෙම්වතාගේ හැඟීම් කැටිකර තිබෙනවාද..?
තමන් අතැරි කල වෙඩිතබා පෙම්වතිය මරා දමන යුගයක මට නම් මෙය අරුමයක්... මේ ගීයෙ මගේ හිත්ගත් පේලි කීපයක් ගැන විශේෂ නොකලොත් මට දුක හිතෙයි...
           
              "කුඩය යටින් නුඹ යන කල.. එපා තනිය රැඳෙන්න..."

              "මා ගැන මතකය ගුලිකර.. මහවැලියට දමන්න.."  

මේ ගීතය ගැන සිතිවිලි හිතේ හිරවෙලා.. කොහොමද කෙනෙක් මෙහෙම හිතන්නේ... මට නම් හරිම පුදුමයි...!

මම එක ලිපියක කිව් "අවබෝධය" මෙයයි. සමාජ සම්මතයන්ට අනුකූල වීමේදි අපිට හිතට වහල් විය නොහැකී.. සමාජ ධර්මතාව එය කියලයි මම හිතන්නේ...

මම නම් හිතන්නේ ගීතයක් විදින්න නම් "අහන්න" විතරක් ඕනෙ කියලයි.. ඇස් දෙක පියාගෙන හෝ රූපරචනය අමතක කරලා....ආස නම් නැවතත් අහලා විදින්න...


අපි අත්විදින ජීවිතේ ප්‍රබන්ධයකට වඩා ගොඩක් ලස්සනයි..
දිගටම කියවන්න හිතෙනවා.. 
කවුද ලියන්නේ ? 
කවුරුවත් දන්නෑ....!

සිතත් දැන් දැනුම් තේරුම් ඇත්තෙක්..... 2..

දෙමවුපියන් දරුවන් වෙනුවෙන්ම වෙහෙසී මියැදෙයි.ඒ වනතුරුත්... නොහැඟෙන්න පුළුවන් ඒ හැරයාමේ අඩුව,තනිකම...,. ඇත්ත ඒකයි...! අපේ දෙමවුපියෝ ඔවුන්ට ලබාගන්න නොහැකි වූ දේවල් හෝ දරුවන් ලබාගන්නවා දකින්න කැමති දේවල් දරුවන් තුලින් දකින්න උත්සාහ කරනවා.ඒ කාලේ දරුවන්ට ඒක පුදුම කරදරයක්.. වදයක්(අද්දැකීමෙන් මම දන්නවා)..ඒත් ජීවිතේ අපි හිතන තරම් දිගු නෑ..හරිම කෙටි. දරුවා උස් මහත් වලා මුළු රටේම බුහුමන් ලබනකොට දෙමවුපියන් තවදුරටත් ඔහු/ඇය අසල නැති වෙන්න පුලුවන්... අන්න ඒ මොහොතේ මුලු ලෝකෙම තමන් එක්ක... ඒත් පුරවන්න බැරි ලොකු අඩුවක් හිත ඇතුලේ හිරවෙලා.. සෙනඟ පිරමින් ඈත මෑත බලයි.... නෙත් සොයයි..ඔවුන් කොහිද..??...ඔවුන් ළඟාවන්නට බැරි දුර ඈතට ඒ වන විටත් ගිහින්.............
               "ඇරඹුමම කඳුළක් වෙලා...
                මම බලාඉද්දී ඒ දිහා..
                ආ දුරත් දුර වැඩි නිසා..
                අවසානයට පෙර ඈ ගියා.."
සමහරවිට මේ කසුන් කල්හාරයන් ගැනම වෙන්න බැරිද..?.මාලනි බුලත්සිංහල මහත්මිය ජීවතුන් අතර සිටි කාලයේ කසුන් කල්හාරයන් නවකයෙක්.. ඒත් තමන් මිනිස් හදවත් තුලට ගියා... ප්‍රවීණත්වයට පත්වුනා කියලා හිතන අවස්ථාව වන විටත්...ඒවැනි ජයග්‍රහනයකදී තමන් ගැන උපරිමෙන් සතුටුවන "ඇය".... නොඑන ගමන් ගිහින්...... ගොඩක් ප්‍රමාදයි.....ඒත් ආයෙත් අතීතයට ඇඳීයන්න බෑ...!
මේ කියවෙන්නේ අම්මා ගැනමයි කියලා මට හිතුනේ "ආ දුරත් දුර වැඩි නිසා" කියන පද පෙල නිසා.. පෙම්වතියක් ගැන කියනවානම් මෙහෙම කීමේ තේරුම මොකක්ද?(මට තේරෙන තරමින...)
                "දුක්බරම කවියක් ලියා..
                 එක පදපෙලක් අඩුවෙන් තියා..."
 පියවරෙන් පියවර ක්ෂේත්‍රයක ඉදිරියට එන්න කවුරුහරි උදවු කලයුතුයි.මෙතනදී නම් "අම්මා".ඒත් කෙනෙක්ට ප්‍රශ්න වැඩිපුර එන්නේ සාර්ථක වෙන්න වෙන්නයි.ඉතින් එවැනි මොහොතක මවගෙ අඩුව කොතරම් දැනෙන්න ඇද්ද...
                 "අරුත් පසිදින්නට කියා
                  අවසානයට පෙර ඈගියා.."  එතනත් පේන්නේ ප්‍රශ්න මුල අතරමං වීමක් නේද..?


                  "ශෝකාන්තය එන තුරා..
                   තව රැඳෙන්නට සිත් නැතිනියා.."
අම්මා කෙනෙක් කවදාවත් ප්‍රශ්න හමුවේ දරුවා තනි කරන්නෑ..එහෙම වෙද්දී මව තමන් හැර ගියේ ලොකු දුකක් තමන්ගේ දරුවාට මුහුණදෙන්න වෙනවා දකින්න තියන අකමැත්තටද("තව රැඳෙන්නට සිත් නැති නියා")..කියලා දරුවා අහනවා වගේ මට මෙහිදී හැඟෙනවා.
                   "අනන්තය ළඟ මා දමා..
                    අවසානයට පෙර ඈ ගියා.."
එතනදී කියවෙන්නේ ප්‍රශ්නයකින් ගොඩ එන්න බැරුව..."මේ ප්‍රශ්න වලට විසදුම් කියා නොදී ඇයි අම්මේ මාව දාලා ගියේ"කියලා නොහඩා අමතන දරුවෙක්ගේ හද ගැනයි....(මට තේරුනේ එහෙමයි)
(මේ තේරුමම තියන ගීතයක් තමා සුනිල් එදිරිසිංහයන්ගේ "දෙවැනි බුදුන් ලෙස"ගීතය...ගොඩක් හිතට වදින ගීතයක්..)

 මම නම් ගොඩක් එකඟ මේ ගීතය ප්‍රේම ගීතයක් කියන දේටයි...ඒත් මේ ළඟදී දවසක මගේ යාළුවෙක් මේකෙ තේරුම මේ වගේ දෙයක් කිවුවම මම ටිකක් හිතලා බැලුවා..වෙන්න පුළුවන් නේද කියලා...

 කොහොම වුනත් මම කියන්න ආසයි මෙන්න මේ දේ.අපි හිතනවාට වඩා ජීවිත ගොඩක් කෙටි.අපි කෙනෙක්ට හෙට දෙයක් කියන්න හිතන් හිටියා කියමු..ඒත් අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්..
සමහරු සෙනෙහස හිතේ හංඟගෙන ඉන්නවා.. දෙමවුපියන්ට,සහොදරයින්ට,බිරිඳට/සැමියාට,දරුවන්ට..
ඒකෙන් වැඩක්ද..? මම නම් හිතන්නේ මම කෙනෙක්ට ආදරේ නම් පුලුවන් උපරිමෙන් ඒ දේ අඟවන්න ඕනෙ කියලා...අම්මාට, අප්පච්චිට, අත්තම්මට, ලොකුඅත්තට, අයියට, නංඟිට..(දැනට වැඩිපුරම මෙච්චරයි..)
මමත් කැමති මට ආදරේ බව අඟවනවානම් විතරයි..හිතේ හංඟගෙන ඉන්න සෙනෙහසකින් මටනම් "තුට්ටු 2ක තරම්වත් වටිනාකමක් නෑ"
සමහරවිට ඔයාලා මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්..මම හිතන විදිහ එහෙමයි... මම කැමති හැඟීමක් විදින්න විතරයි... "හිත ඇතුලෙ ඇති - නොපෙන්නුවට"කියලා විදවන්න නෙවේ..
දහසකුත් එකක් සිතිවිලි අස්සේ මට හොඳටම මම ගැන හිතෙන විදිහ ඒකයි..
     "සෙනෙහසට සෙනෙහෙ කිරීම"
ලස්සන වචන ටිකක්..ලස්සනම ලස්සන තේරුමක්................!

Thursday, October 21, 2010

සිතත් දැන් දැනුම් තේරුම් ඇත්තෙක්..

               එකම ගීතයකින් එකිනකට කොච්චර වෙනස් තේරුම් දෙන්න පුලුවන්ද...ඒ  එකම ගීතය දිහා කොච්චර එකිනෙකට වෙනස් විදියට බලන්න පුළුවන්ද කියලා මට හිතෙනවා..මම අද හිතුවා මට එහෙම පෙනුන ගීතයක් ගැන කතා කරන්න...
               ආදරයක් ඇතිවුනාම මම නම් හිතන්නේ පෙම්වතා පෙම්වතියට වඩා එඩිතරයි කියලා ගොඩක් වෙලාවට.. එහෙම වෙලාවක පෙම්වතියගේ දෙමවුපියෝ සම්බන්ධයට අකමැතිනම් හෝ කොහොම ප්‍රශ්නයක් ආවත් ඇයට ඒ පැත්තට නැමෙන්න සිද්ධවෙනවා..එතකොට සමාජය කියනවා ඇය චපලයි කියලා..ඒත් ඇත්ත ඒක නොවෙන්න පුළුවන්.....ගොඩක් දෙනාට මේ දේ තේරුම් ගන්න බෑ.හැබැයි මම මේ හැම සිද්ධියක් ගැනම කියනවා නෙමෙයි..වැරදියට තේරුම් ගැනීම සපුරා තහනම්..
ඒත් ඒ වෙලාවට පෙම්වතා අසරණ වෙනවා.. දරාගන්න බැරි දුකක්..
        "ඇරඹුමම කඳුළක් වෙලා...
         මම බලා ඉද්දී ඒ දිහා
         ආ දුරත් දුර වැඩි නිසා
         අවසානයට පෙර ඈ ගියා..."
             මෙතනදී අවසානය කියලා හිතන්නේ විවාහය කියලයි මම හිතන්නේ.. ඇත්තටම සිංහබාහු,මනමේ කතාවක වගේ කවුද හරි..කවුද වැරදි කියලා තීරණය කරන්නත් බැරි තරම්..අනුකම්පා කිරිම හැර...!
ඒත් මට මේ ගීතයේ රසවත්ම යැයි හැඟෙන පද පෙල ගැහෙන්නේ මීට පස්සේ..
        "දුක්බරම කවියක් ලියා..
         එක පද පෙලක් අඩුවෙන් තියා..
         අරුත් පසිදින්නට කියා..
         අවසානයට පෙර ඈ ගියා.."
             ඇත්තෙන්ම ඒ හැරයාම හරියට ලියන්න ගත්ත ලස්සන කවියක අවසාන පේලිය ඉතිරි කරා හා සමානයිලු.. මම හිතන දෙයක් තමා ලස්සන කවියක හරය..රසය ගොඩක්ම ගැබ්වෙලා තියෙන්නේ බොහෝවිට අවසාන පේලියේ කියන එක.. හරියට ආදර සම්බන්ධෙකින් සිදුවන විවාහයක් වගේ...
මටනම් හිතෙන්නේ හැරයාම නිසා පෙම්වතාට පෙම්වතිය කෙරේ වෙර බඳින්න හිතෙන්නෙත්නෑ මොකද කෙනෙක්ගේ බලකිරීමකට එහෙම වුනා වෙන්න පුළුවන්.. ඒත් පෙම්වතිය අකමැත්තෙන් පෙම්වතා හැරගියත් ඉන් පස්සේ විවාහයක් වුනාම තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරය කරන්න පෙළඹෙනවා.. මම දැක්කා වත් අක්කා ආදරය එහෙමත් නිර්වචනය කලහැකි බව කියලා තිබුනා.ඒකයි මම එහෙම හිතුවේ..
     " ශෝකාන්තය එනතුරා..
       තව රැදෙන්නට සිත් නැති නියා..
       අනන්තය ළඟ මා දමා
       අවසානයට පෙර ඈ ගියා..."
මෙතනදි තමා ගොඩක්ම අසරණකමක් හඟවලා තියෙන්නේ.. ඒ වගේම මම කිවුව පෙම්වතියකගේ බියසුළු කමත්... ඕනෙ දුකක් ආවට කමක් නෑ..කියලා ඉන්න පුලුවන් වෙලා නෑ..ගොඩක් විට එහෙමයි වෙන්නේ..!
මම නම් විශ්වාස කරන දේ තමයි ආදරේ හිතට ගලන්න පුළුවන් ඕනෙ වෙලාවක.. ඒ සිතිවිල්ලට එන්න එපා කියන්නත් බෑ... බලෙන් එන්න කියන්නත් බෑ...ප්‍රශ්නයක්..!
සිතිවිල්ලක් ඇතිවුන පලියට හිතට වහල් වෙන්නත් බෑ.. සමාජ සම්මත ගැන හිතන්න ඕනේ.... වර්තමානයේ ගන්න බොළඳ තීරණවලින් මුලු ජීවිතේම අවුල් කරගෙනත් බෑ....
ඇත්ත ඒකයි.. අපිට අපි පාලනය කරගන්න වෙන වෙලාවල් බොහෝමයි.ආදරේ කරන්න ඕනෙ හිත විතරක් නම්... එහෙනම් කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් ඊට වඩා ගොඩක් දේවල් දිගුකාලීන සම්බන්ධතාවයකට අවශ්‍යයි.
විවාහය ජීවිතේ එක සැරයක් විතරක් සිදුවිය යුත්තක් කියලා මම  විශ්වාස කරනවා..ඒකයි මම එහෙම කිවුවේ.
හිත පිහාටුවකටත් වඩා සැහැල්ලුයි..ඒත් ජීවිතේ එහෙම නෑ...  ගීතයක අපිට කෙනෙක් වැරදී..අනෙකා හරි කියලා හිතෙන්න පුළුවන්.. ඒත් අළු පාට චරිත මිස කලු සුදු චරිත නෑ කියලයි මම නම් හිතන්නේ..
අනෙක් තේරුම ගැන පසුව ලියන්නයි මගෙ කල්පනාව... එහෙම හොඳයි නේද? (මට මේ අද්දැකීම් අදාල නොවන බවත් සිත පමණක් පිහිට කරන් ලිපිය සැකසූ බවත් කරුණාවෙන් සලකන්න..)

Monday, October 18, 2010

ඇබිත්තං ගම්මිරිස් ඇටේ පණ්ඩිතකම..

එකෝමත් එක රටක හිටියලු..(ඇත්තට කවුද හිටියෙ..?)අහ්!.. පුංචි ගෑනු ළමයෙක්. පුංචි කිවුවට පුංචිමත් නෑ. ඒත් ඉතින් අපි එහෙම කියමුකෝ. ...ඔන්න ඔය ළමයා හරිම දඟයෙක්.දඟ වගේම තමා සැර... ඉතින් ඔය බටු ඇටෙයි,එයාගෙ පිරිවරයි..(පිරිවර කියන්නේ අත්තා,අත්තම්මා,අම්මා,අප්පොච්චි,අක්කණ්ඩි,අයියණ්ඩි යනාදී එකී නොකී ඈයො) දවසක් ගියාලු පෙරහැරක් බලන්ට.
වේලපහින්ම ලකලෑස්ති වෙලා කට්ටියම සේන්දු වුනා "අළුවිහාරෙ"පංසල් බිමට..පංසල් බිමට කිවුවට ඒ අහලකටවත් කිට්ටුවෙන්න බැරි තරම් සෙනඟ..... පෙරළෙන පැත්තට "හෝයියා"කිවුවා වගේ"ඈතට යනකොට තමා පෙරහැර හැදෙන්නෙ"කියලා කට්ටියම ටිකක් ඈතටවෙන්න පාර අයිනෙන් හිට ගත්තා...
 ටික ටික සෙනඟ වැඩි වෙනකොට පාරෙනුත් ටිකටික ඈතට.. ආයෙත් පෙරලෙන පැත්තට හෝයියා theoryයෙන් "පෙරහැරේ අලිත් යනවනේ..කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි"කියලා හිතාගෙන නඩේ සියල්ලෝම පැත්තකට වුනාලු...
ඒත් ඉතින් දොඩංගෙඩි දෙකක් තරංවත් උස නැති අපේ කතා නායිකාව ඉස්සරහටම වෙලා අත්දෙකත් බැඳගෙන උජාරුවෙන් බලන් ඉන්නවලු..(තාම පෙරහැර එන්න හිතලාවත් නෑ කියලයි ආරංචිය..ඒත් මෙයා ඇස් දල්වගෙන..හික්..)
දොඩං ගෙඩි දෙකක් තරං උස නැති වුනාට බණ්ඩියෙ කපුටො මහ එවුන් 10ක් විතර ඉන්න විදිහට තමා මේ පුංචි ඇත්ති හැසිරෙන්නේ.. එක පාරක කඩල,තව පාරක බැඳපු රටකජු...   ඉතින් මේ දැරිවිට කොච්චර කිවුවත් පාරෙන් ටිකක් ඈතට වෙන්න අම්මලා ළඟ ඉන්ට කියලා කෝ..!!ඇහුව එකක්යැ.....
 ඒ දැරිවිට අවවාද දෙනවට වඩා හොඳයි කට ගලක උලාගන්නඑක කියලා හිතපු වැඩිමල්ලෝටික වෙන කතාවකට වැටිලා "පුංචි බටු ඇටේට ඕනෙ කෙහෙල්මලක් කරගන්න"කියලා හිටියා..
 දැන් ඉතින් පුංචි කකුල් රිදෙනවා හිටගෙන ඉදලා..ඇස් දෙක පියවෙන්න වගේ නිදිමතත් ඇවිල්ලා.. මොනවා කරන්නද පණ්ඩිතකමට කරගත්ත දෙයක් කියලා හිත හිත බටුඇටේ පෙරටම වෙලා ඉන්නවා තාමත් ඇස් දෙක පොඩි කර කර.....
ඔන්න ඉතින් ඈතින් කස තලන සද්දේ ඇහෙද්දී හිතට හරිම සතුටුයි... කවදා දැකපු පෙරහැරක්ද..!!
කසකාරයෝ.., නැට්ටුවෝ...,කොඩි අරන් යන උදවිය..යනාදි විදිහට පෙරහැර ඉදිරියටම.... ඊට පස්සෙනේ හොඳම හරිය... සද්ධන්ත කුලේ ඇත්තො එක්කෙනා දෙන්නා දැන් ඔන්න ඉදිරියටම ඇදෙනවා....
හිතට ටිකක් බයයිත් වගේලු..ඒත් ඉතින් දැන් එතනම ඉන්නවා ඇර කෙලි පොඩ්ඩට වෙන කරන්න දේකුත් නෑනෙ.....
එකපාරටම පොලිස් මාමා කෙනෙක්  හයියෙන් මොනවද කියාගෙන එනවලු පාරදිගේ..
"අලියෙක් කුලප්පු වෙලා...කලබල වෙන්ඩ එපා......අපිට ඔය අතුරු පරෙ ඉඩ දෙන්ඩ..."////////
අ...ලි..යෙ..ක්...කු..ල... කිවුව විතරයි මිනිස්සු දිඹිගෝටයක් ඇවිස්සුනා හා සමානව..ඒ මේ අත දුවනවා
සමහරු දුවන අයට පෑගිලා කෑ ගහනවා"බුදු අම්මෝ..මාව පෑගෙනවෝ"
 සමහරු දුවන්නෙ අරමුනකින,සමහරුනම් හිස් ලූ ලූ අත.... 
එතකොට කෝ අපේ කතානායිකාව.......................
කට්ටියම දැන් හොයනවා කතානායිකාව කොහෙද කියලා..හරි ලොකු කෙනානෙ..හොයන්නත් හරි ලේසි:):)
කෝ...පේන්න නෑ......
තාමත් හොයනවා...අරෙහෙ හොයනවා.. මෙහෙ හොයනවා...... 
බැරිම තැන පාරට ටිකක් ඈතට වෙන්න නවත්තලා තියෙන වාහන ඇතුලෙත් බලන්න කට්ටියට හිතුනා...
 හොඳ වෙලාවට.....බැලුවේ 
මෙන්න ඉන්නවා බටු ඇටේ තුංකුද ගැහිලා ත්‍රී විල් එකක් ඇතුලේ.... කට්ටිය කතා කරනවා..වගක් නෑ ඔන්න!
 ඇස්දෙක වහගෙන තදකරලා..කන් දෙකටත් ඇඟිලි දෙකක් ඔබාගෙන....  
කොහොමහරි අලිහුටපටේ අහවරයි කියලා ඒත්තු ගියාට පස්සේ කෙලි පොඩ්ඩ ඇස් ඇරලා වට පිටත් බලලා කිසිම පණ්ඩිත වැඩක් නොකල ගානට හෙමීට එලියන ආවනේ..අම්මගෙත් තරහ නිවිලා තිබ්බ නිසා ගුටි පූජාවක් නම් පැවැත්තුවේ නැනෙ ඉතිං...
අවසානයේ පවුලේ සියල්ලෝ නිවස බලා සතුටින්  විසිර ගියාලුනේ.....

Saturday, October 16, 2010

සිත පියා හිදිනු මට නොහැකි නිසා..

සිතට වහල්විය නොහැකි නිසා
නෙතු පියා හිදිමි ගනඳුරට වෙලා
මුළු ලොවට හොරා මගේ සිතට වෙලා
මුමුණන කව නෑසේ මටම මෙදා

ඔබ කවුද කියා නුදුටුවද එදා 
සිත සන්තක විය නොදැන මෙමා 
නෙතු පියා හිදිමි ගනඳුරට වෙලා
සිත පියාහිදිනු මට නොහැකි නිසා


සෙනෙහස අරුමයකිමැයි සදා 
මට වැටහෙන දින අත නුදුරෙ නිසා 
නෙතු පියාහිදිමි ගනඳුරට වෙලා 
සිත සිතා හිදිනු පල නොමැති නිසා

"The end of love.."

Thursday, October 14, 2010

හද සාක්කි..

මම මේ ලෝකෙට ඉපදුනා.ඒ ගැන ගොඩක් ආඩම්බරයි.කොච්චර විදවීම් තිබ්බත් ලංකාවම හොයාගෙන ඇවිත් එතනින් නොනැවතී  අනුරාධපුරේටම ගිහින් අම්මාගෙ බඩටම ආවේ මම එහෙම එන්න ගිය ආත්මෙත් ප්‍රාර්ථනා කරන්න ඇති නේද?මේ අප්පච්චි ළඟම ඉපදෙන්න,මේ පිස්සො දෙන්නම මගේ සහෝදර,සහෝදරියො වෙන්නම පතන්න ඇති නේද? ඒක කොහොමටත් අහඹු දෙයක් වෙන්න බෑනෙ,ඒකයි.
මම කළුවෙලත්,ලස්සන නැතිවුනත් අයියයි,නංඟයි එක්කම එකට ඉන්න ගිය ආත්මෙත් හිතන්න ඇති...මේ ආත්මෙත් එහෙමයි..ඒත් ලස්සන කෙල්ලෙක් වෙලා ඉපදුනොත් හොඳයි...!
 මම සාමාන්‍ය පවුලක ඉපදුනා..ලොකු මොළයක් එක්ක නෙවේ..නොපසුබට කැපවීමක් එක්ක..මේ මෑත අතීතයේ ඒ කැපවීමත් මාව දාලා ගියා.. ඒත් තාම මම සතුටින්....
 මම හෝඩියේ පංතියේදී හෝඩිපොත කියවගන්න බැරුව පංතියේ නැඟිටලා හිටිය ළමයෙක්,
 2වසරට ගිහිනුත් 2වරක් චක්කරේ පාඩම් නැතිව හිටිය ළමයෙක්,
3වසරට යනකම්ම ඉංග්‍රීසි හොඩිය A to Z කියාගන්න බැරිව හිටිය ළමයෙක්...
 අම්මානම් කියන්නේ මම පවුලේ දෙවනියා නිසා මාව මඟහැරුනා කියලා...එහෙම වෙනවලු පවුල්වල.
 ඒත් ඒ මගේ මෝඩකම මිසක් වෙන දෙයක් නෙවේ..මම දන්නවා.....
ඒත් හැම වැටීමකදිම මම ළඟ දෙන්නෙක් ඉතිරි වුනා..දැන් නම් 4 දෙනයි(ඉස්සර අයියයි,නංඟයි පොඩිනෙ)
මට පුංචි කාලේ පුලුවන්වුනේ සිංදු කියන්න විතරයි...ඒත් මට ඊට වඩා ඕනෙ වුනා.මට කථිකයෙක් වෙන්න හිතෙන්න ඇති..ඒ නිසාම පත්තර කෑල්ලක ලිපියක් කටපාඩම් කරන් තනියෙන් කතා පවත්වන්නැති. 6 වසරෙදි මම සමිතියේ මගේ මුල්ම කතාව කලා..මම දක්ෂ කථිකයෙක් නෙවේ..මොකද මට සූදානමකින් තොරව කතා කරන්න,විවාද කරන්න බෑ....ඒත් මම ගොඩක් මහන්සි වුන හැම වෙලේම මට ලොකු ජයක් ලැබුනා..නැත්තම් නෑ....
මම කවි කියවන්න ආසයි.මට මං ගැන දුක හිතුනා ඇයි මට බැරි කියලා..ඒත් මම උත්සහ කලා..මුල්ම ඒවා ගොඩක් ප්‍රාථමිකයි..දැන් ඒවත් එක්ක..ඒත් මම ලිවුවා..මට තාමත් ආසාවක් තියනවා පත්තරේට කවියක් දාන්න,ඊට වඩා ලිපියක් ලියන්න..ඒත් මම තව පුහුණු විය යුතුයි.
මගේ කිසිම හැකියාවක් උපතින් අරන් ආවේ නෑ....ඒත් දැන් මම දන්නවා මට කරන්න බැරි දෙයක් නෑ කියලා.
ඉගෙනීමෙදිත් මම එහෙමයි..ඒත් මම එක තැනකදි පැරදුනා...මම තාමත් පිටියේ...බලමු මේ සැරේ....
මම කියන්න ගියේ මේකයි...මට ලබන ආත්මේ මේ දෙමවුපියෝ ළඟ ඉපදෙන්න ඕනෙ නෑ..ඉපදෙන්න එපා...!!!මම නිසා එයාලා විදින දුක..!හැමදේම දරාගන්න පුළුවන් වුනත් මට ඒක දරාගන්න අමාරුයි...ඒ ..මම ගිය ආත්මෙක ඒ දෙන්නා ළඟ ඉපදෙන්න පැතුව නිසා...එහෙම නොවුනානම් දක්ෂ දරුවෙක් ළඟ එයාලා සතුටින්. ඇයි එයාලා අපිට එච්චර ආදරේ කරන්නේ..?එහෙම නොවුනානම් මට මෙහෙම හිතෙන්නැතිවෙයිනෙ...ඒත් මම මේ අයියයි,නංඟයි ළඟම ඉපදෙන්න ඕනෙ..     මම හරිම ආත්මාර්ථකාමි නේද? ජීවිතෙ මට මෙච්චර කල් හමුවුන ප්‍රශ්න වලට තිත්ත උත්තර තිබුනා...ඒත් මේකට එහෙම උත්තරයක්වත් නෑ වගේ..


 (නෙතින් නොදුටුවත් මට දැන් ඔයාලා මගේ හොඳම යාළුවෝ වගේ දැනෙනවා...අද ඒ නිසා මට ඇත්ත ඇතිසැටියෙන් කියවුනා...)
          Tears disturbed me when I writing "ME"

තැවුලෙන් මිදෙමි..

තනියට තනිය ළංකරගෙන සිටිය සඳ 
කළුවර කළුවන්ව දවටා මගෙ දෙනෙත
 සිහිලස සීතකර සැඟවුනු කඳුළුකැට
 සඳවත් කවිකතා මුමුණනවාද මට
  
ගඟුලේ සින කිමිදී දියකෙළි එකල
 සිහිවී සිහින් සුසුමක් හෙලුනද මෙමට
 මුව මදහසක් නංවා කැඩපතට අද
 මම මට මා නොවී තනිරකිනෙමි නිබඳ

 රහසේ කඳුළු හංඟන අම්මගෙ දෙනෙත
 සුන්වූ පැතුමකට ලොල්වී බලන සඳ 
 හැකිනම් විවර කරනට ගිනි දැබෙන හද 
 සිහිගිරි ශිඛරයම උණුවී යනු නියත 

 දුලන රන්පතක් ඒ මෙ අත වැතිර
 සකල අපහාස සියොලඟ ගෙන තවර
 සැඟවී පයට පෑඟී වැළලෙන  විලස
 නොයමී සිතුවද අනෙකුන් කවර ලෙස 

මල් මකරන්ද නැහැපුඩු කිති කවන සඳ
පිනිදිය බිඳු මවත දෝතින් තවන ලද
අරුණට කලින් අඳුරට වෙරබැඳ නැඟිට
කළුවර අමතකව පියමැන්නෙමි පෙරට 

පාසල හැර එදෙස බලා..

චකිත මුදිත කැටිවූ හද 
ලයේ රුවාගෙන
 පෙර විදු ලකුණ සඟවා නව 
විදු ලකුණ රැගෙන

ආ හැටි එකට සිටිහැටි එක 
අතමිටකට මෙන
 පන්හිද තුඩින් පන් දහසක 
වඟුරනු කෙලෙසින


පැවරුම් පුරා ඉහිරුම් කර 
සිනා ගැලූ හැටි
 රසමසවුලට බොරුවට ලොබ 
බැඳ පොරකෑ හැටි
ගුටිබැට කන කවන පොදියට රහකර කෑ හැටි
 අමතක මතක සටහන් මෙන් 
සිත ඉපිලෙයි නිති
  

 විසුළු නම් වනම් නිති අන් 
සකි වත අන්දා
 සිත් රිදුම් තැවුල්මුල සැනසුම් 
පැදි බන්ඳා 
ලත් සියල් සැරුම් නුඹ මා 
සිතතුල රන්ඳා
අත් හරිම් කෙලෙස මිතුදම් වෙන්වුනැයි කියා
  

කරලියේ රැඟුම් පා ගිල්වා සයුරක සිනා 
නොමවුවත් නුඹත් මම රැවුදෙයි පියසම පුරා 
පොලඅතු රටා මැවු මිහිමත සරණ දන පවා
කල්මරයි නිතින් කල කි දෑ ගණිනු නියා

 සමරුපත් පුරා දිවු නන් 
වදන් කැටි මුතූ
 අරුම නැත නිමක් නැතිහැටි 
මතක ලත් තුටූ



කඳුළු බිඳු මතින් සෝදා 
දසුන් අප සතූ 
හැරිය හැකිද මිතුරනි ඒ 
සොඳුරු අවුරුදූ...

   The days we had at school will not come again....
But their memories also never leave us as long as we live.....

Wednesday, October 13, 2010

රහසකි නිබඳ මා හද කඳුලින් තෙමන..

පුළුන් රොඳක සැහැල්ලුව
දැනුන නිසාම සිතට
පාවෙන්න සිතුනා ඈතට
ළඟාවිය නොහැකි දුර ඈතට

උණුවී දියවන හදට
සිසිල ගැල්වූ හෙයින් නිබඳ
දමා යන්නට නොහැකි තරම් දැනෙන
හැඟීමක් නැඟුනා සිත මුදුනට

සිහිනයක ලැඟුම්ගන්න
යලි මෙලොවට නොපැමිණ ඉන්න
කඳුලින් නෙත දොවන අතර
මට දැන් සිතෙනවා නිතර 

අමතකයේ ගිලී මියැදෙන්න නොහැක
ඉපිලේ රූ පටයක් විලසින්ම මතක
ලැඟුම්ගෙන සිටින සිත පවා නොදැන
ගුලිගැසී සිටින්නෙමි හැකිතරම් කල් මෙතැන

"   I'm starting to like you less...
   Becouse.. ,
   I'm beginning to love you more.........!!!   "

Monday, October 11, 2010

සිතිවිලි හින්දා..

සිතට ගලන සිමින් සැලෙන
අතොරක් නැති සිතිවිලි ගඟ
අඟුළු ලමින් පරිස්සමින්
හද තුල සඟවා.....

 නෙතින් ගන්න සිතේ තබන 
 කවි පදයක අඩුක්කරන  
තව දෙනෙතක සටහන් වන 
 සිතිවිලි හන්දා.....


පින්සලකින් සිත්තම්වන
 ගෙත්තමකින් ගෙත්තම් වන 
කැටයමකින් කැටයම් වන
 නිමැයුමක් වෙනා...

 කවියක් ගැන කවියක්..

Saturday, October 9, 2010

ඇබිත්තං ගම්මිරිස් ඇටේ..

පොඩ්ඩැත්තං ඇවිලෙන්
 සුටුස් ගා නිවෙන
මල් මදහසින් පිපෙන් 
ඇබිත්තං ගම්මිරිස් ඇටේ...
පොතට යෙදවෙන හිතට
 වෙහෙසක් දැනෙන හැමවිට
කුමක් හෝ කියා ගැලවෙන 
කටකාරියකි නොනවතින
"මං ගැන නොලියවෙන
කුමට අක්කේ කවි මට"
 නොකියා කියන කියවෙන
 සෙවණැල්ලකි අඳුරේ වුව මැකී නොයන
(මං දන්නවා නංඟෝ ඔයා ගැන මට ගොඩක් දේවල් තියනවා ලියන්න..ඒත් ඒක ලේසි නෑ.
 හිතේ දොරටුව ඉඩමදි..හැම සිතිවිල්ලක්ම පොරකනවා කවියක ඔයාගැන ලියවෙන්න..............)

Thursday, October 7, 2010

දන්සැල් මතකය..


                                 ඔන්න මම college යන කාලේ අපිට දවසක් එකපාරටම හිතුනා දන්සැලක් දෙන්න...!ඒ වෙනකොට වෙසක් පහුවෙලා.ඉතින් අපි හිතා ගත්තා පොසොන් දන්සැලක් දෙන්න. ඇත්තටම කිවුවොත් අද හවස ඉස්කෝලෙදි හිතුනා..හෙට දන්සැල දුන්නා.ඒ වගේ දෙයක් තමා එදා වුනේ..

                                  ඉතින් ඒ වෙනකොට A/L ලඟපාතකවත් නෑ...හැබැයි මම හිතුවා අම්මා යන්න දෙන්නැති වෙයිද දන්නෑ කියලා..මොකද මම දැනන් හිටියා ඒ දවස්වල පොල්ගහකට නැංඟත් දෙබලක් කියලා.

                                ඉතින් එදා උදේම මම යන්න ලෑස්ති..ඉවසිල්ලක් නෑ..!ඒ අතරෙ අම්මා කාටදෝ කියලා තැඹිලිගෙඩි ටිකක් කඩාගෙන තැඹිලි වතුර පුරවපු ලොකු බෝතල් 3ක් විතර හදලා දුන්නා....".පිං අතේ වැඩක් නේ..........".
එහෙම තමා අම්මයි අත්තම්මයි කිවුවේ....

                                 ඉතින් කට්ටිය එකතුවුනා යාළුවෙක්ගෙ ගෙදරට..එයාට අපි කියන්නේ පොඩිදෙයියෝ කියලා..
සමහරු කෝඩියල් බෝතල්,සමහරු "බීම පිටි"(එවාට මොනවාද කියන්නේ...?),සීනි,ලුනු,දෙහි...ලොකු ප්ලාස්ටික් බාල්දි ගෙනත්...
අපිට දන්සැල දාන්න තැනක් තිබ්බා..ඒත් අපි හිතුවා හදාගෙන එතන්ට යන්න ඕනෙ කියලා...යාළුවෝ එකතු වෙන්න ටිකක් වෙලා ගියා...කෙල්ලො,කොල්ලො....ගොඩක් එකතු වුනා...

                                 අපිට සීතකල බීම වුනත් එදා දෙන්න තිබ්බා .මොකද එතන හොඳ අයිස් පප්පලා,පප්පිලා ටිකකුත් හිටියා.
ඒත් දන්සැල ඉවර වෙනකොට හැමෝම මොකක්හරි වැඩක් කරලා............
                    අපි කණ්ඩායම් දෙකකට බෙදුනා.හදන අය හා බෙදන අය කියලා..

                     මම හිටියෙ බීම හදන කණ්ඩායමේ.ඔන්න අපි බීම හදාගෙන,හදපු තැන එතන බීම හදපු බවට සලකුණු ඉතිරි කරලා පයින්ම බාල්දි උස්සගෙන පාර ළඟට ආවා.(අපි පස්සේ ඇවිත් ඒ හැමදේම අස් කලා හොඳේ?)

                                   එතකොට තැඹිලි...දැන් ඉතින් මොකද කරන්නේ.....කිය කිය ඉන්නකොට අපේ කොලුරැල කිවුවා තැඹිලි ගැන එයාලා බලාගන්නම් කියලා..
                                අයෙ ඉතින් "හා..." කියන්නවත් වුනේනෑ තැඹිලි වාෂ්ප වුනා...මම ඒ වෙනකන් දැනන් හිතියෙ නෑ තැඹිලි වතුර එච්චර වාෂ්පශීලී කියලා............හි...හි..

                                 ටික වෙලාවක්.....බොහොම ටික වෙලාවක් යනකොට අපි අරන් ආව බීම ඉවර වුනා....ඒ වෙලේ අපිට උදවුවට ආවේ අපේ යාළුවෙක්ගෙ බාප්පා කෙනෙක්...කොහොමින්හරි දන්සැල නිසා ඒ බාප්පට රු.2000 විතර වියදම් වුනාලු කියලා යාලූවා කිවුවා...අද ඒ මාමා ජීවතුන් අතර නෑ....ගිය අවුරුද්දේ ඒ  මාමා නැතිවුනා.

                                 ඔන්න ඉතින් දන්සැල අතරෙ වලි ඇවිලෙනවා..නිවෙනවා...කොඩි අරන් "බෙදන" අය දුවනවා...
බන්දේසි වලට කට්ටියක් පොරකනවා...සමහර බස්, බන්දේසි නොදීම අද්දනකොට"හෝව්..හෝව්..."කිය කිය කෑ ගහනවා....බීම හදන අපි බාල්දි අරන් එහාට දුවනවා.....හැදි,දෙහි අරන් මෙහාට දුවනවා....එකම බාජනේට දෙන්නෙක්ම සීනී හලනවා...එත්කොට ඒවා  මී පැණි!තව දෙන්නෙක් බීම එකට ලුනු දැම්මද කියලා...නිකටෙ අත තියන් කල්පනා කරනවා...........එකම කාලගෝට්ටයක්..........

                                 කොහොමහරි වැඩි සූදානමක් නැතිව එදා දන්සැල ඉවර කලා...සියලු දෙනා ආයෙත් පොඩි දෙයියොගෙ ගෙදරට එකතුවෙලා සතුටින් විසිර ගියා...අපි  කතාවුනා 2010 ආපහු ඒ දන්සැල තියන්න (ඒ 2008).ඒත් මේ සැරේ අපිට දන්සැලක් තියන්න බැරිවුනා..ලබන අවුරුද්දේ හරි කොහොමහරි ආයෙත් දන්සැල තියන්නයි කල්පනාව............

(දක්වා ඇති නම් දැන් කටට ආ ඒවා මිස අන්වර්ථ නාම නොවන බව සලකන්න)
(බලන්නකො..!photo අරන් තියෙන්නෙ බෙදන අයගෙ විතරනේ...හි..හි..)

Monday, October 4, 2010

මට අවැසිමුත් නුඹට..

මට නුඹ අවැසි නැති 
එක් වසන්තයක
 සිහිල් වදන් පොදක් වී
මා සිතට එබෙන්නට
 නොතිබුණා නුඹට....

 දිනකින් දෙකෙන්
 නුඹ ගැන සිතන්නට
 නොතිබුණා මට
 මගේ හිතට...

හුඟ කලෙකින්...
 නොදුටු වතකට

ඒ හිමි වූ සිතට
 ඇලුම් නොකරන්නට 
 හිතුනානම් මට....
  
විසල් හදක් මුල
 අයදිමින් ඇලුම්කම
 නාඩා හිදින්නට
 එසේනම් හැකි
 නොවනුඇද්ද මට....

මටම හිමි මගේ හිත මටත් නැතිකල...